” මං ඔයාට ගේන්න කිව්වේ එකයිනේ මාමේ.. ඇයි මේ තුනක්ම ගෙනල්ලා.?”
භරණ විසින් රැගෙන ආ තෑගි මලු සියල්ල එකිනෙක විවර කරමින් ඒ අතර අතරමංව උන් යුවතිය තොල් ආලේපන කිහිපයක් විවර කරමින් සිටියාය.
” ආහ්.. සමන් දෙයියනේ.. ! මාමේ.. මේ තුනෙන් එකක්වත් මං ඉල්ලපු කලර් එක නෑනේ ?”
” මං දන්නෑ දුමී. ඒ ශොප් එකේ හිටපු ගර්ල්ස්ලා දෙන්නෙක් කිව්වා ඔය කලර්ස් තමයි දැන් යන්නේ කියලා. ආයේ තෝර තෝර ඉන්න මට බෑ. මට පෙන්නපු තුනම මං ගත්තා “
දුරකතනයේ ඇති ඊමේල් පණිවිඩයක් කියවමින් උන් භරණ ඈ දෙසට නෙතු විතැන් නොකරම පිළිතුරු බැන්ඳේය.
” මොකක්ද අනේ.. මං ඔයාට dusty rose pink කියලා කලර් එකයි, බ්‍රෑන්ඩ් එකයි , කෝඩ් එකයි ඔක්කොම එව්වනේ. හැමදාම ඔහොමයි.. අලියෙක් ඉල්ලුවොත් ගේන්නෙම හෙණ්ඩුවක්. ඒකත් පාට පාට ගොඩක් තිබ්බා දුමී , සයිස් ගොඩක් තිබ්බා දුමී ගගා දුසිමක් විතර ගේනවා…”
ඇගේ කතාවට පසෙක සිට සිනහ නඟන විශාඛාගේත් , මහීකාගේත් හඬට හිස ඔසවා බැලූ භරණ තරුණිය වෙත රැවුමක් පා කළේය.
” එපා නං විසික් කරලා දානවා, කියවන්නැතුව. “
” විසික් කරන්න ? විහිළු කරනවද ඔයා ? මේවා කොච්චර වටිනවද කියලා දන්නවද ? රත්තරං වලටත් වඩා වටිනවා. “
අත රැඳිව තිබූ තොල් ආලේපනයක් ඔහු වෙත දිගු කරමින් මිහිදුමී දෑස විසල් කරමින් පැවසුවාය.
” එහෙනං ඉතිං ඔය ටික බෙල්ලේ එල්ල ගන්නවා , නූලක ගැට ගහලා “
” පේනවා නේද මහීකා මේ මාමගෙයි , දුවගෙයි රණ්ඩු ? “
” ඒක නේන්නං ? හැබැයි දුමී මෙහෙ නං ඔහොම නෑ. කටින් වචනයක් ගන්නත් හරි අමාරුයි. “
” හිතුවක්කාර වැඩ කරගෙන ආවොත් රත් වෙන්න දෙකක් දෙන්න මිසිස් විජේසිංහ. “
භරණගේ කතාවට දෑස සිහින් කර බැලූ මිහිදුමී ඔහු වෙත මුව ඇද කළාය.
” ඕගොල්ලෝ පිරිමි ඔක්කොගෙම මහ ලොකු කම විතරයි අනේ.. අර සුභාවී අක්කා කියපු කතාව ඇත්ත. ඔයත් වෙලාවකට මහ දුෂ්ඨයි. “
ඈ කතාවෙන් කතාව තෑගි බෝග සියල්ල නැවත අසුරමින් සිටි අතර ඇගේ අවසන් වාක්‍ය ඇසුණු භරණ වික්ෂිප්තව ඈ දෙස බැලුවේය.
” මොකද්ද කිව්වේ ?”
භරණගේ පැනයේ ස්වරයටම නොකිවයුතු යමක් මුවින් පිටට නැඟුණු බව වහා තේරුම් ගත් යුවතිය ඔහු දෙස නොබලාම දිගටම බෑග් මලු කිහිපය ඇසිරුවාය.
