මලක් වී යළි පිපෙන්නම් – 80 (අවසන් කොටස)

0
363

රන්දිකත් චාරුකත් හොඳ මිතුරන් වී තිබිණ. කොහොමටත් ධනුක කෙරෙහි නොතිබූ පැහැදීමක් චාරුකගේ සිතෙහි රන්දික ගැන ඇතිවී තිබිණ. ඔවුන් දෙදෙනා යළි පිටත්ව ගියේ චාරුකලා සමඟ නිවසට පැමිණියාටත් පසුවය. 

“මගේ හිතට ලොකු වෙනසක් දැනෙනවා. ආපහු ඉපදුනා වගේ හැඟීමක්.”

අඩ හෝරාවක් පමණ දරුවා සමඟ කාලය ගත කළ නුලාරා එසේ පැවසූයේ චාරුකට තුරුලු වෙමින්ය. 

ඒ හිස කේ අතර දෑඟිලි ඇවිද්දවමින්  තවත් බොහෝ දේ චාරුක ජීවිතය පිළිබඳව ඇයට කියා දුන්නේය. 

තවත් දවසකට හිරු උදාවෙද්දී සේරසිංහ අත්අඩංගුවට පත් වූයේ රහස් පොලිසිය විසින් දින කිහිපයක් පුරා සිදුකළ විමර්ශනයකට පසුවය. ඔහුත් ධනුකත් එක්ව වර්ණ ඇඩ්වර්ටයිසින්  විසින් පවත්වන්නට යෙදුණු ජාත්‍යන්තර සංගීත ප්‍රසංගය අතරතුර පැමිණෙන පිරිසට ප්‍රහාරයක් එල්ල කරන්නට සැලසුම් කර තිබිණ. ඉන් ඔවුන් බලාපොරොත්තු වී තිබුණේ ප්‍රසංගය කඩාකප්පල්කර ඒ මගින් වර්ණ ඇඩ්වර්ටයිසින් ආයතනයට කැළලක් එක් කරන්නටය. ඒ සඳහා එක්ව උන් පිරිසේ කිහිප දෙනෙකුත් අත්අඩංගුවට ගැනුනේ ප්‍රශ්න කිරීම් සඳහාය. තව තවත් ප්‍රසංගය වෙනුවෙන් ලබා දෙන ආරක්ෂාව තර කළේ ඉන් පසුවය. 

දින කිහිපයක් තිස්සේ නුවරඑළියේ විනෝද චාරිකාවක නිරත වූ සංකල්පනීත්  රන්දිකත් යළි නිවසට පැමිණියේ සිය ජීවිතවල අලුත් ආරම්භයක් සටහන් කරමින්ය. අඳුරේ අතපත ගාමින් තමා සෙවූ ජීවිතය නිස්සාර එකක්යැයි  සංකල්පනීට  වැටහුම් වන්නේ දැන්ය. අම්මාගේ වැඩ කටයුතු නැගණිය විසින් පවරා ගත්තේ ස්ව කැමැත්තෙන්මය. රන්දිකගේ  නිවසට කිලෝමීටර් දහයක් පමණ එහායින් පිහිටි ඇගේ නිවසට අම්මාව කැඳවාගෙන ගියේත් සංකල්පනී සහ රන්දික විසින්ය. රැකියාවක් කරන්නට නොසිතූ නැගණිය අම්මාව බලා කියා ගත්තේ කැමැත්තෙන්මය. 

සංකල්පනීගේ මවත්, පියාත්, සොහොයුරාත්, ඔහුගේ බිරිඳත්, දරුවාත් සංකල්පනී බලන්නට පැමිණියේ රන්දිකගේ  ආරාධනයෙන්ය. යළිත් සියල්ලෝම එක්ව සිටියේ සතුටින්ය. සංකල්පනීට  ඔවුන්ව හමු වූයේ දිගු කාලයකට පසුවය. 

