වසන්තය තව දුරද – 24

0
72

“මෙහෙමයි බොරු කියලා රස්සාවල් ගන්න පුළුවන් රටක් තමයි නෙත්මලී මේක. හැබැයි දිගටම බොරු කිය කිය රස්සාවෙ ඉන්න පුළුවන් වෙයි කියලා නම් හිතන්න එපා. මොකෝ මේක ක්‍රියෙටිව් රස්සාවක්. ඔයා ඔය හිතන විදියට අරහෙන් මෙහෙන් කොපි කරලා අරගෙන පේස්ට් කරනවා වගේ රස්සාවක් නෙවෙයි හිතලා ලියන්නනෙ තියෙන්නෙ. බොරු කියනවා තරං ලේසි නෑ ඇඩ් වලට කොපි ලියන එක. 

බොරු වයසක් CV එකට දාලා රස්සාවලට ඇප්ලයි කරනවා කියන්නේ බොරු හේතු කියලා නිවාඩු ගන්නයි, අන්තිමේ වැඩට එන්නෙ නැතුවයි ඉන්නත් පුළුවන්කම තියෙනවා නේද?

එතකොට ඔයාව රස්සාවට අරගන්නවා කියන එකම මේ කම්පනි එකේ ෆියුචර් එකට ලොකු රිස්ක් එකක්නෙ. ඔයාගෙ මූන දැක්කම ඕන මනුස්සයෙක්ට කියන්න පුළුවන් නෙත්මලී ඔයා මේ ඊයෙ පෙරේදා ඉස්කෝලෙන් පාස් අවුට් වෙච්ච ළමේක් විත්තිය. ඔයාට රස්සාවක් සමහරවිට ඕනම ඇති. ගෙදර ෆයිනෑන්ශල් ඉශූස් එහෙමත් නැති. මං නෑ කියන්නෙ නෑ. හැබැයි ඒක හේතුවක් නෙවෙයි බොරුවක් කියලා රස්සාවක් ගන්න. 

මොකෝ ඔයාලත් මිනිස්සු අපිත් මිනිස්සු” 

නෙත්මලී ගෙදර ඇවිදින් දෑස් පියාගෙන කල්පනා කරේ නලින්ද්‍ර කියන්නට යෙදුණ ඒ වචනය. නෙත්මලී උන්නේ බොරුව අහුවුන ලැජ්ජාවට වඩා නලින්ද්‍රට බොරුව අහුවීම පිළිබඳ ලැජ්ජාවටය. නලින්ද්‍ර ඉස්සරහා ඇඬුණ එකේ ලැජ්ජාවටය.ඔහුගේ හඬෙහි තරහක් තිබුණේ නැති බව ඇත්තකි. එහෙත් ඒ සන්සුන්කම නෙත්මලීට දැනුනේ තරහකටත් වඩා බරක් ලෙසය. ඔහු තරහා ගෙන බැන්නානම් එක අතකින් හිත මෙච්චර බර වෙන්නේ නැති බව ස්ථිරය. 

“ඉතිං දැන් මොකද කරන්නේ?” නෙත්මලී ඇසුවේ තමන්ගෙන්මය. එහෙත්  ඒ ප්‍රශ්නයට පිළිතුරක් ඇය සතුව තිබුණේ නැත.

“මේ ජොබ් එකෙන් නම් ආයෙ කතා කරන එකක් නෑ.” ඇය එය සිතුවේ බලාපොරොත්තුවක් නැති බව දැන දැනමය. නලින්ද්‍රගේ කතාව අවසන් වූ ආකාරයෙන්ම එය ඇයට තේරී තිබුණි. සමහරවිට හෙට හෝ අනිද්දා දුරකථනයට ඇමතුමක් එනු ඇතැයි හිත හදාගන්නට ඇයට පුළුවන. එහෙත් ඒ බලාපොරොත්තුව බොරුවක් බව ඇය දැන සිටියාය.

“හරි. එහෙනම් වෙන ජොබ් එකක් හොයාගන්නවා.” ඇය තමාටම කියාගත්තාය.

“ඒත් මොන සුදුසුකම් පෙන්නලද?” ප්‍රශ්නය එතැනම නතර විය.

තියෙන්නේද ඒලෙවල් ප්‍රතිඵලය විතරය. පාසලෙන් ලැබුණු සහතික ටිකක් විතරය. කථික තරගවල සහතික. සිංහල භාෂා දින තරගවල සහතික විතරමය. ලියන්න පුළුවන්කමක් තිබෙන බව දන්නේද තමන්‍ය. ඒවායින් රස්සාවක් දෙන්න කෙනෙක් ඉඳීවියැයි කියන්නේ කොහොමද? අනෙක ඔය කියන තරම් සිංහලෙන් ලියන්න පුළුවන් මිනිස්සුන්ව මේ ලෝකයට එච්චරටම උවමනාද?

