පසළොස්වක මල් – 15

0
815

” මේ අහන්නකෝ..!” 

මොහොතක් ගත වූ තැන සුභාවී ඇගේ අතින් තදින් අල්ලා ගත්තාය. 

” ඔයා කියන්නේ එතකොට මේ දෙක සම්බන්ධයි කියලද? එච්චර දුර හිතන්නෙපා නංගි. දින ලඟ උනත් එකම දිනේ උනත් මින්දුලාගේ සුයිසයිඩ් එකයි මේ පස් දෙනාගේ මර්ඩර්ස් ටිකයි එකම සිද්ධියක දෙකොනක් කියලා හිතන්න එපා. අපි මේ හැමදෙයක් දිහාම බොහොම සරලව බලමු. ඕනෑවට වඩා හිතන්න ගියොත් මේකේ ඇතුළේ අපිත් පැටළැවිලා , ලේසියෙන්ම උත්තර හොයාගන්න පුලුවන් මාර්ග ඔක්කොම වැහිලා යන එක. “

මිහිදුමී කිසිවක්ම නොපවසා නිහඬවම සුභාවී දෙස බලා සිටියාය. ඇගේ හදවතෙහි පෙර ඇතිවූ සැකය ඒ ආකාරයෙන්ම තිබුණද , සුභාවීගේ වදන්ද ඉවත දැමීමට හැකියාවක් නොතිබුණි.

” ඒ නිසා අපි දැනට මේ දෙක පටළවා නොගෙන ඉමු. මින්දුලා සුයිසයිඩ් කරගත්තා. ඒකට හේතුව උනේ ස්ට්‍රෙස් එක කියලා හිතලා ඒ කාරණේ දැනට පැත්තකින් තියලා අපි මුලින්ම මේ පස් දෙනාගේ සිද්ධිය විතරක් බලමු නංගි. ඒක තමයි වඩා හොඳ. ඔයාට තේරෙනවද මං කියන දේ..?” 

නිහඬවම සුභාවි දෙස බලා හිස සොළවා එයට එකඟ වූ තරුණිය ගමන් මල්ල තුළින් කුඩා දිනපොත පිටතට ගත්තාය. 

” අක්කේ.. මේ පස්දෙනාගේ මර්ඩර්ස් ගැන දිගින් දිගට බලද්දි මට තව එක දෙයක් නෝට් උනා. මේ බලන්න…!” 

ඈ දිනපොතෙහි පිටු පෙරළමින් එකතු කරගත් විස්තර මත ඇඟිල්ල ගෙන ගියාය. 

” මේ මුලින්ම මැරිලා හිටපු ආරාධි කැකුණවෙල. එයා මැරිච්ච වෙලාවයි , එයා මැරෙන්න කලින් හිටපු තැනයි බලන්න. එයා එදා කැම්පස් එකේ මොකක් හරි උත්සවේකට ඉඳලා තියනවා. ඒක ඉවර වෙලා යද්දි මඟදි තමයි මේ වැඩේ සිද්ධ වෙලා තියෙන්නේ. 

එතකොට දෙවෙනියා ඉෂාරා හර්ෂණී. එයා එදා පාන්දර හතරට බෝඩිමෙන් එළියට ඇවිත් තියෙන්නේ කැම්පස් එකේ යාලුවෝ කට්ටියක් එක්ක ට්‍රිප් එකක් යන්න. ඒ එන අතරමඟදි තමා මේක සිද්ධ වෙලා තියෙන්නේ. 

තුන්වෙනියා දර්ශි නාඔටුන්න. එයා එදා කැම්පස් එකේ හිටපු එයාගේ බෝයි එක්ක බෝයිගේ යාලුවෙක්ගේ ගේක බණ ගෙදරක ගිහින් රෑ නමයට විතර බෝඩිමට ගිහින් තියෙන්නේ. අන්න ඒ අතරමඟදියි මේක වෙලා තියෙන්නේ. 

හතර වෙනියා ප්‍රාර්ථනා කල්හාරි. හරියටම දර්ශි නාඔටුන්නගේ මරණෙන් දවස් දෙකකට පස්සේ හොස්ටල් එකේ ඉද්දි මැරිලා තියෙන්නේ. එයා සෑහෙන්න ශොක් එකේ ඉඳලා තියෙන්නේ එකපිට ලඟම යාලුවෝ තුන්දෙනෙක් නැති උනු එක ගැන. එදා දර්ශිගේ ෆියුනරල් එකේ අන්‍තිම දවස. ඒ නිසා හොස්ටල් එකේ හැමෝම වගේ මළ ගෙදර ගිහිල්ලා. ප්‍රාර්ථනාගේ තනියට ඉඳලා තියෙන්නේ මගේ අක්කා. සින්දුමී. සමහර විට ඒ දෙන්නටම මේ වෙච්ච දේ දරාගන්න බැරි වෙන්න ඇති. ඒත්.. කොහොමහරි එදා ප්‍රාර්ථනා මැරුණා. ඒක මුලින්ම දැක්කේ මගේ අක්කා. එයා ඒක දැකපු ගමන් හොස්ටල් එකෙන් පිට වෙලා බෝඩිමට ඇවිත් තියනවා. ඊට පස්සේ කාටවත්ම නොකියා පහුවදා පාන්දරම ගමේ ආවා. ඒ සිද්ධියට කට උත්තර ගන්න පොලීසියෙන් අපේ ගෙදරට පවා ඇවිත් තියනවා අක්කේ. ඒත්.. මගේ අක්කා ඉඳලා තියෙන්නේ කාඑක්කවත් කතා කරගන්න පුලුවන් මට්ටමක නෙමෙයි. 

