” ගේයි ඉඩමයි විකුණලා මං අර ජෝර්දාන් යන්න හැදුවේ සල්ලි කෑදරකමටම නෙමෙයි අක්කේ. මට මේ වෙන දේවල් දරාගන්න බෑ. තාත්තා නැති උනත් හරි අවුරුදු ගාණක් ඇතුළත විඳපු දුක් ඔක්කොටම වඩා වැඩිය දුකක් මං දැන් විඳිනවා අක්කේ. වැරැද්ද මගේ. මං ඒක පිළිගන්නවා. මට මං කවුද කියන එක අමතක උනා. මගේ තත්වේ මොකද්ද කියන එක අමතක උනා. ඉතිං ඒ පනිෂ්මන්ට් එක මට ලැබෙන්නම ඕනේ. ඒත්.. ඒක දරාගන්න බෑ අක්කේ.. මට මේ දේවල් වලින් ගැලවිලා කොහෙටහරි යන්න ඕන උනා. ඒකයි මං අර විදිහට රට යන්න හැදුවේ. “
” අනේ.. කෙල්ලේ..”
දෑසින් වැගිරෙන කඳුළු එක පිට එක පිසදා දමන යුවතියගේ අත තදින් අල්ලා ගත් පහන්‍යා අනෙක් අතින් ඇගේ දෑස් මත ඇති කඳුළුද පිස දැමුවාය.
” අක්කා කාලා ඉවරද ? ”
ඈ නිහඬවම හිස සලවමින් ඔව් යැයි පැවසූ අතර දෙදෙනාගේම පිඟන් රැගෙන සඳැස්වි හිඳ උන් පුටුවෙන් නැඟිට්ටාය.
” ඕක තියන්න නංගි, මං හෝදන්නම්. “
” එපා.. එපා.. ඔයා ඉන්නකෝ..”
පහන්‍යා නැඟී සිටීම වැළැක්වූ සඳැස්වි කරාමය අසලට ගොස් සියල්ල පිරිසිදු කිරීමට පටන් ගත් අතර ඈ තවමත් නුදුටු මුළුතැන්ගෙහි දොර අසල සිටින රුව දෙස බැලු පහන්‍යා විසල් සුසුමක් අත හැරියාය.
සෙමින් සෙමින් අඩි තබා මුළුතැන්ගෙය තුළට පැමිණි දේහදාරියා දෑත සෝදමින් සිටි තරුණියගේ පසුපසින් ගොස් ඇගේ බඳ වටා දෑත යවමින් ඈ තම ළමැදට තද කර ගත්තේය. එක් වරම දැනුණු හුරුපුරුදු ස්පර්ශය විශ්වාස කර ගත නොහැකි වූ තරුණිය මොහොතක් සිටි වනම ගල් ගැසී සිටි අතර නැවත වතාවක් ඇගේ දෑසින් කඳුළු වැල් බේරී වැටෙන මොහොතේ ඔහු පහත් වී ඇගේ උරය මත තම මුහුණ හොවා තද කර ගත්තේය.
ඉකි ගසමින් හඬන යුවතියටත් , ඈව තදින් වැළඳගෙන ඇගේ උර මත හිස තබා සිටින තම මළණුවන්ටත් එසේම සිටින්නට ඉඩ හැරි පහන්‍යා ඔවුන් දෙදෙනාගේ අමනාපකම් දුරු වීමේ චිත්තඃප්‍රීතියෙන් සෙමින් ඇවිද තම නිදන කාමරය වෙතට ගියාය .
” දැන් ඔය ඇති “
මිනිත්තු ගණනාවක්ම ඉකි ගසමින් හඬා වැටෙන ඇගේ සවන අද්දරට මිමිණූ ඔහු වෙත සෙමින් හැරුණු ඈ කඳුළු පිරි දෙනෙතින්ම හිස ඔසවා ඔහු දෙස බැලුවාය. සෙමින් සෙමින් ඇගේ කොපුල් මතින් ගිලිහී වැටුණු කඳුළු පිස දැමූ ඔහු සියුමැලියගේ උවන පුරාම දෑස යැව්වේය. මඳ වේලාවක් ඔහුගේ මුහුණ දෙස බලා සිටි ඈ එක් වරම ඔහුගෙන් ඉවත් වූයේය.
