ගීතාංජලී – 14

0
933

“දූ අද සුරංගනාවියක් හේ ලස්සනයි නෙව”

“ඒක නේන්නම්.කොහෙන්ද අක්කෙ මේ සාරි රෙද්ද හෙම ඇන්න ආවෙ?”

“ඔය අපේ සුදු පුතා සිදාදියෙන් ගෙනෑව එකක් නෙව නංගියෙ.හැබැයි ඉතින් අපේ මෙව් පුංචි නංගි උන්නෙ නැත්තම් රෙද්ද කොයිතරම් ලස්සන උනත් සාරිය මහගන්න නම් ලේසි වෙන්නෙ නෑ”

” ඒක නේන්නම්, හැබෑවටම ලස්සනයි “

අම්මලග්ව් නැන්දලගෙ කතා අස්සෙ මම බලාන උන්නෙ කන්නාඩියෙන් පේන මගේම රූපෙ දිහාව.

කොයිතරම් දේවල් නම් මට මතක් උනාද?

“ගීතාංජලී සුදුපාට ඔසරියට අද හරි හැඩයි”

අලුත් ඉංගිරිසි ඉස්කෝලෙ ගුරුවරියක් එනවය කියල කිව්වට මන් හිතාන උන්නෙ නෑ ඒවිය කියාල.ඒවගේම ගීතාංජලී හේ ලස්සන තරුණ කෙනෙක් ඒවිය කියල”

එදා පන්සල් වත්තෙදි වගේම සුගුනි අන්තරස්දාන වෙච්ච දවසෙ ආසිරි කිව්ව් දේවල් හේම අනිත් සේරමත් මට ආයෙ මතක් උනේ.

“මගෙ හිතේ ගීතාංජලී ගැන මනාපයක් තියනව.මන් දන්නෙ නෑ ගීතාංජලී මන් ගැන කෝම හිතාන ඉන්නවද කියල? ඒඋනාට මන් හිතුව තව පමා නොකරමේ ගැන ගීතාංජලී ට කියන්න ඕනය කියල”

එදා හැබෑවටම ආසිරි එහෙම ඇහැව්ව වෙලේ මන් ඒකට මනාප විත්තිය කිව්වනම් අද මේ වෙන්න යන දේ වෙනස් දෙන්න තිබුනද?

ආසිරිය ඉන්පස්සෙ මක්කද උනේ කියන්නවත් මන් දැන උන්නෙ නෑ.නැන්දටවත්, ලොකු ඉස්කෝලෙ මහත්තයටවත් ආසිරිටවත් මන් යන විත්තියක් කියන්න බැරි වෙච්චි එක මට ගැන මගෙ හිතේ කොනක වේදනාවක් ඇති කොලා.

මක්ක උනත් එහෙදි මගෙ දුක සැප හෙම අහන්න , මක්ක මක්ක හරි කතාකොරන්න මට උන්නෙ එයැයිල විතරයි නෙව. අම්ම කෙනෙක් හේඋන්නු නැන්දට, තාත්තෙක් හේඋන්නු ලොකු ඉස්කෝලෙ මහත්තයට, ආසිරිට කියල නාපු එක මගෙන් වෙච්චි ලොකු වරදක්, අමනුස්සකමක් නොවෙද කියල මගෙ හිතම මට හරියට වද දුන්න.

අඩුමගානෙ උන්දැට ලියුම් කරදහියක් යවන්නවත් මට පුලුහන් උනේ නෑ නෙව.එහෙම යැව්වමන් හැබෑටම මක්කද උනේ කියලවත් මට දැනගන්න ඉඩ තිබ්බ.

“දුවේ යන් එලියට. මනමාලයයි පැත්තෙන් ආව.”

කඩිමුඩියෙ අරහෙට මෙහෙට දුව පැන පැන, වැඩ රාජකාරි දාහක් අස්සෙ හැංගිලා උන්නු අම්ම ඇවිදින් කතා කොරද්දි තමා මන් කල්පනාවෙන් මිදුනෙ.

