වසන්තය තව දුරද – 18

0
196

එතනින් එහා ජීවිතය පහසු වූයේ නැත. 

අම්මාගේ දෝශාරෝපණ මැද්දේ තාත්තාගේ ආදරය අහිමි වූ කෙල්ලක ලෙස නෙත්මලී දේවස්මිතා සමරසිංහට ජීවිතය ගෙවන්නට වූයේ කඳුලැලි මැද්දේය.

“ජීවිතේ මිනිස්සුන්ට වෙන්නෙ ඔහොම දේවල්ද නෙත්? ඔයිට වඩා කොච්චර කරදර වෙච්ච මිනිස්සු මේ ලෝකෙ ඉන්නවද? බලන්නකො තාරුකාගෙ තාත්තත් එයාගෙ අම්මව දාලා ගියාට දැන් ඒ ආන්ටි කොච්චර හොඳට ඉන්නවද? තාරුකා අඬ අඬ හිටියෙ නෑනෙ එයා කොච්චර හොඳට ඉඳියද? කිසි ගාණක් නැතුවනෙ අපිට ඇවිත් කිව්වෙ තාත්ති වෙන ආන්ටි කෙනෙක් එක්ක ගියා කියලා” කියා මිතුරිය වූ සාරා කියද්දිත් නෙත්මලී උන්නේ පාසලේ ඩෙස්කුව මත හිස තබාගෙන කඳුලු ගංගාවක් වගුරුවාලමිනි.

“මට එහෙම බෑ සාරා.” නෙත්මලීගේ හඬ ඇසුණේ බොහෝ පහළිනි.

“ඇයි?”

“මට තාත්තව අමතක කරන්න බෑ.” ඒ වචන කිහිපයත් සමඟම ඇගේ උගුරේ යමක් සිරවුණාක් මෙන් විය. නෙත්මලී හිස ඔසවා සාරා දෙස බැලුවාය. ඇස් දෙක පුරා තිබුණ කඳුළු නිසා සාරාගේ මුහුණ පෙනුණේද බොඳවය. ඉදිරි අනාගතය මෙන්ම බොඳවය.

“මං දන්නෙ නෑ තාත්තා කොහෙද ඉන්නෙ කියලවත්. මං දන්නෙ නෑ එයා කවදා ආපහු එයිද කියලවත්. ඒත්.” ඇය මොහොතක් නිහඬ වූවාය. ඒ ඊලඟට කිව යුතු වචන ගලපාගන්නටය.

“ඒත් එයා මට තාමත් තාත්තා. මොන වරද කරත්, ඒ මගේ තාත්තා. මං කොහොමද ඒක අමතක කරන්නෙ.”

එයට දෙන්නට පිළිතුරක් ඇත්තටම සාරධා ලඟ තිබුණේ නැත. ඇය නෙත්මලීගේ කඳුලින් පෙඟුණ අත මත තම අත තබාගෙන නිහඬව සිටියාය. මිතුරියකගේ අතක උණුසුමක් තිබුණත් නෙත්මලීගේ හිතේ තිබූ හිස්තැන පුරවන්නට ඒ උණුසුමට හැකි වූයේ නැත. තාත්තා ගෙදරින් ගිය දවසේ සිට ඇය තේරුම් ගත් එක දෙයක් තිබුණි.

ඒ මිනිසෙකු නිවසකින් පිටව යන විට ඔහු රැගෙන යන්නේ ඇඳුම් කිහිපයක්වත්  තමන්ගේ බඩුබාහිරාදියවත් පමණක් නොවන බවය. සමහර මිනිසුන් ගෙදරින් පිටව යන විට  ගෙදර සිටින මිනිසුන්ගේ ජීවිතවල තිබූ කොටසක්ද ඔවුන් සමඟ රැගෙන යති.

තාත්තා තමන්ගේ කොටස රැගෙන ගොස් තිබුණේය.

ඒ කොටස ආපසු ලැබෙන්නේ කවදාදැයි නෙත්මලී දැන සිටියේ නැත. ඒ කොටස නැතුව ජීවත්වන්නේ කෙසේදැයි නෙත්මලී දැනගෙන උන්නේද නැත.

