” සඳැස්වි .. ! සම්පූර්ණ වරද අපේ. අපි ඒ ගැන ගොඩාක් පසුතැවෙනවා දැන්. ඔයාට ඒකෙන් වෙච්ච කරදරේට අපි සමාව ඉල්ලනවා. වැරැද්ද අපේ. ඇත්තටම අපිට සමාවෙන්න. ආයේ කවදාවත් ඔයාට අපෙන් වචනෙකින්වත් කරදරයක් වෙන්නෑ. “
සුවපහසු කාර්‍යාල පුටුවට බර වූ වංශවත් තරුණයා තමා අත ඇති ජංගම දුරකතනයෙන් ඒ මොහොතේ විශ්ව විද්‍යාලය තුළ සිදුවන සිදුවීම දෙස නිහඬව බලා සිටියේය. පිළිවෙළින් ඈ වෙත පැමිණි තරුණයින් අට දෙනාම ඇගෙන් එක දිගට සමාව යදින්නට පටන් ගත් අතර කිසිවෙකුට කිසිවක් ප්‍රති පිළිතුරු ලෙස ලබා නුදුන් කුඩා යුවතිය දේශන ශාලාව වෙත යන ආකාරයත් අවසන් වශයෙන් බලා සිටි ඔහු ජංගම දුරකතනය පසෙකින් තබා මේසය මත නාද වන කාර්‍යාල දුරකතනයේ රිසිවරය ගෙන සවනේ තබා ගත්තේය.
” සර්.. ! අනුජ් සර් ඇවිත් “
” එන්න කියන්න “
එපමණක් පැවසූ ඔහු රිසිවරය පසෙකින් තබා තමා ඉදිරියේ වූ ලිපි ගොනුවක් පරීක්ෂා කිරීමට පටන් ගත්තේය. දෙතුන් වරක් තට්ටු කිරීමෙන් අනතුරුව වීදුරු ද්වාරය විවර කරමින් ඇතුළට පැමිණි අනුජ් දෙස හිස ඔසවා නොබැලූ දේහදාරියා අත දිගු කර අසුන් ගන්නා ලෙස සංඥා කළේය.
ඉතා සෙමින් පසුපසට ඇදි පුටුවට බර වූ අනුජ් හිස බිමට බර කර ගෙන මොහොතක් නිහඬව සිට තමා දෙස බැල්මක් හෝ නොහෙළා සිටින තරුණයා දෙසට වෙව්ලන දෑස යොමු කළේය.
” මං ආන්ටියි , අන්කලුයි එක්ක කතා කළා. එයාලගේ අකමැත්‍තක් නෑ මං ආයේ ගෙදර යනවට. මං මේ ආවේ මල්ලිටත් ඒක කියලා යන්න. “
” ඒක මට කියලා වැඩක් නෑ. අක්කා කැමතිනම් ඕන දෙයක් කරගන්න “
තවමත් ඔහු දෙසට දෑස විතැන් නොකළ දේහදාරියා එසේ පවසමින් ලිපි ගොනුවේ තවත් කොළයක් පෙරළුවේය.
” ඒ ඉන්නේ මගේ වයිෆ්. එයාගේ බඩේ ඉන්නේ මගේ දරුවා. එයා අකමැති වෙන්න හේතුවක් නෑ “
එවර ප්‍රතාපවත් තරුණයාගේ සමච්චල් සහගත උවන ඔහු දෙසට එසවුණු අතර පැළුණු යටි තොල් පටත් , දම් පැහැ ගැන්වී ඇති දකුණු ඇස යටත් , සීරුණු බෙල්ලත් , වැළමිට තෙක් නවා ඇති කමිසයෙන් පෙනෙන වෙළා ගත් වමතත් දුටු සමච්චල් සහගත බැල්ම තව දුරටත් එලෙසටම පැවතුණේය.
” එදා පාර්ක් එකේදි කියලා තිබ්බේ එහෙම කතාවක් නෙමෙයිනේ ?”
ආයාසයෙන් හිස ඔසවා ඔහු දෙස බැලූ අනුජ් යළිත් එකී මුහුණේ බැල්ම දරා ගත නොහැකිව තම දෑස බිමට බර කර ගත්තේය.
