ගීතාංජලී – 15

0
149

“ගීතාංජලී”

ජීවිතේ පලවෙනි වතාවට වෙන්නැති රංජිත් මගෙ සම්පුර්ණ නම කියල කතාකොරා.මන් හිමීට ඔලුව උස්සල බලද්දි මන් දිහා බලාන උන්නෙ පොකුන ලඟදි මුලිච්චි වෙච්ච රංජිත් නෙවි ඊට වඩා වෙනස් බෝම ලස්සන, කතාකරන කලු ඇස් තියන රංජිත් කෙනෙක්.

“මට කියන්න සෑහෙන දේවල් වගේම ඔයාට අහන්න සෑහෙන දේවල් තියන විත්තිය මන් දන්නව ගීතාංජලී .මන් ඉස්සෙල්ල, වෙච්ච හැමදේම ඔයාට කියන්නම්”

උන්දැ කිව්වෙ හැබෑව හන්ද මන් කට පියාන උන්දැ දීහාව බලාන උන්න.උන්දැ හිමි හිමින් එලියට බහින්න තියන දොර  ඇරගෙන එලියට ගිය හන්ද මමත් හීන් සැරේ ඇඳෙන් නැගිටල එයැයි උන්නු දිහාවට ගියා.

රංජිත් උන්නෙ එලියට බහින පඩිපෙල දෙපැත්තෙ තිබ්බ අත් වැටට අත් දෙක බර කොරන් ආකාහෙ පායල තිබුන හඳ දිහාව බලාගෙන.

“ඔයාට හිතෙනව ඇත්තෙ ඔයා මහ අරුම පුදුම දේවල් වලට මූන දීලා මාරකේකින් බේරුනා හේ වගේම, ඔයා කල්පනා කොරනව ඇති මන් කොහෙන්ද ඔය කතාවට සම්බන්ද උනේ කියල.”

රංජිත් කතාව පටන් ගනිද්දිම මට තේරුනා කතාවෙ ඉස්සරහට අහන්න තියෙන දේවල් එක්ක මගෙ සිහි කල්පනාව හොඳ නැති වෙන්න තියන ඉඩ පරස්තාව වැඩියි කියල මට තේරිච්චි හන්දම මමත් අත් වැටට හේත්තු උනා.

“මන් එතකොට පොලීසියෙ රාජකාරියට ගිහින් අවුරුදු හතක්  විතර ඇති.මන් වැඩකලේ ප්‍රධාන පොලිස් දෙපාර්තමේන්තුවෙ.  දැනට අවුරුද්දකට කලින් හේ තමයි අපිට ආරංචියක් ආවෙ ඇල්ල පලාතේ එක ගමක ගෑණු ලමයෙක් අතුරුදන් උනාය කියල. ගමේ ඉස්කෝලෙ ලඟම ගෙදරක උන්නු ගෑණු ලමයෙක්. මුලින් අපිත් හිතුවෙ ඒ ගෑණු ලමය කවුරුහරි කොල්ලෙක් එක්ක යන්න ඇති කියල උනත් ඒ අදහස අයින් කරන්න උනේ ඒ පැනල යන්න කියල ඇති කියල හිතපු කොල්ලගෙ මිනිය ඇල්ල පාමුලින් හම්බුනාට පස්සෙ.”

“ඔය කියන්නෙ පබා ගැනයි සුමනෙ ගැනයි වෙන්නැති.”

“ඔව්.ගීතාංජලී ට ඔය ඔක්කොම කිව්වෙ සියාතුනෙ.රෑ වෙලා කෝච්චියෙන් බැහැල එන අතර වාරෙ”

රංජිත් ඒක කිව්වෙ මහ කට්ට කයිරාටික හිනාවක් කට කොනක තියන්.හරියට මන් හැමදේම දන්නව ගීතෝ කියන්නැහේ.

“ඔයැයි කෝමද ඒක දන්නෙ?”

මන් ඇහැව්වෙ හැබෑටම පුදුමෙන්. ඒකටත් එයැයි කොලේ අර හිනාවම දාපු එක. ආන් එතකොට නම් එයැයි අර පොකුන ලඟදි මට මුලිච්ච වෙච්ච රංජිත්ම තමා.

“එව්ව පස්සෙ කියන්නම්කො.දැන්මේ කතාව අහවර කොරන්න ඕන ඉස්සෙල්ල.”

ඒකත් හැබෑව හන්ද මන් කට පියාන උන්නෙ මගෙ මුරණ්ඩු කම නිසා මන් දැන් සෑහෙන පාඩම් ඉගෙන ගෙන තියන නිසා.

“ඔව් පබා තමයි.පබාගෙ ගෙවල් තිබුනෙ ඉස්කොලෙ ලඟමයි.සුමනෙ එක්ක එයා යාලුවෙලා ඉඳල තියෙන්නෙත් ඉස්කෝලෙදි මුනගැහිලමයි.පබා වගේම සුමනෙත් ඉස්කෝලෙ සෑහෙන වැඩ කරපු ලමයි.ක්‍රීඩා හෙම කරපු දක්ස ලමයි.”

රංජිත් දිගටම කතාව කියන් යද්දි මන් මැද්දෙන් පැන්නෙ නැත්තෙ මට ඕන උනේ එක හුස්මට මේ කතාව අහන්න මට ඕන වෙච්ච හන්ද.

“සුමනෙගෙ මිනිය බලන්න ගියෙත් මම.උන්දැ ඇල්ලෙ පල්ලට වැටුනෙ කෝමද කියන එක අපිට ලොකු පුරස්නයක් උනේ, ඇල්ලෙ ඒ පැත්තට යන්න කාටවත් හේතුවක් තිබ්බෙ නැතිහන්ද.අනික සුමනෙ නැතිවෙන්න කලින් දවසෙ උන්දැ අන්තිමටගෙදර ඉඳල තියෙන්නෙ හවස හයට විතර. ඉස්කෝලෙ පැත්තට ගොහින් එන්නම් ය කියල තමා සුමනෙ ගෙදරින් ගොහින් තියෙන්නෙ. “

“ඊලගට නැතිවුනේ ස්වරණා රදන්පොල පුංචි කුමාරිහාමි. උන්දැ ඒ වෙද්දි ඉස්කෝලෙ උගන්නන්න යන ගමන් උන්නෙ. ඒ වෙද්දි තමා මට ඉහලින් කිව්වෙ ඇල්ලෙ ගොහින් මේ විත්තිය හොයාන එන්නය කියල. මන් දැන උන්න පොලීසියෙ මහත්තැන් කෙනෙක් විදියට ගියොත් මේකෙ සුල මුල කොහොමත් හොයාගන්න බැරි විත්තිය. ඒ හන්ද තමා මන් තීරනේ කොලේ හැංගිලා තමා මේක හොයන්න වෙන්නෙ කියාල.”

