වසන්තය තව දුරද – 20

0
39

“ඔය කරගත්තෙ මහ ලොකුවට. කිව්වෙ නම් කොහොමද විභාගෙ නිකං කිරිකජු වගෙ කතා කරේ. බැලුවොත් ඇත්තං කාමරේ අස්සෙ රිංගන් පාඩම් කරනෙක නේද කරේ? ඉස්කෝලෙ යනවයි පංති යනවයි පාඩං කරනවයි විතරයි නේද කරේ.

අඩුම මට පොල් අඩලයක් ගාලා දුන්නද? මැහුමක් ගෙතුමකට උදව්වක් කරාද? මහ එකා ඉන්න නම් කොච්චරවත් මගේ අඩුපාඩු මයි තොපිලා ඔක්කෝටම පෙනුනෙ. මං කරබාගෙන ඔක්කෝම ඉවසන් උන්නෙ දෙයියනේ අඩුම විබාගෙ හරියට කරගෙන එතනින් හරි ගොඩයාවි නේද කියලා. අපේ පවුලෙන් එකෙක් ගරි විශ්ව විද්‍යාලෙකට ගිහිල්ලා අපිවත් ගොඩ දාවි නේද කියලා.

ඔය කරගත්තෙ. ඔය කරගත්තෙ. අන්තිමේ ඔක්කොම වතුරෙ. එක පාරක් මහ එකා අපේ මූණෙ දැලි ගෑවෙ. දැන් ඔය මහ ලොකු දෝනියැන්දා කරගෙන තියෙන්නෙ. මීට හොඳයි තොපිලා ඔක්කොම එක්කහු වෙලා මාව මරං කෑව නම්. ඇයි යකෝ මාත් මනුස්සයෙක් නේද කියල හිතන්නෝන නේද?” කියා අම්මා විලාප දෙද්දිත් නෙත්මලී උන්නේ පරිගණක තිරය මත ඒ වෙද්දිත් දිග හැරී තිබුණ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලේඛනය දිහා බලාගෙන ඉන්න එක. විභාගය ෆේල් නොවුණ එක ඇත්තය. එහෙත් හොඳටම පුළුවන් යැයි කියූ, ඉසෙඩ් අගය වැඩිපුරම තිබෙන විශයක් ලෙස කලා අංශයෙන් උසස් පෙළ කරන සිසුවන් සලකන තර්ක ශාස්ත්‍රය විශයට ලැබී තිබුණ සී සාමාර්තය විශ්වාස කරන්නට බැරි ප්‍රථිපලයක්ද එහෙමත් නැත්තම් අවසාන කාලයෙ තමන් පාඩම් කල විදියට ලැබෙන්නට නියමිතව තිබූ අන්දමේ ප්‍රථිපලයක්ද කියා සිතාගන්නට නෙත්මලීට හැකියාව තිබුණේ නැත.

“මං පාඩං කරා අම්මේ. ඇයි දැන් මට බණින්නෙ. ඔයත් දැක්කනෙ මං කොච්චර මහන්සි උනාද කියලා. මං මට පුළුවන් උපරිමෙන් විභාගෙට ලිව්වා” කියා නෙත්මලී කිව්වේ අම්මාගේ කටුක වදන් වලිනුත් ප්‍රථිපලයෙනුත් හිත පත් වේදනාව දරාගන්නට බැරිම තැනය.

“අපෝයි ඔව්. ඔය කරලා තියෙන්නෙ. හොඳට පේනවනෙ පාඩං කරපුවයි තරම. මහ ලොකුවට කිව්වෙ කොහොමද ලොජික් නං නතිං කිව්වා නේද. ලොජික් එක පේන්නෙ ඔය. අර පද්මලගෙ ළමයි එහෙම කැම්පස් අන්න පාස් ඇති හොඳට. ඒ නැතත් උන් සයන්සෙ කරේ. ෆේල් උනත් සයන්ස් කරේ. මේක එහෙමද ගිහින් පුදනකොටම කාපි යකා කියලා කරන්න ගත්තා ආට්ස් මගුලක්. පාස් උනත් මොනා කියල කරන්නද රස්සා දෙනවා කියලද ආට්ස් කරා කියලා? ගුරු පත්වීම් වත් හම්බෙනවද දැන්? අනික දැන් ඔය රිසල්ට් එකෙන් මොනා කරන්නද? කැම්පස් යන්නද?” කියා අම්මා කියද්දි නෙත්වලින් කොච්චර කඳුළු වැගුරුණාදැයි ගණන් කරගන්නට නෙත්මලීට ඇත්තටම හැකියාවක් තිබුණේ නැත.