“දැන් ඔයාලගෙ අම්මා මොනවද කියන්නේ?” කියා සාරා අහද්දී නෙත්මලි යලිත් වරක් හිස ඩෙස්කුව මත ගසා ගත්තේ ඒ කිසිවක් මිතුරියක සමග හෝ බෙදාගන්නට තරම් හිතක් ඇයට නොතිබුන නිසාවෙනි. අම්මා තමන් දෙස බලන්නේ වෛරක්කාරයෙක් ලෙස යැයි කියන්නේ කෙසේද? අම්මාට අනුව මේ සියල්ලේ පව්කාරකම තමන්ගේ යැයි කියන්නේ කෙසේද? 

“අම්මා තාත්තත් එක්ක තරහයි සාරා. ඒක මට තේරෙනවා. මං අම්මා උනා නම් මම උනත් තාත්තා එක්ක තරහෙන් ඉඳීවි. මටත් තාත්තත් එක්ක තරහක් තියෙනවා. එයා කරපු දේ හරි කියලා මං කියන්නෙ නෑ. ඒත් අම්මා මං එක්කත් තරහෙන් ඉන්නෙ. කොහොමත් අම්මා ඉස්සර ඉඳලම පොඩි දේටත් මගෙ පිටින්නෙ තරහ යවන්නේ. දැන් ඒක ඩබල් වෙලා මේ සිද්දියෙන් පස්සෙ, සමහර වෙලාවට මට හිතෙනවා තාත්තා ගිය එකේ වරදත් අම්මා මගෙ පිටින් යවනවා කියලා. මං තාත්තට කතා කරපු එකට, එයා එක්ක හිටපු එකට, එයා මට ආදරේ කරපු එකට පවා මං වැරදියි වගේ.

 මං මොකක්ද සාරා කරන්නෙ? තාත්තා මගේ තාත්තානෙ. එයා කොච්චර වැරදි කළත් මං එක දවසෙන් කොහොමද ඒක අමතක කරන්නෙ? මට බෑනෙ අමතක කරන්න එයා මගෙ තාත්තා කියන එක? මනුස්සයෙක්ට අවුරුදු ගානක් ආදරේ කරලා මං කොහොමද ඒ මනුස්සයා එක පාරක් වරදක් කරපු ගමන් ඒ හැමදේම අමතක කරන්නෙ? කරන්න දෙයක් නැති හන්දම මම අම්මා කියන හැම වචනයක්ම අහගෙන ඉන්නවා. සමහර වෙලාවට මටත් තරහ යනවා. මං අම්මට කියන්න හිතෙනවා මම මොනවද කළේ? කියලා. ඒත් කියන්න බයයි. අම්මා තවත් අඬයි. තවත් මට බනියි. ඉතින් මං කට වහගෙන ඉන්නවා. ගෙදර ගියාම කතා කරන්න කෙනෙක් නෑ. තාත්තා නෑ. අම්මා එක්ක කතා කරන්න බෑ. අයියාත් එයාගෙ ලෝකෙ. මට තේරෙන්නෙ නෑ මං කාට කියන්නද කියලා. මට පිස්සු වගේ. මට ඉස්කෝලේ ඇවිත් ඉන්න එක සැපයි ගෙදර යනවට වඩා. ගෙදර අපායක් වගේ.

මට වෙලාවකට තාත්තට කතා කරලා කියන්න හිතෙනවා ඇයි මෙහෙම අපායක මාව දාලා ගියේ කියලා. ඒ උනාට එයා දැන් ඉන්නෙ කොයි වගේ සිටුවේශන් එකකද කියලා මම දන්නෙ නෑනෙ. සමහර විට ඒ අලුත් ආන්ටි කැමති නැතුවත් ඇති අපි එක්ක කතා කරනවට. ඒකනෙ එයා ගිහිල්ලත් මෙච්චර දවසක් අපි එක්ක කතා කරේවත් නැත්තෙ”

සාරා මොහොතක් කිසිවක් නොකියා නෙත්මලී දෙස බලා සිටියාය. පසුව ඇය නෙත්මලීගේ අත තම අතකින් තදින් අල්ලා ගත්තාය.