“අම්මයි තාත්තයි කාලෙකට පස්සේ  හිනා වෙනව දැක්කේ අද. අක්කා රන්දික අයියව  දාලා ගියාට පස්සේ ඒ දෙන්නා ජීවත් වුණේ හරි පසුතැවීමකින්. සමහර තැන්වලදී අක්කාව හරියට හැදුවේ නෑ කියලා තාත්තා  අම්මට දොස් කිව්වා. ඒ වෙලාවට තමුසේ රටට වෙලා සල්ලි එව්වා මිසක්කා දරුවෝ ගැන බලන්න වුවමනාවක් තිබුනේ නෑ කියලා අම්මා තාත්තට දොස් කිව්වා. ඒ දෙන්නම හිටියේ මිනිස්සුන්ට මුහුණ දෙන්න බැරුව. ඇත්තටම දරුවෝ කරන වැරදි වලට දෙමව්පියන්ට දොස් අහන්න සිද්ධ වෙනවා කියලා මටත් හිතුනේ ඒ දෙන්නා දිහා බලන් හිටියට පස්සේ.  අපි සමහර වෙලාවට හිතන්නෙ නැතුව ගන්න තීරණ වලින් අපේ දෙමව්පියෝ නෑදෑයෝ පවා අසරණ වෙනවා කියලා අපිට තේරෙන්නේ නෑ අක්කේ. සමිත පවා හරි අවුලෙන් හිටියේ. කසාදයක් කියන්නේ දෙන්නෙක් එකතු වෙන එකම විතරක් නෙමෙයි අක්කේ. වගකීම්, යුතුකම් ගොඩක් එක්ක ජීවිතේ දිහා ආපහු පාරක් හැරිල බලල තීරණයක් ගන්න තත්ත්වෙකට අපි පත් කරනවා කියන එක. සමහර දේවල් දරා ගන්න, විඳගන්න, ඉවසන්න අපිව පුරුදු පුහුණු කරනවා කියන එක. ඒ හැම දේකටම වඩා ජීවිතය ගැන හදිසි තීරණ ගන්න බෑ කියලා අපිට මතක් කරවන එක. අක්කට ආපහු හැරෙන්න පුළුවන් වුනේ රන්දික අයියා හොඳ ගුණ යහපත් මනුස්සයෙක් වෙච්ච හින්දා. හැබැයි එහෙම ඉක්මන් වෙන හදිසි තීරණ ගන්න ගොඩක් ගෑනු අයට වෙන්නේ  අතීතය ගැන හිත හිත වර්තමානය දුකක් කර ගන්න. කසාද බැඳපු ගෑනියෙක් තීරණ ගන්න ඕනේ හදවතට ඉඩ දීලා නෙමෙයි අක්කේ, බුද්ධියට ඉඩ දීලා.”

නෑනන්ඩිය පවා  එසේ පැවසූයේ ඔවුන් පිටව යන්නට ප්‍රථමවය. ඕ සංකල්පනීව වැළඳ ගත්තේ දයාබරවය. තමාට වඩා වසර කිහිපයකින්ම බාල වූ ඇය ඒසා පරිණත හිතක් ඇත්තියකයැයි සංකල්පනී කොහොමටවත් විශ්වාස කළේ නැත. 

යළිත් රඹුක්වැල්ල මැදුරෙහි සතුට ඉතිරී යමින් තිබිණි. නුලාරා  මානසික උපදේශකවරියක් හමුවට ගියේ ඇගේ කැමැත්තෙන්මය. එහිදී ඇය ජීවිතය පිළිබඳව බොහෝ දේ අවබෝධ කර ගත්තාය. සාර්ථක ගැහැණියක බිහි වන්නේ අත්දැකීම් තුළින්යැයි  ඈ විශ්වාස කළේ එනිසාය. තමා මේ ජීවිතයෙහි අතිශය ලෝභ වූයේ චාරුකගේ ආදරයට බැව් ඈ විශ්වාස කරමින් උන්නාය. මේ ජීවිතයේ තමාට නොතේරෙන තැන් පිළිබඳව අම්මාගෙන්, නැන්දණිය වූ නයනා රඹුක්වැල්ලගෙන් හෝ සෝමාගෙන් උපදෙස් පතන්නට ඈ දෙවරක් සිතුවේ නැත. රඹුක්වැල්ල  පුතණුවන් හැදී වැඩුනේ අම්මාගේත් අප්පච්චීගේත් සුරතලය මැදය. දරුවාට මාස තුනක්වද්දී දරුවාගේ සම්පූර්ණ වැඩ කටයුතු තමා වෙත පවරා ගත්තේ නුලාරාය. සිතූ පරිද්දෙන්ම ඇය රඹුක්වැල්ල නිවස සැමියාගේ වෙහෙස නිවන මානසික සුවතාවය උපරිමයෙන් දැනෙන පසන්  නිවසක් කරන්නට වෙහෙස වෙමින් උන්නාය. චාරුක හැකි සෑම මොහොතකම තම බිරිඳත් කුඩා පුතණුවනුත් වෙනුවෙන් කාලය වෙන් කරන්නට අමතක කළේ නැත. 

