ඔලියැන්ඩර් – 69

0
4005
oleander Flower

” මං කිව්වා.. මං කිව්වා. කොහෙද මේ මල්ලි වගේම නැතෑ අක්කත්. කියන දෙයක් අහන්නෙම නෑනේ. කොච්චර අහනවද කන්න ආස දෙයක් කියන්න හදලා දෙන්න කියලා. කිසි දෙයක් කියන්නෑ. තියන ලොකුකම කොහෙද යන…”

වෛද්‍ය පරීක්ෂණ සියල්ල නිමවී වෛද්‍යවරයාගේ කුටියෙන් යළි පැමිණ කොරිඩෝව මත නතර වූ සඳැස්වි දිගින් දිගටම පහන්‍යා වෙත නෝක්කාඩු කියමින් උන්නාය. 

” මං කිව්වා.. මං කිව්වා හිමොග්ලොබීන් අඩු ඇති කියලා. දැන් ඩොක්ටර්ම කිව්වනේ. කන්නෙ නෑ.. බොන්නේ නෑ. අඩුම මේ බංඩියේ ඉන්න චූටි පැටියා ගැනවත් හිතන්න එපැයි. “

” අනේ.. මගේ ආච්චියේ .. නතර කරගන්නවද ඕක. අන්න අර මල්ලිට කියන්න අපි ඉවරයි කියලා. “

පහන්‍යා සඳැස්විගේ කොපුලක් මිරිකා පැවසුවාය. 

” මැසේජ් එකක් දැම්මා. විනාඩි 10ක් 15 ක් යයිලු එන්න. “

” පහන්‍යා …!” 

ලඟින්ම ඇසුණු පිරිමි ස්වරයට ගැස්සුණු පහන්‍යා තමා පසුපස සිටි පිරිමි රුව දැක මඳ වේලාවක් පුදුමයෙන් ඔහු දෙස බලා සිටියාය. 

” ඉන්දීවර..!” 

” ඩොක්ටර් ලඟට ආවද ?” 

” ඔව්. ඔයා ?” 

” යාලුවෙක් ඇක්සිඩන්ට් වෙලා නතර කරලා ඉන්නවා. එයාව බලන්න ආවා. අහම්බෙන් ඔයාව දැක්කේ. “

” අක්කේ.. මං ෆාමසි එකෙන් විටමින් ටික අරන් එන්නම්. “

පහන්‍යා කිසිවක් කීමට පෙරම සඳැස්වි එසේ පවසා ඉන්දීවර වෙත සුහද සිනහවක් පා ඉවතට ඇවිද ගියාය. 

” එක්ස්කියුස් මී මැඩම්. මැඩම්ගේ ෆයිල් එක. “

වෛද්‍යවරයාගේ කාමරයේ සිට පිටතට පැමිණි හෙදියක් පහන්‍යාගේ වෛද්‍ය වාර්ථා අඩංගු ලිපි ගොනුව ඈ වෙතට දිගු කර ඉන්දීවර දෙස බැලුවාය. 

” මැඩම්ගේ කෑම ගැනනං බලන්න වෙයි සර්. හිමොග්ලොබීන් හොඳටම අඩු වෙලා. අමාරු උනත් කාලා බීලා ඉන්න වෙනවා. ඩොක්ටර් මේ පාර ගන්න තියන විටමින් ජාති ටිකත් වැඩි කළා. “

එක දිගට ඉන්දීවර දෙස බලා පැවසූ ඈ පහන්‍යාගේ මුව ලැජ්ජාවෙන්ද  , කෝපයෙන්ද පිරී යද්දී යළි හැරී වෛද්‍යවරයාගේ කාමරය තුළට ගියාය. 

” අනේ.. සොරි ඉන්දීවර.. මේ මනුස්සයට පිස්සුද මන්දන්නෑ..”

” ඒකට කමක් නෑ. අපි ටිකක් වාඩි වෙමුද ?” 

රෝහලේ එක් පසෙක තිබූ පුටු කිහිපයක් දෙසට අත දිගු කළ ඉන්දීවර එසේ පැවසූ අතර පහන්‍යා නිහඬවම ගොස් ඔහු පෙන්වූ පුටුවකට බර වූවාය. 

” දැන් මාස කීයද ?” 

