වසන්තය තව දුරද – 11

0
224

“සම්බන්ධයක් නැත්තම් අහවල් එහෙකටද එක එක ගෑනුන්ව මෝටර් සයිකලේ දාගෙන තේ කඩවල් අස්සෙ රිංගන්නෙ?” කියමින් හොටු හූරන ගමන් අම්මා කාමරයේ හිඳ කරන නඟන හැඬුම ඇහෙද්දී ඒ හැඬුමත් තාත්තාත් අතර සම්බන්ධය හදාගන්නට නෙත්මලීට අපහසු වුණේ නැත. 

තාත්තා උන්නේ ඉස්තෝප්පුවේ පුටුවේ වාඩි වී හිස බිමට නවාගෙනය. වෙනදා තමන් ගෙට ගොඩ වෙද්දී හිස ඔසවා බලා තමන් දෙසට නෙත් යොමා හිනා වෙන්නට තාත්තා කටයුතු කලද අද තාත්තා උන්නේ ඒ සියල්ල අමතක වූ විලාසයකින් කොහේ හෝ වෙනත් ලොවක අතරමං වීය. 

“තාත්තා කෙනෙක් නේද මං අහන්නෙ? පොඩ්ඩක් ඒක ගැන හිතන්න ඕන නෙ දෙයක් කරන්න කළින් තමන් තාත්තා කෙනෙක් නේද කියලා. මේ ළමයින්ට මොන ලැජ්ජාවක්ද කියන්නකො වෙන්නෙ තාත්තා කෙනෙක් මෙහෙම හැසිරුණාම කියලා පොඩ්ඩක් මේ මනුස්සයට හිතන්න තිබුණා නේද? නඩලං නටන්නෙ හැබෑට තමුං කොල්ලෙක් කියලා හිතලද? කරක් උසට පුතෙකුයි දීග දෙන්න පුලුවන් වයසෙ දුවෙකුයි ඉන්න තාත්තෙක් කරන වැඩක්ද කියන්න අක්කෙ මේ මනුස්සයා මේ කරන්නෙ? අක්කා කියන්නෙ අයියයි අක්කයි අද ඔහොම දැකලා මට ඕක ඇවිල්ලා නොකිව්ව නම් එහෙම මම කොහොමද කියන්නකො මේ විත්තිය දැනගන්නෙ? 

එහෙනම් ගේ ගෙම්බි වගේ මං ගේ අස්සටම වෙලා ඉන්නවා මෙලෝ දෙයක් දන්නෙ නැතුව. පිට ගෑනුන්ව සයිකලේ දාන් රවුම් ගහලා එද්දි මෙතන අතට පයට තේ හදලා කෑම බීම හදලා දෙන්න පේවිලා ඉඳීවි මම ගොනියක් වගේ” කියා අම්මා කියාගෙන කියාගෙන යද්දිත් නෙත්මලී අතින් පාසල් බෑගය ඔහේ රූටා බිමට ඇදගෙන වැටුණේ අනිච්චානුගවය. කළ යුත්තේ කුමක්ද, කිව යුත්තේ කුමක්ද කියා පැහැදිලි අදහසක් ඇත්තටම නෙත්මලීට තිබුණේ නැත. ඉස්තෝප්පුවේ වාඩි වී බොහෝ දුර කල්පනාවක ගිලී උන් තාත්තාට එහා පසින් වාඩි වූ උන්නේ ලොකු තාත්තාය. අම්මාගේ අක්කා වුණ ලොකු අම්මාගේ මනුස්සයාය. කොහොමත් ලොකු අම්මා වනාහී කෙන්ද කන්ද කර කියන්නට දන්නා තැනැත්තියක හන්දාම නෙත්මලී එහෙමකට කියා වැඩිය පයුරු පාසානම් තියාගන්නට කැමති ඉස්තිරියාවක නොවේ මේ ලොකු අම්මා.

“ගේ අස්සට වෙලා උන්නෙ ඉතින් ඒ කාලෙම උඹ ඉගෙනීම කඩාකප්පල් කරගෙන මේ කසාදයක් කරගන්න ඕන කිව්ව හන්දනෙ. අපි ඒ කාලෙ කොච්චර නං කිව්වද අර යමින් උන්න ටයිපිං ශෝට් හෑන්ඩ් පංතියට දිගටම යන්නය කියලා. ඇහුවෙ නෑනෙ. සමරෙ හරි හොඳ මනුස්සයය, දාහකින් හොයාගන්න බැරිය කියලා කසාදෙ කරගන්නමනෙ උඹ නැහුනෙ. දැන් ඔය කරගත්තෙ කසාදෙ. 

හැබෑට ඔය මනුස්සයා මේ ගේ අස්සෙ ඉද්දි උඹට කිසිම වෙනසක් තේරුණේ නැද්ද?” කියා ලොකු අම්මා කාමරේ අස්සෙ හිඳ අඬන අම්මාගෙන් අහනවා නෙත්මලී අහගෙන උන්නේ කකුල් දෙක අගුලු ලාගෙන ඉස්තෝප්පුවේ හිටගෙන ඉන්නා අතරවාරයේය.

