ඔලියැන්ඩර් – 68

0
1202
oleander Flower

” දැන් ඕකට මොකද කරන්නේ ? “

” පොල් එක්ක මික්ස් කරලා පිට්ටු ටිකක් හදමු “

පහන්‍යා දෙබැම ඔසවා යළිත් යුවතිය දෙස බැලුවාය. 

” මං ලඟ පිට්ටු බම්බු නෑ ළමයෝ.. “

” පිට්ටු හදන්න පිට්ටු බම්බුම ඕනෙ නෑ අනේ. අපි අර ෆොයිල් කප්ස් වලට දාලා ස්ටීම් කරමු. “

” මේ කිරිබත් ටික මදිද ඉතිං ? මල්ලි කියන එක හරියටම හරි . ඔයා නම් හරිම හිතුවක්කාරයි . “

පෙර දින රැයේ තමා අසල නිදා උන් යුවතිය යහන අසල නොමැති බව දැක පහත මහලේ මුළුතැන්ගෙය දෙසට පැමිණි සියත්‍ර එහි සිටි ඇගේත් , වැඩිමල් සහෝදරියගේත් කතාබස් නිහඬව අසමින් මුළුතැන්ගෙහි දොර අසල සෘජු කයින් දෑතම පපුවට බැඳ නිහඬව බලා සිටි අතර ඔහු දුටු සඳැස්වි වරදක් කර හසුවූ අයෙකු මෙන් සිහින් කර ගත් දෑසින් ඔහු දෙස බලා සිනාසුණාය.

” මේ.. මල්ලි.. ! මේ කෙල්ල මහ යස්ස කෙල්ලෙක් මල්ලි . කියන කිසි දෙයක් අහන්නෑ. “

පහන්‍යා පැමිණ සිටි මළණුවන් දෙස බලා නෝක්කාඩු පැවසූ අතර ඔහු සෙමින් සෙමින් හිඳ උන් තැනින් තරුණියන් දෙදෙනා අසලට පැමිණියේය. 

” දැන්ම තේකක් බොනවද ? කාලා බොනවද ? මේ ඔයාගේ හිතුවක්කාරි උදෙන්ම කිරිබත් හදලා , දැන් පිට්ටුත් හදනවා “

” පස්සේ බොමු “

එසේ පැවසූ ඔහු නිහඬව යුවතිය දෙස බැලූ අතර ඈ කතාබහ අතරේම සැකසූ පිට්ටු මිශ්‍රණය බඳුන් තුළ බහා පිසින්නට සූදානම් කරමින් සිටියාය. 

” ඔයා උදෙන්ම යනවද මල්ලි ?” 

” ම්ම්.. නමයට මීට්න් එකක් . ඔයා අද ඩොක්ටර් ලඟට යන්න ඕනේ නේද ?” 

” ආ.. ඔව්. හවස හතරට . “

පහන්‍යා සමඟ කතා කරමින් සිටි ඔහුගේ හැඳ සිටි කළු පැහැ අත් රහිත බැනියමේ පහළ කොනකින් සෙමින් අල්ලා සිටි ඈ දෙස බැල්මක් හෙළූ ඔහු දෙබැම ඔසවා ඇයි යනුවෙන් ඉඟි කරමින් ඇසුවේය. 

” උදෙන්ම යන්නැතුව ටිකක් දවල් වෙලා යන්න බෑ ?” 

ඇසෙන නෑසෙන ගාණට ඇගේ මුවින් එම ප්‍රශ්නය පිට වුණිද එය හොඳින්ම ඇසුණු පහන්‍යා මුව පුරා සිනහවක් මවමින් තම දෑත සෝදා ගෙන නැවත හැරුණාය. 

” බඩගිනියි. මං වොශ් එකක් දාන් එන්නං “

එසේ පැවසූ ඈ මුළුතැන්ගෙයින් නික්ම ගිය අතර කඩවසම් දේහදාරියා සිහින් කර ගත් දෙනෙතින් තවමත් තම බැනියමේ කොනක් අල්ලාගෙන අදිමින් සිටි කුඩා යුවතිය දෙසට හැරුණේය. 

” බෑ..” 

ඔහුගේ එම ගොරහැඬි පිළිතුරට හිස ඔසවා බැලූ ඈ තම මුහුණ බෙරි කර ගත්තාය. 

” මට හොරෙන් කාමරෙන් ඇවිත් තිබ්බේ ?”

” ඉතිං ඔයා නිදාගෙනනේ හිටියේ “

ඈ නැවත වතාවක් කෙඳිරිලි හඬින් පිළිතුරු බැන්ඳාය. 

” හිටියොත් මොනාද දෙන්නේ ?” 

” ආ.?” 

ඈ එවර තිගැස්සී ඔහු වෙත මුහුණ ඔසවා යළිත් වතාවක් මුහුණ ඇඹුල් කර ගත්තාය. 

