” If you are my mother, then just act like my mother. Don’t try to control me and lose the respect I have for you.”
( ඔයා මගේ අම්මා නම් අම්මගේ තැනේ විතරක් ඉන්න. මාව පාලනය කරන්න හදන්න ඇවිල්ලා තමුන්ට තියන තැන නැති කර ගන්නෙපා ) .”
නැවත වතාවක් ගැඹුරු හඬ ඈ දෙසට විතැන් වූ බැල්ම මොහොතකට හෝ වෙනතකට යොමු නොකර එසේ පැවසුවේය.
” කතා කරන්න ඉගෙනගනින් සියත්‍ර. මං ආයේ ආයේ උඹට කියන්නෑ. උඹ ඔය කකුල් දෙකෙන් හිට ගෙන ඉන්නේ උඹේ අම්මායි , තාත්තයි නිසා. RD එක නිසා. ඒ හැමදේම මේ විදිහට පැත්තකට දානවා කියන්නේ උඹ නැත්තටම නැති වෙනවා කියන එකයි. මේ අම්මා අද මේ කතාව කිව්වා කියලා හොඳට මතක තියාගනින් සියත්‍ර..”
නැවත වතාවක් උත්පලාගේ කටහඬ කෝපයෙන් පහන්‍යාගේ නිවසේ රැව් දුන්නද එවර තේජවන්ත තරුණයාගේ මුව මඳ සමච්චල් සිනහවක් පැතිර ගියේය.
” RD එක ? බංකොළොත් වෙන්න අඩියටම වැටිලා තියෙද්දි මාව මපට් කෙනෙක් කරගෙන මගෙන්ම ගොඩ දා ගත්තු RD එක ගැනද ඔය කියන්නේ ? තමුන් හිතන් ඉන්නේ මට තියෙන්නේ ඔය RD එක විතරයි කියලද ? එතකොට ඩයමන්ඩ් හොටෙල් ගෲප් එක කාගෙද ? වෙන කාගෙ හරිද ? ඒකත් එක්ක බලද්දි මට ඔය RD එක පොඩි හුණ්ඩුවක් විතරයි. හැදුවා වගේම ඕක බිමට සමතලා කරලා දාන්නත් මහ ලොකු දවසක් යන්නෑ “
” සි…සියත්‍ර..! ඔ.. ඔයා ඔය කතා කරන්නේ ආන්ටිට ..”
මෙතෙක් වේලා නිහඬව මවත් , පුත්‍රයාත් අතර ඇවිළුණු යුද්ධය දෙස මාරුවෙන් මාරුවට බලා උන් ෂෙනාර්‍යා වහා කතාව අතරමැදට පැන්නාය. සියත්‍රගේත් , තමාගේත් විවාහයෙන් පසුව RD හී දේවනාරායන කුටුම්භයේ ආධිපත්‍යය පතුරවමින් දිනෙන් දින දියුණු වෙමින් පවතින ව්‍යාපාරයට තමන්ද ඇතුළත් විය යුතු බවට පියා සමඟ සිදු කළ සියළු සැලසුම් මවගේත් , පුත්‍රයාගේත් මේ සීතල යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස විනාශ වී යා හැකි බව වටහා ගත් ඈ තව දුරටත් නිහඬව සිටීම උචිත නොවන බව වටහා ගනිමින් ඉදිරියට අඩි තැබුවාය.
” ඔ.. ඔයා සියත්‍ර.. මොනවද මේ කරන්නේ ? මේ ඉන්නේ ඔයාගේ අම්මා. ඔයා මේ හැමදේම විනාශ කරන්නද හදන්නේ ? කවුරු නිසාද ? මේ .. මේ .. කෙල්ල නිසාද ? “
ෂෙනාර්‍යා වහා සඳැස්වි දෙසට අත දිගු කළ අතර එවර ගැඹුරු දෑස වහා ඈ මත පතිත විය. සඳැස්වි දෙස බලා නැවතත් ඔහු දෙස බලන සැණින් තමා වෙත විතැන්වී තිබූ එකී පුරුෂ බැල්මේ කෝපය සිව් දෙසින් හදවතටම වැදුණු ෂෙනාර්‍යා එකී උවන දෙස කෙලින් බැලීමට හැකියාවක් නොමැතිව වහා බිම බලා ගත්තාය.
” තමුන්ට අදාල නැති දේවල් වලට පනින්නේ නැතුව කට පරිස්සම් කරගෙන ඉන්නවා. නැත්තන් මං තවත් ඉස්සරහට කතා කරන්න ඔය මූණට කටක් ඉතුරු කරන්නෑ. “
තර්ජනය සියුම් ය. එහි කිසිදු උච්ච ස්වරයක් හෝ කෑගැසීමක් නැත . නමුදු එකී සියුම් ස්වරය ෂෙනාර්‍යාගේ මුළු සිරුරම භීතියෙන් තෙත් කළ අතර ඈ ගැහෙන දෑතින් උත්පලාගේ අතකින් අල්ලා ගත්තාය.
