“Guys we got it!” කාර්යාලයේ එක් කොනකින් ඇසුණු ඒ හඬත් සමග නෙත්මලී තමන් ඉදිරියේ තිබූ computer screen එකෙන් ඇස් ඉවතට ගත්තාය. කනෙන් ඉවතට ගත් දුරකතනය අත රඳවාගෙන තමන් ඉන්නා දෙසට දුවගෙන එන මන්දාරා වෙතටම නෙත් අලවාගෙන උන්නද වෙන්නේ කුමක්දැයි කියා හිතාගන්නට පුළුවන්කමක් නෙත්මලිට තිබුණේ නැත.
“මොකක්ද?” කියා ඇසුවේ වෙන කවුරුන් වුවද තමන්ගේ හිත තිබුණේ එකී ප්‍රශ්නයම අසමින් බව නෙත්මලීට ස්ථිරය.
“සෙත්සිරි. කැම්පේන් එක විතරක් නෙවෙයි ෆුල් රිටේනර් එකම දෙනවලි. ඒගොල්ලො මාරම ඉම්ප්‍රෙස් වෙලා අපෙ කැම්පේන් එකට. එයාලට DVC එක වෙනුවට කෙලින්ම TVC වලටම යන්ද කියලා අහනවා.”
“අඩෝ!”
“Seriously?”
“අපිට account එක හම්බුණා?”
“ඔව් බං. Confirm කරලා.”
“ අම්මටසිරි නෙත් සුපිරි වැඩ්ඩෙක්නෙ ඔයා බට්ටා වගේ හිටියට”
“ඒකනෙ, පුංචි උනත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ කිව්වලු”
“අනේ සැර නෑ අනෙ. මං පණ බයෙ ඉඳියෙ ක්ලයන්ට් පිච් එකේදිත් සුපිරි කෑල්ල අඬාවි කියලා” කට්ටිය කියාගෙන කියාගෙන යද්දි හිත කොච්චර ලැජ්ජ වුණාද කියා දැන උන්නේ තමන් පමණක් බව නෙත්මලීට විශ්වාසය.
“මොකද්ද අනේ” කියා සබකෝලෙන් එළියට ආවේ ඒ ලැජ්ජාවය.
“මොකද්ද අනේ කියන්නෙ යකෝ මෙච්චර ලොකු බජට් එකක් තියෙන කැම්පේන් එකක් ඇපෘ වුණා කියන්නේ ආය ඔයා සුපිරියක් හොඳේ. දෝණි ඔයා සිරා වැඩ්ඩෙක්”
“මගේ විතරක් නෙවෙයිනෙ අනේ.”
“අනේ මේ, අපි කරේ මේ ක්‍රියේටිව් හදලා දෙන එක විතරනෙ, ඔයාගෙ චූටි තනිකරම අයිඩියා එක. දැන් ඉතින් අපිට පාටි ඕන බබෝ හොඳේ” කියා සෙට් එකේ වැඩිමල්ම කෙනා වූ කසුන් අයියා හිසට අත තබා කොණ්ඩය අවුල් කර දාද්දිත් නෙත්මලී කරේ සිනාවෙන එකය. හිත තිබුණේ සන්තෝසේ ඉපිලෙමිනි.
“First big pitch එකෙන් account එකක් අරගෙන දැන් මගේ නෙත්මලී ලොකු creative director කෙනෙක් වෙන්න පාර කපං යන්නෙ.” කියා මන්දාරා අක්කා තමන්ව බදාගෙන කියද්දී නෙත්මලී කරේ ආයෙම වරක් සිනාසෙන එකය.
“මේ මේ නෙත්මලී කවද්ද උඹේ උනෙ කියපංකො. නංගි මේ අයියා කෙනෙක් විදියට අවවාදයක් දෙන්නං හොඳේ ” කියා කියන්නේ රචී අයියාය.
“අයියා කෙනෙක් විදියට? අංකල් කෙනෙක් විදියට කියපං. අයියා කෙනෙක් කියලා කියන්න තිබ්බා මීට අවුරුදු දහයකට විතර කලින්” කියා රචී අයියාව ඩිස් කරන්නේ කසුන් අයියාය.