අක්කා නැතිඋනේ ගෙදරදි. අක්කට එහෙම කරපු එකාව මං දැක්කා. 

එතකොට මෙයාලගේ මරණ වල පොඩි සම්බන්ධයක් ඔයාට පේනවද ? මගේ අක්කා ඇරුණම අනිත් හැමෝම මැරෙන්න කලින් ඉඳලා තියෙන්නේ කැම්පස් එක සම්බන්ධ කවුරුහරි එක්ක. නැත්තන් කැම්පස් එක සම්බන්ධ තැනක. මට සැකයක් තියනවා මේ මරණ හැම එකකටම කැම්පස් එකේ ඒ වෙද්දි හිටපු කාගෙමහරි සම්බන්ධයක් තියනවා කියලා. “

සුභාවී දිනපොත තුළ දෑස එහා මෙහා යවමින් මිහිදුමී ගෙන එන්නාවූ තර්කයට එකඟ වීමට හේතු කාරණා සෙව්වාය.

” ඒවගේම අර රංගි එක්ක කතා කළාම මට තවත් සැකයක් හිතට ආවා අක්කේ. එයා කියපු විදිහට මෙයාලා පස්දෙනා රූඩ් විදිහට කැම්පස් එක ඇතුළේ හැසිරුණා නං මෙයාලා අතින් කාටහරි වැරැද්දක් උනා වෙන්න බැරිද ? එහෙම දෙයක් වෙලා කවුරුහරි මෙයාලගෙන් පලි ගත්තා වෙන්න බැරිද ? 

මං මින්දුලාගේ කතාව මෙතනට ඈදලා ගත්තෙත් මගේ අක්කයි , මින්දුලා අක්කයි දෙන්නම හිටියේ එකම බෝඩිමේ නිසා. මේ පස්දෙනාගෙන් මින්දුලා අක්කා එක්ක එකම බෝඩිමේ හිටියේ මගේ අක්කා විතරයි. “

” ඒක වෙන්න බෑ නංගි” 

සුභාවී නැවත වතාවක් හිස දෙපසට සළා ඇගේ අනුමානය ප්‍රතික්ෂේප කළාය. 

” හොඳට මතක තියාගන්න. මින්දුලා නැති වෙලා අවුරුදු දෙකක් විතර ගිහින් තමා මේ පස් දෙනා නැති උනේ. මින්දුලාගේ මරණෙට මේ පස් දෙනාගේ මොකක්ම හරි සම්බන්ධයක් තියනවාමයි කියලා අපි හිතමුකෝ. එහෙනං මෙච්චර කාල පරතරයක් වෙන්නෑ නංගි. එහෙනං මේ සිද්ධි ඔක්කොම වෙන්නේ එකට. අනික මින්දුලා කවදාවත් මට එයාට කාගෙන්වත් කරදරයි කියලා දෙයක් කියලා නෑ. මට මින්දුලා එක්ක ඉන්න බැරි උනේ අර මං ඇක්සිඩන්ට් වෙලා ගෙදර හිටපු මාස දෙකේ විතරයි. හැබැයි ඒ දවස් වලත් මින්දුලා මට නිතර නිතර කතා කළා. ඒ කතා කරද්දිවත් එයාගෙන් මට වෙනසක් දැනුණේ නෑ. මං ඒකයි කිව්වේ මේ සිද්ධි දෙක පටළවගන්න එපා කියලා. “

ඈ නැවතත් සුක්කානම මත ඇති දෑත තද කරගනිමින් වේගයෙන් මහ මාර්ගයේ ඇදී යන රථ වාහන දෙස බලා කල්පනාවෙන් බරව සිටියාය.

” මට මෙහෙම දෙයක් හිතෙනවා. “

නැවත වතාවක් කල්පනාවෙන් ගිලිහිණු ඈ මිහිදුමී වෙත හැරුණාය. 

” එදා හොස්ටල් එකේ හතරවෙනියා මැරුණු සිද්ධියෙදි සින්දුමී ඒ මිනිහව දැක්කා වෙන්න බැරිද ? ඔයා කලින් ගෙනාපු තර්කේ හරි නංගි. මේ සිද්ධිවලට කොහෙන්හරි කැම්පස් එකේ කවුරුහරිම වගකියන්න පුලුවන් කියන එක මටත් දැනෙනවා. එහෙම උනානං ඒ කෙනාව ඔය හතරවෙනියට මැරුණු ප්‍රාර්ථනාගේ සිද්ධියෙදි සින්දුමී අඳුරගත්තා වෙන්න බැරිද ? මොකද එදා හොස්ටල් එකේ වැඩිය කවුරුවත් හිටියෙත් නෑ. ප්‍රාර්ථනයි , සින්දුමීයි එකට හිටියේ. අනික දෙන්නම එකට හිටපු තැනදි , මේ මිනිහට දෙන්නවම මරන්න උවමනාවක් තිබ්බනං ඒක ඒවෙලේම කරන්න තිබ්බනේ. ? ඇයි සින්දුමීව එවෙලේ අතෑරියේ ? බොහෝ දුරට ඔයා කිව්වා වගේ මෙයාලා අතින් කාටහරි කරදරයක් වෙලා ඒකට පලි ගන්න මේවා කළා කියමු. 