“රැවුල වවල,කොන්ඩෙ හෙම වවල කැලෑ සතෙක් හේ මං කැලෑව අස්සෙ හැංගිල උන්නෙ, ඒ කෑලෑව ගමෙන් භාගයක් හේ දිසාවටම විසිරිල තිබ්බ හන්ද වගේම ගෑණු ලමයි අතුරුදං වෙන්න ගත්තට පස්සෙ මිනිස්සු කවුරුවත් කැලෑව පැත්තට එන්නෙ නැතිහන්ද”

මට මතක් උනේ ඒ එක්කම සියාතු මාමා මා එක්ක එදා එද්දි කියෝ කියෝ ආපු එව්ව.

“එහේ වෙද මහත්තයටයි ඔය ඉස්කෝලෙ නෝනටයි උන්නෙ එකම එක දෝණියැන්දයි… පුංචි කුමාරිහාමිත් හරි හොඳයි. ගමේ ඉස්කෝලෙටමයි ගියේ, අන්තිමේ ගමේ ඉස්කෝලෙටම ගුරු පත්වීමක් හදාන එද්දි මයි හිතේ නෝනෙගෙ තරමටම වගේ ඇති. කාලාන්තරේක ඉඳල නෝනෙ ගමේ ඇහැට කනට පේන ගැටිස්සියො අන්තරස්දාන වෙන්න අරන්. පුංචි කුමාරිහාමි නැතිඋනේ දෙවනියට.ඊට කලියෙන් ගමේ උන්නු පබා කියාල තව තරුණ දැරිවියක් නැතිඋනා.මාසේ පෝය දවස ලන් වෙලා තමා හැම කෙලීම නැතිවුනේ. පබා කෙල්ල නැතිවෙච්චි වෙලේ අපි හිතාන උන්නෙ ඒකීට ඇයි හොදැයිකම් පාපු සුමනෙ එක්ක පැනල යන්න ඇතැ කියල. ඒඋනාට ඒකි රෙදි කඩමාලු ටිකත් දාල ගොහින් තිබුනෙ.සුමනෙත් ගමෙන් අන්තරස්දාන වෙලා තිබුන.උන් දෙන්න අන්තරස්දාන වෙලා සතියකට පස්සෙ තමා සුමනෙගෙ මිනිය උඩහ ඇල්ල පැත්තෙ දෙබොක්කාවක හිරවෙලා තියනව නාන්න ගියපු කොල්ලො රංචුවක් දැකල තිබ්බෙ. එතනින් තමා අපිට තේරුම් ගියේ පබාට වෙන අකරතැබ්බයක් වෙලා කියල. දැන් කොයිතරම් කල් ගියාඩ හොයාගන්න බැරිවුනා මුකුත්ම.පබාලයි ගේ තිබ්බෙත් ඔය ඉස්කෝලෙ ට යන පාරෙමයි”

හැබෑවටම පබාට ස්වරනට සුගුණි ට මක්කද උනේ කියල දැනගන්නමයි මන් මීක් සද්දයක් නැතුව රංජිත් දිහාවම බලාන උන්නෙ.

“ඉන්පස්සෙ නැතිවුනේ දොලේගෙදර සුමනාවතී.සුමනාවති තමා ඉස්කෝලෙට විවේක කාලෙදි ගුරුවරුන්ට කෑම අරන් ගියේ.සුමනාවතී නැතිවුනේ මන් ගමේ ඉද්දිමයි.ඊටපස්සෙ මල්ලිකා කියල ලමේක් නැතිඋනාට පස්සෙ තමා මට මේ ගෑනු ලමයි නැතිවීගෙන යන සෑස්තරේ යාන්තම් තේරෙන්න ගත්තෙ.ඊටකලින් මට එව්ව තේරුනා නම් ඒ ගෑනු ලමයිගෙන් එක්කෙන්ව්ක් දෙන්නෙක්වත් බේරගන්න තිබ්බ නේද කියල හිතෙද්දි මට මන් ගැනම කේන්‍තියි ගීතාංජලී “

“මල්ලිකා කිව්වෙ හේනෙ ගෙදර නැතිවෙච්ච ගෑනු ලමයද?”

“ඔව් හේනෙ ගෙදර තියෙන්නෙ ගමේ එහා කෙලවරේ.ඔයා ඉඳපු වලව්ව පහු කොරන් යන්න ඕන.”

“ඔයා දන්නවද ඔය ගැනු ලමයි ඔක්කොම අතුරුදන් වෙච්ච විදියෙ සමානකමක් තිබ්බ විත්තිය”

“මොකද්ද ඒ?

“හැම ගෑනු ලමයම හේ නැතිවෙලා තිබුනෙ හොඳට හඳ පායාපු දවසක.ගොඩක් වෙලාවට පෝයදවසක. ඒ වගේම තමා නැතිවෙච්ච හැම ගෑනු ලමයටම හේ ඉස්කෝලෙ එක්ක මොනව හරි සම්බන්දකමක් තියෙන විත්තිය.”

“ඉස්කෝලෙට ?”

“ඔව්.බලන්න පබාගේ ගේතිබ්බෙ ඉස්කෝලෙ ලඟමයි. ඒවගේම පබාල ඉස්කෝලෙ වැඩ වලට හරියට දායක වෙච්ච ලමයෙක්. ඊලගට ස්වරනා.එයා ඉස්කෝලෙ ගුරුවරියක්. ඒ වගේම ඉස්කෝලෙ හොඳ තැනකට ගේන්න සෑහෙන මහන්සිවෙච්ච කෙනෙක්.හවස පංතිදාල ලමයින්ට උගන්නපු කෙනෙක්. සුමනාවතී ඉස්කෝලෙට කෑම ගෙනියාපුහන්ද ඉස්කෝලෙ එක්ක සම්බන්ද උනා. මල්ලිකා විතරයි එහෙම උනේ නැත්තෙ.මොකද එයාගෙ ගේ තිබ්බෙ ගමේ එහා කෙලවරේ. ඒවගේම එයා එහෙම දුරට ඉගෙන ගත්ත කෙනෙකුත් නෙවි. ගෙදර වැඩිහිටියො වත්තෙ වැඩට ගියාම කෑම හෙම උයන් උන්නෙ මල්ලිකා. “

“දැන් ඉස්කෝලෙට සම්බන්දය කියන එකයි, ලමයි නැතිවෙච්ච එකයි අතර තියෙන හුටපටේ මක්කද?”