” දුමී..?”
” මොකද ?”
” දැන් මොකද්ද කිව්වේ ?”
” ඔයා මහ දුෂ්ඨයි කියලා “
” නෑ.. නෑ .. නෑ.. ඒක නෙමෙයි මං අහන්නේ. මොකද්ද අර නමක් කිව්වේ ?”
දෑස ඔසවා ඔහු දෙස බැලූ තරුණිය ඒ බැල්මෙන්ම මව දෙස බැලූ අතර දියණියට වඩා සූක්ෂම වූ මව වහා මහීකා සමඟ වෙනත් කතාවකට මුල පිරුවාය.
” ඒයි..!”
අත රැඳි දුරකතනය පසෙකින් තැබූ භරණ හිඳ සිටි සෝපා අසුනෙන් මඳක් ඉදිරියට විත් ඇගේ උවන දෙස කෙලින් බලා සිටියේය. පිළිතුරක් නොදී ගැලවී යා නොහැකි බව අත්දැකීමෙන් වටහා ගත් යුවතිය හිඳ උන් තැනින් නැඟිට ඔහු සමීපයට ගොස් අසුන් ගත්තාය.
” මේ..!”
තම දුරකතනය මත දෑඟිලි එහා මෙහා කළ ඈ එහි වූ ඇගේත් , සුභාවීගේත් ජායාරූපයක් ඔහු වෙතට දිගු කළාය. මොහොතක් ඒ දෙස බලා සිටි ඔහු ප්‍රශ්නාර්ථ බැල්මකින් යළි ඈ දෙස බැලුවේය.
” කොහොමද දන්නේ ?”
” මෙහෙ ආන්ටී එක්ක දවසක් සුපර් මාර්කට් එකට ගිය වෙලාවකදි අහම්බෙන් දැක්කේ. මං නිකමට ගිහින් කතා කළා. “
මහීකාටත් , විශාඛාටත් රහසින් ඈ ඔහුට පමණක් ඇසෙන සේ මුසාවක් මිමිණුවාය .
” කොහොමද අඳුරගත්තේ?”
තවමත් ඔහු සිටින්නේ ඇගේ කතාව විශ්වාස කර ගත නොහැකි තැනය.
” මං එයාව සෝෂල් මීඩියා ෆලෝ කළානේ. ෆොටෝස් දැකලා තිබ්බා. “
හිස් බැල්මකින් බලා සිටියා විනා ඔහු කිසිවක් නොපැවසුවේය.
” මේ..”
යළිත් වරක් දුරකතනය මත දෑඟිලි යැවූ ඈ එහි වූ සුභාවීගේ දියණියගේද ජායාරූපයක්ද ඔහුට පෙන්වූවාය.
” අක්කිගේ දරුවා. “
” හ්ම්ම්..!”
” එයා දැන් කළුබෝවිල ඉන්නේ. හස්බන්ඩ්ගෙන් සෙපරේට් වෙලා. “
” දන්නවා “
” දන්නවා ? කොහොමද ?”
විසල් කරගත් දෙනෙතින් ඈ නඟන පැනයට පිළිතුරක් නුදුන් ඔහු ඉවත බලා සිටියේය.
” ඔයා හොරෙන් විස්තර හොයනවා නේද ?”
” ආරංචි උනා . යාළුවෝ ඉන්නවනේ දන්න කියන “
” හ්ම්ම්.. සුභාවී අක්කා හරි හොඳයි මාමේ. මං හිතන්නේ අම්මලා තාත්තලා බලෙන් කසාදේ කරලා දීලා තියෙන්නේ. “
භරණගේ මුව මත සමච්චල් සිනහවක් ඇඳී ගියේය.
” බලෙන් කසාද බන්ඳන්න ? ඒ කතා හොඳයි නවකතා වලට. බලෙන් කසාද බන්ඳපු නිසා වෙන්නැති ඩිග්‍රි එක කම්ප්ලීට් කරන්නත් කලින් දරුවෙකුත් හදාගත්තේ ?”
