පසළොස්වක මල් – 54

0
691

” සරෝජා නැන්දා..! සරෝජා නැන්දා..!” 

” මං පිටි පස්සේ චූටි නෝනා..ශැඩෝට කිරි එකක් දෙන්න ගියා. “

සරෝජා සිනා පිරි මුවින් මුළුතැන්ගෙට ගොඩ වූවාය.

” ආන්ටී කෝ සරෝජා නැන්දා ?”

” හරි වැඩේනේ චූටි නෝනා. මීෂා නෝනා ඉස්පිරිතාලේ නවත්තලලුනේ. “

” ඒ මොනා වෙලාද ?”

” බේත් පෙති වගයක් බීලලු නෝනා. “

” බේත් පෙති වගයක් බීලා ?  ඒ මොන එහෙකටද ?” 

සරෝජා මඳක් පැකිළුණු දෙනෙතින් තරුණිය දෙස බැලුවාය.

” අද දවාලේ අපේ නෝනාගෙ අයියා ආවනේ. හොඳටම දොස් කියලා ගියේ. ගෙදර ගිහිල්ලා මොන ගිනි විජ්ජුම්බරයක් කර ගත්තද දන්නෑ. කොහොමහරි ඊට පැයකට විතර පස්සේ කෝල් එකක් ආවා මීෂා නෝනා ඉස්පිරිතාලේ ගෙනිච්චයි කියලා. අපේ නෝනා ඒ පයිණ්ඩෙ ආපු ගමන් ගියා. අස්නක මහත්තයයි , සුදු මහත්තයිත් ඉස්පිරිතාලේට එහෙම්මම යන කතාවක් තමා කිව්වේ. “

” එච්චර දෙයක් වෙන්න මොකද්ද තිබ්බ ප්‍රශ්නේ සරෝජා නැන්දා.?” 

තරුණියගේ පැනයත් සමඟම තව දුරටත් පැකිළුණු සරෝජා විසල් සුසුමක් හෙළුවාය.

********************************************

මහීකා නිවසට ගොඩ වන විට රාත්‍රී අටේ හෝරාවද පසුව තිබිණි. බොහෝ තෙහෙට්ටුකාරී ස්වරූපයකින් පැමිණි ඈ රාත්‍රී ආහාරයද ප්‍රතික්ශේප කොට නින්දට වැටීමට නිදන කාමරය වෙත ගියාය. හදවත තුළින් ගලා එන දරුණු ගණයේ වේදනාව කිසි ලෙසකත් ඈ ඉදිරියේ නොපෙන්වූ මිහිදුමී තව දුරටත් නිවසට ගොඩ නොවුණු ඔහු එන පෙර මං බලා සිටියාය. 

රාත්‍රී එකොළහ පසුව මැදියමට ආසන්න වුවද බලාපොරොත්තු වූ ජේත්තුකාරයාගේ පැමිණීම සිදු වූයේ නැත. නිදි කිරා වැටෙමින් , අපහසුවෙන් දෑස් විවර කර උන්නද ඈ නොදැනුවත්වම නින්දට වැටී තිබිණි. තිගැස්සී අවදිවී බැලූ විට හාත්පසම එළිය වැටී තිබූ අතර උදෑසන අටටද ආසන්නවී පැවතුණි. වහ වහා නාන කාමරයට රිංගා ගත් ඈ ඉක්මනින් නා කියා ගන්නට පටන් ගත්තාය.

” ගුඩ් මෝනින් ආන්ටී..!” 

” ගුඩ් මෝනින් දුමී.. !”

” චූටි නෝනා ඊයේ රෑට කාලා නෑනේ ? කෑම ඔක්කොම ෆ්‍රිජ් එකේ “

” රෑට කෑවේ නැද්ද දුමී.. ?” 

මහීකා විසල් කරගත් දෙනෙතින් ඈ දෙස හැරී බැලුවාය.

 ” කන්න කියලා කිව්වම නෝනා එනකන් කියලා හිටියා. නෝනාත් නොකා ගියාම අස්නක මහත්තයා ආවම කන්නං කියලා මට නිදාගන්න කිව්වා. මං උදේ බලද්දි කෑම ටික අල්ලාවත් නැතුව ෆ්‍රිජ් එකේ. “

සරෝජා කේලම පවසා වහා ඉවත බලා ගත් අතර මහීකා තරුණිය වෙත තරවටු බැල්මක් හෙළුවාය.

” රෑ වෙලා කන්න හිටියේ ආන්ටි. එහෙම්මම නින්ද ගියා. ලොකු අයියා ආපු වෙලාවක් දන්නෙත් නෑ. “

නිදහසට කාරණා නොඉල්ලුවද ඈ කෙඳිරිලි ස්වරයෙන් මහීකා දෙස බලා පැවසුවාය.

” සරෝජා නැන්දා..!” 

මහීකා සේම ඇයද තිගැස්සී පසුපස බැලුවේ පමණට වඩා ගොරහැඬි වූ කටහඬටය.

” ආ.. මහත්තයා..!” 