” අනේ.. ! දොළහා වෙනකන් වගේවත් ඉන්න බැරිද ? මාත් ඒ වෙද්දි යන්න ඕනේ. “

” දොළහට ලෙක්චර්ස් ද ?” 

” ම්ම්.. නෑ.. අද ලෙක්චර්ස් නෑ. කැෆේ එකට යන්න ඕනේ. “

ඈ දිගටම ඔහුගේ බැනියමෙහි කොන අල්ලමින් බිමට බර කරගත් උවනින් පැවසු බැවින් එකවර රාක්ෂ ස්වරූපයක් ගත් ඔහුගේ මුහුණ ඈ නුදුටුවාය.

” කොහෙ යන්නද ?” 

ගොරහැඬි ස්වරයට තිගැස්සුණු ඈ නැවත හිස ඔසවා ඔහු දෙස බැලූ අතර එකී උවනේ ඇති කෝපාවිශ්ට බැල්ම හමුවේ තව දුරටත් කලබල වූවාය.

” ඇයි..?” 

” කොහෙ යන්නද කියලා ඇහුවේ ?” 

” කැ.. කැෆේ එකට “

බයාදු බැල්මකින් හා ඔහුගේ රකුසු උවනට බිය වීමෙන් පැටළෙන වචන මතින් වුවද ඈ ඔහුගේ පැනයට පිළිතුරු දුන්නාය. 

” ආයේ ඔය එක එකාගේ ගුබ්බෑයම් අස්සේ රිංගන්න තියාගන්න එපා. “

රත් වූ දෙනෙත මෙන්ම ගිනි පුළිඟු වැනි වදන් වලින්ද තව තවත් බියට පත් වූ ඈ පෙර බයාදු බැල්මෙන්ම ඔහු දෙස මඳ වේලාවක් බලා සිටියාය. 

” සර්.. ! මං.. “

” වචනයක් කතා කරන්න එපා. ඇයි මං හම්බ කරන තරම ඔයාට මදි වෙලාද ?” 

” අනේ.. සර් . එහෙම එකක් නෙමෙයි . මං .. කොහොමද ඔයාගෙන්..” 

” ඇයි මගෙන් ගන්න එක මදිකමක්ද ?” 

වහා ඇගේ කතාව මැදින් පැන එයට බාධා කළ ඔහු තව දුරටත් ඈ වෙත ගිනිළන බැල්මක් හෙළුවේය. 

” අනේ.. දෙයියනේ.. ! එහෙම දේකට කිව්වා නෙමෙයි සර්. ඔයා මට RD එකට එන එකත් එපා කිව්වානේ ඒකයි මං වෙන තැනක ජොබ් එකක් හොයාගත්තේ. මං.. මං.. ගෙදර ගැනත් බලන්න ඕනේ සර්. “

ඇගේ ස්වරය බොහෝ සේ මන්ද වී තිබූ අතර එය වෙව්ලීමටද පටන් ගෙන තිබිණි. කෝපාවිශ්ට බැල්මෙන්  බොහෝ දුරට මිඳුණු ඔහු ඇගේ නිකටින් ඔසවා තමා දෙසට අහිංසක උවන ඔසවා ගත්තේය. 

” ඔයාවයි , අම්මවයි , නංගිවයි මට බලාගන්න බැරිද සඳ .. ? එච්චර දෙයක්වත් මට කරගන්න බෑ කියලද හිතන් ඉන්නේ ? නැත්තන් මට එහෙමටවත් ඔයා ගැන අයිතියක් නැද්ද ?” 

” අනේ.. ! අනේ.. ! බනින්න නම් එපා. මෙච්චර කල් හිතින් විඳෙව්වා හොඳටම ඇති. තව නම් බෑ. “

කඳුළු බේරෙන කොපුල් පිසදා ගත් ඈ ආයාචනාත්මක ස්වරයෙන් පැවසූ අතර ඇගේ බඳට ඉහළින් දෑතින්ම අල්ලා ඈ ඔසවා පැන්ට්‍රිය මත බලෙන්ම ඉන්දවූ ඔහු ක්ෂණිකව ඇගේ උවනට බර විය. 

” බනින්න ? බනින්න නෙමෙයි හපලා ගිලිනවා ආයේ රස්සාවල් හොයාගෙන ගියොත් එහෙම. මහ ලොකු කැෆේ එක. එක විනාඩියයි යන්නේ මට ඒක මගේ කර ගන්න. අච්චර නිදහසේ ඉන්න පුලුවන් විදිහට ශාක්‍යාගේ ඇනෙක්ස් එක අරන් දීලා තිබ්බම ඒකත් එපා කියලා  පිස්සු හැදිච්ච ගෑනියෙක් ඉන්න බෝඩිමකට ගියා. ඒ ගෑනිගේ පුතාත් බීගෙන සමහර දවස්වලට ඇවිල්ලා කෑගහලා යනවා නේද ? අනික දවල්ට ගෙදර කවුරුත් නැති වෙලාවට ඒ ගෑනි මිනිහෙකුත් ගෙන්නගන්නවා ගෙදරට. තියන ලොකුකමට ගියා බෝඩිම් හොයාගෙන. අන්තිමට කොහෙවත් නැති ගේකට දෙගුණයක් සල්ලි දීලා මෙයාගේ සේෆ්ටි එකට මට ඒක ගන්නම උනා. ඔය කැෆේ එකටත් වෙන්නේ එච්චරයි හොඳේ. ඔය වගේ හුණ්ඩුවක් මට වැඩක් නෑ. හැබැයි කියන දේ නාහා ආයේ එතනට ගියොත් ඒකත් මංම අරන් වහලම දානවා සඳහටම. “