” සමන් දෙයියනේ.. ! මෙයාගේ තරහා ?”
” කැම්පස් එකේ වැඩ කොහොමද ? දැන් රැග් සීසන් ඉවරයි නේද ?”
ඔහු වහා කතාව වෙනතකට හැර වූ අතර ඈ යළිත් වතාවක් මුව ඇද කළාය.
” භරණ..! අපි යමු නේද ?”
මෙතෙක් වේලා තරුණයින් තිදෙනා හා කතාවට වැටී උන් ශමෙල් එසේ අසමින් ඔහු වෙත ඇවිද ආ අතර තරුණියගෙන් ගැලවුණු භරණ හිඳ උන් අසුනෙන් නැඟී සිටියේය.
” අනේ… ! මෙච්චර ඉක්මනට ?”
ඇඹුල් කරගත් වතින් නැඟී සිටි මිහිදුමී වහා භරණගේ අතින් අල්ලා ගත්තාය.
” පරක්කු වෙනවා දුමී. මට අද රෑට ප්‍රොෆෙසර් හීනටිගල එක්ක මීටින් එකක් තියනවා. “
ඇගේ හිස පිරිමදිමින් ඈ සනසනුවස් ඔහු පිළිතුරු බැන්ඳේය.
” අපි ගිහින් එන්නං මහීකා.. “
විශාඛා එසේ පවසා මහීකාගේ අතකින් අල්ලා ගත් අතර ඈ දෙස බැලූ තරුණිය යළි භරණ දෙසට හැරුණාය.
” අනේ මාත් එන්නං ?”
” එතකොට කැම්පස් යන්නේ ?”
විසල් කරගත් දෙනෙතින් ඈ දෙස බලා එසේ ඇසූ භරණ ඇගේ කඳුළු පිරි දෑස දැක මුව ඇද කළේය.
” දවස් දෙකකට එක්කන් යන්නකෝ මාමේ.. !”
කිසිසේත්ම භරණගේ හා මවගේ නික්ම යෑම දරාගත නොහැකි වූ ඈ තව තවත් දෙනෙතට කඳුළු පුරවා ගත්තාය. නිහඬව ඈ දෙස මොහොතක් බලා උන් භරණ යළි මව දෙස බැලුවේය.
” ඔන්නොහේ එහෙනං එක්කන් යං පුතේ. දවස් දෙකකින් එක්කන් එමු “
” හ්ම්ම්.. ! එහෙනං ලෑස්ති වෙන්නකෝ. “
කඳුළු පිරි වතින්ම ඔහු දෙස බලා මුව පුරා සිනාසුණු යුවතිය වේගයෙන් තරප්පු පෙළ දෙසට දිව ගියාය. සියල්ල දෙස පසෙක සිට බලා සිටි වැළපෙන දෑස මත අමනාපයක් තැවරී තිබුණද එකී හැඟීම් කියවීමට උත්සාහ නොගත් ඈ නිදන කාමරය වෙතට ඉක්මනින් අඩි තැබුවාය.
********************************
” දුමී නැතුව ගේත් එක්ක පාළුයි වගේ”
රාත්‍රී කෑම මේසයේ හිඳ ගත් මහීකා පුතුන් දෙදෙනාට ඇසෙන සේ පැවසුවාය.
” මහවලතැන්නලා හරි කොලිටි මිනිස්සු අම්මා.”
කෑම පිඟානේ තිබූ ඉඳිආප්පයක් මුවට ළං කළ අෂ්මිල එසේ පැවසුවේය. ආහාර ගන්නවා වෙනුවට කෑම පිඬ අනමින් අනෙක් පස උන් තරුණයා වෙනදාටත් වඩා නිහඬව උන්නේය.
” මං හිතන්නේ භරණ මෙහෙන් ගෙයක් ගනී. “
” හ්ම්ම්.. මටත් හිතුණා. “
” මේ සුදු පුතා..! එදා අර දිහස් ගැන දුමීට කියපු කතාව ඇත්තමද ?”
