පසළොස්වක මල් – 59

0
1226

විජේසිංහ නිවස පුරා සතුට උතුරා ගොසින්‍ ය. ව්‍යාපාර කටයුත්තකට චීනය බලා ගිය අස්නක නැවත නිවසට පැමිණියේය. එදිනම අෂ්මිල සූදානම් කළ කුඩා හමුවට පැමිණි ශනුලිත් , තේජ් සහ උමන්දාත් විජේසිංහ නිවසේ සතුට තව තවත් වැඩි කළහ.

ඈ වෙනුවෙන් රැගෙන ආ එකදු තිළිණයක් දෙස හෝ හැරී නොබලා අමනාපයෙන් සිටින මිහිදුමී තදින් තුරුළු කර ගනිමින් සිප වැළඳ ගැනීම් රාශියකින් හා දහස් වරක් සමාව ගැනීම් , ආදර බස් පැවසීම් අවසානයේ යන්තමින් මිත්‍ර කරගැනීමට හැකි වූ අස්නක ඈ වෙනුවෙන්ම මිලදී ගෙන තිබූ ශ්වේත පැහැ මුතු පබළුවක් ඇල්ලූ රන් මාලය අවසානයේ ඇගේ කරෙහි පැළැඳුවේය. 

” හරි.. අහපල්ලකෝ.. මට චාන්ස් එකක් ඕනේ. කෙනෙක් ඉන්නවා එයාට තෑන්ක්ස් කරන්න ඕනේ. “

මත්පැන් වීදුරුවද රැගෙන හිඳ සිටි අසුනෙන් නැඟී සිටි තේජ් සොඳුරු හමුව අතර මැද සියල්ලන්ම දෙස බලා එසේ පැවසුවේය.

” දුමී.. ! නංගි ..!” 

ඒ වනවිටත් අස්නක ආසන්නයේම හිඳ ඔහුගේ සුරත බඳ වටා වෙළා ගනිමින් ඔහුට සමීපව සිටි මිහිදුමී පුදුමයෙන් මෙන් අස්නක දෙස බලා යළි තේජ් දෙස බැලුවාය. 

” මට ඔයාට තෑන්ක්ස් කරන්න ඕනේ.. වෙන මොකකටවත් නෙමෙයි මෙච්චර කාලයක් ටනල් එකක් ඇතුළේ හිර වෙලා වගේ හිටපු අපේ ලොකු එකාව ඒකෙන් එළියට ගත්තට. ගෙවිච්ච මාස ගාණට මං අවුරුදු ගාණකින් මුගේ මූණේ දැකලා නැති හිනාවක් දැක්කා. “

” උඹට වැඩියිද ?” 

අත වූ දුම් වැටියෙන් උගුරක් උරා බිවු අස්නක සිට ගෙන සිටින මිතුරා දෙස බලා ඇසුවේය.

” ඇයි උඹට පේනවද මට වැඩියි වගේ. වැදගත් කතාවක් කරද්දි මැද්දෙන් පනින්න එපා. “

නැවත වතාවක් පිරිසගේම සිනා හඬ විසල් අයුරින් පැතිර ගියේය.

” ඔයාට කියන්න නංගි. අවුරුදු ගාණකට කලින් මූ අර පණුවො තමන්ගේ වටේට කෝෂයක් හදාගන්නවා වගේ මූත් තමන්ගේ වටේටම වෙන එකෙක්ටවත් එන්න බැරි වෙන්න ටනල් එකක් හදන් ඒකේ ඇතුළෙම රිංගන් හිටියේ. යාලුවො අශ්‍රය කරන එක නැවැත්තුවා. ගමන් බිමන් යන එක නැවැත්තුවා. යාලුවෝ එක්ක සෙට් වෙන එක නැවැත්තුවා. බොරු කියන්න ඕනේ නෑනේ මූ මාවත් හැළුවා. “

” ඒයි.. ඒයි.. මචං..!” 

” ආ.. ඇයි ? මං බොරුද කියන්නේ. ඒයි අෂ්මිල උඹ මොකෝ කියන්නේ ?” 

” ඔයා හරි. වෙන එකක් ඕන්නෑ එක ගෙදර එකට හිටපු තමන්ගෙම මල්ලි වෙච්ච මාවත් හැලුවා. “

අෂ්මිලද තේජ්ගේ සහයට පිළිතුරු බඳින විට අස්නක ඔහු දෙසද මුව ඇද කර බැලුවේය.

