5th Avenue – 25

0
254

පසු දිනය උදා වෙමින් තිබූයේ පැහැබරවය. හිරු කිරණ පොළොවට පතිත වන්නටත් මත්තෙන් 5th Avenue සාමාජිකයන් සියලු දෙනාම යුහුසුළුව සූදානම් වූයේ නුවරඑළිය බලා පිටත් වීමටය. ශෙනෝලි හැරුණු කොට අන් සියලු දෙනාම ස්ටූඩියෝව වෙත පැමිණිය යුතුව තිබුනේ අවශ්‍ය බඩු බාහිරාදිය පිටත් කර යැවීමටය. අනතුරුව ශෙනෝලිගේ නිවස ආසන්නයෙන් ඇය කැටුව නුවරඑළිය බලා පිටත්ව යාම සැලසුම විය. 

අලුයම 4.30 වන විට කණ්ඩායම් සාමාජිකයන් සියලු දෙනා ස්ටූඩියෝවෙන් පිටත් වී බොරලැස්ගමුවේ පිහිටි ශෙනෝලි ගේ නිවස ආසන්නයට පැමිණෙන විට තවත් විනාඩි පහළොවක් පමණ ගත විය. ඒ වන විටත් සූදානම්ව සිටි ඇය නිවාස සංකීර්ණයේ ගේට්ටුව අසලට පැමිණ සිටියාය.

නිල් පැහැති සැහැල්ලු ඩෙනිම් කලිසමට රෝස පැහැති සැහැල්ලු ටීශර්ට් එකක් හැඳ සුදු පැහැ සපත්තු සහ සුදු පැහැ කැප් තොප්පියක් පැළඳ සිටි ශෙනෝලි වෙතින් දිස් වූයේ කෙලිලොල් බවකි. පෙර දිනයේ ඇය වෙතින් දක්නට ලැබුණු මාලානික බව සම්පූර්ණයෙන්ම ඇය ඔබෙතින් පලා ගොස් තිබුණු අතර වෑන් රථය ඇය අසල නැවැත්වූ පසු මුලින්ම එයින් බැස ඇයව පිළිගන්නාා ලද්දේ අශේන් විසිනි.

” Good morning coordinator madam ” 

” Good morning ” 

ශෙනෝලි අත වූ ගමන් මල්ල අතට ගත් අශේන් එය වාහනයට දමන තෙක් ඇය දොර අසලට වී බලා උන්නාය. අනතුරුව මේඝ වාහනයෙන් බැස රියදුරු අසුනට පිටුපස ඇති පළවෙනි අසුන ශෙනෝලි වෙත පෙන්වූවාය. 

ශෙනෝලි වාහනයට නැග්ගේ රියැදුරු අසුනට එහා අසුනේ වාඩි වී බලා හිඳි රිහාන් දෙස මදහසකින් යුතුව බැලීමෙන් අනතුරුවය. රිහාන් පෙරළා මදහසක් පෑවා මිසක වචනයක්වත් කීවේ නැත. ඒ පිළිබඳව තැවෙන්නට නොනැවතුණු ශෙනෝලි ඔහුව පැහැදිලිව පෙනෙන පළමු අසුනේ ජනේලය අයිනේ සුවපහසු ලෙස වාඩි වූවාය.

මේඝ වෑන් රථයේ දෙවැනි අසුන වෙත ගොස් අන් සාමාජිකයන් සමඟ එකතු වූ අතර ශෙනෝලිට එහා පසින් වාඩි වූ අශේන් වෑන් රථයේ දොර වසා දැම්මේය. අලුයම සීතල සුළඟ සමග වෑන් රථය වේගයෙන් ඉදිරියට ඇදුනේ එළැඹෙමින් පවතින දවස පිළිබඳව බොහෝ බලාපොරොත්තු සියලු දෙනාගේම සිත් වලට බලාපොරොත්තු එකතු කරමිනි.

 රියදුරු තරුණයා විසින් 5th Avenue කණ්ඩායම ප්‍රසංග වලදී ගායනා කරන ලද Youtube වෙත ඇතුළත් කර තිබූ ගීත ගොනුවක් වාදනය වන්නට හැරියේ වෑන් රථය තුළ ඇති නිහඬතාවය බිඳ දමනු පිණිසය. ශෙනෝලි ජනේලයෙන් පිටත වේගයෙන් පසු වන ගොඩනැගිලි සහ අවට පරිසරය දෙස නිසොල්මනේ බලාගෙන සිටියේ සියලු දෙනාම අඩ නින්දේ පසු වූ බැවිනි.

එහා පසින් වාඩිවී හිඳි අශේන් ශෙනෝලි හට තට්ටු කලේ තවත් ටික වේලාවකට පසුවය.

