පසළොස්වක මල් – 22

0
420

විවිධ ප්‍රසංගය අවසාන වන විට කේලි මිහිදුමීගේ දෑත මතම නිදා වැටී සිටියාය. බොහෝ අපහසුවෙන් ඈව තම කරට ගත් තේජ් ප්‍රිය බිරිඳ වූ උමන්දා සේම මිහිදුමී වෙනුවෙන් බොහෝ ස්තූති පුද කරමින් රථ ගාල වෙතට ඇවිද යමින් සිටියේය.

” තේජ්..! මායි තාත්තයි පික්මී එකක් දාන් යන්නං. ඔය දෙන්නා මහීකාවයි , මේ දුවවයි ගෙදරට ඇරලවලා එන්න..”

සියලු බඩු භාහිරාදිය මෝටර් රථයේ පසුපස අසුනෙන් දමමින් තේජ්ගේ මව විසින් පැවසුවාය.

” නෑ.. නෑ.. තමාලී.. එහෙම ඕන්නෑ. මං ලොකූට එන්න කිව්වා. දැනටමත් ඇවිල්ලත් ඇති. “

” ආ.. ඔව් අර එන්නේ කියනකොටම..”

එකින් එක පිටව යන රථ ගාලේ මෝටර් රථ අතුරෙන් ඒ දෙසට එන අස්නකගේ මෝටර් රථය හඳුනාගත් තේජ් ඒ දෙසට අත දිගු කරමින් පැවසුවේය.

” කොහොමද ආන්ටී..?” 

පසෙකින් නතර කළ රියෙන් බැස ඉදිරියට ඇවිද ආ සන්සුන් ඉලන්දාරියා තේජ්ගේ මව දෙස බලා සුහදව විමසුවේය.

” ඉන්නවා පුතා. කොහොමද ඔයාට ? තව ටිකක් වේලපහ එන්න එපැයි අපේ කේලිගේ ඩාන්සින් අයිටම්ස් ටික බලන්න. හැබැයි මොනා උනත් අපිට ශෝක් දරුවෙක්නං හම්බුණා. “

තමාලී එසේ පවසා මිහිදුමී දෙස බැලූ අතර ඈ වෙතට මඳ සිනහවක් පෑ තරුණිය ඔහු වෙතට විතැන් වීමට දඟලන දෑස අපහසුවෙන් වළක්වා ගත්තාය.

” අද හවස් වරුවේ වැඩ පොඩ්ඩක් වැඩි උනා ආන්ටි. ඒකට කමක් නෑ. යං.. අද මං ගාණේ ඩිනර් ගමු “

” අහ්.. හා .. seriously ..?” 

” ඇයි මං උඹට පොලු තියලා තියනවද මීට කලින් ?” 

තේජ්ට කුසට පහරක් එල්ල කළ තරුණයා යටැසින් පසෙක උන් තරුණිය වෙතට බැල්මක් හෙළුවද ඈ ඉවත බලාගෙනම සිටියාය.

” මං කියන්නද පුතා.. ඔයාලා යන්න.. මටනං හරි මහන්සියි. මං තාත්තා එක්ක ගෙදර යන්නං “

” අයියෝ .. එහෙම හරි නෑනේ..?” 

මහීකා , උමන්දා කීප විටක්ම පැවසුවත් එය සුහදව ප්‍රතික්ෂේප කළ තේජ්ගේ මව සහ පියා නිදා උන් කේලිවද රැගෙන තේජ්ගේ මෝටර් රථයෙන් පිටව ගිය අතර අන් සියල්ලෝම අස්නකගේ රියට ගොඩ වූහ.

” කොහෙටද යන්නේ බං ?” 

රථගාලෙන් එපිට මහා මාර්ගයට මෝටර් රථය හරවමින් අස්නක මිතුරා දෙස බලා විමසුවේය. 

” මටත් කන්නනං බෑ අනේ. මහන්සියි. “

උමන්දාද පසුපස අසුනේ සිටම පිළිතුරු බැන්ඳාය. 

” මටත් ලොකූ.. කනවට වඩා මොනාහරි බොන්න තිබුණානං හොඳයි “

මහීකාද උමන්දාගේ කතාවේ අග ඇල්ලූ අතර නිහඬව උන් තරුණිය එක දිගට කවුළුවෙන් එපිට බලා සිටියාය. 

සියලු දෙනාගේම රුචි අරුචිකම් මැද දියවන්නාව අසල වූ කුඩා අවන්හලක නතර කෙරුණු මෝටර් රථයෙන් බැස ගත් පිරිස ඊලඟ මොහොතේ එහි මේසයක් කරා ඇවිද ගියහ. කෙතරම් ඇවිටිලි නැඟුවද ඒ කිසිවක් මායිම් නොකළ අස්නක ආහාර වර්ග කිහිපයක්ම ඇණවුම් කළ අතර ඔහුට සහ තේජ්ට ගැලපෙන අන්දමට බීර බෝතලයක්ද ඇණවුම් කොට එය තොල ගාන්නට පටන් ගත්තේය.

” ඔයාට ග්ලාස් එකක් දෙන්නං?” 