” කේන්ති ගියාම මොනවද මල්ලි නොකියවෙන්නේ ? අනික මාස ගාණකින් මං පහන්‍යාව බලන්න ආසාවෙන් ආවේ. ගෙදර එද්දි එයා නෑ. පාර්ක් එකට ගියේ එයාව සර්ප්‍රයිස් කරන්න කියලා හිතාගෙන. ඒ යද්දි එයා.. මට සෑහෙන්න දුක හිතුණා මල්ලි.. ඔයා දන්නවා මං මේ බිස්නස් වලට කොච්චර මහන්සි වෙනවද කියලා. යාලුවෙක්ද කවුද කියලා දන්නෑ. ඒත් .. වෙන පිරිමියෙක් එක්ක එහෙම ඉද්දි මට දරාගන්න බැරිඋනා මල්ලි. වෙච්ච දේට මට ඇත්තටම දුකයි. වේදනයි. මං පහන්‍යාගෙන් සමාව ගන්නම්. මං එයාට ගොඩක් ආදරෙයි මල්ලි. එයා නැතුව මට ඉන්න බෑ.. “
දෑඟිලි මතින් දෑස තද කර ගත් අනුජ් ඉකි ගසමින් හඬන්නට පටන් ගත් අතර නැවත වතාවක් තරුණයාගේ මුහුණේ සමච්චල් සහගත සිනහවක් පැතිර ගියේය.
” ගිහින් එන්නං මල්ලි. “
එසේ පැවසූ ඔහු හිඳ උන් පුටුවෙන් නැඟිට වීදුරු ද්වාරය විවර කොට කොර ගසමින් පිටතට අඩි තැබූ අතර දේහදාරියා නැවත තම දුරකතනය හරහා ඇමතුමකට සම්බන්ධ වූයේය.
” මහියා..!”
” කියපන් මචං. ..”
“අනුජ් ආවා. ආයේ ගෙදර යනවලු. “
” අම්මටසිරි.. උඹ මොකෝ කිව්වේ ?”
” මං ඇහුව ඉතිං මට කියන්නේ ඇයි කියලා “
” ඉතිං ?”
” අක්කට ආදරෙයිලු. බඩේ ඉන්නේ උගෙ දරුවලු. තව මොනාද බයිලා වගයක් කිව්වා “
” හම්මට #$&* . ඌට දැන්ද ඒක මතක් වෙලා තියෙන්නේ ? ඌට ඒක මතක් වෙන්න උඹෙන් පාරවල් දෙකක් කන්නම ඕන උනා. “
” ම්ම්.. “
” උඹ ඉන්දීවරට කතා කළාද ?”
” නෑ.. ඌ මට කතා කළා. ඌ එදා මූට ගහපු පාරට සොරි කිව්වා. හැබැයි ඉතිං එවෙලේ මූ කරපු දේ එක්ක ඌට එවෙලෙම මූව ඇදන් ගිහින් කූඩුවේ දාන්නත් පුලුවන් කමක් තිබ්බා කියලා කිව්වා. මං ඒක එච්චර ලොකුවට ගත්තේ නෑ. එතන ඌ නෙමෙයි වෙන කවුරු හරි හිටියත් අත ඉස්සෙන එක නතර කරන්න බෑ. “
” නැත්තන් ? යකෝ මං වගේ හිටියානම් අච්චර සක්කිලි කතාවක් කිව්වට පස්සේ කට කඩලා තමයි පස්ස බලන්නේ . “
” උඹ අක්කාගේ ඩොකියුමන්ට්ස් ටික බැලුවද ?”
” ම්ම්.. මචං .. එතන RD එකේ ශෙයාර්ස් ටික ඕකේ. බට්.. සුපර් මාර්කට් වල ඩොකියුමන්ට්ස් වල පොඩි අවුලක් තියනවා මචං “
” ඒ කිව්වේ ?”
” ඒක මට තාම කන්ෆර්ම් නෑ. මං හරියටම ඒක බලලා උඹට කියන්නම්. “
” හ්ම්ම්.. “
” උඹ දැන් මොකද කරන්නේ ?”
” සඳව ගන්න කැම්පස් එකට යන්න ඕනේ. ”
” අම්මටසිරි.. හා.. හා.. හොඳයි. හොඳයි.. දැන් එතකොට දෙන්නා ඉන්නේ අපාර්ට්මන්ට් එකේද ?”
” නෑ බං සෙමෙස්ටර් එග්සෑම් ලඟයි කියලා යාලුවෝ එක්ක පාඩම් කරන්න ඕනේලු මේ දවස් ටිකේ.. “
” හ්ම්.. හ්ම්.. ආ.. උඹට දෙයක් කියන්න තියනවා. මං ශාක්‍යාව මැරි කරනවා. “
” seriously ? “
” ම්ම්.. නෙක්ස්ට් වීක් වගේ . Only registration . “
” හ්ම්ම් හ්ම්ම්.. මගෙන් වෙන්න ඕන දෙයක් තියනවනම් කියහන්. “
” උඹෙන් ඉතිං මගේ පැත්‍තට සයින් කරන එක තමයි වෙන්න ඕනේ. “
” හ්ම් හ්ම්ම්… ප්ලෑන් එක මොකද්ද කියලා කියහන්. මං ටුවර් එකක් සෙට් කරලා දෙන්නම්..”