මගෙ අතින් අල්ලාන අම්ම කාමරෙන් එලියට මාව එක්කන් එද්දි අපෙ පිටිපස්සෙන් පුංචි නැන්ද, නංගි, සුදු අක්කල හෙම ඔක්කෝමලත් ආව.

හැමෝගෙම මූණු බෝම සන්තෝසෙන් පිරිල.අපෙව් තාත්ත එක්කල ඉස්සරහ කතා කොර කොර උන්නෙ මාව බඳින්න යන උන්දැලගෙ තාත්ත වෙන්නැති කියල දුර තියා දැක්කම මට හිතුනා.

සාලෙ එක්කහු වෙලා උන්නු හැමෝම මන් දිහාව බලාන උන්නුහන්ද ලැජ්ජාවටම මූණ හංග ගන්න මන් කොලේ බිම බලාන ඉස්සරහට ඇවිදන් ගිය එක.

“දුවේ, ලැජ්ජ වෙන්න කාරි නෑ ඉතින්.අම්මල හෙම මීට කලියෙන් මුනගැහිල තිබුනට දූව අපිට මුනගැහිල තිබ්බෙ නෑ නෙව.”

අයියගෙ යාලුවගෙ අම්ම වෙන්නැති, මන් ලඟටම ඇවිදින් මූන අතගාල මා එක්ක කතාකොලේ. උන්දැ උනත් උන්නෙ බෝම සන්තොසෙන් කියල මට තේරුනේ ඒ කටහඬේ තිබ්බ සන්තෝසෙ එක්කමයි

පෝරුවෙ නැගල බහිනකනුත්, තැලි පිලි පලන්දවද්දිවත් මන් කිසිම වෙලාවක උන්දැගෙ මූන බැලුවෙ නෑ.මගෙ හිතේ ලැජ්ජාවක් බයක් හේම නාදුනන මිනිහෙක් එක්කල ජීවත් වෙන්නෙ කෝමද කියන බය තිබුනා. ඒ එක්කම මගෙ හිත පුරාම දැගලුවෙ ආසිරිගෙ වචන.

ඇයි එහෙම කියන්නෙ? ?මන් අයිආර්සී  කාරයෙක් හේ පේනවද ? මොකද්ද මගෙ වරද?”

“මන් එහෙම දෙයක් නෙවි ආසිරි කිව්වෙ? අම්මල හෙම දන්නෙ නැතුව මන් කෝමද වචනයක් දෙන්නෙ?”

“මන් හිතුවෙ ගීතාංජලී මට මනාප නැත කියාල”

මන් එයැයිට හරිහමන් උත්තරයක් නොදී එයැයිව මග ඇරිය අතරමන්කොරාද කියන ප්‍රශ්නෙ මගෙ හිත මගෙන්ම ඇහුව.

පෝරුවෙන් බැහැල ඇවිදින් රෙජිස්ටර් නෝන ලඟට එද්දිත් මන් මූන උස්සල කාගෙවත් දිහා බැලුවෙ නැත්තෙ, මන් උන්නෙ මගෙ හිතිවිලි අස්සෙම හිරවෙලා හන්ද.

“මන් කිව්වට පස්සෙ මනමාල මහත්තය මේ ටික කියන්න.”

“සෙන්දප්පෙරුම ආරච්චිගේ නිලන්ත රංජිත් සෙන්දප්පෙරුම වන මම”

“සෙන්දප්පෙරුම ආරච්චිගේ නිලන්ත රංජිත් සෙන්දප්පෙරුම වන මම”

ඒ නම ඇහිච්ච ගමන්ම වගේම අහල පුරුදු කටහඬක් නෙවෙයිය මේ කියල බලද්දි තමා දුටුවෙ….

“රංජිත්”

මන් මටම රහසින් කියාගනිද්දි මන් දිහාව බලාපු රංජිත් හිනාවුනේ එයැයි හරියට මේ හැමදේම දැනන් උන්න වගේ.මන් උන්නෙ කාන්තාරෙක අතරමං වෙච්චි මිනිහෙක් ගානට.මගෙ ජීවිතේ මේ කොහෙ කොහෙ යනවද කියන එක මටවත් හිතාගන්න බැරිඋනා.