” හයයි. “

පහන්‍යා අසලින් පුටුවකට බර වූ ඉන්දීවර ඇගේ කුස දෙස යන්තමින් බලා විමසූ අතර ඈ ඔහු දෙස නොබලාම පිළිතුරු බැන්ඳේය.

” දුවෙක්ද පුතෙක්ද කියලා දන්නවද ?” 

” දුවෙක්.. “

” ශෝක්නේ…  ඔයා වගේ ලස්සනට ඉඳී. “

ඔහු එවර මඳ සිනහවක් නඟා එසේ පවසා ඉවත බලා ගත් අතර නාඳුනන සියුම් වේදනාවකින් හිත බර වූ පහන්‍යා ඔහු දෙස යටැසින් බැලුවාය. 

” ඉන්දීවර ඇයි තමා මැරි කළේ නැත්තේ ?” 

” තාම හරියන කෙනෙක් හම්බුණේ නෑ. “

ඔහුගේ පිළිතුරට මඳ සිනහවක් නැඟූ ඈ එවර ඔහු දෙස එක එල්ලේ බැලූ අතර ඈ වෙත සිනහවක් පෑ ඔහු නැවත ඉවත බලා ගත්තේය. 

” මොකද්ද අර නර්ස් කිව්වේ ? කන්නෙ බොන්නේ නැත්තේ ඇයි ?” 

” කන්න බොන්න හරි අමාරුයි ඉන්දීවර. “

ඈ එසේ පවසා මුහුණ බිමට බර කර ගත් අතර එවර ඔහු එක එල්ලේ ඈ දෙස බලා සිටියේය. 

” හස්බන්ඩ් ?” 

” මේ දවස්වල චයිනා වල ඉන්නේ. “

” ඔයා ලඟ ඉන්න ඕන කාලෙනේ ?” 

” බිස්නස් වලට ගිහින් ඉන්දීවර. දරුවා ලැබෙන්න ඉන්නවා කියලා දැනගන්නකොටත් එයා මෙහෙ නෑ “

බිමට බර වූ උවනින් විසල් සුසුමක් හෙළී ගිය අතර එකී උවන වෙත විතැන් වූ පිරිමි දෑස දිගටම ඈ දෙසට නතු වී තිබුණේය. 

” දැන් එතකොට මෙහෙ ඉන්නේ ? අම්මත් නෑනේ මේ දවස්වල ලංකාවේ ?” 

” ගෙදර වැඩට උදව්වට ගෑනු කෙනෙක් ඉන්නවා. මල්ලිත් පුළුවන් වෙලාවට එනවා. අර දැන් ඉඳලා ගියේ මල්ලිගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් . එයා තමයි ආච්චියෙක් වගේ සැර දදා මට කෑම ටික හරි කන්න දෙන්නේ. “

” මට ඇහුණා. ඒ සද්දෙට තමයි මං බැලුවේ කවුද කියලා ” 

එවර සිනහවක් ඇඳුණු ස්ත්‍රී උවන ඔහු වෙතට නතු වූ අතර ඔහුගේ මුව මතද ළා හසරැල්ලක් ඇඳී තිබුණේය. 

” හරි චූටි ගර්ල් කෙනෙක්. සියත්‍රගේ චොයිස් එක හරි පුදුමයි “

” ම්ම්ම්.. අපේ එකාට වැඩිය ගොඩාක් බාලයි. තාම කැම්පස් එකේ . ඇඟෙන් චූටි උනාට වැඩ වලින්නම් චූටි නෑ. කටේ සද්දේ වගේම තමයි “

පහන්‍යා  එසේ පවසා චිරිස් හඬින් සිනාසුණු අතර ඉන්දීවරද පෙරට වඩා සිනහවක් නැඟුවේය . 

පහන්‍යා හට අවශ්‍ය විටමින් සියල්ල රැගෙන පිටතට පැමිණි සඳැස්වි කොරිඩෝව දිගෙහි ඇවිද එන කඩවසම් තරුණයා දැක ඉක්මන් ගමනින් ඔහු වෙතට දිව ගියාය. 

” කොහෙද දුවන්නේ ?” 

” දිව ගොස් ඔහුගේ බාහුවේ එල්ලුණු ඇගේ මුව වෙත දෙස මාන්නක්කාරයා දෙබැම ඔසවා ප්‍රශ්න කළේය. 