දෙබැම ඉහලට ඔසවා විසල් කරගත් දෙනෙතින් හා විශ්මයානුකුල හැඟීම් පිරි උවනින් ඔහු දෙස බලා සිටි ඈ පැවසීමට වදන් නොමැතිව ගල් ගැසී සිටියාය. 

” ෆෝන් එක රිංග් වෙනවා. ඇහෙන්නැද්ද ?” 

තුෂ්නිම්භූතව ඔහුගේ රකුසු උවන මතම ගල් ගැසී සිටි ඇය නැවත වතාවක් එකී ගොරහැඬි කටහඬ හමුවේම කල්පනාවෙන් මිඳුණාය. 

” අම්මා..” 

දුරකතනය දෙසත් ඔහු දෙසත් බලා එසේ පැවසූ ඈ විගසින් ඇමතුමට සම්බන්ධ වූවාය. 

” හෙලෝ අම්මේ..!” 

” සුද්දියේ…!” 

ඈ සමීපයටම මුහුණ ළං කර සිටි ඔහුටද අනෙක් පසින් මවගේ කටහඬ ඇසී ඔහු මුවඟ සිහින් සිනහවක් ඇඳී ගියේය. 

” සුද්දියේ මේ.. නංගිගේ පන්ති සල්ලි ගන්න කියලා මං බැංකුවට ආවා. මේ නෝනලා කියනවනේ පොතට සල්ලි ගොඩක් වැටිලා කියලා. “

” ආ.. ? අම්මා.. මං චූටිගේ පන්ති සල්ලි එක්දාස් පන්සීයක් එකවුන්ට් එකට දැම්මා. ඊයේ දැම්මේ. මො.. මොකද්ද දැන් වෙලා තියෙන්නේ ? ඒ සල්ලි ගන්න බැරිද ?”

” නෑ.. නෑ.. දරුවෝ.. මේ නෝනලා කියනවා පොතට ලස්ස දහයක්ම වැටිලා කියලා. ” 

යළිත් වරක් විසල් කරගත් දෑසින් තමා ඉදිරියේ උන් දේහදාරියා දෙස පැන්ට්‍රිය මත හිඳි අයුරින්ම හිඳිමින්ම බැලුවද ඔහුගේ දෙනෙත ඉවතකට යොමු වී තිබුණේය. එකී දෑසේ සැඟවීම හොඳින්ම හඳුනාගත් තරුණිය ඔහු වෙත තරවටු බැල්මක් හෙළා යළි ඇමතුමට සම්බන්ධ වූවාය. 

” අම්මා..! මං ඔෆිස් එකෙන් ලෝන් එකක් ගත්තා. ඒක වෙන්නැති ඒ. “

” ආ.. එහෙමද. හා. සුද්දියේ. මං තියන්නම් එහෙනම්. තුණුරුවන්ගෙම සරණයි මැණිකේ..”

” තුණුරුවන් සරණයි අම්මා..!” 

ඇමතුම විසන්ධි කර දැමූ ඈ තරවටු බැල්මෙන් ඔහු දෙස බැලුවාය.

” ඇයි එහෙම කළේ ?” 

මෙතෙක් වේලා ඔහු අසල බැගෑපත් වී බිය වී තිබූ කටහඬට නව පණක් ලැබ තිබිණි. 

” මොකද්ද ?” 

” සර්.. ! ඇයි මගෙන් අහන්නැතුව එහෙම දෙයක් කළේ ?” 

පැන්ට්‍රිය මත හිඳ සිටි ඇගේ බඳ වටා අතක් යවා ඈ තම සිරුරට තද කර ගනිමින් ඇගේ කොපුල මතට තම මුව තද කර  ඔහු සෙමින් එය සැපුවේය. 

” දැන් මං කරන ඒවා ඔක්කොම ඔයාගෙන් අහලද කරන්න ඕනේ ? එතකොට ඊයේ රෑ මැඩම් මාව කිස් කළෙත් මගෙන් අහලද ?” 

” අනේහ්..”

විළියෙන් ඇඹරුණු ඈ දෝතින්ම මුහුණ වසා ගත් අතර මඳ සිනහවක් නැඟූ ඔහු තවත් තදින් ඈ තුරුළු කර ගත්තේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here