“මෙහි සිටින…”

“මෙහි සිටින….”

“රණදීරගේ දෝන ගීතාංජලී නානායක්කාර යන අයව”…

ඉන් එහාට රංජිත් කිව්ව කිසිම දෙයක් මගෙ කන් වල රැඳිල තිබ්බෙ නෑ හේම මන් කියපු කිසිම දෙයක් කිව්වෙත් සිහිකල්පනාවෙන් නෙවි. මන් උන්නෙ හීනෙන් ඇවිදින හේ අවසිහියෙන්.

ඔක්කෝම කටයුතු අහවර වෙල කෑම කාල ඉවර වෙලා පිටත් වෙන්න කලියෙන් හැමෝම සාලෙ වාඩිවෙලා නැකැත් වෙලාව එනකම් කතා බහ කර කර උන්නා. අයිය එක්ක කතා කර කර උන්නු රංජිත් විඩෙන් විඩේ මන් දිහා බලනව මන් දුටුව.

එයැයිගෙ ඇස් වල රැඳිල තිබ්බෙ ලොකු කතාවක්.හරියට මන් වෙච්චි හැමදේම ඔයැයිට කියන්නම් ගීතෝ කියන්නැහෙ තමා එයැයි මන් දිහාව බලාන උන්නෙ.

“හෙනම් දැන් වෙලාවත් හරි නෙව.මහලොකුවට උත්සව කාරිය නොගත්තට චාලිත්තර ටික කරන්න එපාය.නැකත තියනවය කිව්වෙ දෙකයි විසිතුනට නේද නෝනෙ?”

තාත්ත කතාව අහවර කොරල හාන්සි පුටුවෙන් නැගිටන ගමන් එහෙම කිව්වෙ රංජිත් ගෙ ගෙදර උදවියට

“අනේ නෑ රටේ මහත්තය, අපෙ පුතන්ඩියත් කැමති උනේ නෑ නෙව ලොකුවට උත්සව හෙම ගන්න. ඒ හන්දා ම තමා අපිත් කිව්වෙ මෙහෙම කරන්න අපි කැමතිය කියල”

“ඒක හරිඒක හරි.දැන් ඉන්න තරුන ලමයි ඉතින් හිතන්නෙ අපිට වඩා වෙනස් විදියට නෙව”

“හැබෑව හැබෑව”

අම්මල තාත්තලට වැඳල එද්දි අම්මගෙන් ඇස් වලින් වැක්කිරිච්ච කඳුලු බිංඳු මගේ දුහුල් සාරිය මත්තෙ වැටිල බොඳවෙලා ගියේ තවත් කඳුලු හෙලන්න කාරනාවක් නෑ කියන්නැහේ.

රංජිත් වගේම උන්දැලයි නෑ පිරුවර ඔක්කොම හේ ඇවිත් උන්නෙ යාන වාහන වල.

මන් මක්කද කරන්නෙ කියල හිතාගන්න බැරුව මිදුලට වෙලා ඉද්දිරංජිත්  මට නගින්න වාහනේක පස්සෙ දොර ඇරල දුන්න.උන්දැ වාහනේ ඉස්සරහින් නගිද්දි උන්දැගෙ අම්මයි නංගියි මා එක්කම පිටිපස්සෙන් නැග්ග.රංජිත් ගෙ තාත්තා ඉස්සරහින් නැග්ග.

හීන් සැරේ වාහනේ ඉස්සරහට ඇදෙද්දි මන් හැරිල බැලුවෙ අම්මල දිහා.ඇස්වල කඳුලු පුරවන් උනත් අම්ම බලාන උන්නෙ සන්තෝසෙන් හේ. අයියයි තාත්තයි කිසිම හැඟීමක් මූනෙන් නොපෙන්නුවට එයැයිලගෙ ඇස්වල මන් යනවට දුක වගේම, තවත් බයවෙන්න දෙයක් නෑ කියන්නැහෙ සන්තෝසෙකුත් තිබුනා.

