පසළොස්වක මල් – 58

0
1408

” ඊයේ කීයටද ගෙදර ගියේ ?” 

” හතර විතර උනා. “

” පරිස්සමට යන්න එන්න. මල්ලිට කියලා ඇරලවගන්න.  එයාව සෙට් නොවෙන තැන් වලදි පික්මී එකක් ඌබර් එකක් දාගන්න. බැරි උනොත් අම්මාට කියලා කිත්සිරි අන්කල්ගෙ ට්‍රයි ශෝ එක ගෙන්නගන්න. “

” මට ප්‍රශ්නයක් නෑ අනේ. ඔයා කලබල වෙන්නෙපා. හිතේ නිදහසේ ඔය වැඩ ටික කරගන්න. “

” හිත නිදහස් නෑ මැණික.. හැමදේම හොඳින් තමයි. ඒත් ඔයා නැතුව මහ ලොකු හිස්කමක් දැනෙනවා. “

” ලොකු අයියේ..?” 

” කියවනවා වැඩියිද? හිතට බයක් දැනෙනවා දුමී. බයක්මත් නෙමෙයි. මහ අමුත්තක්. “

” මො.. මොනවද මේ කියන්නේ ?” 

” මගේ දුමී .. ! මේ අහන්න ..! ඔයා රත්නපුරේ ගිය දවසේ භරණ මාව මීට් වෙන්න ආපු බව මං කිව්වනේ. ? මං එදා භරණට මං කලින් මැරි කරපු කතාව කිව්වා. එයා එක ගණන් ගත්තෙවත් නෑ. මට.. මගෙ පැත්තෙන් අඩුපාඩුවකට තියෙන්නේ ඒක විතරයි දුමී. ප්‍රශ්නෙකට තියෙන්නේ ඒක විතරයි. ඔයා නැතුව දවස් ගාණක් මෙහෙම ඉඳලද මන්දා මට ඔයා නැතුව ගෙවන දවස් ගැන හිතන්න බයයි වගේ. අවුරුදු ගාණක් මං පිස්සෙක් වගේ කූඩුවක් ඇතුළට වෙලා වගේ ජීවත් උනා. මිනිස්සු ආශ්‍රේ කළේ නෑ , යාලුවෝ ආශ්‍රේ කළේ නෑ. ඔයා හම්බුණාට පස්සේ ආයේ මට හුස්ම ගන්නවා වගේ දැනෙනවා මැණික.. “

” සමන් දෙයියනේ.. ලොකු අයියේ ..! ඇයි මේ ? “

” දුමී.. ! මේ අහන්න ..! මොන දේ උනත් මාව දාලා යන්නෙපා මැණිකේ. භරණ , ආන්ටි විශාඛා හැමතිස්සෙම කියනවා , ඔයා නිසා එයාලා ආයෙම ඉපදුණා කියලා. මටත් උනේ ඒකමයි දුමී ඔයා නිසා මට ආයේ මං ජීවත් වෙනවා කියලා දැනෙනවා. ඔයා හරියට ඒන්ජල් කෙනෙක් වගේ වස්තුවේ. ඔයා අපි හැමෝටම ජීවත් වෙන්න හේතුවක් දුන්නා. අලුතින් ජිවිතයක් දුන්නා. මං මගේ උපරිමේ කරන්නං දුමී. කවදාවත් මාව අතාරින්න එපා. මාව තනි කරන්න එපා. මට ආයේ මං ගැනම ආදරේ හිතෙනවා. ඒ හැමදේම ඔයා නිසා. ඒ නිසා හැමදාම මං ලඟම ඉන්න.”

” අනේ..!” 

” අඬනවා නේද ? ප්ලීස් අඬන්න එපා. මේ අහන්න..! තව දවස් හතරයිනේ. මං ආවම භරණ එක්කයි , ආන්ටි විශාඛා එක්කයි කතා කරන්නං. අපි දෙන්නා පොඩියට රෙජිස්ට්‍රේශන් එකක් ගමු. කාටවත් කියන්න ඕනෙ නෑ. ඔයා තාම ඉගෙන ගන්නවනේ. ඩිග්‍රි එක කම්ප්ලීට් කළාම වෙඩින් එකක් ගමු. මට නැතත් මහවලතැන්නලා ඔයාව ලස්සනට වෙඩින් එකක් අරන් මිසක් මට දෙන්නෑ කියලා මං දන්නවා. එතකන් අපි දෙන්නා මැරි කරලා ඉමු දුමී. මට ඔයාව මගේ ලඟ තියාගන්න ඕනේ හැමදාටම..”

” ඔයා ඇයි ලොකූ මේ..?” 