මන් එහෙම ඇහැව්වෙ මට ඒක නොතේරිච්ච හන්දමයි.

“ඔව්.ඒකතමයි.මේ ලමයි නැතිවෙච්ච එකත් එක්ක ඉස්කෝලෙ තියන සම්බන්දෙ තේරුම් ගත්ත මට හිතුනෙ ඉස්කෝලෙ ඉන්න කවුරුමහරි මේකට සම්බන්ද ඇත කියලා.ඒවගේම තමා මේ හැම ලමේක්ම අතුරුදන් උනේ හොඳට හඳ පායල තිබ්බ පෝය දවස් වල.ඒකෙන් මට තේරුන දේ තමා හඳ පායපු පෝයක ගමේ මිනිස්සු හැමෝම පන්සල් යන විත්තිය දන්නෙ වගේම, හොඳට පේන හඳ එලියක කෙල්ලෙක් පැහැරගෙන අන්තරස්දාන කොරන්න හොඳ පුරුදු කාරයෙක් වෙන්න ඇතිනේද කියල”

“හ්ම්ම්ම්”

“ඔය සන්දියෙ තමා ඔයා ගමට එන විත්තියක් මට ආරංචි උනේ. මන් කල්පනා කලා සමහර විට මේ කෙල්ලො අන්තරස්දාන කොරන හාදයා ඔයාවත් උගෙ ගොදුරක් කරගන්න ඇහැක් නේද කියල.ඔයා එනදවස හරියටම මන් දැන උන්නෙ නෑ.හැබැයි පුරුද්දක් විදියට මන් හැමදාම රෑට කැලෑවෙ ඇවිද්ද මොනව හරි හොයාගන්න ඇහැකිවෙයි කියල.”

එදා පලවෙනි දවසෙ එද්දි කැලෑව අස්සෙ ඉඳන් කවුරුහරි බලාන ඉන්නව වගේ මට දැනුනෙ එතකොට රංජිත් බලාන උන්නු එකද?

මගෙ කල්පනාව බිඳුනෙ ආයෙ රංජිත් කතාකොරපු එකෙන්.

“එදා ඔයා සියාතු එක්ක කතාකොර කොර යනවා මන් දුටුව.එවෙලෙ කොයිතරම් නිස්සද්දද කියනවනම් ඔයා සියාතු එක්ක කියපුවත් මට ඇහුනා”

“ඉන්පස්සෙ මොකද උනේ?”

“ඉන්පස්සෙ මට ඕන උනේ හැබෑවටම ඔයා කවුරු උනත් ඔයාව පරිස්සම් කරන්න.මොකද මන් හිතුව ඊලඟ ගොදුර ඔයා වෙයි කියල,ඔයා අලුත් හන්ද උන්ට ඔයාව ඩැහැගන්න එක ලේසියි කියල මම හිතුව. ඒ හන්දමයි ඔයා එක්ක කතා බහ කොරන්න වෙලාවක් එනකන් මන් උන්නෙ.මන් හිතුවෙ නෑ ඔයා පොකුනට නාන්න ඒය කියල, ඒතරම් ලේසියෙන් ඔයාව මුනගැහෙන්න මට පුලුවන් වේය කියල. “

“ඒවගේම එතන තමා මටවැරදුනේ ගීතාංජලී .ඔයාව ඩැහැගනි කියල මන් ඔයාව පරිස්සම් කරන්න හදන අතරෙ උන් සුගුණි ව ඩැහැගෙන තිබුනෙ.හොඳටම නැතත් මන් දැන උන්නා කවුද කියල මේක පස්සෙ උන්නෙ.එදා රෑ සුගුණි ඩැහැගෙන යන විත්තිය මට දැනගෙන ඉන්න තිබුන, මන් තව ඩිංගක් හෝදිසියෙන් උන්නනම්.”

“එදා ඒ ලමය කෑගහපු විදිහ මතක් වෙද්දි මට උන්ව මරාගෙන මැරෙන්න තරම් කේන්ති ගීතාංජලී”

ඒ ඩිංග කියන ගමන් එයැයි දිහා බලපු මන් දුටුවෙ හඳ එලියට එයැයිගෙ කම්මුල් වල දිලිහෙන කඳුලු බිංදු.

“අඬන්න එපා.ඔයා මක්ක කොරන්නද ?”

හීන් සැරේ එයාගෙ පිටට අත තියාපු මන් එහෙමකිව්වම තමා එයා ඇස් වල තිබ්බ කඳුලුපිහිදාන් හීන්සැරේ හිනාඋනේ.

මට ඒ එක්කම මතක් උනේ.එදාරෑ මටඇහිච්ච ගෑනියෙක් කැගහන සද්දෙ. හැබෑට මක්කද උනේ? කවුද සුගුණි ව වගේම අනිත් අයව ඩැහැගත්තෙ?

එදා මන් දුටුව කෙල පෙරන් උන්නු මිනිහද?

පුරස්න දාහක් තිබ්බත් මන් උන්නෙ රංජිත් ම ආයෙ කතාව පටන් ගන්නකම්.

“අපි හිතන්නෙ නැති මිනිස්සු කොයිතරන් දේවල් කරනවද ගීතාංජලී.සිල් රෙදි පොරවන් උන්නු මිනිස්සු විසේසෙන්ම.”

“ඇයි රංජිත් එහෙම කිව්වෙ එකපාර?”

“හැමදෙයක්ම පස්සෙ ඉඳල තියෙන්නෙ අපි කොහෙත්ම  නොහිතපු කෙනෙක් ගීතාංජලී “

හිත ඩිග් ඩිග් ගාන අතරෙදි තමා මන් රංජිත් ගෙන් ඒ කවුද කියල ඇහුවෙ.

මගෙ මූන දිහා බලන් උන්නු රංජිත් ආයෙ හඳ දිහාව බැලුවෙ හරියට කියන්න දෙයක් නැතුව වගේ.

“කවුද රංජිත් ඒ?”