සරෝජා විගසින් කෑම කාමරයට දිව ආවාය.

” තියන දෙයක් ගේන්න “

” මේ ගේනවා මහත්තයා. “

මිහිදුමී දෙසට බැල්මක් හෝ නොහෙලූ ඔහු කෑම මේසය අසල වූ පුටුවක් පමණට වඩා ශබ්දයෙන් පසුපසට ඇද්දේය. ඉන් පසුව ඈ දෙස එක එල්ලේ බලා දෑසින් මෙන්ම හිසින්ද ඉඟි කර එහි අසුන් ගන්නා ලෙස පැවසුවේය. සෙමින් සෙමින් ඇවිද ආ ඈ නිහඬවම පුටුවට බරවූ අතර ඇය අනෙක් පස තිබූ පුටුව පසුපසට ඇද ඔහුද එහි අසුන් ගත්තේය. කලබලයෙන් එහා මෙහා දිව ගිය සරෝජාත් , මහීකාත් කෑම මේසයෙ අඩු වැඩිය සකස් කරනාතුර ඔහු පිඟානක් ගෙන එයට ආහාර බෙදන්නට පටන් ගත්තේය. ඉන්පසුව නිහඬවම එය ඈ ඉදිරියෙන් තැබුවේය. නැවත වතාවක් තමා දෙස බලා උන් ඈ හට ආහාර ගන්නා ලෙසට දෑසින් ඉඟි කර තමන්ටද ආහාර බෙදා ගැනීම ආරම්භ කළේය.

 විපරීත හදවත කුස ගින්නකට ඉඩක් නොතබාම හද ගින්නක් අවුළුවා තිබිණි. ඒ තරහවකට , කෝපයකට , ද්වේශයකට මුල් නොවූ ගිනි ජාලාවක් වූ අතර එහි පූර්ණ වශයෙන් ඊර්ෂ්‍යාවක් පමණක් ගැබ්ව තිබිණි. ඉදින් ස්ත්‍රී සුරත කෑම කෑවා නොව බත් ඇට ඇහිළුවාය.

” ආයේ මහ රෑ වෙනකන් නොකා ඉන්න බෑ. අට වෙද්දි කාලා ඉන්න ඕනේ. “

හිස එසවූයේම නැත. ඔහුගේ වචන වලට ප්‍රතිචාරයක් ලැබුණේද නැත. කෑම කාමරය තුළ නිශ්ශබ්ද මිනිත්තු කිහිපයක් රජ කළ අතර මහීකා හෝ සරෝජා සිතා මතාම ඒ දෙස ඇවිද නොආහ. 

” ඊයේ රෑ වෙනකන්ම හොස්පිට්ල් එකේද හිටියේ ?” 

පැනය නැඟුණේ කෙඳිරිලි ස්වරයකිනි. නමුත් බැල්මක් නැත. පෙර පරිදිම බත් පත වෙත බරව තිබූ උවන ඔහු දෙසට විතැන් නොවුණි. පැනය කෙසේ වුවද පිළිතුරක්ද නොලැබුණේය . ඉදින් තව තවත් සිත රිදවා ගත්තී පැනයට පිළිතුර නිහඬ බව මත ” ඔව් ” ලෙසට සිතා ගත්තාය. තව දුරටත් බත් පිඬකට හෝ වතුර උගුරකට මුව විවර නොවුණු කළ අඩක්වත් හමාර නොකළ බත් පතද රැගෙන ඈ කෑම මේසයෙන් නැඟිට මුළුතැන්ගෙය දෙසට ඇවිද ගියාය. 

” කාලා ඉවරද දුමී ? ඔය බත් එක එහෙම්මම නේ ?” 

මහීකාගේ ප්‍රශ්නාවලිය කෑම කාමරය තෙක් ඇසුණද ඊට පිළිතුරු ලෙසින් පිටවූ වචන කෑම මේසයේ හිඳ උන් තරුණයාගේ සවනේ නොගැටිණි. මිනිත්තු දෙක තුනක් තුළ කෑම කාමරය හරහා ඇවිද ගිය තරුණිය ඔහු දෙස නොබලාම තරප්පු පෙළ දිගෙහි දිව ගොස් නිදන කාමරය තුළට වැදුණාය. සුසුමක් හෙළූ ඔහුද ආහාර ගැනීම අවසන් කොට තරප්පු පෙළ නැඟ ගොස් ඇගේ නිදන කාමරය අභියස සිට ගත්‍තේය.

” දුමී… ! “

පිළිතුරක් බලාපොරොත්තුවෙන් තත්පර කිහිපයක් ගත කළද පිළිතුරක් නොලැබුණු තැන ඔහු සෙමින් නිදන කාමරය තුළට අඩි තැබුවේය. ඒ වනවිටත් කොට්ටයක් මත මුහුණ තද කරමින් සිටි ඇය යහන මත වැතිර නිශ්චලව උන්නාය.

” ඒයි..!” 