” මං .. මං දන්නෑ. ගොඩක් දුරට මං ඔයාගෙන් ඈතයි කියලා දැනෙන නිසා වෙන්නැති. මගේ හිතේ කියා ගන්න බැරි සතුටක් වගේම කියා ගන්න බැරි බයකුත් තියනවා දුමී.. මට.. මට තේරෙන්නෑ. මං කවදාවත් රිලේශන්ෂිප් එකකට යන්න හිටපු මනුස්සයෙක් නෙමෙයි. ඔයත් එක්ක කතා කරන්න , ඔයාව දැනෙන්න , ඔයත් එක්ක ආදරේ කරන්න පටන් ගත්තට පස්සේ උනත් මට ඒ දේට හැඩ ගැහෙන්න ටිකක් අමාරු උනා. සමහර පොඩි පොඩි දේවල් මගෙන් මාර විදිහට මිස් වෙන්නැති . ඔයා බලාපොරොත්තු වෙච්ච ආදරේවත් , රොමෑන්ටික් මනුස්සයෙක්වත් මගෙන් එළියට පේන්න නැතුව ඇති. ඒ කියන්නේ හිතන්නකෝ.. ඔයා හැමදාම මං ඔෆිස් එකට යද්දි එළියට ඇවිල්ලා මං යනකන් බලන් ඉන්නවා . ආයේ මම එද්දි ඒත්.. මං එනකන් එළියට වෙලා බලන් ඉන්නවා. ඒක හරි පොඩි දෙයක් උනාට මට ඒක මාර විදිහට දැනුණා. කිසිම ෆීලින්ග් එකක් නැතුව මං ඔහේ ඔෆිස් ගියා. මැශින් එකක් වගේ වැඩ කළා. ආයේ හිතිච්ච වෙලාවට ගෙදර ආවා. ඒත්.. දැන් එහෙම බෑ. ඔයා මං එනකන් බලන් ඉන්නවා කියන ෆීලින්ග් එක මාව පුරවනවා වගේ දුමී. හිස් වෙලා තිබ්බ මගෙ හැම අස්සක් මුල්ලක්ම ඔයා පුරවනවා. 

මං ගෙදරින් එළියට බහිද්දි ඔයාව පේන්නැති වෙලා යනකන්ම මං ඔයා දිහා බලන් ඉන්නවා. ඔෆිස් එකට ගියාම ඔයා සැරින් සැරේට එවන මැසේජ් වලින් මං ආයේ ආයේ රීෆ්‍රෙශ් වෙනවා. ඔයා කෑවද , බ්ව්වද කියලා සැරින් සැරේ අහද්දි මෙච්චර දවස් ගත්තේ නැති හුස්ම මට ආයේ වැටෙනවා වගේ දැනෙනවා. කොහෙවත් නොයා , ඉක්මනට ගෙදර යන්නෝන කියන එක ඔලුවට එනවා. මොකද ඔයා මං එනකන් බලන් ඉන්නවා කියලා දන්න නිසා. මට මේක තේරෙන්නෑ මැණික.. “

තද කරගත් දෑස් පියන් සෙමින් විවර කළ ඈ විසල් සුසුමක් හෙළුවාය. 

” අනේ යකෝ…!” 

තිගැස්සී පසුපස බැලූ ඈ මිතුරියට ඇද කළාය.

” කීයේ ඉඳන්ද මං කතා කරන්නේ ? මොන ලෝකෙද බං ඉන්නේ ?” 

මිතුරියගේ කල්පනාවේ දුර දිග නොදත් පියවි දඩාස් යන හඬින් පොත් බෑගය මිහිදුමී අසල තිබූ මේසය මතට දැමුවාය. 

” පොඩි කල්පනාවක හිටියේ. “

” අනේ .. ඔව්. ශෝක් පොඩි කල්පනාව. පොඩි හරි ලොකු හරි කමක් නෑ ඔය කල්පනාවෙ ඉන්නැත්තේ මිස්ටර් විජේසිංහ වෙන්නැති නේද ?” 

” ඔව්. ඉතිං.. එයා නැතුව වෙන කවුරු ඉන්නද ?” 

” හඤේ.. පොර දන්නවනං මෙතන මනෝ පාර ගහගෙන ඉන්න හැටි. ඉගිල්ලිලා එන්නේ ඉගිල්ලිලා. “

මිහිදුමී හඬ ගා පියවිගේ කතාවට සිනාසුණාය. 

” දැන් උඹ මොකෝ මාව හෙව්වේ ?” 

” ඔන්න බලහන්කෝ ඉතිං. උඹේ මේ ලව් මලඉලව්වක් නිසා ඒකත් අමතක උනා. මේ.. මේක දැක්කද ?” 