” තැන්ක් යූ ලොක්කා..”
දුරකතන ඇමතුම විසන්දි කර දැමූ සියත්‍ර රන්දෙණිගල හිඳ උන් කාර්‍යල පුටුවෙන් නැඟිට තම මෝටර් රථයේ යතුරු කැරැල්ලත් , ජංගම දුරකතනයත් අතට ගත්තේය.
*****************************************
හානි වූ කෙස් කළඹට කළ කෙරටීන් සත්කාරයකිනුත් , හැඩට කැපූ ලේයර් ක්‍රමයකිනුත් , බලෙන්ම මෙන් ශාක්‍යාගේත් , අමාවීගේත් දැඩි ඉල්ලීමට burgundy පැහැයෙන් වර්ණ ගැන්වූ කොණ්ඩය උඩට කර කටුවක් ගැසූ ඈ බිමට බර කර ගත් උවනින් ග්‍රහලෝකාගාරය අසල රථ ගාල වෙත පැමිණ ඈ එන තුරු බලා සිටි මෝටර් රථයේ ඉදිරිපස අසුනට ගොඩ වූවාය. දෑස ඔසවා තමා දෙස නොබලා බිම බලා හිඳින ඇගේ කෙස් කළඹේ රඳවා තිබූ කොණ්ඩා කටුව ගලවා දැමූ ඔහු අලංකාර වූ කෙස් කළඹ දෙස ඈට පෙනෙන්නම දල්වා ගත් දෑසින් බලා හිඳියේය.
” Wow, you look amazing! This change is perfect for you and you look as lovely as ever. “
පැළැඳ සිටි ආසන පටිය ගලවා දමා ඇගේ මුහුණට බර වූ ඔහු එසේ පවසත්ම දරා ගත නොහැකි වේදනාවෙන් ඔහුගේ ළමැදට තුරුළු වූ ඈ ඉකි ගසමින් හඬන්නට පටන් ගත්තාය. ඈට ඇති වන තුරු හඬන්නට ඉඩ හැරි ඔහු සෙමින් සෙමින් ඇගේ හිස පිරිමදින්නට පටන් ගත්තේය.
” සඳ…! දැන් ඇතිනේ ?”
සෙමින් සෙමින් ඉකි බිඳුම තුනී වී යන මොහොතේ ඔහු නිහඬබව බිඳිමින් කතා කළේය.
” අහන්නකෝ.. ඔයාට කියන්න දෙයක් තියනවා. “
කොපුල් මත ඇති කඳුළු සෙමින් පිසළූ ඈ හිස ඔසවා ඔහු දෙස බැලුවාය.
” ශාක්‍යායි , මහීලුයි නෙක්ස්ට් වීක් වගේ මැරි කරන්න decide කරලා. “
” ඇත්තට ..?”
” ම්ම්..”
තවත් තදින් ඔහු වෙතට තුරුළු වූ ඈ යළිත් හිස බිමට හරවා ගත්තාය.
” මටත් දෙයක් ඔයාට කියන්න තියනවා. “
” ආ..?”
යුවතිය නැවත වරක් හිස ඔසවා ඔහු දෙස බැලුවාය.
” අපි දෙන්නත් මැරි කරමුද ?”
” සර්..?”
පුදුමයෙන් වෙලුණු කුඩා ස්ත්‍රී දෑස විසල් වී ඔහු මුව මත එහා මෙහා දිව ගිය අතර ගැඹුරු දෑස දිළිසෙමින් ඈ උවන වෙත වැටී තිබුණේය.
” අම්මගෙන් අහන්න ඕනෙ නේ ? මං ඇවිත් අහන්නම්. හා ද ?”
දෑසින් ඉනූ තවත් කඳුළක් ඉබේම කොපුල කරා වැටී ගියේය.
” මොකෝ අඬන්නේ ? බැරිද ? බැරි උනාට කමක් නෑ. බලෙන් උස්සන් ගිහින් හරි දැන් නං තියාගන්නවා මං “
ඔහු මුව මත ළා හසරැල්ලක් ඇඳුණු අතර ඈ තවත් ඔහු වෙත තුරුළු වූවාය.


