වසන්තය තව දුරද – 23

0
69

“බොරු වයසක් CV එකට දාලා රස්සාවලට ඇප්ලයි කරනවා කියන්නේ බොරු හේතු කියලා නිවාඩු ගන්නයි, අන්තිමේ වැඩට එන්නෙ නැතුවයි ඉන්නත් පුළුවන්කම තියෙනවා නේද?” කියලා තමන්ගේ පුටුවට ඉස්සරහා මේසයට එහා පැත්තේ ඩිරෙක්ටර් පුටුවේ අසුන්ගෙන උන් උස මහත මනුස්සයා කියද්දී නෙත්මලී ගැස්සුණාය.

නලින්ද්‍ර දේවමිත්ත – Creative Director 

Spark Ads Pvt Ltd ලෙස නම සඳහන් බෝඩ් එකක් ඔහුගේ මේසය උඩ තැන්පත් කොට ඇති බව නෙත්මලී දුටුවේ මද අවසරයකට ඔහු දෙස බලන්නට නෙත් එසවූ අවසරයකයි. 

“සර්, දිස් ඊස් නෙත්මලී සමරසිංහ” කියා කාර්‍යාල සහායකවරිය ඔහුට තමන්ව අඳුන්වා දෙද්දීත් තමන් උන්නේ දැන් දැන් බයට කලන්තෙ දා ඇද වැටේ යැයි බියකින් බව නෙත්මලීට අමතක නැත. එහෙත් කෙසේ හෝ ඒ තප්පර ගාණ ඉවසාගෙන හිඳ ඔහු “ටේක් අ සීට්” කියන තුරු කෙළින් හිටගෙන ඉන්නට හැකිවීම පිළිබඳව නෙත්මලී හිතෙන් කකුල් දෙකට ස්තුතිවන්ත වූවාය. 

“නෙත්මලී දේවස්මිතා සමරසිංහ. මම නෙත්මලී කියලා කතා කරාට කමක් නෑ නේද? අනික අපි සිංහලෙන් කතා කරමු නේද? සිංහල කොපි රයිටින් ඉන්ටවිව් එකක ඉන්ග්‍රීසියෙන් ඉන්ටවිව් කරන්න ඕන නෑනෙ” කියා ඔහු කියද්දී කාමරයේ වූ ඒසී හීතලටත්, බොරුවක් කියූ බයටත් වේලී තිබුණ දෙතොල කෙල පිඬකින් තෙමාගත් නෙත්මලී “කමක් නෑ සර්” කිව්වාය.

නලින්ද්‍ර දේවමිත්ත උනේ නෙත්මලී දෙසම බලාගෙනය. 

ඇයව දැක මුල් තත්පර කිහිපය ඇතුළත ඔහුට තේරුම් ගන්නට හැකි වූ එකම කාරණාව වූයේ මේ කෙල්ල බය වී සිටින බව පමණි. නමුත් ඒ රස්සාව නොලැබෙයි කියා බය වූ කෙනෙකුගේ බයක් නොවන බවත්  කුමක් හෝ වරදක් කර එය හසුවේ යැයි බයෙන් පසුවන අයෙකුගේ බයක් බවත් අවුරුදු ගණනක් පුරාවට සියයකට අධික ප්‍රමානයක් මිනිසුන් සමග වැඩ කර පුරුදු, අවුරුදු හතළිහකට කිට්ටු නලින්ද්‍රට තේරුම්ගන්නට අපහසු වූයේ නැත. 

ඒත් ඒ ගැන නිශ්චිතවම කියන්නට තරම් සාක්ෂියක් තවම ඔහුට තිබුණේද නැත.