” සොරි සර් !”
ගැඹුරු දෑසේ විශ්මයානුකුල හැඟීමක් මතු වූ අතර ඔහු කලබලයෙන් ඈ දෙස බැලුවේය.
” ඇයි ?”
” ආයේ ආයේ දුක් විඳින්න බෑ සර්. මේ විඳවපුවා හොඳටම ඇති. “
” සඳ…?”
” සර්.. මිස් ෂෙනාර්‍යාව කසාද බඳින්න ඉන්නේ සර්. මේක ඇති . සොරි..”
එසේ පැවසූ ඈ වහා මුළුතැන්ගෙයින් පිටවීමට අඩි තැබුවාය.
” මට හිටපු අම්මා , තාත්තවත් මට දැන් නෑ සඳ.. එහෙම එකේ ගෑනු ඉඳීද ? හැමෝම ඉඳලත් මට දැන් කාත් කවුරුවත් නෑ. මිනිහෙක්ට එහෙම උනාම දැනෙන ෆීලින්ග් එක තේරෙනවද සඳ ? ඔයාටත් යන්න ඕනේ නම් යන්න. මං ඉන්න කියලා බල කරන්නෑ. වෙච්ච දේවල් වල සම්පූර්ණ වරද මගේ. ඒක ඔයාගේ පැත්තට දාගෙන විහින් දුක් විඳින්න එපා.. “
වෙනදා හුරු පුරුදු ප්‍රතාපවත් කටහඬින් සම්පුර්ණයෙන්ම වෙනස් වූ කලකිරීමක් හා පසුතැවීමක් පමණක්ම අඩංගු පිරිමි කටහඬෙහි තිබූ ගැඹුරු ස්වරයද බොහෝ මන්ද වී තිබුණේය. එකී කටහඬ හරහා ඔහුගේ හදවත තුළ පවත්නා වූ වේදනාවේ දිග පළල හොඳින්ම වැටහුණු යුවතියගේ ඇස් අග නැවත නැවතත් කඳුළින් පිරුණි. ක්ෂණිකව යළි හැරී ඔහු වෙත දිව ආ ඈ දෙවරක් නොසිතාම ඔහුගේ බඳ වටා දෑත යවමින් ඔහු ළැම මතට තුරුළු වූවාය. තම පපු ගැබෙහි තුරුළු වී හඬනා ඈව තදින් වැළඳ ගත් ඔහු සෙමින් ඇගේ උවන මතට පහත් වූයේය .
” සොරි කියලා කියන්න පුලුවන් තැනක මං නෑ සඳ.. මං ඔයාට දුන්නේ එසේ මෙසේ වේදනාවක් නෙමෙයි . මට සමාවක් ඉල්ලන්න බෑ. එහෙම ඉල්ලන්න අයිතියකුත් නෑ. ඔයා මං නිසා ගොඩක් දුක් වින්ඳා. එච්චර දේවල් උනාට පස්සේ කට ඇරලා සොරි කියන්න මට බෑ. අවුරුදු ගාණක් තිස්සේ මං සෑහෙන්න දුක් වින්ඳා සඳ.. මං නිසා මනුස්සයෙක් මැරුණා කියන එක මට දරාගන්න බැරි උනා. මං ලඟ ඉන්නේ ඒ මනුස්සයගේ දුව කියලා දැනගත්තම මටම සමාවක් දෙන්න බැරි තැනකට මං වැටුණා සඳ.. ඔයා දන්නවද එදායින් පස්සේ මං විඳවපු තරම ? ඔයාව අතෑරියත් ඔයාට යන්න දෙන්න බැරි උනා. පහුගිය දවස් ටිකේ මං පිස්සෙක් වෙලා හිටියේ මං මහා කාලකණ්නියෙක් සඳ..!”