විදේශිකයකු සමග විවාහ වීමට තීරණය කළ මන්දස්මි වර්ණ ඇඩ්වර්ටයිසින් විසින් පවත්වන ප්‍රසංගයෙන් පසුව නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉවත්වන්නට තීරණය කර තිබිණ. නුලාරාත්  ඇයත් හොඳ මිතුරියන් වූයේ පසුගිය දිනක මන්දස්මි ඇගේ මවත් පියාත් සමඟ දරුවා බලන්නට රඹුක්වැල්ල නිවසට පැමිණ ගිය පසුවය. 

“මං මොන තරම් බොළඳ විදිහටද ජීවිතේ දිහා බලලා තියෙන්නේ කියලා මට තේරෙන්නේ දැන්. ඔයා මාව දරා ගත්තට, ඉවස ගත්තට ඔයාට ගොඩක් පින්. සමහර මං හිතපු දේවල් ගැන, මං කරපු දේවල් ගැන ආපස්සට හැරිලා බලද්දි මට ලොකු ලැජ්ජාවක් දැනෙනවා. ඔයාගේ ළඟ ගත කරන මේ හැම දවසක්ම මට අලුත් දවසක්. අදටත් මට හිතෙනවා මං ඔයාට ආදරේ කරනවට වඩා ඔයා මට ආදරේ කරනවා කියලා.”

නුලාරා තම සැමියාට එසේ පැවසූයේ එක් සැඳෑවකදීය. 

සමහර දිනෙක උදෑසන රඹුක් වැල්ල නිවසට පැමිණෙන සිතාරාත් පැරකුමුත් යළි පිටව යන්නේ දරුවා සමග සුරතල් වෙමින් කාලය ගත කලාට පසුවය. සියල්ලන්ගේම ජීවිත පිරී තිබුණේ සතුටින්ය. 

රඹුක්වැල්ල යුවලත් චාරුකගේ සොහොයුරියත්, ඇගේ සැමියාත්, දරු දෙදෙනාත් යළි ලංකාවට පැමිණියේ ජාත්‍යන්තර ප්‍රසංගයට සහභාගි වීම සඳහාය. රබුක්වැල්ල නිවස සතුටින් සිනහවෙන් පිරී ඉතිරී යමින් තිබිණ. චාරුකත්, තේජනත් රඹුක්වැල්ල සමග සේරසිංහ පිළිබඳව පැවසූයේ එවේලෙහි. 

“මේ මනුස්සයා තවමත් මගේ පිටිපස්සෙන් පන්නනවා ඇති කියලා මං හීනෙකින්වත් හිතුවේ නෑ.”

ඔහු එසේ පැවසූයේ මහත් වූ සංවේගයකින්ය. 

“මං හිතුවේ මං ඔයාට බාර දුන්නේ බොහොම නිරවුල් බිස්නස් එකක් කියලා පුතා. සේරසිංහලට  කතා කරලා එයා තවදුරටත් අපෙන් යමක් විය යුතුයි කියලා හිතනවනම් ඒ දේ කරන්න. ඒ ගැන ලෝයර් එක්කත් කතා කරන්න. ඔය මනුස්සයා සම්පූර්ණයෙන්ම අයින් කරලා දාන්න ඕනේ. සේරසිංහට තියෙන්නේ ඉරිසියාවක්. එදා අපි දෙන්නා බොහොම අමාරුවෙන් පටන් ගත්ත ව්‍යාපාරය මේ විදිහට දියුණු වෙයි කියලා එයා කවදාවත් විශ්වාස කරන්නේ නැතුව ඇති. එහෙම හිතුවනම් ඔය මනුස්සයා කීයටවත් තමන්ගේ ෂෙයාස් අරගෙන පිට වෙන්නේ නැහැ.”