මං ඔයාට මෙහෙම කිව්වොත් , මේ සිද්ධියට සම්බන්ධ පළවෙනි හතර දෙනා විතරයි. සින්දුමීගේ මෙතන වරදක් නෑ. එයා කරපු එකම වරද ප්‍රාර්ථනාව මරපු මිනිහව අඳුරගත්ත එක. බොහෝ දුරට මිනීමරුවට එතනදි ඔය ගැන අදහසක් නේන්න පුලුවන් . ඌට ඕක මතක් උනේ පස්සේ වෙන්න පුලුවන්. සින්දුමී තමාව අඳුරගත්තා. ඒ නිසා සින්දුමී ජීවත් වෙලා ඉන්න එක තමන්ට හානියක් කියලා මිනිහා හිතුවා. ඒ නිසා දවස් ගාණකට පස්සේ සින්දුමීව හොයන් ගමටම ගියා. මං මෙහෙම කියන්නේ තවත් හේතුවක් උඩ. සින්දුමීගෙන් පස්සේ මේ කරදර ඉවර උනා. ඊට පස්සේ කිසිම කෙනෙක්ට මෙහෙම උනේ නෑ. “

මිහිදුමී කිසිවක්ම නොදොඩා බොහෝ වේලාවක් මුනිවත රැක්කාය. 

” එතකොට අක්කා කියන්නේ අහක යන දෙයක් නිසා මගේ අක්කා මැරුණා කියලද ?” 

” ඔයත් එක්ක තියන හිතවත්කමටද මං දන්නෑ නංගි , මට සින්දුමීව මෙතනදි වැරදිකාරියක් කරන්න හිත දෙන්නෑ. රංගි කොච්චර කිව්වත් සින්දුමී බෝඩිමේදී රූඩ් වගේ උනා කියලා ඒක එයා අනිත් හතර දෙනා එක්කම හිටපු නිසා ඇලවිච්ච ලේබලයක් වෙන්න පුලුවන්නේ. ? 

අපි කොච්චර මේක මානසික ලෙඩෙක්ගේ වැඩක් කියලා හිතුවත් මේක අනිවාර්යයෙන්ම පලි ගැනීමක් නංගි. මොකද මේක උනේ එකම යාලුවෝ පොකුරක් වටේ නිසා. මේක තැනින් තැන , නාඳුනන හරි , වෙන වෙන ෆැකල්ටි වල හරි , වෙන වෙන බැච් වල හරි අය අතර උනානං අපිට මේක මානසික ලෙඩෙක් කරපු දෙයක් කියලා හිතන්න තිබුණා. හැබැයි මෙතන එකම යාලුවෝ පොකුරෙන් පටන් අරන් එයාලාගෙන්ම ඉවර වෙලා. 

අසත්පුරුෂ ආශ්‍රය ගැන අපි කොච්චර බණ අහලා තියනවද නංගි ? සින්දුමීටත් උනේ ඒ වගේ දෙයක් වෙන්න බැරිද ? සින්දුමී අනවශ්‍ය යාලුවන්ව ආශ්‍රය කළා. අදාල නැති තැන්වල අදාල නොවන වෙලාවන් වල හිටියා. මට හිතෙන්නෙම ඒ දේවල් නිසා සින්දුමීටත් මේ දේ උනා කියලා. මට මේ අදහස ඔලුවෙන් අත් ඇරගන්නම බැරි සින්දුමීගෙන් පස්සේ කවුරුත් නොමැරුණු හේතුව උඩ. මේ වැඩේ කරපු මොකා උනත් තමන්ට මරන්න ඕන උනු හතර දෙනාව මැරුවා. ඒක දැකපු කෙනාවත් මැරුවා. එතනින් වැඩේ ඉවර කළා. “

තවත් දිගු මිනිත්තු කිහිපයක්ම මෝටර් රථය තුළ නිහඬබවක් දළු ලා පැවතියේය. 

” අපි අක්කා මැරි කරපු කෙනාව හොයාගමුද අක්කේ ? “

නිහඬබව බිඳිමින් මිහිදුමී බොහෝ වේලාවකට පසු මුව හැරියාය. 

” හ්ම්ම්… ඔව්. අපි ඒක කරමු. ඒක හොයාගන්න පුලුවන්. මං ඒක කරන්නම්. “

ඇගේ අතින් තදින් අල්ලාගත් සුභාවී හිස සලා විශ්වාසදායී බැල්මක් ඈ දෙසට හෙළුවාය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here