කොපුලක් මතට වැටුණු සීතල කඳුළු කැටයකට තිගැස්සුණු යුවතිය හිස ඔසවා ඔහු දෙස බැලූ අතර සෑම මොහොතකම විසල් තේජසක් විදහා පාමින් , කිසිදු විටක බියක , ශෝකයක , පරාජිත බවක් හැඟීමක් හෝ නොතිබූ පිරිමි දෑසේ ඉතිරුණු කඳුළු කැට පේළියක් ළැම මත තබා සිටි ඇගේ මුහුණට වැටිණි.
” අනේ.. එපා.. ! ඔහොම කඩන් වැටෙන්න එපා දෙයියනේ. සර්.. ! සර්..! මේ අහන්නකෝ.. කවුරුත් එපා.. කවුරුත්ම එපා.. මං ඉන්නවනේ.. ඒ මදිද ? අනේ.. කියන්නකෝ… ඔයා .. ඔයා.. මෙහෙම අඬා වැළපෙන්න ඕන කෙනෙක් නෙමෙයි. මං.. මං. අඬන්නම්. ඒත්.. ඔයා මෙහෙම අඬන්න එපා.. අනේ.. එපා.. !”
ඔහුගේ බඳ වටා එතී තිබූ දෑතම ගෙන එකට එකතු කර ඔහු ඉදිරියේ පිණ්සෙණ්ඩු වූ ඈ දිගින් දිගටම හඬා වැටුණු අතර ඔහු තවත් ඈ තදින් තුරුළු කර ගත්තේය .
” සඳ..”
බොහෝ වේලාවකින් යළි ඇගේ සවන අද්දර මිමිණූ ඔහු ඇගේ නිකටින් අල්ලා තම උවන දෙසට හරවා ගත්තේය.
” කියන්න දෙයක් තියනවා.. “
” ම්ම්ම් ?”
” එක පාරයි කියන්නේ. ආයේ ආයේ අහන්න එපා. “
ඔහුගේ ස්වරයට බියපත් වූ ඈ විසල් කර ගත් නෙතින් ඔහු දෙස බලා සිටියාය.
” මං.. ම්ම්.. මං ඔයාට ආදරෙයි “
බොහෝ ආයාසයක් දරා කුඩා ස්ත්‍රී දෑස දෙස බලා එසේ පැවසූ ඔහු තොල් පට සපමින් වහා ඉවත බලා ගත් වික්ශිප්ත දෑසින් ඔහු දෙස බලා සිටි ඇගේ උවන මත ළා හසරැල්ලක් නැඟුණු අතර එය ක්‍රම ක්‍රමයෙන් මුව පුරා පැතිර ගිය මල් සිනහවක් බවට පත් විය.
” මොකෝ.. හිනාවෙන්නේ ? ඒ පාර මාව විහිලුවකට ගත්තද ?”
” නෑ.. නෑ.. නෑ.. “
දෙපසට හිස සලවමින් නැත යැයි පවසමින්ද ඈ දිගටම සිනහ නැඟු අතර ඈ වෙත තරවටු බැල්මක් හෙළූ ඔහු ඉවත බලා ගත්තේය.
” මං සෑහෙන්න නවල්ස් කියවල තියනවා , ෆිල්ම්ස් බලලා තියනවා , ඩ්‍රාමා බලලා තියනවා හැබැයි මෙච්චර අමාරුවෙන් ආදරෙයි කියපු මනුස්සයෙක් දැක්කමයි මේ.. “
ඈ තව දුරටත් සිනහ නැඟූ අතර නැවතත් ඈ වෙත තරවටු බැල්මක් හෙළූ ඔහු ඇගේ බඳ වටා එතී තිබුණු තම දෑත මුදවා ගත්තේය.