එයැයි කෙල ගිලින සද්දෙ පවා මට ඇහුනා ඒ නිස්සද්දෙට.

“කවුද රංජිත් ඒ? කියන්නකො”

ඉවසන්න බැරිම තැන තමා මන් ආයෙ ආයෙ එයාගෙන් ඒ ගැන ඇහුවෙ.

“ස්ටීවන් ගොඩකවෙල”

රංජිත්ගෙන් කටෙන් පිටවෙච්ච ඒ වචන වලට ඇහැක් උනා මාව බිරන්තට්ටු කොරන්න.අතෙන් කට වහගත්ත මන් හිමීට හිමීට පස්සට යද්දි මන් දුටුව රංජිත් මන් දිහාව බලාන ඉන්නව.

“දෙයි..දෙයියනේ”

පැටලි පැටලි තමා මගෙ කටින් වචන පිට උනෙ.

“මම දන්නව ගීතාංජලී .ඔයාට හිතාගන්න බැරි විත්තිය.ඒඋනාට ඔයාට හිතාගන්න බැරි තව එව්ව තියනව.”

“මන් මුලින් හිතාන උන්නෙ ඉස්කෝලෙදි මේ ලමයින්ව මුනගැහෙන්නෙ වගේම, ලමයි එක්ක වැඩිමනත් සම්බන්දයක්.තියෙන හන්ද මේක පස්සෙ ඉන්නෙ ආසිරියකියල.මන් මිනිහ පස්සෙ සෑහෙන දවසක් ගියා අල්ලගන්න.ඒඋනාට මිනිහව අල්ලගන්න එක මට ලේසි කාරනාවක් උනේ නෑ.මොකද හැබෑවටම මිනිහ මේ කිසි දෙයක් පස්සෙ ඉඳල නෑ ගීතාංජලී.මිනිහ නොදැනුවත්ම වරදක් වෙලා තියනව.හැබැයි හැබෑවටම මිනිහ අහිංසකයි”

“ආසිරි මේක පස්සෙ ඇතැයි කියල මන් හිතුවෙ නෑ කවදාවත්ම. ඒත් ඉස්ටීවන් මහත්තය තමයි මේකට සම්බන්ධ කියලත් මන් හිතුවෙ නෑ”

“ඒකතමයි මන් කිව්වෙ සිල් රෙදි පොරොවගත්ත උන් තමා වැරදි කොරන්නෙ කියල”

“ඉස්ටීවන් මහත්තය එහෙම කොරල තියෙන්නෙ ඇයි? අනික කෝමද? කාගෙ උදව්වෙන්ද? ස්වර්නලට මක්කද හැබෑටම වෙලා තියෙන්නෙ? අර එහෙ ගෙදර උන්නු මිනිහ කවුද? මාව ඇදන් ගියේ ඉස්ටීවන් මහත්තය ද?”

“ඉස්ටිවන්ට ඉඳල තියනව පුතෙක් අබ්බගාත.පවුලෙ නම්බුවට ලැජ්ජ හන්ද ඒ දරුව මැරිලය කියල ගමේ කතාවක් යැව්වට ඇත්තටම ඒ ලමය මැරිල නෑ ගීතාංජලී .අබ්බගාත ලමය අවුරුදු ගානක් යනකම්ම ඉඳල තියෙන්නෙ කොලඹ අනාත නිවාසෙක.එහෙදි උන්දැගෙ හැසීරීම බෝම බය හන්ද එහෙන් ඉස්ටීවන් මහත්තයට කියල තියනව ඇවිත් ලමය එක්ක යන්නය කියල. ලමය තියන්න වෙන තැනක් නැති හන්දත්, දැන් සෑහෙන වයසක ලමේක් හන්දත්,හැසිරීම හන්ද භාරගන්න වෙන කොහෙන්වත් කැමතිවෙන්නෙත් නැති හන්ද ස්ටීවන් කරල තියෙන්නේ ලමය ගෙදර එක්කන් ආව එක. ඒ ආවත් ලමය ඉන්න විත්තිය කාටවත් නොතේරෙන්න ලමය හංගල තියල තියෙන්නෙ වලව්වෙ එහා කෙලවරේම කලුවර කාමරේක.එලියට යන්න දඟලන හන්ද උන්දැව දම්වැලකින් ගැට ගහන්නත් වෙලා.ගමේ මිනිහෙක්ව දම්මල ලමයගෙ වැඩ කොරගන්න බැරි හන්ද ස්ටීවන්ට අයිති නුවර පැත්තේ තේ වත්තක මිනිස්සු විඩෙන් විඩේ ගෙන්න ගත්තත් ඒ ලමය පිරිමින්‍ට ඩිංගක්වත් කැමති නැතිලු. අන්තිමේ ඒ වත්තකින්ම ගොලු දෙමල කෙල්ලෙක් ගෙන්න ගෙන තියනව.ඒකිට කතාකොරන්න බැරි එකම ස්ටීවන්ට ලොකු උදව්වක් වෙලා තියනව ලමය ගැන හංගන් ඉන්න. ඔය අතරෙ තමා ඒ කොල්ලගෙ අතින් ඒ දෙමල කෙල්ලට කරදර වෙලා කෙල්ලගෙ මිනිය හංගන්න ස්ටීවන්ට වෙලා තියෙන්නෙ.”

“දෙයියනේ…”

“ඔව් ගීතාංජලී .ඒක තමා වෙලාතියෙන්නෙ.ස්ටීවන් සෑහෙන කල්පනා කොරල තියනව මිනියට මොකද කරන්නෙ කියල.ඇල්ලට ගෙනිහින් දාන්නත් බෑ වලව්වෙ ඉඳල දුර හන්ද මිනිස්සු දකී කියල.අනික ඇල්ලට ගොහින් දැම්මත් හදිසියේ හරි ගොඩ ආවොත් කියන බය තිබුන හන්ද මිනිහ රදන්පොල වලව්වෙ ලිඳට තමා දාල තියෙන්නෙ.ගමේ මිනිස්සුන් දැන උන්නෙ ගොඩකවෙල වලව්වෙ වැඩට ඒ කෙල්ල ආව විත්තිය මිසක් අර අබ්බගාත මිනිහ බලාගන්න කියල නෙවිනෙ . ඒ හන්ද ඒකි ආපහු ගෙදර ගියා කියල කියන්න මහ අමාරුවක් තියෙන්න නැතුව ඇති”

“අබ්බගාත මිනිහ මක්ක කොරලද කෙල්ලො මරල තියෙන්නෙ?”