“මං ආට්ස් කරපු එක වැරැද්දක්ද අම්මේ? මං ඒක තෝරගත්තෙ මට ඒක කරන්න පුළුවන් කියලා හිතපු හින්දා. මං සයන්ස් කරලා ෆේල් උනා නම් ඔය කියනවා වගේ ඔයාට මෙච්චර දුක නැති වෙයිනෙ. මං මට පුළුවන් දෙයක් තෝරගත්ත එකද දැන් වැරැද්ද. මං පාඩම් නොකර හිටියෙ නෑනෙ අම්මේ. මට පාඩම් කරන්න බැරි වෙච්ච කාලයක් තිබුණා. තාත්තා ගිය දවසේ ඉඳන් මගේ ඔළුව ඇතුළෙ මොනවද තිබුණෙ කියලා ඔයා හොඳටම දන්නවා. දැන් ඒක අමතක වෙලා වගේ මට විතරක් බණින්න එපා.”  කියා නෙත්මලී ආයේ ආයේ අඬද්දීවත් චන්ද්‍රා තමන්ගේ මුවින් පිටවුණ වදන් නතරකරගන්නට උත්සහ කරා නොවේ. චන්ද්‍රා උන්නේ නවතින බලාපොරොත්තුවක නොවේ. සියලුම වේදනාවන් අබියස හිතේ “නෙත්මලී හොඳට කැම්පස් යන ලෙවල් එකට විභාගෙ පාස්උනොත් අපිට මේ වෙච්ච ලැජ්ජාවෙන් ටිකක් හරි ගොඩ එන්න පුළුවන් වෙයි. එතකොට අහන මිනිස්සුන්ට කියන්න දෙයක් තියෙනවනෙ” කියා හිතු බලාපොරොත්තුව බිඳ වැටිමේ වේදනාව චන්ද්‍රාව සහමුලින්ම වාගේ වෙනස්කර තිබුණාය.

චන්ද්‍රාට නෙත්මලීගේ කඳුළු පෙනුණේ නැත්තේ ඒ නිසාවෙනි. පෙනුණත් ඒ කඳුළු පිටුපස තිබූ වේදනාව තේරුම් ගන්නට තරම් ඇගේ හිතේ ඉඩක් ඉතිරි වී තිබුණේ නැත. මාස ගණනක් තිස්සේ එකින් එක තමන් මතට කඩා වැටුණු බර ඇය තුළ යම් තැනක ගල් ගැසී තිබුණාය. අතුල ගිය දවසේ සිට චන්ද්‍රා හඬා තිබුණේ දුකට පමණක් නොවේ. කෝපයටය. බයටය. අසරණකමටය. හෙට දවස ගැන කිසිම විශ්වාසයක් නැතිවීමේ වේදනාවටය. ඒ හැමදේම එකතු වී අවසානයේ චන්ද්‍රා තුළ ඉතිරි කර තිබුණේ කෙනෙකුට ආදරයෙන් කතා කරන්නවත්, කෙනෙකුගේ දුකක් නිහඬව අහගෙන ඉන්නවත් නොහැකි තරමේ වෙහෙසකි.

නෙත්මලීගේ ප්‍රතිඵලය චන්ද්‍රාට පෙනුණේ තවත් එක් අසාර්ථකත්වයක් ලෙසය. තමන්ගේ ජීවිතය යම් විදිහකට හෝ ආපසු ගොඩනගාගන්නට තිබූ එකම බලාපොරොත්තුවත් එයත් සමග කඩා වැටුණාක් මෙනි. “අපෙ කෙල්ල කැම්පස් යන්න විභාගෙ පාස් වුණානෙ” කියා කවුරු  හෝ ඇසූ විට ආඩම්බරයෙන් කියන්නට හැකි වනු ඇතැයි චන්ද්‍රා සිතා සිටියාය. අතුල ගිය පසු මිනිසුන්ගේ අනුකම්පා බැල්මෙන්, කුසුකුසු කතාවලින්, “අතුල ඔය ගෑනිව දාලා ගියේ ඔය ගෑනි එක්ක ඉන්න බැරි හන්දනෙ, අපෝ මහ මුඩුම ගෑනි, මිනිහට සලකන්න දන්නෙ නෑ, මිනිහට බණින හැටි අපිනෙ දන්නෙ” යන හඳුනාගැනීම්වලින් මිදෙන්නට ඒ ජයග්‍රහණය තමන්ට කුඩා හෝ ආවරණයක් වනු ඇතැයි චන්ද්‍රා බලාපොරොත්තු වූවාය. ඒත් දැන් ඒ බලාපොරොත්තුවත් බිඳ වැටී ගොසිනි.