තවමත් පිඟාන මත දෑඟිලි එහා මෙහා කරමින් උන් වැඩිමහලු පුත්‍රයා වෙත යටැසින් බලමින් මහීකා එසේ විමසුවාය.
” ඇත්ත තමා ඉතිං. ඌ හොඳ කොල්ලෙක් නිසා මං කෙලින්ම දුමීටම කිව්වේ . කොහෙද එයාට වන් සයිඩ් ලව් එකක් තියනවා කිව්වනේ “
” අනේ.. ඒක හරියන එකක් නෑ සුදු පුතා. ඌ නම් මෝඩයෙක් වෙන්නැති මෙච්චර මේ බෝනික්කෙක් වගේ කෙල්ලෙක් මඟ අරින්නේ.
විශාඛා අක්කා එක්ක නිවාඩු පාඩුවේ මං දිහස් ගැන කියන්නං “
” අන්න ඒක නං හොඳ වැඩක්. මහවලතැන්නලට නෑකම් කියන්න ලැබෙන එක සෑහෙන්න වටිනවා ඈ “
දඩාස් හඬින් හිඳ උන් අසුන පසුපසට කර නැඟී සිටි වැඩිමහලු පුත්‍රයාගේ හඬට ඈ පමණක් නොව අෂ්මිලද තිගැස්සී ගියේය.
” කාලා ඉවරද ලොකූ ? අනලා විතරනේ ?”
මව දෙසට බැල්මක් හෝ නොහෙළූ ඔහු පිඟානත් රැගෙන මුළුතැන්ගෙය දෙසට ගොස් නැවත දෑත පිරිසිදු කර ගෙන ඉහල මහල වෙත ඇවිද ගියේය.
” සෑහෙන්න අප්සට් එකේ වගේ. “
” අනේ ආයේ ඔය කතාව විහිලුවටවත් කෑම මේසෙදි ඇදලා ගන්නෙපා සුදු පුතා. පව් .. කෑම ටික කෑවෙත් නෑ.. “
මහීකා උඩු මහල වෙත දෑස රඳවා ගෙනම පැවසුවාය.
” ලොකු කමනේ තියන. ඔහොම නැතුව මෙයාව මට්ටු කරන්න බෑ. මැරිලා ගිය එකියක් වෙනුවෙන් අවුරුදු ගාණක් තිස්සේ විඳවනවා. එයා විතරක් විඳවනවානං තව කමක් නෑ. අපිත් එයා නිසා විඳවනවා කියන එක තේරුං ගන්න බැරිද ?”
” කට.. කට.. ඇහුනොත් එහෙම ?”
“ඇහිච්චදෙන්. අර ලොකු මාමලා මීෂා ගැන ප්‍රපෝසල් එක ගෙනාපු වෙලාවේ මෙයාව බලෙන් හරි ඒ කෙල්ලට බන්ඳවන්න තිබ්බේ. “
” ලොකු මාමාට බෑ කියන්න බැරි කමට කට වහන් හිටියට මෙහෙම කිසිම හැඟීමක් නැති එකෙක්ට ඒ කෙල්ලව බන්ඳලා දීලා ඒ කෙල්ලගේ ජීවිතෙත් නාස්ති කරන්න ඕනේ නෑනේ සුදු පුතා.”
” එතකොට දුමී.. ?”
” දුමීගේ හිතේ අයියා ගැන කැමැත්තක් තියනවා. “
” මීෂාත් ලොකූට කැමතියි අම්මා. “
” ඒක හරි. ඒත් මීෂාට නැති කැමැත්තක් අයියාගේ හිතේ දුමී ගැන තියනවා. මීෂාගේ ප්‍රපෝසල් එක ආපු වෙලාවේ අයියා සද්ද නැතුව හිටියේ ලොකු මාමාට පිටුපාන්න බැරි කමට. එච්චරයි. “
විසල් සුසුමක් හෙළූ අෂ්මිලද හිඳ උන් අසුනෙන් නැඟී සිටියේය.