“ඌ දැනුවත්ව කෙල්ලො මැරුව කියල මන් හිතන්නෙ නෑ.මොලේ වැඩිල නැති හන්ද මිනිහ මිනිහගෙ පහත් ආසාවල් ඉස්ට කරගනිද්දි වේදනාවට කෙල්ලො මැරෙන්න ඇති කියල තමා මන් හිතුවෙ.පොලිසියෙදි ස්ටීවන් මෙව්ව කියද්දි මට මතක් උනේ ඔයාව.එදා අපි නාවනම් ඔයාටත් මේ සන්තෑසියම නේද කියල හිතෙද්දි මට ස්ටීවන් ව මරන්න හිතුන ගීතාංජලී “

එහෙම කියද්දි රංජිත් ගෙ ඇස් වල තිබුන කේන්තිය් අස්සෙන් මගෙ හිත අස්සට එබිකම් කොරේ ආදරේද? කියන පුරස්නෙත් මට තිබුන.

“කෝමහරි ඉන්පස්සෙ කෙල්ලෙක් නැති හන්ද වෙන්නැති ඒ මිනිහ තව පිස්සු වැටිල ඉඳල.පුතා වෙනුවෙන් ඕන දෙයක් කරන්න වගේම මේ කරදරෙන් ගැලවෙන්න වෙන්නැති ස්ටීවන් කාරයා පබාව අරන් යන්න හිතන්න ඇත්තෙ.ඔය කාලෙදි තමා ආසිරි ඉස්කෝලෙ ට ඇවිත් තියෙන්නෙ. පබා සෑහෙන කල් ඇයි හොඳයි කම් පවත්වල තියනව කොල්ලෙක් එක්ක.ඒත් කාලෙ එක්කම ඒ කොල්ලහෙ තිබ්බ නොරස්සාවක් හෙම නැති හන්ද පබාගෙ හිත වෙන අතකට ඇදිල ගොහින් තියනව.ඉන්පස්සෙ තමා පබා සුමනපාල නැත්තම් සුමනෙ එක්ක යාලුවෙලා තියෙන්නෙ.තමන් ආදරේ කල කෙල්ල තමන්ව අතෑරල වෙන කොල්ලෙක් එක්ක යාලුවෙද්දි ඕනෙම කොල්ලෙක්ගෙ හිතේ තරහක් දුකක් ඇතිවෙනව තමයි.ඒත එහෙමයි කියල ඒ කෙල්ලව කරදරේකට ඇදල දාන්න තරම් මිනිහෙක්ට පුලුවන් කියන්නෙ එතන හැබෑවටම ආදරයක් තිවිල නෑ නේද? අනිත් හැම කෙල්ලටම කරදර උනේ ස්ටීවන් ගෙ පුතාගෙන් විතරක් උනාට පබාට ඊට කලියෙන් එයා කලින් යාලුවෙලා උන්නු කොල්ලගෙනුත් සෑහෙන වද වේදනා විදින්න වෙලා තියනව ගීතාංජලී “

“එතකොට සුමනෙ මැරුනෙ කෝමද?”

“පබාව උස්සන් ගිහින් තියෙන්නෙ පබා හවස අම්මල පන්සල් ගිය අතරවාරෙ සුමනෙ මුන ගැහෙන්න එන්නම්‍ කියල පොරොන්දු වෙලා තියනව ඇල්ල පැත්තට හැරෙන වංගුව ලඟදි.සමහරවිට උන් දෙන්නගෙ මොකක් හරි වැඩකට වෙන්නඇති.කෝමහරි පබා එදා යද්දි පරක්කු වෙලා සුමනෙ හැරිල ගොහින් තියනව.පබා ඇවිත් බලල සුමනෙ නැති හන්ද යන්න හදද්දි තමා පබාව ඩැහැගෙන තියෙන්නෙ.පබා ගේ කෑගැහිල්ල ඇහිල සුමනේ ආපහු හැරිල එද්දි දැකල තියනව පබාව උස්සන් යනව.සුමනෙ ඇවිත් පබාව බේරගන්න හදද්දි ස්ටීවන් මහත්තය ඇවිදින් සුමනෙට ගහපු පාරට සුමනෙ වැටිල ඔලුව වැදිල තියනව.මරන පරීක්සනේ කරද්දි මන් ඒක දුටුවට අපි හිතාන උන්නෙ සුමනෙ ඇල්ලෙන් පැන්න කියල හන්ද එතෙන්දිඔලුව වැදිල කියල.ඒත් හැබෑවටම වෙලා තියෙන්නෙ අරක.ඔලුව වැදිල සිහි නැති උනා මිසක්ක සුමනෙ මැරිල උන්නෙ නැත, ඇල්ලෙන් පල්ලෙහට දාද්දිත් පණ තිබ්බය කියල ස්ටීවන් පොලීසියෙදි කට උත්තර දෙද්දි කිව්ව.”

“ස්වර්නව පන්නල තියෙන්නෙත් ඔය විදිහටමද?