“නෙත් ඔයාට තේරෙන්නෙ නැති එක තමයි මට හිතෙන විදිහට මෙතන තියෙන ලොකුම දේ. ඔයාට හැමෝගෙම දුක තේරෙනවා. අම්මාගේ දුක තේරෙනවා. තාත්තා මොන තත්ත්වෙක ඉන්නවද කියලා හිතනවා. අයියා ගැනත් හිතනවා. ඒත් කවුරුත් ඔයා ගැන හිතනවද? ඔයාටත් මේක දරාගන්න අමාරුයි කියලා කවුරුහරි අහනවද? ඔයා හැමෝම ගැන හිතන අතරෙ ඔයා ගැන කවුද හිතන්නෙ නෙත්? ඔයා ගැනත් කෙනෙක් බලාගන්න ඕන. ඔයාට අඬන්න හිතුණොත් අඬන්න. තාත්තව මතක් වෙනවා නම් මතක් වෙන්න දෙන්න. එයාට ආදරේ කරන්න හිතුණොත් ආදරේ කරන්න. ඒකෙන් ඔයා නරක දරුවෙක් වෙයි කියලා මම හිතන්නෙ නෑ. ඔයාට එයා කරපු දේ වැරදියි කියලා හිතන්නත් පුළුවන්. එහෙම නෑ කියලා හිතෙන්නත් පුලුවන්. මිනිස්සුන්ට කෙනෙක්ව එක පැත්තකින් විතරක් ආදරේ කරන්න බෑ නෙත්. සමහර වෙලාවට අපි ආදරේ කරන මිනිස්සුම අපිව රිදවනවා. ඒත් ඒකෙන් අපේ ආදරේ එක දවසෙන් නැතිවෙන්නෙ නෑනෙ නේද?”

නෙත්මලී හිස ඔසවා සාරා දෙස බැලුවේ ඒ වචන ඔස්සේය. කඳුළු අතරින් ඇගේ මුවේ මඳ සිනහවක් මතුවුනේ ඒ වචන ඔස්සේය.

“ඔයාට තේරෙනවා වගේ කතා කරන්න එපා සාරා. ඔයාට මේක වෙලා නෑනෙ.”

“ඔව්. මට වෙලා නෑ. ඒක ඇත්ත. ඒත් මං ඔයාගෙ යාලුවා නෙ. ඔයාට මේක තනියම උස්සගෙන යන්න දෙන්න මට බෑ. ඔයාට තාත්තව මතක් වෙන හැම වෙලාවකම මට කියන්න. ඔයාට අම්මා එක්ක තරහ ගියොත් මට කියන්න. ගෙදර ගිහින් අඬන්න බැරි නම් මාත් එක්ක කියලා අඬන්න. හැබැයි ඔයා ඔය හැමදේම හිතේ තියාගෙන ඉන්න එපා. මට බය ඒකට. ඔයා අන්තිමේ එක්සෑම් එකත් අනාගනීවි කියලා බයයි මට” කියා සාරා කියද්දී නෙත්මලී කිසිවක් නොකියා සාරාගේ උරහිසට හිස තැබුවාය.

නෙත්මලී සාරාගේ උරහිස මත හිස තබාගෙන නිහඬවම සිටියාය.

 එහෙත් සාරා කියූ අවසාන වචන කිහිපය ඇගේ හිතේ කොහේ හෝ තැනක රැඳුණාය. තාත්තා ගැන හිතන අතරේ ඇයට තවත් දෙයක් අමතක වී තිබුණි. 

විභාගයට තව තිබුණේ මාස කිහිපයක් පමණි. ඒත් පොතක් අතට ගත්තත් අකුරු පෙනුණේ නැත. පාඩමක් කියවන්නට ගත්තත් මතක තිබුණේ තාත්තා පමණි. 

තාත්තා ගොස් තිබුනේ සියල්ල අවුල් කර බව පමණක් ඒ සියල්ල අස්සේ නෙත්මලීට අවසානයේ පිළිගන්නට සිදුවුණාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here