 ”  මං මෙහෙම ඉන්න හේතුව දන්නවද ?  මූ මාව හැලුවට මං මූව හැලුවේ නෑ. අර මොකාද එකෙක් වගේ මුගේ ඇඟේම එල්ලිලා හිටියා. අන්න ඒ නිසයි මං හරි ඉතුරු උනේ. ඉස්කෝලේ , කැම්පස් එකේ උන් සෙට් වෙන කිසි දේකට මූ ගියේ නෑ. කොටින්ම මූ අපේ ඉස්කෝලේ චැට් ගෲප් වලින් පවා අයින් උනා. මං මේ ඊයේ පෙරේදා ආයේ මූව ඒවට ජොයින් කළේ. කැම්පස් එකෙත් එහෙම තමා මං හිතන්නේ. ඇවිදින මළමිනියක් වගේ හිටපු එකා ආයේ මනුස්සයෙක් ආශ්‍රය කරල , කතාබහ කරලා ඉන්න , පණ තියෙන එකෙක් උනේ ඔයා නිසා. ඒ නිසා ඔයාට ඒකට තෑන්ක්ස් කරන්නම ඕනේ. “

එසේ පැවසූ ඔහු අත රැඳිව තිබූ මත්පැන් වීදුරුව ඉහළට එසවූවේය.

” “Let’s raise a glass to Dumi! “

” cheers…!” 

සියල්ලන්ම අතැති වීදුරු ඔසවා ඈ වෙනුවෙන් හඬ නඟද්දී අස්නක තව දුරටත් ඈ තමා වෙත තුරුළු කර ගත්තේය. 

**********************************************

උදෑසන සිටම වැසි අන්ධකාරයෙන් අඳුරු වූ පරිසරය දෙස කාර්යාල කුටියේ වූ වීදුරු කවුළුවෙන්  බලා සිටින අස්නක විජේසිංහ සෙමින් සෙමින් අත තිබූ කෝපි කෝප්පය තොල ගෑවේය. කෝපි කෝප්පයත් , ධාරානිපාත වර්ෂාවත් සමඟ මීට පෙර තම දිවියේ වූ රසාලිප්ත සිදුවීමක මතකයක් සිතට නැඟි ඔහුගේ මුව මත සිහින් සිනහවක් ඇඳී ගියේය.

එක දිගට ජංගම දුරකතනයට විශ්ව විද්‍යාල මිතුරන්ගේ සමූහය වෙත පැමිණෙන කෙටි පණිවිඩ වල හඬට කන් දුන් ඔහු කවුළුවෙන් මෑත් වී දුරකතනය අතට ගත්තේය. සතියකට පමණ පෙර දස වර්ෂ පූර්ණ සිහිකිරීමක් වෙනුවෙන් මිතුරු කැළ විසින් සූදානම් කර තිබූ අනුස්මරණ උත්සවයක ජායාරූප පෙළක් එක දිගට සමූහය වෙතට ලැබෙමින් තිබිණි. වෙව්ලන දෑඟිලි තුඩු මතින් අතීතයේ තම ජීවිතයේ වසර ගණනක් බිල්ලට ගත් දරුණුතම ඛේදවාචකයේ නශ්ඨාවශේෂ දෑස අද්දර මැවෙද්දී ඔහු දිගින් දිගටම එකී ජායාරූප එක දිගට උඩ පහල යැව්වේය. අහම්බයකින් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ රුවක් ජායාරූප මත සටහන් වද්දී ඔහු තව තවත් එකී ජායාරූප සියල්ල ළං කරමින් , ඈත් කරමින් ඒවා පිරික්සන්නට විය. 

” දුමී.. ! මෙයා මොකද මෙතන ? කාත් එක්කද මේ කතා කර කර ඉන්නේ ?” 

දෑස් අග කුතුහලය මෙන්ම ප්‍රශ්න රැසක් ඉතිරිව යද්දී ඔහු අහම්බයෙන් ජායාරූප ගතවී තිබූ මිහිදුමීගේත් , එතැන සිටි යුවළකගේත් ජායාරූපයක් හොඳින් නිරීක්ෂණය කරන්නට විය. පෙනෙන පරිදි ඉතා සිනා මුසු මුහුණින් කතා බස් කරමින් සිටි ඔවුන් තිදෙනා ළඟින් ඇසුරු කරන්නන් බව වැටහුණත් , තමාගේ විශ්ව විද්‍යාල මිතුරෙකු හා ඈට ඇති හිතවත්කම කුමක්ද යන්න ඔහුට තෝරා බේරා ගත නොහැකි වූවේය. දුරකතනය පසෙකින් තබා කාර්යාලයේ රාජකාරි කිහිපයකට සිත යොමු කළද අහේතුකව ඔහුගේ හදවත ගැහෙන්නට විය. අනුස්මරණය උත්සවය , මිතුරාගේ හිතවත්කම කිසිසෙත්ම මිහිදුමී හා සම්බන්ධ වීමට ඉඩකඩක් නොමැති හේතූන් වන අතර ඔහු ඇතුළාන්තයෙන් දිගටම කැළඹී සිටියේය. 