“ස්වරන අන්තරස්දාන වෙලා තිබ්බෙ ඔයා වගේම මහ පිරිත් තිබ්බ දවසක.එදා පිරිත පුරුදු විදිහට ගමේ ඉස්කෝලෙ තිවිල තියෙන්නෙ.කොන්දෙ අමාරුවක් හැදිල වගේම හාමු මහත්තය නැතිවෙච්ච සෝකෙට කුමාරිහාමි ඉදල තියෙන්නෙ සාංකාවෙන් නිසා පිරිතට ඇවිත් නෑ.රෑ පිරිත ඉවරවෙලා ලමයි එක්කම ගෙදර ආව ස්වර්න හැබෑවටම ගෙදර ඇවිත් නැත්තෙ, වලව්වට එන පාර පටන් ගන්න පඩිපෙල අද්දරදි ස්ටීවන් මහත්තය ඉන්නෝ දැකල ස්වර්න උන්දැ එක්ක කතාකොරන්න නතරවෙලා.ඒ අතර අර ඉස්කෝලෙ ට සම්බන්ද කොලුව ඇවිදින් මල්ලකින් ඔලුව වහල ස්වර්නව උස්සන් ගොහින් තියෙන්නෙ. මුලින්ම මැරිච්ච දෙමල කෙල්ලයි පබයි දෙන්නම් එකරැයින් මැරිල අර අබ්බගාත මිනිහගෙ වද දරාගන්න බැරුව.ඒත් ස්වර්නට එහෙම වෙලා නෑ ගීතාංජලී.පැනල යයි කියන බයට ස්ටීවන් ස්වර්න වත් අරූ වගේ දම්වැලකින් ගැටගහල තියල.අර මිනිහ මොන තරම් වද දීලද කියන්නෙ ස්වර්නට කතාකරන්න තියා කෙඳිරි ගන්නවත් බැරි තරම් කට තුවාල වෙලා තිබුනලු කට බැඳල තිබුන රෙදි පටි වලට. දවස් තුනකට පස්සෙ ස්වර්න මැරිල තියෙන්නෙ ගීතාංජලී. ඒ දවස් තුනම එයාව ගැටගහල තිබුන තැන ඉඳන්  කුමාරිහාමි, ඒ කිව්වෙ ස්වර්න ගෙ අම්ම ස්ටීවන් හම්බෙන්න ඇවිත් තමන්ගෙ දූ නැතිවෙච්චි එක ගැන කියල අඬද්දි ස්වරන හරියට ඇඬුවලු ගීතාංජලී .ස්ටීවන් ඒක කියද්දි මට හැබෑවටම ඇඬුන මොන දුකක් විඳින්න ඇත්ද කියල හිතල.කෝමහරි ස්වරන මැරිල තියෙන්නෙ එයාගෙ අම්ම බෙල්ලෙ බැන්ද චේන් පට අතේ තද කොරන්. පස්සෙ ලිඳ සුද්ද කරල  ඔක්කොම ඇටකටු ගොඩ ගනිඳ්දි ඒ මාලෙ එහෙම්ම අතේ ගුලිකරන් උන්නු ස්වරන උන්නා. කුමාරිහාමි විලාප තියල ඇඬුව ගීතාංජලී .මට හරි වේදනා දැනුන හැබෑටම”

රංජිත් ඒක කියද්දි මට දැනුනෙ නැන්ද විලාප තියල අඬන හඬ මගෙ කන්දෙකට ඇහුන හේ.දෙයියනේ අම්මෙක් කෝම දරාගන්නද තමන්ගෙ දරුවට මේ වගේ විපතක් උනාය කියන එක.මට හිතුනෙ මන් නැන්ද ලඟ ඉන්න ඕනෙ කියලමයි.

“මාව එහේ එක්ක යනවද නැන්දව බලන්න” 

මන් එහෙම ඇහුවෙ ඒ හන්දමයි. හා කියන්නැහේ රංජිත් මන් දිහා බලල හිනාඋනා.

“ඉන්පස්සෙ මොකද උනේ රංජිත් ?”

ආයෙම කතාව අහන්නයි මට ඕන උනේ.

“ස්වරනව අතුරුදන් කරාට පස්සෙ, දවස් ගානක් යනකම් ඒ කොල්ල  ඒකෙන් සන්තෝස වෙලා තියනව.කෙල්ල මැරුනට පස්සෙ ඌ අර ඕජස් ගලන මිනිය පවා තියන් අතපත ගාන වල් සතෙක් ගීතාංජලී.”

“කෝමහරි ඊලගට ඔය විදිහටම තමා අනිත් කෙල්ලන්වත් අන්තරස්දාන වෙලාතියෙන්නෙ.සුගුණි අන්තරස්දාන උන  වෙලේ අර ලියුම් කරදාසියක් තිවුන කියල කිව්ව නේද? ඒක තියල තියෙන්නෙත් ඒ ඉස්කෝලෙඋන්න හාදයා.ඌ සුගුණි ට පෙන්නල තියෙන්නෙ මිනිහ සුගුණි ට මනාප විත්තිය.හැබැයි කිසිම වෙලාවක මිනිහ පේන්න ඇවිදින් නෑ.ලියුම් කරදහිවලින් තමා දෙන්න කතාබස් කොරල තියෙන්නෙ.එහෙම කරල තියෙන්නෙ එලිපිට කතාකරනව දැකල අනිත් මිනිස්සු සුගුණි අතුරුදන් උනාම මිනිහව සැක කරාවි කියන බයට වෙන්නැති.කෝමහරි ලියුම් කරදාසියෙ තිවිල තියෙන්නෙ එදා හවස ක්‍රීඩා පුහුනුවිං ඉවර උනාම ඉස්කෝලෙ පිටිපස්සෙ තියන බංකුව ගාවට එන්නය කියල.ඒ ආවම තමා සුගුණි වගෙදර ඇරලවන්නම් කියල එක්කන් යන අතරෙ අරං ගොහින් තියෙන්නෙ.කෝමහරි ඔයා සෝදිසියෙන් ඉන්න විත්තිය දැනගෙන උන්ට සුගුනිගෙ මිනිය ලිඳට දාන්න බැරිවෙලා තියනව.”

“එතකොට එදා පිරිත දවසෙ ලිඳට මක්කද වැටෙන සද්දයක් ආවේ ඒ සුගුනිගෙ මිනියද?

“නෑ ගීතාංජලී .ඔයාව ලිඳ අද්දරට ගෙන්න ගන්න තමා ඒක කොරල තියෙන්නෙ.උන් ඉඳල තියෙන්නෙ එදා රෑ කුසුම්ව ඩැහැගන්න.ඒත් නොහිතපු විදිහට ඔයා නැන්ද එක්ක ගෙදර ආවම උන් පැලෑන මාරු කරල කුසුම් වෙනුවට ඔයාව අරන් යන්න තීරනේ කොරල.ඒකට තමා ලිඳට ගල් ගෙඩියක් දාල ඔයාව ඒ පැත්තට එක්කන් ඇවිත් තියෙන්නෙ.”