“එහෙම අවශ්‍ය නෑනේ අංකල් අපි ඒ දවස්වල මේ ගනුදෙනුව ඉවර කරලනේ තියෙන්නේ. අනිත් එක මිනිහට මේ වෙච්ච  ලැජ්ජාව නිසා මං හිතන්නෙ නෑ ආයෙ කවදාවත් වර්ණ ඇඩ්වර්ටයිසින්  දිහා හැරිලවත් බලයි කියලා. මිනිහගේ  මේ සැලැස්මවල් හරි ප්‍රසිද්ධයිනේ දැන්. සේරසිංහ කියන්නේ දැන් බිස්නස් ෆීල්ඩ් එකේ බිංදුවටම වැටුණු මිනිහෙක්.”

“නෑ පුතා මං කිව්වේ මිනිහට අවශ්‍යනම් සල්ලි ටිකක් දීලා දාන්න කියලා. මනුස්සයෙක් තවත් කෙනෙක් විනාශ කරන්න, තවත් කෙනෙක් වට්ටවන්න, තණ්හාව ඇතිවෙන්න හේතුව ඕකනේ.” 

“තේජන කියන විදිහට මමත් හිතනවා තාත්තේ ඒක අවශ්‍ය නෑ කියලා. තාත්තා කැමතිනම් පුද්ගලිකව ගිහිල්ලා මිනිහව මුණගැහිලා කතා කරන්න හරි, මිනිහට පුද්ගලිකව උදව්වක් කරන්න හරි අවශ්‍යනම් මං ඒකට එපා කියන්නේ නෑ. ඒකට අවශ්‍ය කරන දේවල් මං ඇරේජ් කරලා දෙන්නම්.”

අවසන චාරුක පැවසූයේත් තේජනට එකඟවය. 

රඹුක්වැල්ල ආයතනයෙන් ඉවත් කළ ධනුකට  යළිත් රැකියාවක් ලබා ගැනීම ලෙහෙසි  පහසු වූයේ නැත. සමාජය තුළද ඔහුට හිමිවූයේ අඩු තක්සේරුවකි. එනිසාම වෙනදා සේ  ඔහු ප්‍රධානත්වය දැරූ සංගීත කණ්ඩායමට ද ප්‍රසංග සඳහා ආරාධනා ලැබුණේ නැත. අවසන ධනුක ගමට යන්නට තීරණය කළේ කොළඹ නගරයෙහි ජීවත් වීම තවදුරටත් ලෙහෙසි පහසු නොවූ නිසාය. 

වර්ණ ඇඩ්වර්ටයිසින් විසින් පැවැත්වූ  ප්‍රසංගය නිමා වූයේ ලොව පුරා නොමැකෙන නමක් සටහන් කරමින්ය. ඒ චාරුක රඹුක්වැල්ලගේ ව්‍යාපාරික ජීවිතයේ හැරවුම්  ලක්ෂ්‍යයයැයි සැවොම විශ්වාස කළේය. දින ගණනාවක් පුරා මෙරට සේම විදෙස් මාධ්‍යවලත් කතා බහට ලක් වූයේ ඒ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රසංගය ගැනය. 

කොතරම් අවිවේකී වුවත් චාරුක තමාගේ බිරිඳත් දරුවාත් වෙනුවෙන් වෙන් කළ කාලයෙහි කිසිදු වෙනසක් වූයේ නැත. සංකල්පනී මවක වන්නට යනවාය යන ආරංචිය නුලාරාට ලැබුණේත් ඒ සමයේදීමය. දැන් ඔවුන් වෙනදාටත් වඩා වැඩි විශ්වාසයකින් ඇසුරුකල හිතවතුන්ය.

සියල්ලෝම හෙට දවස ගත කළේ සතුටින්ය. 

ගැහැණියකට ජීවිතය ජයගන්නට අවැසි වන්නේ ඉවසීම, අත්දැකීම් තුලින් ලබන පන්නරය හා තමා කෙරෙහි තබන විශ්වාසයයැයි නුලාරාත්, සංකල්පනීත්  උගත්තේ ජීවිතය තුළින්ය. 

නිමි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here