අවුරුදු ගණනාවක් තිස්සේ ඉන්ටවිව්වලට පැමිණි මිනිසුන් දෙස බලා සිටීමෙන් නලින්ද්‍රට මිනිසුන්ගේ බය හඳුනාගන්නට යම් පුරුද්දක් තිබුණි. සමහරුන් බය වූ විට වැඩිපුර කතා කරති. තවත් සමහරුන් තමන් ගැන අනවශ්‍ය ලෙස කියවති. තවත් සමහරුන්ට අහන ප්‍රශ්නයකට කලින්ම උත්තර දෙන්නට හදිසි වෙති.

එහෙත් නෙත්මලී ඒ කිසිවක් කළේ නැත. ඇය උන්නේ තමන්ගේ අත් දෙක දෙසත්, ඉදිරියේ තිබූ මේසය දෙසත්, ඉඳහිට තමන් දෙසත් බලමින් බව නලින්ද්‍රගේ විපරම්කාරී ඇසට හසුනොවුණා නොවේ. එහෙත් ඇගේ ඇස්වල තිබුණේ නලින්ද්‍රට හුරුපුරුදු රැකියාවක් අවශ්‍ය මිනිසෙකුගේ බැල්මක් නොවේ.

ඒ ඇස්වල තිබුණේ යමක් අහිමි වූ මිනිසෙකුගේ බැල්මකි. නලින්ද්‍රට ඒ බැල්ම හඳුනාගත හැකි විය. මන්ද වයසින් අවුරුදු තිස් ගණනක් පසුකරගෙන පැමිණියද මිනිසුන්ගේ ඇස්වල තිබෙන ඒ හිස්කම ඔහුට අමුත්තක් නොවූ බැවිනි.

“ අපේ ඇඩ් එක කොහෙන්ද හම්බුණේ?”

නෙත්මලී මඳක් කෙළින් වී වාඩි වුණේ ඒ ප්‍රශ්නයට වඩා හොඳින් පිළිතුරු දෙනු පිණිසය.

“ජොබ් සයිට් එකකින් සර්.”

“ඇප්ලයි කරන්න කලින් අපේ ඒජන්සිය ගැන දැනගෙන හිටියද?”

“නෑ සර්.”

“එහෙනම් ඇයි මේකට ඇප්ලයි කළේ?”

එවර නෙත්මලී නිහඬ වූවාය. නලින්ද්‍ර ඇය දෙස බලාගෙනම සිටියේ පිළිතුරක් අපේක්ශාවෙනි. 

මෙතෙක් ඇසූ ප්‍රශ්න සියල්ලටම යම් ආකාරයකින් පිළිතුරු දුන් ඇය මේ එකම ප්‍රශ්නය ඉදිරියේ නිහඬ වූයේ ඇයි දැයි නලින්ද්‍රට තිබුණේ යම් ආකාරයක කුතුහලයකි.

“මම…” නෙත්මලීගේ හඬ තිබුණේ බිඳී යමිනි.

“මම ලියන්න ආසයි සර්.”

නලින්ද්‍රගේ දෙබැම මඳක් ඉහළ ගියේ ඒ පිළිතුර ඔහු බලාපොරොත්තු වූ එකක් නොවූ නිසාවෙනි.

“ලියන්න ආසයි?”

“ඔව් සර්.”

“මොනවද ලියන්නෙ?”

නෙත්මලී ඒ ප්‍රශ්නයට නම් පිළිතුරක් සොයන්නට කාලයක් ගත්තේ නැත.

“කතා.”

නලින්ද්‍රට පළමු වතාවට සිනහවක් නැගුණේ එවෙලේය.

“කතා?”

“ඔව් සර්.”

“ඒ කියන්නෙ ඔයා රයිටර් කෙනෙක්ද?”

නෙත්මලී හිස දෙපසට වැනුවාය.

“නෑ.”

“එහෙනම්?”

නලින්ද්‍ර ඇසූ පැනයට පිළිතුරු දෙන්නට පෙර ඇය මොහොතක් නිහඬව සිටියාය.

“තාම නෑ සර්.”

නලින්ද්‍රට ඒ පිළිතුර ඇසුණේ අමුතු විදිහකටය. තාම නෑ.