” නිදාගන්න එපා “

අශේන් මිමිනුවේ පිටුපස අසුන් දෙස බලමිනි.සියලු දෙනාම පසු වූයේ නින්දේය.රියදුරට එහා අසුනේ වාඩි වී හිඳි රිහාන් අසුනට හිස බර කරගෙන සිටි බැවින් ඔහුද නින්දේ පසු වනවා යැයි අශේන් අනුමාන කලත් දෑස් පියාගෙන සිටි රිහාන් උන්නේ අවදියෙනි.

” ඇයි ? ” 

” I need someone to talk to “

ශෙනෝලි පිටුපස අසුන් දෙස බලා නැවත අශේන් වෙතට හැරී යන්තමින් සිනාසුනාය.

” You have an entire band “

” They are boring “

නින්දේ පසුවනවා යයි සිතූ සියල්ලෝම සිනාසෙන්නට පටන් ගත්තේත්, එය විශාල සිනහවක් බවට පත් වූයේත් තප්පර කිහිපයක් ඇතුළතය.ශෙනෝලි වටපිට බලමින් අශේන් දෙස රවා බැලුවේත් , අශේන් ඒ රැවීම තම ජංගම දුරකථනයේ කැමරාවට හසුකර ගත්තේත් එකම මොහොතකය.

” අශේන් “

ශෙනෝලි ඔහුගේ ජංගම දුරකථනය උදුරා ගන්නට උත්සාහ කළද එයට පෙර අශේන් එය පසෙකට කර ගත්තේය.කීප වරක් එය උදුරා ගැනීමට උත්සාහ කළ ශෙනෝලි අනතුරුව එම උත්සාහය අතහැර නැවත තම අසුනේ පෙර සිටි ආකාරයටම හරි බරි ගැසුනේ සියලු දෙනාගේම සිනහව මධ්‍යයේය.

ඉදිරිපස අසුනේ වාඩිවී හිඳි රිහාන් මඳ සිනහවක් නගා ගෙන අන් අයගේ සිනහවට එකතු වී සිටියද අශේන් කළ ක්‍රියාව පිළිබඳව ඔහුගේ සිතෙහි වූයේ නුපුරුදු හැඟීමකි. ඉන් ශෙනෝලි සියල්ලන් ඉදිරියේ අපහසුතාවයට පත් වූවා යැයි හැඟීමක් ඔහු තුළ විය. 

කිතුල්ගල ප්‍රදේශය පසු කරන විට උදෑසන ආහාරය සඳහා නතර වන බව මේඝ සඳහන් කළ අතර ඒ වන විට එළිය වැටෙමින් තිබූ පරිසරයේ උෂ්ණත්වයද අඩු වෙමින් පැවතිණි. කලබලකාරී කොළඹ නගරයට වඩා හාත්පසින්ම වෙනස් වූ පරිසරයේ සුන්දරත්වය විඳ ගනිමින් ශෙනෝලි ජනේලයෙන් පිටත බලාගෙන ඡායාරූප ගනිමින් කාලය ගත කළාය.

රියදුරු විසින් පවසන ලද දොළ පාරක් නුදුරින් පෙනෙන අවන්හලකින් උදෑසන ආහාරය ලබා ගන්නට මේඝ කැමැත්ත පළකල බැවින් තවත් විනාඩි ගණනාවකට පසුව වෑන් රථය නතර වූයේ ඔහු සඳහන් කළ පරිදිම අතිශය සුන්දර පරිසරයක් මධ්‍යයේ වූ කුඩා අවන්හලක් ඉදිරියේය.

” මේකේ කෑම රහ නැති උනොත් එහෙම අපි කන්නේ උඹව තමයි කොල්ලෝ ” 

අශේන් තරුණ රියදුරා වෙත විහිළුවක් කරමින්ම වෑන් රථයෙන් බැස ශෙනෝලි බසිනතුරු දොර අසලට වී බලා උන්නේය. ශෙනෝලි ඔහු කෙරෙහි විශේෂ අවධානයක් නොපෙන්වා වෑන් රථයෙන් බැස අවට සිරි නරඹමින් ඒ අසලින් ගලා ගිය දොළ පාරෙහි දසුන් කිහිපයක් තම ජංගම දුරකථනයේ කැමරාවට හසුකර ගත්තාය.

අවන්හලේ සේවකයන් සංගීත කණ්ඩායමේ සියලු දෙනාවම පිළිගත්තේ ඉමහත් සතුටෙනි. ඉඳිආප්ප සහ රතුබත් සමඟ ව්‍යාංජන කිහිපයක්ද , තේ, කෝපි සහ පළතුරු යුෂ වර්ග කිහිපයක් ද බුෆේ ක්‍රමයට අවන්හලේ උදෑසන ආහාරය සඳහා සූදානම් කර තිබුණු අතර මේඝ ගේ ප්‍රමුඛත්වයෙන් සියලුම සාමාජිකයන් ආහාර බෙදා ගනිමින් අවන්හලේ කෙළවරක වූ දිගුම මේසය වෙත එකතු වූහ.