“හරි හරි අංකල් කෙනෙක් බැරිනං සීයා කෙනෙක් දෙන අවවාදයක් කියලා හරි හිතපංකො. නංගි දැන් කාලෙ නංගි කෙල්ලො පරිස්සං වෙන්නෝන කොල්ලන්ගෙන් නෙවෙයි කෙල්ලන්ගෙන් හොඳේ. ඔන්න මං නොකිව්වා කියන්නෙපා” කියා නෝන්ඩියට මන්දාරා දෙස බලා සිනාසෙද්දී මන්දාරා උන්නේ රචී අයියාට ගහන්නට යමක් මේසය පීර සොයමිනි.
මේ හැම දේම අස්සේ නෙත්මලී සිනාසුණාය. ඒ සිනහව ඇයගෙන් එළියට ආවේ හිතාමතා නොවේ. ඇත්තටම ඇයට සතුටුය. සෙත්සිරි බැංකුව වෙනුවෙන් තමන් ඉදිරිපත් කළ ඒ idea එක, තමන්ගේ හිතෙන්ම එළියට ආ කතාවක් වූ නිසාවෙන්ම, ඒ කතාවට මේ තරම් දුරක් යන්නට හැකි වේ යැයි සිතා නොතිබූ නිසාවෙන්ම සිත තිබුණේ පුදුමාකාර සන්තෝසෙකින් ඉපිලී ගොසිනි.
“අද නම් ඔන්න අපි මේක සෙලිබ්‍රේට් කරන්නම ඕන හොඳේ.”
“අනිවාර්යයෙන්.අනික අද සිකුරාදත් එක්ක. අවුලක් නෑනෙ හෙට නිවාඩුනෙ.”
“එහෙනම් Dinner යන්ද?”
“Dinner මදි අනේ”
“එහෙනම්?”
“නලින්ද්‍රට කතා කරා නම් ස්පෝට්ස් ක්ලබ් එකට යන්න තිබ්බා. අඩෝ ආතල් ඈ රචියා බීලා සිංදු කියනවා නෙත් අහලා නෑනෙ. ආතල් ඩබල්. අපි එහෙ යන්. සුපිරි ආතල් එකක් ගන්නැහැකි.” කියා කසුන් කියද්දිත් නලින්ද්‍ර උන්නේ කැබින් එකේ සිට ක්‍රියේටිව් රූම් එක දිහාවට ඇවිද එන ගමන් ය.
“ගුඩ් ජොබ් ආ. I’ve seen the client group. අඬ අඬ හරි නෙත්මලී වැඩේ ගොඩ දාලා දුන්නනෙ නේද?” කියා නලින්ද්‍ර කියා මද සිනාවකින් තමන් දෙස බලද්දී නෙත්මලීද දෙතොල් මත සිනාවකට පිපෙන්නට අවසර දී දෙනෙත් පහලට බර කරගත්තේ ලැජ්ජාවෙනි.නලින්ද්‍රගේ දෙනෙත් සැරය විඳගන්නට බැරි තරං හිතට බර එකක් නිසාවෙනි.
“මොකෝ කට්ටියට අද සෙලිබ්‍රේට් කරන්නද අදහස?”
“අපි මේ ඒක කතා කර කර හිටියෙ. ඔයාලගෙ ක්ල්බ් එකට යන්.”
“අපෝ. අදත් මටද වියදම දාන්න හදන්නෙ?”
“හරි අනේ ශෙයා එක දෙනවා ප්‍රොමිස්. Account එක ගෙනාවෙ අපි. Venue එක විතරක් ඔයාගෙන්.”
“ඒ ඇතිද?” කියා නලින්ද්‍ර අහන්නේ කෝචෝක් එකට මෙන් සිනාසෙමිනි.
“හරි හරි යංකො එහෙනම්. අඬපු එක්කෙනාවත් එක්කන් එන්න එහෙනම්. එයානෙ අද ස්ටාර්”
“අනේ” කියා නෙත්මලී මූණ ආයෙම රතු කරගන්නට පටන් ගත්තේ නලින්ද්‍රගේ ඒ වචනවලටය.
“මොකෝ?”
“අදත් ඕක කියනවද?”
“මොකක්ද?”
“අඬපු එක.”
“ඉතිං ඇත්තනෙ. අපිට මතක තියෙන්න එපායැ account එක ගන්න ඔයා කඳුළු සලලා මොන තරම් කැපවීමක් කළාද කියලා.”
“අනේ යන්න අනේ”
“හරි හරි. අදින් පස්සෙ කියන්නෙ නෑ.”
“Promise?”
“Promise.”
“හැබැයි ඔන්න වෙන අය කියන ඒවට මං වගකියන්නෙ නෑ හොඳේ.”
