“මං කියන්නෙ ඔයාට එදා තාත්තට කතා කරන්න ගත්ත වෙලාවෙ කෝල් එක කට් නොකර ඉන්න තිබුණෙ” කියා සාරා කියද්දී නෙත්මලී උන්නේ පෙරේරා ඇන්ඩ් සන්ස් එකේ මේසයට වාඩි වී කාඩමම් තේකක රස බලමිනි.
ඒ වෙද්දී විභාග ප්‍රථිපලවල උණුසුම පහව ගොස් සති දෙකක පමණ කාලයක් ගතව තිබුණද ඉඳහිටක විසිවෙන අම්මාගේ කටුක වදන් තවම පහව ගොස් තිබුණේ නැත. අම්මාට අනුව මේ අහස පොළොව නුහුලන අපරාධයකි. තමන් අම්මාගෙ දුක නොතේරෙන දරුවෙකි. තමන් කර තිබ්බේ තාත්තා අම්මාව දමා වෙන ගැහැනියක එක්ක ගියාටත් වඩ ලොකු වරදකි. පවකි. අමනුස්සකමකි.
“මං ඒ වෙලාවෙ කට් කරේ හිතලා නෙවෙයි සාරා” නෙත්මලී තේ කෝප්පය මේසය මත තබමින් කිව්වාය.
“හිතලා නෙවෙයි කියන්නෙ?”
“අම්මා ඒ වෙලාවෙ මට බැන්නෙ මං මිනිහෙක් මරලා දාලා වගේ. මට තවත් අහගෙන ඉන්න බැරි වුණා. මට ඕන උනා ඒ වෙලාවෙ ඒ වේදනාව කාගෙ හරි ඇඟ උඩ දාලා මගේ හිතේ තිබ්බ වේදනාව පිටකරන්න. මට එහෙම කරලා පුරුද්ද තිබ්බෙ තාත්තා එක්ක. මං තාත්තට කෝල් එක ගන්න හැදුවෙ ඒ පුරුද්දට. ඒත් මට ඒ කෝල් එක ගන්නෙ නැතුව ඉන්න තිබ්බෙ”
“ඒත් ඔයා කෝල් එක ගත්තනෙ”
“ඔව්.”
“ඉතිං?”
“ඉතිං මං කෝල් එක කට් කරලා ආයෙ ගත්තෙ නෑ.”
“ඇයි?” කියා සාරා අහද්දී නෙත්මලී මොහොතක් නිහඬව සිටියාය.
“මං බය වුණා”
“තාත්තට කතා කරන්න මොකටද බයවෙන්නෙ? ඒ ඔයාගෙ තාත්තනෙ නෙත්”
“නෑ තාත්තට කතා කරන්න නෙවෙයි බය වුණේ” ඇය හෙමින් හිස දෙපසට වැනුවාය. “තාත්තට කතා කළොත් එයා ආයෙ මට තාත්තෙක් වගේ කතා නොකරයි කියලා බය වුණා. තාත්තා වෙනස් වෙලා නම්. එයා ඉස්සර උන්නු තාත්තා නෙවෙයිනං කියලා මට බය හිතුණා සාරා” කියා නෙත්මලී කියද්දී සාරාගේ මුහුණේ එතෙක් ඇඳී තිබූ සැහැල්ලු බව එකවරම මැකී ගියේය.
“ඒ කියන්නෙ?”
“එයා වෙන මනුස්සයෙක් එක්ක ඉන්නවා කියලා මං දන්නවනෙ. ඉතිං මං කතා කරලා තාත්තේ කියලා අම්මා මට සලකන විදිය ගැන කියලා අඬන්න ගත්තම එයාට මං කරදරයක් වෙයිද කියලා මට හිතුණා”
“නෙත්” කියා සාරා කතාව අතරමගින් පනින්නට හැදුවද නෙත්මලී උන්නේ එයට ඉඩ දෙන්නට හිතාගෙන නොවේ. එක දිගටම තමන්ගේ කතාව කරගෙන යමිනි.
“අනික” ඇය කතා කරමින් සිටියද හඬ තිබුණේ තරමක් බිඳී ගොසිනි. “එයා කෝල් එක ආන්සර් කරලා මොකද? කියලා කිසි ගාණක් නැතුව ඇහුවොත්? ඇයි මට කතා කරන්නෙ කියලා ඇහුවොත්? මං මොකද්ද කියන්නෙ කියලා හිතාගන්න මට බැරි වුණා”
සාරා නෙත්මලී දෙස බලා උන්නේ ඇත්තටම ඒ කතන්දරවලට කිව යුත්තෙ කුමක්දැයි ඇයට හිතාගන්නට බැරිවුණ නිසාවෙනි.