“ආසිරි කෝමද මෙතෙන්ට සම්බන්ධ වෙන්නෙ? “

“ආසිරි ගමේ ඉඳලම කංසා වලට ඇබ්බැහි වෙලා තියනව.මෙහෙ ආවට පස්සෙඋන්දැට එව්ව හොයාගන්න බැරිවෙලා තියෙද්දි ස්ටීවන් තමා ආයෙ කංසා දීල ආසිරිව උන්දැගෙ පැත්තට නම්මන් තියෙන්නෙ.ස්ටීවන් හදල තියෙන්නෙ ආසිරි ලව්ව ඉස්කොලේ ගැනු ලමයි අන්තරස්දාන කොරන්න.මොකෝ ආසිරිට ලමයි මනාප හන්ද? ඒඋනාට ආසිරි බෑම කියල තියනව. සුගුනිගෙ කාරනාවෙදි අර ලියුම ගොහින් සුගුණි ගෙ පොත් මේසෙන් තියල තියෙන්නෙ හැබැයි ආසිරි.උන්දැ දැනන් උන්නෙ නැතුවැති මුලින්.ඒත් සුගුණි අන්තරස්දාන උනාට පස්සෙ ලියුම් කරදහියෙ කතන්දරේ එලියට ආවම තමා ආසිරිට තේරිල තියෙන්නෙ තමන් නොදනුවත්වම සුගුණි අන්තරස්දාන වෙච්ච එකට පෑහිල කියල. මිනිහ සෑහෙන වේදනාවෙන් ඉඳල තියෙන්නෙ .මිනිහට ඕන වෙලා තිබුනත් කාටහරි කියන්න විස්වාස නැති හන්ද බයවෙල තියෙනව. ඔයාව අරන් ගියා කියල දැනගත්ත වෙලේ ආසිරි හොඳටෝම ඇඩුව.කෝමහරි එවෙලෙත් බීල උන්නෙ උන්ද පිස්සුවෙන් වගේ ගිහින් ඇල්ලෙන් පල්ලහට පැනල තියෙන්නෙ ඔයා නැතිවෙච්ච එකට මිනිහත් වගකියන්න ඕන කියල හිතල වෙන්නැති”

“ඇල්ලෙන් පල්ලටපැන්න? ආසිරි? මක්කද උනේ…”

“ඔව් ගීතාංජලී .මිනිහ බේරගන්න අපිට බැරිඋනා.ඒත් හැබෑටම මිනිහ නරක කෙනෙක් නෙවි.මිනිහ හැබෑටම ඔයාට මනාපෙන් ඉඳල තියනව.පව් දෙයියනේ.අනුන්ගෙ වරදකට මැරුනෙ අකාලෙ.එයා හිතන්න ඇති සුගුණි මැරිච්ච හැටි එයා දන්න බව කිව්වනම් ඔයාට මෙහෙම වෙන්නෙ නැත කියල.”

ආසිරි මැරිච්ච විත්තිය මට අදහගන්න බැරිඋනා.දෙයියනේ පව් දෙයියනේ .මගෙ ඇස් වලින් වැක්කිරිච්ච කඳුලු පිහදාන ගමන් අඬන්න එපා කිව්ව රංජිත් ගෙ කටහඬත් වේදනාවෙන් පිරිල තිබුන විත්තිය මට තේරුනා.

“කෝමහරි ඔයාව අරං ගිය වෙලේ මන් දැන උන්න එදා කාවහරි එක්ක යන විත්තිය .ඒ නිසාම කෝකටත් කියල මන් පොලිසියෙ තව කිපදෙනෙක්ටම එන්නය කියල තිබ්බෙ.අපි හැංගිලා උන්නෙ ස්ටීවන් ගෙ ඉඩමෙ කැලෑවෙමයි.අපිටකලින් එහෙට ගොහින් වරෙන්තු පෙන්නල ස්ටීවන් අත් අඩංගුවට ගන්න තිබ්බ උනත්,මන් එහෙම නොකලෙ හදිසියේ හරි අපිට සාක්කි නෑනෙ කියල මිනිහ බේරුනොත් කියන බයටමයි.ඒකයි ඔයාව අරන් යනකම්ම අපිට ඉන්න උනේ”

“කෝමහරි මා එක්ක එවෙලෙ උන්නෙ දෙතුන් දෙනයි.අපි අනිත් අය එනකම් ඉද්දිතමා ඔයාගෙ වාසනාවට හේ ස්ටීවන් නොහිතුව විදියට මහ පාන කඩන් වැටිල මුලු ගේම පිච්චුනේ.එවෙලෙ තමා ගීතාංජලී මන් දුවන් ආවෙ.මන් එද්දිත් අර මිනිහ ඔයා ලඟ හිටන් උන්න.මට ඒ මක්කවත් මතක් උනේ නෑ ගින්දර ඔයාව වට කරගන්නව දැක්කම.මන් ඔයාව අරන් එලියට පනිද්දිම තමා ඒ කාමරේ සහමුලින්ම අලුවෙලා ගියේ.”

රංජිත් කියද්දිත් මටමතක් උනේ ඒ වෙලාව.දෙයියනේ මොනතරම් බයෙන්ද මන් උන්නෙ.

“කෝමහරි ඒ ගින්දරෙන් ඒ ස්ටීවන් ගෙ පුතා පිච්චිල මැරුන.අපි ස්ටීවන් පොලිසිය ට අරන් එද්දි අර කොල්ල ගමෙන් යන්න හදල තියනව.ඒත් ඌ ගමෙන් පනින්න හදද්දිම අපි අල්ල ගත්ත.ඌ ඩිංගක්වත් දුක් උනේ නෑ ගීතාංජලී ඌ කරාපු වැරදිවලට.පබා කරපු දේට කෙල්ලන්ගෙන් පලිගන්නවකියල හිතලලු උන්නෙ.ඒ අදහස ඔලුවට දාල මිනිහ ලව්ව තමන්ගෙ වැඩේ කොරගන්න ස්ටීවන් ට පුලුහන් වෙලා තියනව.”

“කවුද ඒ කෙනා රංජිත් ?”

මන් ඒක ඇහැව්වෙ මට ඒක දැනගන්න ඕන වෙච්ච හන්දමයි.

රංජිත් කට වහන් උන්නෙ මන් තව වතාවක් බිරන්තට්ටු වෙයි කියලද? බිරන්තට්ටු වෙන්න හේතුවක් ඒ කියන්නෙ තියනවද? කියලත් මට හිතුන.

“කවුද රංජිත් ඒ?”

.ඊලඟ වතාවෙ මන් ඒම ඇහුවෙ හැබෑවටම බයෙන්

“ලොකු ඉස්කෝලෙ මහත්තය ගෙ ලොකු පුතා සුගත්”

දෙයියනේ, මන් උන්නුතැනම බිම වාඩිඋනේ දෙවනි පාරත් රංජිත් කිව්ව දේ මට දරාගන්න බැරිවෙච්ච හන්ද. සුගත් ? අපෙ ඉස්කෝලෙ ම ඉගන ගත්ත සුගත්?පිරිත දවසෙ අපිව ඇරලවන්න ආව සුගත්? මෙහෙම දෙයක් කරාවිය කියල කවුද දෙයියනේ හිතුවෙ?