සෙමින් හිස හරවා තමා පසුපස සිටි කුඩා යුවතියගේ අතින් අල්ලා ගත් ඔහු කිසිවෙකු දෙස හෝ බැල්මක් නොහෙළා තරප්පු පෙළ නඟිමින් ඉහල මහලට ගමන් කළේය. තව දුරටත් පුත්‍ර රත්නය වෙත තමා යොදා සිටි බලය ක්‍රියාත්මක නොවන බව වටහා ගත් උත්පලා කෝපයෙන් පීඩිතව ඉහල පහල යන දෙවුරින් පහන්‍යා දෙසට හැරුණාය.
” උඹ මොකද්ද මේ කරන ලැජ්ජ නැති වැඩේ. ? අනුජ් ගෙදර නැති වෙලාවේ කොහෙවත් යන එකියක් ගේ අස්සේ දාගෙන එක එකාට ඕන විදිහට නටන්න උඹට ලැජ්ජ නැද්ද ? අනුජ් දැනගත්තොත් උඹව මේ ගෙදරිනුත් ගහලා පන්නයි “
උත්පලාගේ කෝප සහගත ප්‍රකාශය හමුවේ ඈ වෙත සමච්චල් බැල්මක් හෙළූ පහන්‍යා මව දෙසත් තරප්පු පෙළ දෙසත් බලා දෑතම පපුවට බැඳ ගත්තාය.
” අම්මා..! පළවෙනි කාරණේ ඒ කෙල්ල කොහෙවත් යන එකියක් නෙමෙයි. අච්චර කරදරයක් වෙච්ච වෙලාවේ අම්මා තාත්තාත් අතෑරලා දාපු මල්ලිට ගෙදර එන්න පුලුවන් උනේ ඒ කෙල්ල නිසා. දෙවෙනි කාරණේ අනුජ්. මේ ගෙදරට මට ඕන , මං කැමති කෙනෙක්ව ගෙන්නනවා. මොකද මේ ගේ මගේ. අනුජ්ගේ නෙමෙයි. මේ ගේ මගේ මල්ලි මගේ වෙඩින් ගිෆ්ට් එක විදිහට මට අරන් දුන්නු ගේ. අම්මට අමතකද ? ඉතිං එයා කොහොමද මාව එළියට දාන්නේ. ? මල්ලි එයාට කැමති කෙනා එක්ක දවසක් දෙකක් නෙමෙයි මුළු ජීවිත කාලෙම හරි මේ ගෙදර හිටියත් ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි. “
” මං උඹ ගැනත් බලා ගන්නම් “
පහන්‍යාගේ දැඩි කතා ස්වරූපයට ඈ වෙතද තම කෝපය විහිදුවා ලූ උත්පලා වහා හැරී ෂෙනාර්‍යා සමඟ පිටතට බැස්සාය.
තරප්පු පෙළ නැඟවිත් නිදන කාමරය තුළට ඇවිද ගිය දේහදාරී තරුණයා තමා හැඳ සිටි උඩු කමිසයත් , යටි කමිසයත් ගලවා පසෙකට දමා නිදන කාමරයේ තිබු මේසයක ලාච්චුවක් හැර යමක් අතට ගෙන එය මිට මොළවා ගනිමින් යළි තමා පසුපස උන් තරුණිය වෙතට හැරුණේය.
” ම්ම්.. සඳ..! මට විනාඩි පහක් දෙන්න “
මිට මොළවා සඟවා ගත් ඔහුගේ අත දෙසත් , තමා දෙසට විතැන් නොවූ ඔහුගේ ගැඹුරු දෑසත් දෙස මාරුවෙන් මාරුවට බැලූ තරුණිය තම දෑත මත තිබූ ඔහුගේ බඩු භාහිරාදිය පසෙකින් තබා ඔහු වෙතට අඩි තැබුවාය.
” ඇයි ?”
” අහන්නකෝ සඳ.. මට විනාඩි පහක් දෙන්න. මං ඔයාට ආයේ කතා කරන්නම් “
පසුපසට කර ගත් අත එලෙසම තිබියදී අනෙක් අතින් ඇගේ කොපුලක් ඇල්ලූ ඔහු බොහෝ යාප්පුවෙන් ඈ නිදන කාමරයෙන් පිට කිරීමට උත්සාහ දැරුවේය.
” ඔ.. ඔයා මොකද්ද කරන්න හදන්නේ ?”