“අනේ නලින්ද්‍ර, ඔයා තමයි මේ ළමයව spoil කරන්නෙ” කියා මන්දාරා අක්කා මැදින් පැන නලින්ද්‍ර දෙස බලද්දී කට්ටියම සිනාසුණහ.
“ආහ් දැන් මං මොකද්ද කරේ?”
“දැක්කනෙ. දැන් ඉතිං අපිට නෙත් එක්ක වැඩ කරන්නත් බෑ. Boss favourite. ආයෙ ඉතින් නෙත් ඉන්න තැනක නලින්ද්‍රට බණිනවා බොරු”
“අනේ මේ. හරි හරි. දැන් යන්න ලෑස්ති වෙන්න. හයට වගේ පිටත් වෙමු.”
හැන්දෑව එළඹෙන තුරු හිත ඇත්තටම තිබුණේ නොඉවසිල්ලකිනි. වෙනදාට දවස අවසාන වීමට තිබෙන පැය කිහිපය ගැන එතරම් අවධානයක් නොදක්වන නෙත්මලී පවා එදා උන්නේ ලැප්ටොප් පරිගණකයෙන් නිතර නිතර වෙලාව බලමින් “අනේ ඉක්මනට වෙලාව යන්නෙ නැත්තෙ ඇයි අනේ” කියමින් හිතට වදදෙමිනි.
වැඩ ටික ඉවර කරගන්න තිබුණු නිසා ලැප්ටොප් එක ඉස්සරහා වාඩිවෙලා උන්නත් හිත තිබුණේ නම් එතැන නොවේ. විනාඩි පහකට සැරයක් වගේ ඔරලෝසුව දිහා බැලූ නෙත්මලී, තවමත් වැඩ ඉවර වෙන්න පැය දෙකක්ම තියෙන බව දැක ආයෙමත් ලැප්ටොප් එක දිහා බලන්නීය. ඒත් ඊළඟ විනාඩි පහ ගෙවෙන්නෙ ගොලුබෙලි ගමනිනි. අද වෙනදා වගේ ගෙදර ගිහින් කාමරේට වෙලා ඉන්න වෙන්නෙ නැති එක ගැන හිත සතුටෙනි. නැතිනම් කාර්‍යාලයේ කොච්චර සන්තෝසෙන් උන්නද ගෙදර ගිය පසු අම්මා කියන කුමක් හෝ දෙයක් නිසා හිත පලුදු වන බව නෙත්මලීට ස්ථිරය. අද කට්ටියත් එක්ක එළියට යන්නට ලැබීම, ඒකත් තමන්ගේ පළවෙනි ලොකු pitch එකෙන් account එකක් ගත්තා යැයි කියා සමරන්නට වීමම හිත අමන්දානන්දයට පත් කරන්නට හේතු වී තිබේ. ඒකත් නිකන් dinner එකකට ගොස් ආපසු එන එකක් නොව කට්ටියම එකතු වී හොඳට ආතල් එකක් ගන්නට යන ගමනකි.
ඒ නිසා වෙලාව ගොලුබෙලි ගමනින් ගෙවීම ගැන හිත තිබුණේ මදක් අමනාපයෙන් ය. එහෙත් ඊටත් වඩා ප්‍රශ්නයක් හිතේ තිබුණාය.
“ගෙදෙට්ට මොකද්ද කියන්නෙ පරක්කු වෙන එක ගැන?” කියන ප්‍රශ්නයට උත්තර දෙකක් තිබුණ බව ඇත්තකි. එක්කෝ අම්මාට ඇත්ත කිව යුතුය. ඇත්ත කීම මේ ගමන යන්නට නොලැබෙන්න හේතුවක් විය හැක. අනෙක් අතට කවදාවත් අම්මාට බොරුවක් කියා නැති උනද අද බොරු කියන්නට හේතු වෙන උත්තරයකි. “අද ඔෆිස් එකේ රෑ වෙනකං වැඩ”කියා කිව්වොතින් අම්මා වැඩිය ප්‍රශ්න අහන එකක් නැති බව ස්ථිරය.
ඒක බොරුවක් බව ඇත්තය. ඒත් අද කියන්නට යන බොරුව ගැන නෙත්මලීට හිතේ එතරම් ලොකු බරක් දැනුණේද නැත. මොකද ඇය ඇත්තටම කාර්යාලයේ සිටින්නේය. අද ඇත්තටම වැඩක් වෙනුවෙන් කට්ටිය එක්ක එකතු වී සිටින්නේය. වෙනසකට තිබුණේ වැඩ ඉවර වූ පසු කෙලින්ම ගෙදර නොයා එළියට යන එක විතරය.