“ඔයා ඔතන හිටගෙන උන්නා කියලා තේරුමක් නෑනෙ දුවේ. කාමරේට ගිහින් ඔය උදේ ඉඳන් ඇඳන් ඉන්න ඇඳුම් මාරු කරගෙන එන්න. මං ගිහින් කන්න දෙයක් අරගෙන එන්නම්” කියා ලොකු තාත්තා කියද්දී මේ සිද්ධි දාමය වෙන්නට ඇත්තේ අම්මා දවල්ට උයන්නටත් පෙරාතුව බවට පෙර අපර සන්ධි ගලපාගන්නට නෙත්මලීට අපහසු වුණේ නැත. ලොකු තාත්තා ඉස්තෝප්පුවෙ සිට මිදුලට බසින්නට ඇති බඩිපෙල බැස ඔහුගේ කුඩා මරුටි රියට නැගී කඩපොල පැත්තට යද්දිත් නෙත්මලී උන්නෙ එක තැනම සිටගෙනය. වී ඇති දේ හිතාගන්න අපහසු නැති නමුත් කවුරුන් හෝ මුල් වී වෙච්ච දේ පහදා දෙනවානම් කොතරම් අපූරුද යන්න නොසිතා ඉන්නට නෙත්මලීට හැකි වුණේ නැත. එහෙත් අසනවා නම් මේ ගැන අසන්නට හොඳම කෙනා තාත්තය. එහෙත් තාත්තා මේ වෙලාවෙ ඉන්නෙ තමන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දිය හැකි මානසිකත්වයක නොවන බව නෙත්මලී නොදන්නවා නොවේ.

“අම්මා බොරුවට පුතේ කලබල වෙලා ඉන්නේ. මං වරදක් කරේ නෑ” කියා තාත්තාගේ කටෙන් වචන රැල් එළියට ආවේ අන්න ඒ මොහොතේය. නෙත්මලී නොහිතුව විලාසයකිනි. එහෙත් නොහිතුව විලාසයකින් වුව එළියට ආ ඒ වචන වල එල්ලී “තාත්තා වැරදි නැතුව ඇති” කියා බොරු බලාපොරොත්තුවක එල්ලීගන්නට හැකිවීම ගැන නෙත්මලී මොහොතකට සන්තෝස වුණාය. එහෙත් තාත්තා විසින් කියන්නට යෙදුණ කතාවට තමන් විසින් දිය යුතු පිළිතුර කුමක්ද කියා හිතාගන්නට නෙත්මලීට එවෙලේ සිහියක් හරියාකාරව තිබුණේ නැත. නෙත්මලී දෙපා ඔසවා අම්මා හඬමින් උන් කාමරය දිහාවට යන්නට පය එසවූයේ ඒ නිසාය. මොක උනත්, තමන්ට  මොන ආකාරයෙන් සැලකුවත් අම්මා අසරණ බව, මෙතනදී අම්මා අතේ කොහොමත් වරදක් නැති බව දන්න හන්දාම හිත තිබුණේ අම්මා විෂයෙහි වඩා දයානුකම්පාවකින් බරවෙමිනි. 

පරණ වියන් ඇඳපත්තට හිස තබාගෙන හඬමින් උන් අම්මා නෙත්මලී කාමරයට ආ හඬ ඇසී එක තප්පරයකට හිස ඔසවා බලා නැවත තම හැඬුම අලුත් කරගත්තාය. ලොකු අම්මා උන්නේ නෙත්මලීව නුදුටුවාක් මෙන් නමුදු තම වචනවලින් නෙත්මලීව අමතන්නට කටයුතු කරමිනි.

“ඔන්න මහ ලොකු තාත්තා අලුතෙන් නාඩගමක් නටන්න පටං අරගෙන. අලුතෙන් අම්මෙක්ව ගෙදෙට්ට එක්කරගෙන ආවම බැරිය කාට කාටත් සන්තෝසෙන් ඉන්න. අපි පරණ අම්මව එක්කගෙන යන්නංකො. එතකොට ඉතින් දැන් වගේ අතට පයට වැඩ කරලා දෙන්නයි, උයලා පිහලා දෙන්නයි, රෙදි හෝදලා දෙන්නයි නම් කෙනෙක් නැතිවෙයි. 

අම්මගෙ අගේ තේරෙයි එතකොට කාට කාටත්. දැන් මේ ඔක්කොම අතට පයට කරලා දෙන හන්දනෙ අම්මගෙ අගයක් නැත්තෙ නේද කාටවත්? ඒකනෙ මෙච්චර දුක් දෙන්නෙ?” කියා ලොකු අම්මා තමන්ගේ ඇඟට කඩාගෙන පනිද්දිත් නෙත්මලී උන්නේ කිසිදෙයක් කරකියාගන්නට නොහැකිවය. මෙහෙම දේවල් අහන්නට තමන් කල වරද කුමක්දැයි තේරුංගන්නට බැරුවය.