ශෙනෝලි ඉඳිආප්ප කිහිපයකට අල ව්‍යාංජනයෙන් ස්වල්පයක් සහ කුකුල් මස් ව්‍යාංජනයෙන් ස්වල්පයක්ද බෙදාගෙන කෑම මේසයේ කෙළවරක වාඩි වූවාය. අනතුරුව අවන්හලේ සේවකයකු පැමිණ සියලු දෙනාටම තේ පිළිගැන්වූයේ මේඝ ගේ උපදෙස් පරිදිය. සියලු දෙනාම මේසයට වාඩි වූ පසුව රතු බත් ස්වල්පයකට ව්‍යාංජන කිහිපයක් බෙදාගෙන පළතුරු යුෂ වීදුරුවක්ද ගෙන පැමිණි රිහාන් එය ශෙනෝලි ඉදිරියේ තබා වාඩි වූයේ කිසිවක් නොවූ පරිද්දෙනි.

රිහාන් තමා ඉදිරියේ තබා ගිය පළතුරු යුෂ වීදුරුව දෙස පුදුමයෙන් බැලූ ශෙනෝලි අනතුරුව බැලූයේ නිසොල්මනේ ආහාර ගැනීම ආරම්භ කළ රිහාන් දෙසය.

” ටී ඕඩර් කලා රිහාන් ” 

කෑම පිඟාන දෙස නෙත් යොමා ගෙන සිටි රිහාන් දෙනෙත් ඔසවා ශෙනෝලි ලෙස බැලුවේ තරවටු බැල්මකිනි.

” I know.But you should have this too “

රිහාන් පිළිතුරු දුන්නේ අණ කරන ස්වභාවයකිනි. ඉන් එහා කිසිවක් කියන්නට නොගිය ශෙනෝලි තමා ඉදිරියේ ඇති පලතුරු යුෂ වීදුරුව දෙස බලා නැවත තම පිඟාන වෙත අවධානය යොමු කළාය.

ශෙනෝලිට නුදුරින් වාඩි වී හිඳි අශේන් උන්නේ මේ සියල්ල දෙස බලාගෙනය. මේඝ කණ්ඩායම් සාමාජිකයකු වූ සිහින සමග කතාබහක නිරත වී සිටි අතර අනෙක් සාමාජිකයන්ද තමන්ගේ සාමාන්‍ය විහිළු සහ කතාබහ වල නිරත වෙමින් සිටියෝය.

අවටින් ඇසෙමින් තිබුණු විවිධාකාර හඬවල් මධ්‍යයේ වුවද ශෙනෝලි උන්නේ සැනසිලිදායක සිතින් තම උදෑසන ආහාරය භුක්ති විඳිමිනි.අලුයම සිට තමා සමග වචනයක් හෝ කතා නොකළ රිහාන් එක් කුඩා ක්‍රියාවකින් තමා කෙරෙහි අවධානය දැක්වීම එය වෙත ගෙන විත් තිබුනේ වචනයෙන් කිව නොහැකි තරමේ සතුටුදායක හැඟීමකි.

උදෑසන ආහාරය ගැන අවසානයේදීද සංගීත කණ්ඩායමේ සාමාජිකයන් හට කතාබහ කරන්නට බොහෝ දේ ඉතිරි වී තිබිණි. කාල වේලාව පිළිබඳව ගැටලුවක් නොවූ බැවින් කිසිවෙකුගෙන් එයට බාධාවක්ද නොවීය. ශෙනෝලි අවන්හලෙන් පිටතට පැමිණ ඒ අසලින් ගලා ගිය දොළපාර දෙස බලමින් කාලය ගත කළේ එවැනි සුන්දර පරිසරයකට පැමිණියේ බොහෝ කාලයකට පසුව බැවිනි.

අවන්හල තුළ කතාබහ කරමින් සිටි කණ්ඩායම් සාමාජිකයන් අතර ශෙනෝලි දක්නට නොවූ බැවින් අශේන් අවන්හලෙන් පිටතට පැමිණියේ ඇය වෑන් රථයට නැගී ඇතැයි අනුමාන කරමිනි. එහෙත් ඒ වන විටත් ඇය උන්නේ වෑන් රථයටත් මදක් නුදුරින් නිසා අශේන් හෙමින් සීරුවේ පියවර තබමින් ඇය වෙතට පැමිණ නතර වූයේය.

” ශෙනෝ. සෙල්ෆි එකක් ගමු?” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here