” මුකුත් කරන්නෑ ළමයෝ.. මට විනාඩි පහක් චුට්ටක් ඉන්න දෙන්නකෝ. “
තමා සඟවනා කාරණය ඈ වටහා ගත් බව දැනීමෙන් ඇගේ මුහුණ දෙස බැලීමට අපොහොසත් වූ ඔහු සෙමින් යහන මත හිඳ ගත් අතර ඈ ක්ෂණිකව ඔහු ඉදිරියේ දණින් වැටුණාය.
” ඒ.. ඒ.. සඳ..! ඇයි මේ..?”
” ඕක කරන්නෙපා..”
ඔහු අසල බිම දණින් වැටුණු ඈ දෝතම එකතු කර හඬමින් ඔහු ඉදිරියේ වැඳ වැටුණාය.
” අනේ.. එපා.. ! ආයේ ආයේ ඔය දේ කරන්නෙපා දෙයියනේ.. ! මං.. මං .. ඉන්නවනේ.. මට ඔයා වෙනුවෙන් මුකුත්ම කරගන්න බෑ. මං කිසිම දෙයක් කරගන්න පුලුවන් කෙල්ලෙක් නෙමෙයි . ඒත්.. කවුරු නැති උනත් , මොනවා නැති උනත් මං ඔයත් එක්ක ඉන්නවනේ . අනේ.. රත්තරනේ.. ආයේ ආයේ ඕක යූස් කරන්න හදන්න එපා. අනේ. මං ඉන්නවනේ සර්.. ”
” මො.. මොනවද මේ කියන්නේ ? කවුද ඔයාට මුකුත්ම කරගන්න බෑ කියලා කිව්වේ ? සඳ.. මං එහෙම දෙයක් ගැන නෙමෙයි කියන්නේ. Please .. give me five minutes . මං ඔයාට කතා කරන්නම් “
” සර්..!”
එක දිගට ඈ දෙස බලා සිටි ගැඹුරු දෑස එවර මඳක් සැළුණේය. සියල්ලෙහිම උරුමය තිබියදී සියල්ල අහිමි වූ කල දැනෙන චිත්ත පීඩාව වචන මතින් තේරුම් කළ නොහැක. කුමන හෝ වේදනාවක්, ගැටලුවක් මත වුවද නොසැලෙන හදවතෙත් , දෑසේත් පිටතට නොපෙනෙන අප්‍රමාණ ශෝකය හොඳින් හඳුනාගත් ඈ ඔහු වෙනුවෙන් තමා හට යා හැකි උපරිම දුරද තරණය කිරීමට සූදානම් වී සිටියාය.
” නැඟිටින්න .. නැඟිටලා එන්න. “
ඇගේ දෙවුරින් අල්ලා ඈව යහන මත වාඩි කරවාගත් ඔහු නැවත වතාවක් ඇගේ මුහුණ දෙස බැලුවේය.
” සඳ..! සමහර වෙලාවල් තියනවා මටත් මාව නැතිවෙන..”
” ඒ හැම වෙලාවෙම මං ඔයත් එක්ක ඉන්නවා. මොනදේ සිද්ධ උනත් , මොනදේ නැති උනත් මං ඔයා එක්ක ඉන්නවා . සර්.. සර්.. මේ අහන්නකෝ. ප්‍රශ්න එනවා. දුක් කරදර එනවා. ඒත් ඒවට මූණ දෙන්න ඔයිට වැඩිය ක්‍රම ඕන තරම් තියනවා. ඔයා.. ඔයා රජෙක් වගේ මනුස්සයෙක් සර්. කවුරුත් ඉස්සරහ උනත් , කිසි කෙනෙක් නැති තැනකදි උනත් ඔයා කඩන් වැටෙන්න නරකයි. නිකන්ම තිබ්බ ෆැක්ට්‍රි එක මෙච්චර දුර අරන් ඇවිල්ලා ඒකට සුපර් මාර්කට් , ෂොපින් මෝල් හැමදේම සම්බන්ධ කරලා මෙච්චර ලොකු බිස්නස් එකක් තනියම හදපු ඔයා මේ වගේ චූටි දේකට තමන්ව පාලනේ කරන්න ඉඩ දෙන්නෙපා සර්. කවුරු නැතත් මං ඉන්නවනේ.. අනේ.. ඒ මදිද ? මං ඔයාට හරි ආදරෙයි දෙයියනේ..!”
මිට මොළවා ගෙන සිටි එන්නත් කටුව පසෙකට විසි කළ ඔහු තමා අසල හිඳ සිටි කුඩා යුවතියව තුරුළු කර ගෙන තදින් දෑස පියා ගත්තේය.