මන් උන්නෙ මගෙ හිත අස්සෙම හිරවෙලා.රංජිත්ගෙ කටහඬ ආය ඇහෙනකම්ම මන් උන්නෙ  අහස පොලව පැටලිච්ච ගානට.

“දෙයියනේ මේ හැමදේම පස්සෙ ඉඳල තියෙන්නෙ එතකොට සුගත් ?”

“ඔව් .පොලිසියෙන් උන්දැව කුදලන් යද්දි ලොකු ඉස්කෝලෙ මහත්තය උන්නෙ රට රාජ්ජ නැතිවෙච්ච ගානට.තමන් ලමයි දාස් ගානකගෙ ඔලුව පෑදුවත් තමන්ගෙ ලමය හදාගන්න බැරිඋනා කියන ලැජ්ජාව දුක ලොකු ඉස්කෝලෙ මහත්තය ගෙ මූනෙන් එවෙලෙ හොඳට පෙනුන. සුගත් අපි හිතන් උන්න අහිංසක ලමය නෙවි ගීතාංජලී .මිනිහත් ආසිරි හේම කංස වලටයි අරක්කු පස්සෙ ගෑණු පස්සෙ යන මිනිහෙක්.පබා සුගත් එක්ක තිබ්බ පලහිලව්ව නතර කොරල තියෙන්නෙත් සුගත්ගෙ නොහොබිනාකම් හන්ද.ඒකෙ පලිය ගත්ත හැටි තමා ඔය.”

“මිනිහ මල්ලිකාලව හෙම අල්ලගෙන තියෙන්නෙ මනමාල කමෙන්.ආසිරි නතරවෙල උන්නු ගෙදර තියෙන්නෙ මල්ලිකාලයි ගේ ලඟම.ආසිරිහම්බෙන්න යන මුවාවෙන් මල්ලිකා යාලුකොරගන්න සුගත් ට පුලුහන් වෙලා තියනව.සුමනාවතී ඉස්කෝලෙ ට කෑම අරන් එද්දි කතාබහට අල්ලන් තියනව.කෝමහරි සුගත් ගෙ කතාවට රුපෙට උන් බඹරු වගේ ඇදිල ඇවිත් තියෙන්නෙ කපුරු මලක සුවඳට කියල තේරෙද්දි පරක්කු වැඩි.”

රංජිත් ගෙ කතාව අහන් උන්නු මන් කල්පනා කොලේ වෙච්ච හැමදේම ගැන.හරියට පාඩමක් ඉගෙන ගත්ත හේ.

මට මතක්.උනේ එදා පිරිත පටන් ගන්න කලියෙන් ඉස්කෝල වත්තෙදි දැක්ක ආසිරිව. හඳ එලිය වැටිල සුදු පාටට දිලිහෙච්ච ආසිරිව.මට කියන්න දෙයක් තියනව කියල කිව්ව ආසිරිව. මගෙ ඇස් වලින් ඉබේම කඳුලු වැක්කුරුනෙආසිරි එක්ක ගත කොරපු හැම තප්පරේම මතක් වෙලා.කංස බිව්වට උන්දැගෙන් මට අවැඩක් උනේ නෑ නේද? උන්දැ මට හැබෑවටම සෙනේ පාලා නේද කියන එක මතක්වෙද්දි, උන්දැ මැරුන කියල හිතෙද්දි මගෙ හිත වේදනාවෙන් ඇදුන් කන්න උනා.

“දැන් ඔව්ව ගැන් හිතන්න එපා ගීතාංජලී ” කියල කියන ගමන්මයි රංජිත් මන් උන්නු තැනට ආවෙ.තව අහන්න මොන තරම් දේවල් තිබුනත් මන් උන්නෙ තෙහෙට්ටුවෙන්.අහන්න ලැබුන දේවල් ගැන තෙහෙට්ටුවෙන්.

“අපි නිදාගන්න යන් ගීතාංජලී .ඔයාට මහන්සිත් ඇති නෙව.”

මන්ලඟට ආව රංජිත් එහෙමකිව්ව.

“ස්වරන අතුරුදන් උනාටපස්සෙ කුසුම දවසක් මහසෝනය කියල බයවෙලා තියෙන්නෙ එතකොට ස්ටීවන් ටද?

ඒක ඇහුවම රංජිත් බකස් ගාල හිනාඋනේ මක්කටද මන්ද? උන්දැගෙ ඔය හිනාව තමා මට නිච්චි නැත්තෙ.

“ඒකි දැක්ක මහසෝන තමා ඔයා ඉස්සරහ ඉන්නෙ.මන් තාම පෙන්නුවෙ නෑ මහසෝන ඔයාට”

කියල ආය රංජිත් මහ හයියෙන් හිනාඋනා.මක්කවත් තේරුනෙ නැති හන්ද මන් කට ඇරන් බලාන උන්න.

“ඒකි දැක්කෙ මම කැලෑව අස්සෙ ඇවිදින එක.නැතුව ස්ටීවන් වත් සුගත්වත් මහසෝනවත් නෙවි”

ඒක ඇහැව්වට පස්සෙ මටත් ඩිංගක් හිනා ගියා.අම්ම කිව්ව හේ කාමරේ දොර වහල මන් ඇතුලට එන්න කලියෙන් මන් ආයෙ බැලුවම දුටුවෙ මන් කවදාවත් නොදෑකපු ස්වර්නල, පබාල, මල්ලිකාල, සුමනාවතීල එක්කම සුගුනියි ආසිරියි හඳ එලියෙ නෑවි නෑවි හිනාවෙනව මන් දිහා බලාන.හරියට බෝම පින් අපිව නිදහස් කොලාට කියන්නැහෙ.මටඇහුන මගෙ හිත ඇතුලෙන් කවුරුන්දෝ කොඳුරනව. බෝම ආදරෙන් හිමීට මට විතරක් ඇහෙන්න.

“මට ඔයාට කියන්න දෙයක් තියනව.මේ රාජකාරි අහවර වෙලා නිස්කලංක වෙලාවක මන් ඒක කියන්නම්. ඔයා අහන් ඉන්නවද ගීතාංජලී ?”

-අහවරයි-

මෙතෙක් දවස් ගීතාංජලීට සෙනේ පෑ ඔබට බොහොම ස්තූතියි ❤

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here