” අක්කගේ විටමින් ටික ගන්න ගියා. “

” හ්ම්ම්ම්…”

” සර්…! අක්කව බලාගන්න කිව්වා. ඩොක්ටර් කෙලින්ම ඇහුවා මොනාහරි ප්‍රශ්න වලද ඉන්නේ කියලා. ?” 

කිසිවක් නොපැවසූ ඔහු නිහඬවම ඉදිරියට පා තැබුවා විනා ඇගේ කතාවට පිළිතුරු නුදුන්නේය. 

” අර යකා මොකෝ මෙතන ?” 

ඈතදීම පහන්‍යා හා කතා බස් කරමින් උන් ඉන්දීවර දුටු සියත්‍ර තනිවම ප්‍රශ්න කළ අතර යුවතිය මඳක් චකිතයෙන් හිස ඔසවා ඔහු දෙස බැලුවාය .

” සියත්‍ර ..!” 

දේහදාරියා දුටු ඉන්දීවර හිඳ උන් අසුනෙන් නැඟී සිටි අතර පහන්‍යාද නිහඬවම තමා උන් අසුනෙන් නැඟී සිටියාය. 

” ඉන්දීවර මොකෝ මෙහේ..?” 

” යාලුවෙක් ඇක්සිඩන්ට් වෙලා ඇඩ්මිට් කරලා ඉන්නවා. මං අහම්බෙන් පහන්‍යාව දැක්කේ. “

” ආ..”

” ඉන්දීවර..! මේ සඳැස්වි ..” 

” හෙලෝ..!” 

පහන්‍යාගේ හඬින් සඳැස්වි දෙස බැලූ ඉන්දීවර වහා ඈ වෙතට අත දිගු කළ අතර ඈ ද පෙරළා ඔහුට අතට අත දුන්නාය. 

********************************************

” සඳා..! සඳා..!” 

ග්‍රහලෝකාගාරය අසල රථ ගාල වෙත වේගයෙන් ඇවිද යමින් සිටි තරුණිය පසුපසින් ඇසුණු පිරිමි කටහඬ හමුවේ ගමන නතර කර හැරී බැලුවාය.

” සයුල් ..!” 

” ඔයා ගෙදර යන්නද ?” 

” ඔව් සයුල් ” 

” ටිකක් කතා කරන්න ඕනේ සඳා.. “

” මේ වෙලාවෙ නං අමාරුයි සයුල්. මං ඉක්මනට යන්න ඕනෙ. “

” ඇයි සියත්‍ර රන්දෙණිගල බලන් ඉන්නවද ?” 

සිත මඳක් තිගැස්සුණිද ඒ බව නොපෙන්වූ ඈ එක එල්ලේ ඔහු දෙස බැලුවාය .

” ඔව් සයුල් , එයා මාව ගන්න ඇවිත් බලන් ඉන්නවා. “

” සියත්‍ර රන්දෙණිගල කියන්නේ හිරේ ගිය මිනිහෙක් සඳා “

” නොකරපු වරදකට “

සයුල්ගේ අපහාසාත්මක කතාවට තවත් ධෛර්‍ය්යට පත් ඈ සෙමින් නමුදු තදින් පිළිතුරු බැන්ඳාය. 

” ඇයි.. ? ඇයි ඌට කැමති උනේ ? සල්ලි නිසාද ? “

” සයුල්.. ඒක තමුන්ට අදාල නෑ. ඔයාගේ අයියා සම්බන්ධ සිද්ධියට උනත් සියත්‍ර සර් වත් , RD එකවත් සම්බන්ධයි කියලා තාම ඔප්පු වෙලා නෑනේ ? ඒ නිසා අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්නෙපා. “

” රවිහාන්ගේ සිද්ධියෙදි සියත්‍ර නිදහස් උනේ හැම වරදක්ම හිටපු සුපර්වයිසර්ට පටවලා. ඒ සුපර්වයිසර් රංජිත් සෝමතිලක කියන්න මං දන්නවා. මෙතන වෙන්න පුලුවන් කාරණා දෙකයි සඳා , එකක් ඇත්තටම සියත්‍රගෙන් ආපු සල්ලි ඔයාගේ තාත්තා හොරකම් කළා. නැත්තන් ඔයාගේ තාත්තට ඒ සල්ලි පාස් වෙච්ච ගමන් ආපහු රන්දෙණිගලලා ඒක අරන් කවදාහරි දවසක ඔයාගේ තාත්තගෙ පැත්තට වැරැද්ද හිටින්න ඔක්කොම ඩොකියුමන්ට්ස් හදලා ඔයාගේ තාත්තව මරලා දැම්මා. “

හදවතේ උපන් කෝපය ආයාසයෙන් දරා ගත් ඈ මොහොතක් නිහඬව උන්නාය.