පොත් බෑගය තුළින් ගත් කුඩා අත් පත්‍රිකාවක් පියවි ඈ හට දිගු කළාය. කුතුහලය පිරි ප්‍රශ්නකාරී බැල්මක් සහිතව ඒ දෙස බැලූ මිහිදුමී තිගැස්සී යළි මිතුරිය දෙස බැලුවාය. 

”  memorial ceremony ? (අනුස්මරණ උත්සවයක්) ?”

දෑසට ඉනූ කඳුළැලි කිහිපයක්ම වහ වහා පිසදා ගත් ඈ බොඳවූ දෙනෙතින් මිතුරිය දෙස බැලුවාය.

” එයාලගේ බැච් එකේ හිටපු කට්ටියක් කරන්නේ. අවුරුදු දහයක්ලු. ගියොත් හොඳයි නේද ?” 

අත් පත්‍රිකාව දෑතටම ගුලි කරගත් ඈ හදවත තුළින් නැඟ එන වේදනාව දරා ගත නොහැකිව ඉකි ගැසුවාය.

” තනියෙන් යන්න බයයි වගේ නම් මාත් එන්නම්. “

පිළිතුරක් නැත. එකදු වචනයක් නොපැවසූ ඈ හිස් බැල්මකින් ඉවත බලා සිටියාය. 

” මං මේ උඹ වැරදියි කියනවා නෙමෙයි. ඒත්.. ඒ උඹේ අක්කනේ බං. ? දැන් මාස කීපෙකට උඩින් උඹ හැසිරුණේ මේ සිද්ධිය කරපු එකාව අල්ලගෙන ඌට මරණ දඬුවම දෙන්න වගේ කේන්තියකින්. උවමනාවකින්. කැම්පස් එකට එන්න කලින් උනත් උඹ මාත් එක්ක කිව්වෙම මේක කරපු එකා හොයාගන්න ඕනේ. අක්කට සාධාර්ණයක් කරන්න ඕනේ කියලා. උඹ මෙහෙ තෝර ගත්තෙත් ඒකමයි. 

 ඒත්.. ඊට පස්සේ උඹට ඒක සම්පූර්ණයෙන්ම අමතක උනා. අස්නක නිසා නේද ? ලව් එකක් පටන් ගත්තම උඹට කරන්න ආපු වැඩේ අමතක උනා. මං මේ උඹට දොස් කියනවා නෙමෙයි බං. ඒත්.. අනේ.. මන්දා.. “

සිතේ පවතිනා වූ හැඟීම් සියල්ලම තමා ඉදිරියේ පිට කර ගැනීමට නොහැකිව ළතැවෙන මිතුරියගේ හැසිරීම් හොඳින් තේරුම් ගත් මිහිදුමී ඇගේ අතින් අල්ලා ගත්තාය.

” ලොකු අයියා නිසා නෙමෙයි බං. මං මාමාට පොරොන්දු උනා ආයේ මේ දේවල් ගැන හොයන්නේ , බලන්නේ නෑ කියලා. එයා දුක් වෙච්ච හැටි , ඇස් වල කඳුළු පුරෝගත්තු හැටි මතක් වෙද්දි මට මං ගැනම කේන්ති හිතුණා බං. “

” හ්ම්ම්.. එහෙමත් එකක්ද ? හරි ඒක පැත්තකට දාමුකෝ. දැන් ලොකු මහත්තයා එන්නේ කවද්ද ?” 

” තව දවස් හතරකින්. මාසෙන් එනවා මාසෙන් එනවා කිව්වට එයාට මාස එකහාමාරක්ම ගියා.”

” බඩගිනියි බං. මං මොනාහරි අරන් එන්නං “

” පියෝ…!” 

” ආ.. ?” 

” අර සෙරමනි එක කවද්ද තියෙන්නේ ?” 

” අනිද්දට. “

” කීයටද ?” 

” හවස. හවස හයේ ඉඳන් හත වෙනකන් බණක් කියවනවා කියලා තමා තිබුණේ. “

” උඹ යනවද ?” 

” නෑ බං. මං එතන කාවවත් දන්නේ නෑනේ. උඹ  යනවනං උඹත් එක්ක යන්න හිටියේ. “

” අපි දෙන්නා යං. “

” උඹට ශුවර්ද ?” 

” හ්ම්ම්.. “

” මාමා දැන ගත්තොත් හොඳ නෑ නේද ?” 

” දැනගන්න කියන්න එපැයි. ලොකූත් නැති එකේ යං. මං ආන්ටිට වෙන මොකක් හරි කියලා එන්නං. එයා එච්චර හොයන්නෑ. “

” හ්ම්ම්… ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here