“ඔයාට තාත්තව මිස් වෙනවද තාම?”
නෙත්මලී සිනාසෙන්නට උත්සාහ කරේ ඒ වචන වලටය. එහෙත් ඒ සිනහව සම්පූර්ණ වීමට පෙරම නැතිව ගියේය. අනෙක ඒ සිනහව පෙර මෙන් දෙතොල් වලින් ඇරඹී දෙකන් තෙක් ඇරඹුන එකක් නොවුණාය.
“හැමදාම”
“එහෙනම් තව ඒකෙ හිතන්න දෙයක් නෑනෙ නෙත්. ඒ ඔයාගෙ තාත්තා. ඔයා තාත්තට කතා කරන්න”
“දැන්?”
“ඔව් දැන්”
“දැන් කතා කරලා මොනවා කියන්නද සාරා?” කියා නෙත්මලී ඇසූ පැනයට ඇත්තටම දෙන්නට උත්තරයක් සාරාට තිබුණේ නැත.
“මොනවා කියන්නද කියලා දැන්ම තීරණය කරන්න ඕන නෑනෙ නෙත්. ඔයාට එයා එක්ක කතා කරන්න ඕන කියලා හිතෙනවා නම් කතා කරන්න. එයා ආන්සර් කළාම එවෙලෙට ඔයාට කියන්න ඕන දේ හිතෙන්න පුළුවන්. සමහරවිට ඔයාට කිසිම දෙයක් කියාගන්න බැරි වෙයි. එහෙම උනත් කමක් නෑ. තාත්තේ, මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕන කියලා විතරක් කිව්වත් ඇති. මෙච්චර දවස් ගාණක් තිස්සෙ ඔයාගෙ ඔළුව ඇතුළෙ එකතු වෙලා තියෙන දේවල් ඔක්කොම එක කෝල් එකකින් කියලා ඉවර කරන්න බෑනෙ”
“ඒත් තාත්තා මට කතා කරන්න අකමැති උනොත්? එයා අපිව ඇත්තටම සදහටම අමතක කරලා මූව් ඔන් වෙලා නම්”
“ඒක අපි දන්නෙ නෑනෙ. ඔයා බය වෙලා තියෙන්නෙ වෙන්න පුළුවන් දේවල් ඔක්කොම කලින්ම හිතලා. ඕනවට වඩා ඕවර් තින්ක් කරන්න එපා කිසිම දෙයක්. අනික ඔයා හැම තිස්සෙම ඕවර් තින්ක් කරන්නෙ වර්ස්ට් පොසිබල් දේවල්. හොඳ දේවල් එහෙමත් ඉඳලා හිටලා හරි ඕවර් තින්ක් කරන්නකො. එයා ආන්සර් නොකරන්න පුළුවන්. ආන්සර් කරලා කතා නොකරන්න පුළුවන්. එහෙම නැත්තං ඔයා එක්ක හොඳට කතා කරන්නත් පුළුවන්. ඔය හැම එකක්ම වෙන්න පුළුවන්. ඒත් ඔයා දැන් කරන දෙයින් වෙන්නෙ මොකක්ද? ඒ කිසිම දෙයක් වෙන්න කලින්ම ඔයා තීරණය කරලා ඉවරයි එයා ඔයා එක්ක කතා කරන්නෙ නැති වෙයි කියලා. එතකොට ඔයාට අඩුම ගානෙ ඇත්ත මොකක්ද කියලා දැනගන්නවත් බෑ”
“මට එයා වෙනස් වෙලා ඇති කියලා බයයි සාරා”
“මං දන්නවා. ඔයාට බය එයා කතා නොකරන එකට විතරක් නෙවෙයි. තාත්තා කියලා ඔයාගෙ හිතේ ඉන්න මනුස්සයා තාම එතන ඉන්නවද කියලා දැනගන්න ඔයා බයයි. මට ඒක තේරුම් ගන්න බැරි නෑ. හැබැයි නෙත්, එයා වෙනස් වෙලා තිබුණත්, ඒක ඔයාට එයා එක්ක තිබ්බ හිස්ට්‍රි එක බොරුවක් වෙනවා කියලා කියන්නෙ නෑනෙ. ඔයාට මතක තාත්තා කවුද කියලා ඔයා දන්නවනෙ. ඔයාව පොඩි කාලෙ ඉස්කෝලෙ එක්කරගෙන ගියේ කවුද, ඔයා අඬද්දි ඔයාව වඩාගෙනහිටියෙ කවුද, ඔයාව කම්ෆර්ට් කරේ කවුද, ඒවා ඔයාට අමතක වෙලා නෑනෙ. මිනිහෙක් පස්සෙ වෙනස් වුණා කියලා ඒ මතක ටික මැකෙන්නෙ නෑ. ඒවා නැතිවෙන්නෙත් නෑ”