“ඒවයින් මොනවද කරන්න පුළුවන්?” කියා හිතන්නට හිත පෙළඹුණේ අන්න ඒ නිසාවෙනි. නෙත්මලී ඇඳේ උඩුබැලි අතට වැතිරගෙන සිවිලිම දෙස බලාගෙන ඔහේ හිතට එක එක දේවල් හිතන්නට අවසර දුන්නාය.

“කොහේ හරි ඔෆිස් එකක ඇසිස්ටන්ට් කෙනෙක් වෙන්න බැරිද දන්නෙ නෑ? කම්පියුටර් වැඩ දන්නෙත් නෑනෙ ඒ උනාට මං හරියට. එහෙම නැත්තං ෂොප් එකක වැඩකට යන්නද?” එක් එක් රැකියාවක් ඇගේ හිතට පැමිණ නැවතත් ඉවතට ගියේය.

“එහෙම ගියොත් මට ලෝයර් කෙනෙක් වෙන්න තිබ්බ හීනෙට මොකද වෙන්නෙ?”

හිත නිහඬ වුණේ ඒ ප්‍රශ්නයත් එක්කමය.

“සාරා කිව්වා වගේ මං  ආයෙත් ඒලෙවල් කරනවද?” වරක් සිතට ආ සිතුවිල්ලක් මෙන් ඇය එය හෙමින් සිතුවාය.

“ක්ලාස්වලට සල්ලි කොහෙන්ද?” ආයේම තමන්ගෙන්ම නැවත ඇසුවාය.

“ක්ලාස් නැතුව කරගන්න බැරිද?”

“බැරි වෙයි.”

“කවුද කියන්නෙ?”

“මම දන්නවනෙ ඉතින්.”

“හරි ඒ උනාට ට්‍රයි එකක් දීලා බලන්න බැරි කමක් නෑනෙ?”

“එහෙම කරලා මීටත් වඩා අඩු රිසල්ට් එකක් ආවොත්?”

පළමු වතාවේ සිදු වූ දේ නැවතත් සිදුවේවිදැයි ඇයට බයය. ඒත් දෙවැනි වතාවේත් උත්සාහ නොකර සිටියොත් තමන්ට තිබූ එකම හීනය තමන්ම අතහැර දැමුවා යැයි ජීවිතයේ කවදාහරි දවසක සිතෙයිදැයි ඊටත් වඩා බයය.

“එහෙනම් මොකද කරන්නේ මං?” ඇය දෑස් වසාගෙන නැවතත් තමන්ගෙන්ම ඇසුවාය. මේ වතාවේත් පිළිතුරක් නොලැබුණි. තමන්ට ඇත්තේ මාර්ග දෙකක් පමණක් බව නෙත්මලී දැන සිටියාය. එක්කෝ හීනය පස්සේ නැවතත් දුවන්නටය. නැත්තම් හීනය අතහැර ජීවිතය කියන එක තෝරාගන්නටය.

ඒ දෙකෙන් කුමක් තෝරාගත යුතුදැයි තීරණය කරන්නට තරම් නෙත්මලී තාම ලොකු වෙලා නැත.

ඊළඟ දවස් කිහිපයේ නෙත්මලීගේ ජීවිතය ගෙවී ගියේ කිසිදු නිශ්චිත තීරණයකට එළඹ නොගත් මිනිසෙකුගේ ජීවිතයක් මෙනි. උදෑසන අවදි වූ පසු රැකියා දැන්වීම් සොයමින් එකින් එක කියවා බලන්නට ඇය කාලය වෙන් කරාය. සමහර රැකියාවලට අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් ඇය සතුව නොතිබූ අතර තවත් සමහර රැකියා සඳහා පළපුරුද්ද ඉල්ලා තිබුණි. පරිගණක දැනුම අවශ්‍ය රැකියාද බොහෝමයක් තිබිණි. එහෙත් මෙවර එක දෙයක් නෙත්මලී වෙනස් කරන්නට කටයුතු කරාය. ඒ  CV එකෙහි සඳහන් කර තිබූ වයස වෙනස් නොකර සැබෑ වයසම ඇතුළත් කිරීමයි. “අර කිව්වා වගේ බොරු කියලා රස්සාවල්වලට යන්න පුළුවන් උනාට ගියයින් පස්සෙ අන්තිමේ වැඩ කරගන්න බැරි උනොත් කොහොමත් එක්කො රස්සාවෙන් අස් වෙන්න වෙන්නෙ. එහෙම නැත්තං හතර විලිලැජ්ජාවක් වෙන්නෙ. ඊට වඩා හොඳයි රස්සාවක් ලැබෙනවනම් ලැබෙයි නැත්තං නෑ. වෙන දෙයක් වෙච්චාවෙ කියලා මම ඇත්ත විස්තරම දානවා” යන සිතුවිල්ලෙන් යුතුව නෙත්මලී රැකියා අයදුම්පත් එකින් එක යවනු ලැබීය. පසුගිය වතාවේ මෙන්ම මෙවරද බොරු වයසක් සඳහන් කර රැකියාවක් ලබාගැනීමට උත්සාහ කළ හැකිව තිබුණද එසේ නොකිරීමට නෙත්මලී විසින් අවසානයේ තීරණය කරනු ලැබිණි. අවසානයේ ඇයට ඉතිරිව තිබුණේ දහනව හැවිරිදි වයසක්, ඒලෙවල් ප්‍රතිඵලයක්, පාසලෙන් ලැබුණු සහතික කිහිපයක් සහ ලියන්නට ඇති ආසාව පමණි. ඒ කිසිවක් රැකියාවක් ලබාගන්නට හේතුවක් නොවන බව දන්නවා නමුත් නෙත්මලී උත්සහය අත හැරියේ නැත. සාරධාද දකින දකින සුදුසු යැයි හිතෙන රැකියා දැන්වීම් එවමින් නෙත්මලීට හැකි පමණ උදව් කරන්නට කටයුතු කරාය.