අයිය මන් හැරිල බලද්දි හිනාවෙලා ඇස් වලින් කිව්වෙ බයනොවී යන්න නංගියෙ කියන්නැහේ කතාවක්.

මන් දුටිව පැත්තෙ කන්නාඩියෙන් රංජිත් මන් දිහාව බලාන ඉන්නව.උන්දැ හීන් සැරේ හිනා උනාම මාත් එහෙම්ම හිනා වෙලා ජනේලෙන් එලිය බලාන උන්න.

කැලනියට යනකම්ම උන්දැගෙ අප්පච්චි අම්ම එක්ක රංජිත් කතාකොර කොර උන්න.එයැයිලයි නංගිනම් මගක් දුර යද්දි නින්දට වැටුනෙ මට කල්පනා කොර කොර යන්න ඉඩ හදන ගමන්. ජනේලෙන් එලියෙ නානාප්‍රකාර දේ නානාප්‍රකාර මිනිස්සු කඩපිල් මගෙ ඇහැ ගැටුනත් මගෙ හිත පුරාම දිව්වෙ රංජිත් ගෙන් එදා වෙච්ච් දේ අහගන්න ඕනෙය? අඩුගානෙ උන්දැවත් මෙව්ව ගැන දන්නවද කියන පුරස්නෙ.වාහනේ එලවන ගමන් රංජිත් කීපවතාවක්ම මන් දිහාව බලල හිනාඋනා.

එතන උන්නෙ රදන්පොල වලව්වෙ නාන පොකුන ලඟදි මට මුනගැහිච්චි කැලැ සතෙක් හේ උන්නු රංජිත් නෙවි, විස්ව විද්‍යාලෙට ගොහින් හොඳහැටි ඉගෙන ගත්ත බෝම පිලිවෙල වැදගත් මනුස්සයෙක්…

“හම්මේ යාන්තම් ඇති ආව.බහිමු දුවේ…”

රංජිත් ලයි අම්මල එහෙම කියද්දි තමා මන් දුටුවෙ අපි ආව වාහනේ ලොකු වත්තක් මැද තිබුන ලස්සන අලුත් පන්නෙ ගෙයක් ලඟ නවත්තල විත්තිය.මන් නම නොදන්න ගස් ජාති මල් ජාතිවලින් ඒ වත්ත පිරිල තිබුනා.

“බහින්න”

මන් උන්නු පැත්තෙ දොර ඇරපු රංජිත් එහෙම කිව්වම මන් හිමීට වාහනේ දොරෙන් බැස්සෙ. උන්දැගෙ නංගිත් ඈලි මෑඅලි කඩ කඩඇහැරිල එවෙලෙ ගෙට යනව මන් දුටුවා

අම්මල පස්සෙන් ගෙට යද්දි මන් දුටුවා රංජිත් මගෙ ඇඳුම් කැඩුම් දාපු ට්‍රංක පෙට්ටිය හෙම වාහනෙන් එලියට ගන්නව.මන් ගෙට ඇතුල් වෙලා තප්පර ගානකින් පස්සෙ තමා උන්දැ ගෙට ආවෙ.

“දූටයි පුතාටයි ඉන්න අපි ලැහැස්ති කොලේ පුතාගෙ කාමරේමයි දුවෙ.මේ පැත්තෙන් එන්න.මේ කාමරේ දුවෙ.මෙතන දොරෙන් නාන කාමරේට ඇතුල් වෙන්න පුලුවන්. මේ දොරෙන් මේ වෙනම තියන පිටිපස්සෙ වතු කෑල්ලට යන්න පුලුවන්.මතක ඇතුව රෑට මේ දොර වහන්න දුවේ.මදුරුවො සත්තු ඇතුල් වෙන්න පුලුවන් නැත්තම්”

රංජිත් ගෙ අම්ම ඇවිත් තමා කාමරේ හැමදේම මට කියාල දුන්නෙ.