“වෙනදට ඉතින් එක පංගු දෙපංගු වෙනකම් උඹලත් තාත්තටමනේ කඩේ ගියේ. තාත්තා අපිට ඒක ගෙනාවා, තාත්තා අපිව මෙහෙ එක්කන් ගියා ගගා අම්මා මෙලෝ දෙයක් නොකලා වගේ තාත්තව මහ ලොකුවට උඩ තියාගෙන උන්න තාත්තගේ ඇත්ත කෙරුවාව දැන් ඕන් ඇස් දෙක ඉස්සරම පේන්න ගත්තනෙ. තාත්තගේ සිරියාවන්තකම තව ටික දවසකින් මේ මුළු ගමේම උන්ගේ කටවල් අස්සෙන් ඇහෙද්දී උඹලටම තේරෙයි අම්මා මෙච්චර කාලයක් වින්ද දුක” කියමින් ලොකු අම්මා තවත් වචන විෂ කටුවක් නෙත්මලීගේ හදවත අස්සටම කිඳාබහින්නට විසි කලාය.

තමන් කවදාවත් අම්මාට අඩුවෙන් සලකා නැති බවත්, තාත්තාට ආදරේ කළාට අම්මාට නැති ආදරයක් තාත්තාට ලබා දී නැති බවත් කියන්නට නෙත්මලීගේ තොල් පෙති අතරින් වචන නැගී ආවත්, ඒවා උගුර අස්සේම හිරවී ගියේ ලොකු අම්මාගේ සැර පරුෂ ගැහැනුකම අස්සේ තමන්ගේ මුදු මොළොක් ළමාකම දෙවනි තැනට නිතරගයෙන්ම දෙවනි තැනට වැටෙන බව දන්නා නිසාවෙන්මය.

“දැන් ඉතින් ඔය ඉස්කෝලේ යන එකත් අතඇරලා ගෙදර නතරවෙයන්. මොකටද තවත් ඉගෙනගෙන? ගමේ උන් පාරේ තොටේදී උඹලගේ මූණට එක එක ඒවා කියද්දී ඉස්කෝලේ යන්න පුළුවන් වෙයිද? තාත්තා හම්බකරලා දෙන ඒවායින් කකා බිබී ඉන්නකොට අම්මාගේ පැත්තට කතා කරන්න එකෙක්වත් නෑ. අන්තිමේදී හැම දුකම කරගහන්න එන්න වුණේ අහක උන්න අපිට”

ලොකු අම්මා එක දිගටම කියවන ඒ අකාරුණික වචන හමුවේ නෙත්මලීට දැනුනේ තමන්ගේ දෙපා යටින් පොළොව දෙදරා යනවාක් මෙනි.

ලොකු අම්මාගේ ඒ සැර පරුෂ වචනවලින් නෙත්මලීගේ හදවත තැවෙමින් තිබියදී එකපාරටම කාමරයේ දොර අසල අඩියක් තබන සද්දයක් ඇසුණි.

ඒ තාත්තාය. මෙතෙක් වෙලාවක් ඉස්තෝප්පුවේ හිස බිමට නවාගෙන නිහඬව සිටි තාත්තා, දොර රෙද්ද පසෙකට කර කාමරය ඇතුළට ආවේ කෝපයෙක්  තද කරගත් දෙතොලින් යුතුවය. වෙනදා නැති අමුතුම දැඩි බවක් සහ වේදනාවක් ඒ දෑසේ ගැබ්ව තිබුණ බව තාත්තාව හොඳින් අඳුනන නෙත්මලීට අඳුනාගන්නට අපහසු වුණේ නැත.

“ප්‍රශ්නෙ තියෙන්නේ මාත් එක්ක නම් අක්කේ  ඒක මාත් එක්ක විසඳගන්න. කරුණාකරලා මං එක්ක තියෙන තරහ මගෙ අහිංසක දරුවන්ගෙ ඔලු උඩින් යවන්න හදන්න එපා”

අතුලගේ කටින් ඒ වචන ටික පිටවුණේ හදවත පතුලෙන්ම ආ මහා බරකින් සහ කෝපයකිනි.

එහෙත් ලොකු අම්මා බිඳක්වත් සැලුණේ නැත. ඇය තොල නොපිට හරවමින් නෙත්මලී දෙසට හෙළූ විස පිරුණ බැල්මම අතුල දෙසට යොමු කළාය.

“මහ උන් වැරදි කරද්දී ඒවගේ විපාක විඳවන්න වෙන්නේ දරුවන්ට කියන එක මතක තියෙන්න තිබ්බෙ ඕවා කරන්න කලින්” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here