පිඟාන මත ඇති අල තීරු කිහිපයක් සපමින් උන් උමන්දා දෙස බැලූ තේජ් බීර වීදුරුවක් පුරවනා අතරතුර විමසුවේය.

” චුට්ටක් “

උමන්දාගේ පිළිතුරත් සමඟම ඔහු ඊලඟට හැරුණේ මිහිදුමී දෙසටය. 

” ඔයාටත් දාන්නද නංගි ?” 

” අනේ එපා..!” 

තේජ්ගේ පැනයෙන් කලබල වූ තරුණිය එකී කලබලය අතුරින්ම පිළිතුරු ලබා දී යළිත් මුව පහලට කරගත්තාය. 

” කේලි නින්දෙන් ඇහැරිලා හොයන එකක් නැද්ද උමන්දා ?” 

” අනේ නෑ ආන්ටී. අම්මා එක්ක නිදාගන්න ගියාම ආයේ මං ලඟට එන්නෑ.. “

” එක අතකට තමාලි ඉන්න එක ඔයාට ලේසියි නේද ? “

” අනේ ඔව්. තේජ්ගේ අම්මා මටත් වැඩිය ඉක්මනට කේලිගේ වැඩ හොයලා බලලා කරනවා. එහෙම නොවෙන්න මට ජොබ් එකත් නතර කරලා ගෙදර ඉන්න වෙන්නේ. “

” ඒත්.. තාම කිරි බොනවනේ ?” 

” අනේ ඔව්. ඒක නං නතර කරගන්නම බෑ. නින්දෙන් තමයි ගොඩක්ම කිරි හොයන්නේ. ඒ නිසාම අම්මා මේ මෑතක ඉඳන් හැමදාම රෑට එයා ළඟ නිදි කරව ගන්නවා. දැන් අවුරුදු හතරක්නේ ආන්ටී. “

මහීකාගේත් , උමන්දාගේත් කතාව අතරතුරම දුරකතනයට ලැබෙන ඇමතුමට පිළිතුරු දුන් මිහිදුමී ඔවුන්ගේ කතාවට බාධා නොකරම හිඳ උන් අසුනෙන් නැඟිට මඳක් ඔබ්බට අඩි තැබුවාය.

” අම්මා ..! කියන්න “

” ගෙදර ගියාද දුමී? ” 

” තාම නෑ අම්මා. ආන්ටි මහීකලා එක්ක ඩිනර් ගන්න නැවතුණා. “

” කොන්සර්ට් එක කොහොමද ?” 

” අනේ ශෝක් අම්මා.. මාර ලස්සනයි. “

සෙමින් සෙමින් අඩි තබමින් අඳුරේම දුරකතනයට පිළිතුරු සපයමින් ඉවතට යන ඈ වෙත මේසය අසල හිඳ උන් වැළපෙන දෑස යොමුව තිබූ අතර සැණෙකින් හිඳ උන් අසුනත් වේගයෙන් පසුපසට කර නැඟී සිටි ඔහු අඩියට දෙකට ඈ වෙතට ඇවිද ගියේය. ඔහුගේ කලබලය දුටු මේසය අසල හිඳ උන් අනිත් තිදෙනාද ඔහුගේ කලබලය හමුවේ වහා හිඳ උන් අසුන් වලින් නැඟී සිටියහ. 

” මාමා අද උදේ මට කතා කළා අම්මා. කොච්චර ඇහුවත් ආයේ එන දවසක්…..”

දුරකතන ඇමතුමට පිළිතුරු බඳිමින් සිටි යුවතියගේ පසුපස කාගේ හෝ අතක ස්පර්ශයක ගැටුණේත් ,  ” දඩාස් ” යන හඬින් කිසිවෙකුට හෝ දැඩි පහරක් වැදුණේත් , පසෙක උන් මහීකා ” ලොකූ ” යනුවෙන් කෑගැසුවේත් එකම මොහොතකය. 

” බිම වැටී තොල් පට පිපිරී කෙඳිරිගාමින් උන් නාඳුනන තරුණයාත් , කෝපයෙන් පිපිරෙමින් ඔහු දෙස බලා සිටින වංශවත් තරුණයාත් , තම පසුපසට දැනුණු ස්පර්ශයෙන් අපමණ භීතියට පත්ව වෙව්ලූ අතින් ගිලිහී වැටුණු දුරකතනය පවා යළි අහුළා ගැනීමට සිහි කල්පනාවක් නොරැඳි තරුණියත් දෙසට අවන්හලේ උන් බොහෝ දෑස් යොමු වන්නට පටන් ගත්හ. තවත් එකදු තත්පරයක් හෝ මිඩංගු නොකළ කෝපාවිෂ්ට තරුණයා බිම වැටී උන් නාඳුනන තරුණයාගේ කමිස කොලරයෙන් අල්වා නැඟිටුවා යළිත් වතාවක් ඔහුගේ මුහුණට මිට මොළවූ දැඩි පහරක් එල්ල කළ අතර ඒ සමඟම නැවතත් මහීකා ” ලොකූ ” යනුවෙන් කෑගැසුවාය. 