” තුන් වෙනි කාරණේකුත් තියනවනේ සයුල්. තාත්තට පාස් වෙච්ච සල්ලි ටික වෙන කවුරුහරි හොරකම් කළා වෙන්න බැරිද ?” 

තරුණිය දෙස බැලූ ඔහු සමච්චල් සිනහවක් නැඟුවේය. 

” ඔයා රැවටිලා සඳා. නොදැන රැවටිලාද , දැන දැනම රැවටිලාද කියලා මට හිතාගන්න බෑ. මං හිතන් හිටියේ ඔයා දුර ඈත ගමකින් ඇවිල්ලා ඉගෙනගන්න ගමන් ජොබ් එකකුත් කරගෙන පට්ට ගේමක් ගහන ෆස්ට් ඉයර් එකේ ඉන්න ලස්සනම කෙල්ල කියලා. මට දුකයි . ඇත්තටම මට දුකයි. මොකද ඒ ලස්සන චූටි කෙල්ලට මං ආදරේ කළා. හදවතින්ම ආදරේ කළා. හැබැයි මං හිතුවේ නෑ සල්ලි ඉස්සරහා ඒ කෙල්ල මේ තරම් පාතට වැටෙයි කියලා. මට දැන් ඔයා ගැන චී කියලා හිතෙනවා සඳැස්වි. .”

වේව්ලන දෑසින් ඔහු දෙස බලා සිටි ඈ කිසිවක්ම නොපවසා වේගයෙන් රථ ගාල වෙත දිව ගියාය. 

” සීයට පහළවක් කොහොමටවත් බෑ. සීයට විස්සට ඕකේ නං ඩීල් එක ක්ලෝස් කරන්න පුලුවන් . අනික..”

වේගයෙන් දිව  ආ තරුණිය මෝටර් රථයට ගොඩ වී  ඇමතුමක සිටි ඔහුට තදින් තුරුළු වී එකී විසල් පපුතුරෙහි හිස ඔබා ගත්තාය . ක්ෂණිකව ඇගේ වෙනස වටහා ගත් ඔහු ඇමතුම විසන්ධි කර දමා ඈ වෙතට පහත් වූයේය. 

” සඳ..! මොකද්ද ප්‍රශ්නේ ? “

” මුකුත් නෑ.. “

” එහෙනං මෙච්චර ගැහෙන්නේ ?” 

” දුවගෙන ආවේ ඒකයි “

කුඩා යුවතියගේ හෘදස්පන්දන රිද්මයේ වෙනස පවා හොඳින් තේරුම් ගත් ඔහු නැවතත් ප්‍රශ්න කළ අතර ඇගේ පිළිතුර බාර ගැනීමට ඔහුගේ සිත කොහෙත්ම නැමුණේ නැත. 

පදික වේදිකාව දිගෙහි ඇවිද ආ සයුල් මෝටර් රථය දෙසට දෑස විතැන් කරමින්ම පාරේ අනෙක් පසට ගමන් කළ අතර ඔහු නුදුටුවද මෝටර් රථය තුළ තිබූ ගැඹුරු දෑස සූක්ෂම ලෙස ඔහු වෙතට යොමුවී තිබුණේය.

” මූ මොකාටද ඒ පාර එන්න හදන්නේ ? විහින් නැහෙන වැඩ කරලා අයියා ලඟටම යන්න ලෑස්ති වෙන්න එපා පොඩි එකෝ.. “

යටි සිතින් එසේ සිතූ දේහදාරියා තමාට තුරුළුව උවන සඟවා සිටින කුඩා යුවතියගේ හිස සෙමින් පිරි මැද්දේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here