ඈ පසෙකින් හිඳ ගත් ඔහු සෙමින් ඇගේ උවනට වැටී තිබූ කෙහෙරැල්ලක් ඉවත් කළේය. ඉන්පසුව සීරුවට ඈ මුව අසලට පහත් විය. 

” ඒයි.. ! මොකෝ මේ.. ? මං ඊයේ හවස ඉඳන් රෑ වෙනකන් හිටියේ භරණ එක්ක. බොරු නම් කතා කරලා අහලා බලන්න. “

ඈ ක්ෂණිකව හිස එසවූවාය.

” මාමා කොළඹද ?” 

” හ්ම්ම්.. බිස්නස් එකේ වැඩ වගේකට මට උදව්වක් ගන්න පුලුවන් භරණගේ යාලුවෙක් මීට් උනා ඊයේ අපි. වැඩේ හරි ගියොත් පිළියන්දල බ්‍රාන්ච් එකත් එක්කම වගේ අපිට කැන්ඩි වලත් බ්‍රාන්ච් එකක් ඕපන් කරගන්න පුලුවන්. “

ඈ සෙමින් නැඟිට යහන මතින් හිඳ ගත්තාය. නමුදු අසල උන් ඔහුගේ උවන දෙස හිස ඔසවා හෝ නොබැලුවාය.

” හොස්පිට්ල් එකට වෙලා මීෂාට තනි රැක්කා කියලද හිතුවේ ? ම්ම්…? එහෙම හිතාගෙන නොකා නොබී හිටියා ?” 

” එහෙම නෙමෙයි. “

තව දුරටත් නිහඬව නොසිටි ඈ හිස බිමට බර කරමින්ම ඔහුගේ ප්‍රශ්නාවලියට පිළිතුරු දීමට පටන් ගත්තාය.

” කෙනෙක්ට තවත් කෙනෙක් වෙනුවෙන් තමන්ගේ ජීවිතේ පවා නැති කරගන්න හිතෙනවා කියන්නේ එයා ඒ අනිත් කෙනාට කොච්චර ආදරේ කරලා ඇත්ද ? මීෂා අක්කා ඔයාට සෑහෙන්න ආදරේ ඇති. මට මහා ගිල්ටි ෆීලින්ග් එකක් දැනෙනවා “

කෙඳිරිලි ස්වරයෙන් මතුවූ පිළිතුරු හමුවේ මුවඟින් සමච්චල් සිනහවක් පෑ ඔහු හිස නොඔසවාම හිඳිනා ඈ දෙස බලා ඇගේ බඳ වටා අත යවමින් තමා වෙතට ළං කර ගත්තේය. 

” පැනඩෝල් පෙති හයක් බිව්වා කියලා මනුස්සයෙක් මැරෙන්නෑ මැණික.. එහෙම මැරෙන්නම ඕනෙ නම් කරන්න ඕන තරම් දේවල් තියනවා මෙහෙම මවා පෑම් කරන්නැතුව. “

ඔහු තව දුරටත් ඇගේ උවන මතට බරව එකී සීතල කොපුලක් මත තම දෙතොල තැබුවේය. ප්‍රථම වතාවට පිරිමි දෙතොලේ උණුසුමින් නැඟුණු ප්‍රහර්ෂයෙන් ඈ ක්ෂණිකව හිරි වැටී ගියාය. 

” හැමෝටම ඕනේ තමන්ට ඕන දේ හොඳින් හරි නරකින් හරි ලබා ගන්න කියන එක ඇරෙන්න මේ දේවල් වල වෙන ඇත්තක් නෑ. මං කියන්නේ perfect මිනිහෙක් නෙමෙයි. ඒත්.. මට මම ම හදාගත්තු දේවල් ටිකක් තියනවා. ඒවයේ හැම ඩීටේල් එකක්ම අපේ මාමා දන්නවා. කිසි කෙනෙක් කැමති නෑනේ බබා තමන් ලඟ රත්තරං බිත්තර දාන කිකිළියෙක් ඉන්නවනං , ඌට යන්න ඉඩ දෙන්න. හැමෝම හදන්නේ ඌව කොහොමහරි කූඩු කරලා තමන් ලඟම තියාගන්න. එච්චරයි. ඔයාට මේවා තේරෙන එකක් නෑ. ඒත්.. එහෙමයි කියලා අනවශ්‍ය දේවල් ඔලුවට දාගෙන විහින් විඳවන්න එපා. “

සවන අද්දරම පතිත වන ඔහුගේ වදන් වල දිග පළල ගැලපූ ඈ තිගැස්මෙන් යළි එකී උවන වෙතට හැරුණාය. 

” මටත් ඕනේ ඒකනේ ඉතිං “

” මොකද්ද ?” 

” මට ඕන දේ කොහොමහරි මගේ කර ගන්න. “

” දැන් නං මටත් ඕනේ ඒක තමයි “

නැවත වතාවක් තිගැස්සුණු දෙනෙතින් ඔහු දෙස බැලූ ඈ ඔහුගේ දෑසේ වූ ශෘංගාරය දැක වහා ඉවත බලා ගත්තාය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here