” සර්.. ! සර්..! සොරි සර් . සොරි.. මූ බීලා ඉන්නේ”

හැඩිදැඩි  තරුණයාගේ කෝපාවිෂ්ට උවනත් , ඔහුගේ වංශවත් පෙනුමත් හේතුවෙන්ම දැඩි සේ කලබල වූ නාඳුනන තරුණයාගේ මිතුරන් දෙදෙනෙක් ඔහු අසල එක දිගට බැගෑපත් වන්නට පටන් ගත්හ. 

” ඌ බිව්වම අනුන්ගේ කෙල්ලෝ බයිට් වෙනවද #$%, ? ” 

ඉදිරියට ආ තේජ් එසේ පැවසූ අනෙක් තරුණයාගේද කමිස කොලරයෙන් අල්ලා එසේ ඇසූ අතර ඔහු තව තවත් බියට පත් වූයේය. 

” සොරි සර්.  සොරි. අනේ මිස් සොරි.. !”

” ලොකූ  දැන් ඕක ඇති . “

” තේජ් ..! දැන් ඕක ඇති. අපි යං.. “

” ලොකූ ..! ඔයත් එන්න.. “

බොහෝ ආයාසයක් දරා කෝපයෙන් පිපිරෙමින් උන් තරුණයින් දෙදෙනාව එතනින් ඉවතට ගත් මහීකා සහ උමන්දා තවමත් සිදුවූ දෑ විශ්වාස කරගත නොහැකිව වෙව්ලමින් උන් තරුණියවද එතැනින් ඉවත් කරමින් හිඳ උන් මේසය අසලට කැඳවාගෙන ආහ. දරාගත නොහැකි කෝපයෙන් අග්‍රව සිටි අස්නක විජේසිංහ මේසය මත වූ බීර වීදුරුව එක හුස්මට පානය කොට වහා තවමත් කඳුළු වගුරවමින් උන් තරුණිය දෙසට හැරුණේය. 

” කඩාගන්න මලක් මෙතන ඉඳන් කඩා ගන්නැතුව මොන රෙද්දකට අහුමුළු වල රිංගන්න යනවද ?” 

” මේ.. මේ.. ම.. මගේ ..අ.. අම්ම. .අම්මා .. කතා..කළේ…”

හැකි පමණ වෙව්ලන දෙතොලින් ඔහු හට පැහැදිලි කිරීමක් සිදු කිරීමට ඈ උත්සාහ ගත්තද ඒ කිසිවකට ඇහුංකම් නොදුන් ඔහු වේගයෙන් එතැනින් ඉවතට ඇවිද ගියේය. 

” අම්මා..! මං එනකන් ඉන්නෙපා. නිදාගන්න. “

විජේසිංහ නිවස වෙත පළමුව පැමිණ මහීකාත් , මිහිදුමීත් මෝටර් රථයෙන් බිමට බසින තෙක් සිටි අස්නක එසේ පවසා යළි රථය පණ ගන්වා ගත්තේය. 

” උමා..! ඔයත් නිදාගන්න. මං ඇවිල්ලා කෝල් එකක් දෙන්නං “

දෙවන වරට උමන්දාවද නිවසින් ඇරළවූ තේජ් ඈ දෙස බලා එසේ පැවසුවේය. 

” උඹත් බැහැපං “

මිත්‍රයාගේ වචන ඉවතක් බලාය. 

” උඹ දැන් යන්නේ ගෙදර නෙමෙයිනේ ?” 

” නෑ.. පොඩි ගමනක් “

” එහෙනං යමන්. මාත් එන්නං. “

” ගෙදට්ට ගිහිල්ලා ගෑනියි , ළමයයි එක්ක නිදාගනින් බං. “

” මාව හළලා උඹ යන්නේ ගෑනියෙක් එක්ක නිදාගන්නද ?” 

” පිස්සුද #$& ?” 

” එහෙනං යමන්. “

කෙතරම් පැවසුවත් තේජ්ගේ යටහත් වීමක් නොමැති නිසා තව දුරටත් එයට උත්සාහ නොකෙරූ රියදුරු අසුනේ උන් තරුණයා වහා ජංගම දුරකතනය ගෙන ඇමතුමක් ලබා ගත්තේය. 

” වාස්..! කොහෙද ඉන්නේ ?” 

තේජ් තිගැස්සී මිත්‍රයා දෙස බැලුවේය. 

” දැන් උඹ මොකටද ඔය ?” 

” මං දැන් ලොකේශන් එක එවනවා “

තේජ්ගේ පැනය මායිම් නොකළ ඔහු දිගටම දුරකතනයට පිළිතුරු බැඳ එය පසෙකට දමා මෝටර් රථය යළි පණ ගන්වා ගත්තේය. සිදුවන්නට නියමිත දේ ඉවෙන් මෙන් තේරුම් ගනිමින් සිටියද සැඳෑවේ මහීකා පැවසූ කාරණා සමඟ එකිනෙක එය ගලපා බැලූ තේජ්ගේ මුවඟ යන්තමින් සිනහවක් දැවටී ගියේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here