“ඇයි අම්මේ ඔහොම කතා කරන්නෙ? මං මොන වරදක් කරාටද ඔයා හැමතිස්සෙම මට ඔහොම බණින්නෙ? මං ඕන කමින් විභාගෙ අඩු රිසල්ට් ගත්ත කියලද හිතන්නෙ? ඔයා දන්නවද මං මේ අපායෙන් ගැලවිලා යන්න කැම්පස් යන්න බලාගෙන හිටියෙ කොච්චර උවමනාවෙන්ද කියලා? එහෙමෙකේ මං උවමනාවෙන් විභාගෙට අඩු ලකුණු ගන්නවා කියලා ඔයා හිතනවද?

මට මෙහෙම සලකන්නෙ මං අරන් හදාගත්ත ලමේක්ද? හැමදාම හැමදාම ඔයා මට සැලකුවෙ මෙහෙම අම්මේ? කවද්ද කියන්න ඔයා මට ආදරෙන් කතා කරේ? පිට මිනිස්සු ඉස්සරහා ඔයා කොච්චර මට එක එක ජරා කතා කියලා බැනලා තියෙනවද මං හිතලවත් නැති දේවල් කියලා.

මීට වඩා හොඳයි මං ඉපදිච්ච වෙලාවෙ ඔයා ඔයාගෙ අත් දෙකෙන් මගෙ බෙල්ල මිරිකලා මාව මරලා දැම්මා නම්” 

ඒ වචන ටික පිටවූ සැණින් නෙත්මලීට තවත් එතැන රැඳී සිටින්නට හේතුවක් තිබුණේ නැත. ඇය පුටුව පස්සට තල්ලු කර දමා නැගිට්ටේ එනිසාය. කඳුළු වලින් බොඳ වූ දෑස් පිසදමන්නටවත් උත්සාහ නොකර කාමරයෙන් පිටතට දිව ගිය නෙත්මලී තමන්ගේ කාමරයට ගොස් දොර මහ හඬින් වසා දැම්මාය. දොර වැසුණු හඬත් සමගම දොරට පිටුපා බිම වාඩි වී මෙතෙක් අමාරුවෙන් නවතාගෙන සිටි ඉකියට උගුරෙන් පිටවෙනට ඉඩ ඇරියාය.

“මං මොන වරදක් කරාටද දෙයියනේ මටම මෙහෙම උනේ” කියමින් අනතුරුව  දණහිස් දෙක අතර මුහුණ සඟවාගෙන හඬන්නට වූවාය.

දොරෙන් එහා පැත්තෙන් චන්ද්‍රාගේ හඬ තවමත් ඇසෙමින් තිබුණි. කටුක වචන බොහොමයක් ඒ අතරින් පතර විත් සවන් මත වැදෙන්නට හේතු වුවද ඒවා නෙත්මලීට පැහැදිලිව ඇසුණේ නැත. කඳුළු අතරින් ඇසෙන ඒ හඬ ඇයට දැනුණේ දුරක සිට කෙනෙකු කතා කරනවාක් මෙනි. ඇය දෙකන් වසාගත්තේ තව එක වචනයක්වත් අහන්නට බැරි නිසාය.

“අනේ තාත්තේ”  මුවින් ඉකි අතරින් වචන පිටවිය.

“අනේ තාත්තේ ඇයි තාත්තෙ ඔයා මාව දාලා ගියේ? අම්මා මට ආදරේ නෑ කියලා දැන දැනම ඇයි ඔයා මාව දාලා ගියේ?” කියමින් නෙත්මලී කඳුලු වැගිරුවාය. ඇඳ මත තිබූ දුරකථනය අතට ගත්තේ එසේ හඬමිනි. කඳුලු නිසා තිරය පෙනුණේද නැත. ඇඟිලි වෙව්ලමින් අංක අතරින් අතුලගේ නම්බරය ඩයල් කරේ මතකයෙනි.

“අනේ තාත්තේ එක පාරක් කතා කරන්නකෝ” 

දුරකථනයේ තිරය මත Calling යනුවෙන් දිස්වෙමින් තිබුණි. නෙත්මලීගේ ඉකිය තවත් වැඩි විය. 

ඇය ඇස් තදින් පියාගත්තාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here