” හිනා වෙවී ඉන්න , මං යනවා “
” අනේ… සර්..! එපා.. “
යන්නට සූදානම් වූ ඔහුගේ බඳ වටා යළිත් තම දෑත දවටා ගත් ඈ තදින් ඔහු වෙත තුරුළු වූවාය.
” බොරුවට නපුරු වෙන්න එපා. අනිත් අය ගැන කොහොමද දන්නෑ , හැබැයි මං දන්නවා ඔයාගේ ඔය පිටින් පේන නපුරු කම ඇතුළේ කොහෙවත් නෑ කියලා “
” ඇත්තට..? තව මොනවද දන්නෑ මං ගැන දන්නේ ? “
” තවද ? තව ගොඩාක් දේවල් දන්නවා . ඒවා කියන්න ඕනේ නෑ.. “
” දන්න නිසා වෙන්නැති මහ ලොකු පණ්ඩිත වැඩ කර කර මාව දාලා යන්න හැදුවේ නේ..?”
” කවුද දන්නෑ එතකොට අල්ල ගත්තේ අතාරින්න නෙමෙයි , ආදරෙයි කිව්වනම් විශ්වාස කරන්න ඕනේ. මං ගැන ඔයාට විශ්වාස කරන්න පුලුවන් වගේ ඒවා කියලා ආයේ අනිත් පැත්තට මං ආදරෙයි කියලා කිව්වේ නෑනේ කියලා කිව්වේ ?”
” ඇත්තද මැඩම් ? එතකොට කවුද දන්නෑ ගෙවල් දොරවල් විකුණලා දාලා රටවල් ගාණේ දුවන්න හැදුවේ ?”
” අහ්.. හා.. එතකොට කවුද දන්නෑ මිස් ෂෙනාර්‍යාව තුරුළු කර ගෙන කිස් කරන ඒවා සෝෂල් මීඩියා දාලා තිබ්බේ ?”
” ඒයි.. ඒයි .. මං ඒ වෙලේ හිටියේ හොඳ සිහියෙන් නෙමෙයි. අනික ඒ ෆොටෝස් ටික පැය විසි හතරක් වත් ෂෙනාර්‍යාගේ එකවුන්ට් එකේ තිබ්බේ නෑ. ෂෙනාර්‍යාගේ එකවුන්ට් එක පිටින්ම සස්පෙන්ඩ් වුණානේ. ඒකත් දකින්න ඇතිනේ ?”
” හරි ලොකු වැඩේ.. කෙල්ලෙක් තමන්ව කිස් කරනකන්ම දන්නෑ. ඇහුවොත් සියත්‍ර රන්දෙණිගල.. ඔලුවක් උස්සලා මනුස්සයෙක් දිහා බලන්නෑ එච්චරට ලොකු කම. ඒ උනාට කෙල්ලෙක් කිස් කරනකන් දන්නෑ. අපි ඉතිං දන්නේ ෆොටෝස් වල තිබ්බ ඒවා විතරනේ. තව තව මොනා උනාද කියලා කවුද දන්නේ ? මොනවා උනත් හැබැයි ශෝක් උත්තරේ.. අඤී.. මං ශිහියෙන් නෙමෙයි හිචියේ… අනා.. චූචි බබා… සිහිය නැති වෙලා කෝමා එකක වෙන්නැති හිටියේ…”
” එනවා මං සිහිය නැති කරලා පෙන්නන්න “
මුහුණ ඒ මේ අත හරවමින් , දෑස සිහින් කරමින් , තොල් පට උල් කරමින් තමාට සමච්චල් කරමින් සිටි ඇගේ බඳින් අල්ලා තමා වෙතට තද කර ගත් ඔහු සෙළවීමට පවා නොහැකි වන ආකාරයට ඇයව තදින් තුරුළු කර ගත්තේය.