ඒ වචන දෙක ඇය කියා තිබුණේ රැකියාවකට ඉන්ටවිව් එනකෙල්ලෙක් ලෙස නොව තමන්ගේ ජීවිතය තවම ඉවර නැති බව කොහේ හෝ ඇතුළතින් විශ්වාස කරන කෙනෙකු ලෙසය.

නලින්ද්‍රගේ දෑස් නැවතත් නෙත්මලීගේ CV එක මතට වැටුණේ නෙත්මලී දුන් ඒ පිළිතුර, ඇගේ වයසට අනුව භාරගන්නට බැරි පිළිතුරක් බව හිත කියන්නට වූ නිසාවෙනි.

“වයස 26”.

දෙතොල් මතට නොදැනුවත්වම සිනහවක් ආව බව ඇත්තකි. එහෙත් හොරෙක් අල්ලාගත යුත්තේ හොරාගේම වචන වලිනි. නලින්ද්‍ර කිසිවක් නොකියා තවත් මොහොතක් පරිගණකය මත විවර වී තිබුණ නෙත්මලීගේ CV එක දෙස බලා සිටියේය. අනතුරුව නැවතත් තම දෑස් නෙත්මලී දෙසට පා කොට හැරියේය.

“ඔයා කොහෙන්ද ඉගෙනගත්තා කිව්වේ?”

“කොළඹ සර්.”

“කොළඹ කොහෙද?”

“%*&්‍ය&% විද්‍යාලයෙ.”

“ඒකෙන් පස්සෙ මොනාද කරේ? මං ඇහුවෙ ඒලෙවල් වලින් පස්සෙ?” නෙත්මලීගේ ඇස් මොහොතකට පහළට වැටුණේ ඒ ප්‍රශ්නයට දිය යුතු පිළිතුර කුමක්දැයි සිතාගන්නට බැරුවය.

“කැම්පස් ගියා.”

“කොහෙද?”

“ඕපන් යුනිවසිටි.” නලින්ද්‍ර මඳ සිනහවක් පෑවේය.

“නාවලද?”

“ඔව් සර්.”

“මොකද්ද කරපු ඩිග්‍රි එකද?” එවර නම් නෙත්මලීගේ උගුර යළිත් වියළී ගියේය.

“…සිංහල.”

“සිංහල?”

“ඔව් සර්.”

“කැම්පස් ඉන්න කාලෙමද ජොබ් එකකට ගියේ, මං ඇහුවෙ මේ වර්කින් එක්ස්පීරියන්ස් දාලා තියෙන නිසා”

“නෑ සර්, අවුට් උනාට පස්සෙ. ඒක පොඩි ජොබ් එකක්”

“අහ් පොඩි එකක්. ඇයි කැම්පස් ඉන්න ගමන් ජොබ් එකක් කරන එක අමාරු උනාද. සාමාන්‍යයෙ කට්ටිය ඕපන් යුනි යන්නෙම ඉතුරු කාලෙ වර්ක් කරන්න පුලුවන් නිසානෙ”

“මට එහෙම අමාරු උනා සර්. ඒකයි මේ”

“හ්ම්ම්.”

නලින්ද්‍ර තම ඇඟිලි දෙකක් මේසය මත තබා සෙමින් තාලයකට තට්ටු කළේය.

“එතකොට ඔයාගෙ ඩිග්‍රි එක ඉවර කළේ කොයි කාලෙද?”

“2024.”

“ඒ කියන්නෙ ඒ වෙද්දි ඔයාට වයස කීයද?”