“ඒත් එයා අපිව දාලා ගියේ එයාට ඒව අමතක වෙච්ච හන්දා වෙන්න බැරිද”
“ඔව්. ගියා. ඒක මං හරි කියන්නෙ නෑ. ඔයාලගෙ අම්මාට ඒ ගැන තියෙන තරහත් මට තේරෙනවා. ඔයාටත් ඒ ගැන තරහක් තියෙන්න පුළුවන්. ඒත් ඒ මනුස්සයා ඔයාගෙ තාත්තා වීමත් ඇත්ත. ඒ දෙක එකට වෙන්නත් පුළුවන් නෙත්. කෙනෙක් අපිට වැරැද්දක් කළා කියලා අපිට එයාට ආදරේ කළ හැම මතකයක්ම එක පාරට අයින් කරන්න බෑනෙ”
නෙත්මලී කිසිවක් නොකියා තේ කෝප්පය දෙස බලා සිටියේ සාරධා කියූ ඒ වචනවල යම් තාක් දුරකට ඇත්තක් තැවරී තිබුණා යැයි හිත හෙමින් සැරේ කියන්නට කටයුතු කල නිසාවෙනි.
“මං දන්නෙ නෑ ඔයාට එයා එක්ක කතා කළාම මොනවා හිතෙයිද කියලා. හැබැයි එක දෙයක් නම් මම දන්නවා. මේ විදිහට හැමදාම එදා මං කෝල් එක කට් නොකළා නම් කිය කිය ඔයා ඔයාටම බැණ ගන්න ගමන් ඉන්න එකෙන් කිසිම දෙයක් වෙනස් වෙන්නෙ නෑ. ඔයාට කතා කරන්න ඕන නම් කතා කරන්න. ඔයාට අහන්න ඕන දෙයක් තියෙනවා නම් අහන්න. ඔයාට අඬන්න ඕන නම් අඬන්න. එයාට ඔයාව අහගෙන ඉන්න බැරි නම් ඒක එයාගේ දෙයක්. හැබැයි අඩුම ගානෙ ඔයා උත්සාහ කළා කියලා හිත හදාගන්න පුළුවන්.”
නෙත්මලී සාරා දෙස මොහොතක් බලා සිටියාය. අනතුරුව මේසය මත තිබූ දුරකථනය අතට ගෙන තිරය මත වූ අංක අතරින් තාත්තාගේ අංකය සෙව්වාය. ඇඟිල්ල මඳ වේලාවක් ඇමතුම් බොත්තම මත නතර වී තිබුණද අවසානයේ ඇය එය තද කළාය. දුරකථනයේ නද දෙන හඬ ඇසෙන්නට විය. නෙත්මලී කිසිවක් නොකියා තිරය දෙසම බලාගෙන සිටියාය.
එහෙත් රින්ග් එකක් දෙකක් තුනක් ලෙස ඇමතුම අවසන් වන තුරුම අනිත් පැත්තෙන් කිසිදු පිළිතුරක් නොවීය.
තාත්තා ඇමතුමට සම්බන්ධ වූයේ නැත.
තාත්තා තමන්ට මග හැරී ඇති බව, තාත්තාගේ සෙවණේ මලක් ලෙස හැදී වැඩුණ දුවෙක් වටහාගත්තේ එලෙසිනි.
————————————————————————————————————————-
“මම මලක් ලෙස නුඹ නොහැදුවේ
පෙති හැලී පරවෙන නිසාමයි
දුක දිනා හිනැහෙන හැටි දුවේ
නුඹ දැන උගත් පාඩම තමයි”