අම්ම එක්ක හිනාවීගෙනම කාමරේට ආව රංජිත් ඇදුම් තිබ්බ ට්‍රංක පෙට්ටිය කාමරේ පැත්තකින් තියාල මන් දිහාව හොරාට බලනව මන් දුටුව.අපි දෙන්න දිහාටම හිනාවක් දාපු එයෑයිලයි අම්ම හීන්සැරේ කාමරෙන් එලියට ගියේ “මහන්සිත් ඇතිනෙ.නා කියාගෙන එන්නකො” කියාගෙන කාමරේ දොරත් වහන් යන ගමන්.

රංජිත් මක්කවත් ඇහුනෙ නෑ වගේ, මන් උන්න ගානක්වත් නෑ හේ අල්මාරියෙ මොනවද අවුස්ස අවුස්ස උන්න.

ට්‍රංක පෙට්ටියෙන් ඇඳුම් හෙම අරන් මන් ලැහැත්ති උනේ නාගන්න කියල.කොහෙද ඒ නානකාමරේ තිබ්බ ආම්පන්න මක්කවත් මන් දැන උන්නෙ නෑ නෙව.

මන් එලියට එද්දිම මගෙ හිත තේරුම් ගත්ත ගේ රංජිත් ඇවිදින් තමා කරාම අරින වහන විදිහ හෙම මට කියාල දුන්නෙ.

නාගෙන එද්දි දුන් දාන තේකක් අරන් රෙද්ද හැට්ට ඇඳගත්ත වයසක ගෑනු කෙනෙක් කාමරේට ආව. ගෙදර වැඩට ඉන්න උන්දැ වෙන්නැති.

“නෝනෙ තේ බොන්න”

සිරියාවට හිනාවෙලා උන්දැ මන් දිහා බලන් ඉඳල යන්න  ගියා.රංජිත් නාගෙන ඇවිත් කාමරෙන් එලියට ගියා මිසක්ක මා එක්ක වචනයක්වත් දෙඩුවෙ නෑ.මට හරි හදිස්සියක් තිබුන වෙච්ච හැමදේම රංජිත්ගෙන් දැනගන්න.ඒ උනාට උන්දැ උන්නෙ කිසි වගක් නැතුව හේ

“අක්කට පාලුයිද ?”

එකපාර තිගැස්සිල ගියේ රංජිත් ගෙ නංගි ඇවිදින් කතාකරහම.එයැයි හරි ලස්සනයි.අපි වගේ නෙවි කොලබ පන්නෙට හැදිච්ච කෙල්ලෙක් නෙව.අපේ වගේ බොරු සබකෝල හෙම නෑ.

එයැයි ට මන් උත්තර දුන්නෙ හිනාවෙලා තේක බොන ගමන්මයි.

“අපේ අයියෙ ඔය සැර පාටට උන්නට පොඩි එකා වගේ අක්ක. එයාගෙ ගෙම්බර් වලට බයවෙන්න හෙම එපා.”

මට එහෙම කිව්වම මතක් උනේ රංජිත් මට කතාකොරපු විදිහ අන්තිමට මුන ගැහිච්චි වෙලේ.

“බෝම හොඳයි.කාටහරි කියල අහුවුනොත් ඒක අහවර වෙන්නෙ තමුන් අහවර වෙලා විත්තිය හොඳට මතක තියාගන්න.මේ ගැන වගේම මන් ගැන කට හෙල්ලුවොත් ඒක තමුන්ගෙ අවසානෙ බව මතක තියාගන්නව හොඳයි. ගෑනු ඉන්න ගෑනු විදිහට.පිරිමි වගේ වීරකම්.කොරන්න දඟලන්නෙ නැතුව.රෑට ජනෙල් වහන් නිදියන එක මිස වත්තෙ හොර අල්ලන එක ගැනුන්ගෙ රාජකාරියක් නෙවි.”

එහෙව් මිනිහ බය වෙන්න ඕනෙ මිනිහෙක් නෙවිය කියල එයැයිගෙම නගා කියන කතාව මන් කෝම විස්වාස කොරන්නද? අනිත් අතට මන් අද දැක්කෙ කලින් දැකපු රංජිත් ට වඩා වෙනස් කෙනෙක් හන්ද ඒ කතාව හැබෑව වෙන්නත් බෑද?