තප්පරයකට හදවත ගැස්සුන බව ඇත්තකි. අයදුම්පත එවද්දී බොරු වයසක් දමා එව්වේ රස්සාව කොහොම හරි ගන්න ඕනා නිසා බව දන්නෙ තමා පමණකි. අම්මාට තව දුරටත් ගෙදර වියදම කරගෙන යන්න බැරි බව නොතේරෙන්න තරම් තමා අඳ ගොලු බිහිරෙක් නොවේ. එහෙත් වයස, අධ්‍යාපන සුදුසුකම් මත රස්සාවල්වලට යන්නට පහසු නැති බව නෙත්මලීට වුවද තේරුණේ ජීවිතේ නොසිතූ පැත්තකට තම ගමන්මග හරවාගත්තයින් පසුවය. ඒ ගමන මදක් හෝ පහසු කරගන්නට අහිංසක බොරුවක් කීම මෙතරම් දුර දිග එන්නට හේතුවක් වෙතැයි එවෙලේ නොසිතුවද තමා කරගෙන ඇත්තේ මහා මෝඩකමක් බව නෙත්මලීට තේරුණේ නලින්ද්‍ර එක දිගට ප්‍රශ්න අසාගෙන යද්දීය.

“විසිහතරයි සර්.”

නලින්ද්‍ර හිස සෙමින් ඉහළට එසවූයේ එවිටය.

“එහෙනම් මේ CV එකේ තියෙන්නෙ විසිහයයි කියලා එහෙම. වෙන්නෙ කොහොමද?”

කාමරය තුළ තිබූ ඒසී හඬ පවා එකවරම වැඩි වූවාක් මෙන් නෙත්මලීට දැනුණේ හිතේ බයක් සැකක් තිබූ නිසාවෙනි. මොහොතක් ඇය නලින්ද්‍ර දෙස බලා සිටියාය. නලින්ද්‍රද ඇය දෙසම බලා සිටියේය.

“මං…” ඇගේ මුවින් පිටවුණේ එපමණකි.

“හ්ම්ම්. මං අහන්නෙ නිකන්. ඔයාමනෙ කිව්වෙ 2024 වෙද්දි විසිහතරයි කියලා.”

නෙත්මලීගේ අතැඟිලි  එකිනෙක තදින් ගැටී, මිරිකී යමින් තිබුණේ හිත අස්සේ වූ බයත් සැකත් එළියට නොපෙන්නා ඉන්නට ගත් අසීරු උත්සහයක් නිසාවෙනි.

“ඔව් සර්.”

“එහෙනම් දැන් විසිහයයි කියන්නෙ” කිව්වාට නලින්ද්‍ර වාක්‍යය අවසන් කළේ නැත. ඔහුට අවශ්‍ය වූයේද එය නොවේ. ඔහු බලා සිටියේ ඇය විසින්ම ඉතිරි වචන ටික සම්පූර්ණ කරන තුරුය.

“විසිහතරට පස්සෙ අවුරුදු දෙකක් ගියානෙ සර්.” නෙත්මලී කිව්වේය.

“ඒක හරි.”

නලින්ද්‍ර මඳ සිනහවක් පෑවේය. අනතුරුව යමක් කියන්නට දෙතොල් විවර කළේය.

“හැබැයි මට මෙතන තාම කන්ෆියුසින් තැනක් තියෙනවනෙ නෙත්මලී”

“මොකද්ද සර්”

“අවුරුදු විසි හතර වෙද්දි ඩිග්‍රි එකත් ඉවර කරා. ඕකේ වෙන්න පුළුවන් දෙයක්”

“ඔව් සර්”

“යුනි ඉවර වෙලා ජොබ් එකකටත් ගියා. ඕකේ වෙන්න පුළුවන් දෙයක්”

“ඔව් සර්”

“දැන් වයස විසි හයයි. මොකද ඔයා කැම්පස් අවුට් වෙලා දැන් අවුරුදු දෙකක් ගිහින් තියෙන්නෙ. ඕකේ ඒකත් හරි”

“ඔව් සර්”

“එතකොට ඔයා මේ CV එකේ දාලා තියෙන අවුරුදු තුනේ එක්ස්පීරියන්ස් එකේ එක අවුරුද්දකට මොකද නෙත්මලී උනේ? ඒ අවුරුද්ද කොහෙද ගියේ?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here