“අපේ අයි ටී ඉන්ඩස්ට්‍රි එකට ඉතින් ඔයාලට ඇවිත් කරන්න ජොබ්ස් නෑනෙ නංගි. ඒ උනාට ඔයාගෙ CV එක දෙන්නකො. මම මගේ යාලුවො කාටහරි දීලා තියන්නංකො. උන්ගෙ කවුරු කවුරුහරි ඉන්නවා නම් සප් එකක් දෙන්න කියලා” අයියා කියද්දි නෙත්මලී අයියාටද CV  එකේ කොපියක් යැව්වාය.

එසේ CV එක යැවූ සමහර තැන්වලින් කිසිදු පිළිතුරක් නොලැබුණු අතර, තවත් තැන්වලින් “අපි ඔයාව සම්බන්ධ කරගන්නම්” යන වචන කිහිපය පමණක් ලැබුණි. එහෙත් දුරකථනය නිහඬව තිබූ සෑම මොහොතකම එය දෙස බලා සිටීම අත් නොහරින්නට නෙත්මලී කටයුතු කරාය.

එහෙත් දින ගෙවුණේ හිත එන්න එන්නම බර කරමිනි. අනෙක් අතට අම්මාගේ කතන්දර අහගෙන ඉන්න කොච්චර අමාරුද කියන එක නෙත්මලීට ඇත්තටම තේරුණේද ඒ කාලයේය.

“අන්තිමේ විභාගත් නෑ රස්සාවලුත් නෑ. නිකන් ගෙදෙට්ට වෙලා කාලෙ නාස්ති කරන්නනෙ අවුරුදු ගානක් අපෙ සල්ලි කෑවෙ”

අම්මා එය කියන්නට යෙදුණේ නෙත්මලීට ඇසෙන්නටම නොවුණත්, ඇයට නොඇසී සිටින්නට තරම් දුරකින්ද නොවේ. මේ අම්මා මෙහෙම කිව් පළවෙනි වතාව නොවුණත් හිත රිදුණේ අලුතෙනි.

“අපිටත් හැමදාම ඔයාව ගෙදර තියාගෙන කන්න බෑනෙ. අපිටත් වයසයි. හෙට අනිද්දා අපිට මොනවා වෙයිද කියලා දන්නෙ නෑ.අනික මේ මං කියලත් ඇඳුම් මහලා කවදා වෙනකම් ඔක්කොම යුතුකං කියලා කරන්නද. ඔය වයසෙ ළමයි දැන් ගෙවල් හදනවා. රස්සාවල් කරනවා. ඔයා තාම මොනවද කරලා තියෙන්නෙ? මුකුත් නෑනෙ. මුකුත්ම නෑ.”

“මං ට්‍රයි කරනවනෙ අම්මෙ” 

“ට්‍රයි කරනවා නං අනේ මට පේන්නෙ නෑ. ට්‍රයි කරනවා කියලා කිය කිය ඉඳලා වැඩක් නෑ. ට්‍රයි කරනවා ප්‍රතිඵලයක් තියෙන්න ඕන. මිනිස්සුන්ට කියන්න, පේන්න දෙයක් තියෙන්න ඕන. වෙන ළමයි ඉණිමගේ උඩට උඩට යද්දි අපිට අන්තිමෙ උනේ උඩ ඉඳලා පල්ලෙහට එන්න මොනවද අපි අහන මිනිස්සුන්ට කියන්නෙ?” කියා අම්මා කියාගෙන කියාගෙන යද්දී එතනින් එහා කියන්නට දෙයක් නෙත්මලීට තිබුණේ නැත. 

තාත්තා හිටියා නම් මේ ප්‍රශ්නවලට දෙන්නට උත්තර හොයාගන්න තිබුණා යැයි හිත කීවද තාත්තා හිටියා නම් මෙ ප්‍රශ්න මෙහෙම වෙන්නෙ නෑනෙ කියා අනිත් පැත්තට හිත කිව්ව එකත් ඇත්තකි. 

දුරකතනය නාද වුණේ අන්න ඒ වෙලාවෙය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here