ඒ නිසාම අවසානයේ නෙත්මලී තීරණය කළේ දෙවැනි උත්තරය තෝරගන්නටය.
“ඒකත් ඉතින් මහ ලොකු බොරුවක් නෙවෙයිනෙ. මං ඇත්තටම ඔෆිස් එකේ ඉන්නවනෙ. අද ඇත්තටම ඔෆිස් එකේ වැඩක් නිසා තමයිනෙ කට්ටිය එක්ක ඉන්නෙ. ඒ වැඩේ ඉවර වුණාට පස්සෙ කට්ටිය එක්ක ටිකක් එළියට යන එක විතරනෙ තියෙන්නෙ. ඉතින් ඒකත් ඔෆිස් එකේම වැඩක් වගේ තමයි. අනිත් අයත් එක්කනෙ යන්නෙ. මං තනියම කොහෙවත් යන එකක් නෙවෙයිනෙ.
ඒ හින්දා අම්මා ඇහුවොත් අද ඔෆිස් එකේ වැඩක් නිසා රෑ වෙනවා කියලා කියනවා. එතකොට වැඩිය ප්‍රශ්න අහන එකකුත් නැති වෙයි. අනික දැන් මං රස්සාවක් කරනවනෙ. ඉස්සර වගේ ගෙදර ඉඳන් හැම දෙයක්ම අම්මගෙන් අහගෙන කරන්න ඕනෙත් නෑනෙ. මටත් දැන් මගේ වැඩ තියෙනවා. මගේ යාළුවො ඉන්නවා. මං එක්ක වැඩ කරන මිනිස්සු ඉන්නවා. ඒ අයත් එක්ක එක දවසක් සතුටින් ඉන්න එකේ මොකක්ද තියෙන වැරැද්ද?
අනික අද දවස නිකන්ම නිකන් දවසක් නෙවෙයිනෙ. මගේ පළවෙනි ලොකු pitch එක හන්දා ඒකෙන් account එකක් ලැබිච්ච දවසක්. ඒකත් කට්ටියම එකතු වෙලා celebrate කරන්න යන එකක්. එහෙම දවසක ගෙදර ගිහින් කාමරේට වෙලා ඉන්න එකත් අපරාදෙනෙ.
ඒ නිසා අම්මාට කියන්න ඕනෙ ඔෆිස් එකේ වැඩක් නිසා රෑ වෙනවා කියලා විතරයි. ඊට පස්සෙ අහන දේකට අහන විදියට උත්තර දෙනවා. ඒක ගැන දැන්ම හිතලා හිත නරක් කරගන්න ඕනෙ නෑ.
අද විතරයිනෙ” එහෙම හිතාගත්ත නෙත්මලී ආයෙමත් තමන් ඉස්සරහා තිබුණු ලැප්ටොප් තිරයට දෙනෙත් යොමු කළාය.
අනතුරුව අම්මාට කියන්නට තිබූ වාක්‍යය හිතෙන් කිහිප වතාවක් කියා බැලුවාය.
“අද ඔෆිස් එකේ වැඩක් තියෙනවා. ටිකක් රෑ වෙයි.”
ඒක අම්මාට සැක හිතෙන්න තරම් ලොකු බොරුවක් නොවන බවද අනෙකවාරයක් හිතුවාය. අනික එහෙම කියන එකෙන් පස්සේ අම්මා තවත් ප්‍රශ්න ඇහුවොත් ඒ වෙලාවේ හැටියට උත්තරයක් දෙනවා යැයි හිතාගත්තාය. ඒත් ඒ තීරණය ගත් පසුවත් හිතේ කොහේ හෝ තැනක පොඩි අපහසුතාවයක් දැනුණ බවක් මුළු හිතෙන්ම පිළිගත්තාය.
එහෙත් ඒ ගැන වැඩි වෙලාවක් හිතන්නට ඇය කැමති වූයේ නැත.
සමහර දේවල් හරිද වැරදිද කියා තීරණය කරන්නට වඩා ඒ මොහොතේ හිතට සතුටු දේ තෝරාගන්නට සිදුවන දවස්ද ජීවිතයේ තිබෙන බව නෙත්මලී එදා පළවෙනි වතාවට ඉගෙනගත්තාය.