“අක්කව බඳින්න දුන්නෙ නැත්තම් බඳින්නෙ නැහැ කියල අයිය කෙලින්ම අම්මලට කිව්ව නෙව.අම්මලගෙ අකමැත්තක් තිබ්බෙ නෑ.තාම පුදුමයි අපිට අයිය අක්ක ගැන කියාල හැසිරිච්ච විදියට.කවදාවත්ම කෙල්ලෙක් ගැන කියල නැති අයිය, රාජකාරිය මිස වෙන මුකුත් ගැන හිතුවෙ නැති අයියම අක්ක ගැන කිව්වම අම්මල පුදුමත් උනා.”

මන් දිගටම කොලේ තේක බොන ගමන් අහන් උන්නු එක

“හැබෑටම අක්ක අයියට ඉනාවක් වත් දුන්නද?”

නංගි ඒ අහපු ඇහිල්ලට මට හිනා ගොහින් තේ වතුර ඉස්පොල්ලෙත් ගියා.පපුව අල්ලන් කහින මා එක්කම හිනාවෙවී පිටට තට්ටු කලේ නංගි.

“නෑ ඉතින් මන් ඇහැව්වෙ අයිය අක්ක බඳින්නම ඕනය කියා නටපු නාඩගම හන්ද.”

මොන ඉනාද නංගි මම උන්දැගෙ සම්පූර්ණ නම දැනගත්තෙත් අදය කියල කියන්න හදල මන් කට වහන් උන්න.

“අයිය කොහෙද රාජකාරි කොරන්නෙ?”

මන් ඒක ඇහුවම නංගිගෙ ඇස් උඩේ ගියා මිනිහගෙ රාජකාරිය නොදැන දීග ආව මේකි මහ අරුම එකියක්නෙ කියන්නැහේ.

“පොලිසියෙනෙ.අක්ක දැන උන්නෙ නැද්ද?”

නෑ කියන්න ඔලුව වනපු මන් දිහාව ආයෙ බලන් උන්නු නංගි,

“මට හෙම ඔහොම බඳින්න කිව්වනම් මන් බෑ කියනව.මන් නම් යාලුවෙලා තමා බඳින්නෙ. ” කියල කිව්වම මට ආයෙ හිනා ගියා.රංජිත් වගේ නෙවි නංගි හරි හොඳයි කියලයි මට හිතුනෙ.

කතාවෙන් කතාවෙන් රෑ බෝ උනාම කෑම හෙම කාල මන් කාමරේට ආව.ඊට විනාඩි දහ පහලොවකට පස්සෙ තමා රංජිත් ආවෙ.උන්දැ දොර වහල එනකම් මන් කොලේ බිම බලාන ඇඳ කෙලවරේ වාඩිවෙලා උන්නු එක. හිමින් හිමින් ඇඳ දිහාට එන රංජිත්ගෙ කකුල් දිහා මන් බලාන උන්නෙ ගැහෙන හිතකින්.

“ගීතාංජලී”

ජීවිතේ පලවෙනි වතාවට වෙන්නැති රංජිත් මගෙ සම්පුර්ණ නම කියල කතාකොරා.මන් හිමීට ඔලුව උස්සල බලද්දි මන් දිහා බලාන උන්නෙ පොකුන ලඟදි මුලිච්චි වෙච්ච රංජිත් නෙවි ඊට වඩා වෙනස් බෝම ලස්සන, කතාකරන කලු ඇස් තියන රංජිත් කෙනෙක්.

“මට කියන්න සෑහෙන දේවල් වගේම ඔයාට අහන්න සෑහෙන දේවල් තියන විත්තිය මන් දන්නව ගීතාංජලී .මන් ඉස්සෙල්ල, වෙච්ච හැමදේම ඔයාට කියන්නම්”

-මතු සම්බන්ධයි-

උදතාරී

https://smartlady.lk/article/category/stories/novels/novel/page/6

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here