ඔහු නොමැති දිනවල සිදු වූ සියළුම දෑ ඇමතුම් හරහා ඔහු හට පැවසූ ඈ කිසිදු විටක මෙවැනි ගමනක් පිළිබඳ සැල කර තිබුණේ නැත. කැළඹී ගිය සිතින් දෙහෝරාවක් පමණ රාජකාරි කටයුතු කළද අවසානයේ සිතේ සැනසීම උදෙසා පමණක්ම යැයි සිතා සමූහයෙන්ම සොයා ගත් මිතුරාගේ අංකයට ඔහු ඇමතුමක් ලබා ගත්තේය.

” හෙලෝ.. සංජුල..!” 

” ඔව් කතා කරනවා.. “

” සංජුල මං අස්නක. අස්නක විජේසිංහ. “

” ආහ්.. මචං.. ! කියපන් . කියපන්..”

” උඹ කතා කරන්න පුලුවන් තැනකද ඉන්නේ ? ” 

” මං ඉන්නේ ඔෆිස් එකේ මචං. කියපන් , අවුලක් නෑ. “

” මචං , මං අර memorial ceremony එකේ ෆොටෝස් ටික දැක්කා. “

” අනේ ඔව් මචං. ඒකේ ෆොටෝග්‍රැෆර් අද තමයි ෆොටෝස් ටික එවලා තිබ්බේ. “

” ආ.. මචං මේකයි , මං ඒ ෆොටෝස් වල දැක්කා උඹයි , උඹේ වයිෆුයි පොඩි ගර්ල් කෙනෙක් එක්ක කතා කර කර ඉන්නවා. “

” ගර්ල් කෙනෙක් කිව්වේ මචං ?” 

” අපේ කැම්පස් එකටම යන ගර්ල් කෙනෙක්. මේකයි මචං. ඒ ගර්ල්ව අපේ ෆැමිලි එකේ මල්ලි කෙනෙක්ට ප්‍රපෝස් කරලා තියෙන්නේ. මං බැලුවා ඒකි කොහෙද එතන කියලා ?” 

ඔහු ඉතා අපහසුවෙන් වචන ගැළපුවේය.

” අහ්.. හරි. උඹ ඔය කියන්නේ සුදු , ලස්සන කෙල්ලෙක් නේද. ? “

” ආ.. ඔව්. ඔව්. “

” මචං , ඒ අපේ රංගි අඳුරන ගර්ල් කෙනෙක්. ඇත්තටම එයාව නෙමෙයි රංගි අඳුරන්නේ. එයාගෙත් වෙන යාලුවෙක්ව. මාත් එතනදි ඒ ගර්ල්ව අඳුර ගත්තේ. “

” ආ. එහෙමද ?  එතකොට එයා ඇයි දන්නෑ එතන ?” 

” මචං ඒ සිංදුමීගේ ෆැමිලි එකේ කෙනෙක් මචං.”

දඩාස් යන හඬින් අකුණක් පුපුරා ගියේය. කාර්යාල කාමරයේ වීදුරු කවුළුවද එකී පිපිරුම් හඬට දෙදරා ගියේය. 

” සි.. සිංදුමීගේ ? “

” ඔව් මචං. අර නැති උනු උන් පස්දෙනාගෙන් අන්තිමටම නැති උනේ. සිංදුමී ආලෝක්‍යා. “

” උ.. උඹට හොඳටම ශුවර්ද ?” 

” ඔව් මචං , ඔය සිංදුමී ගැන අහන්න ඇවිල්ලා තමයි ඒ ගර්ල් අපේ රංගි එක්ක යාලු වෙලා තිබ්බේ. “

” සිංදුමී ගැන රංගිගෙන් අහන්න ?” 

” මචං , උඹ දන්නවද දන්නෑ. ඒත්.. රංගියි මමයි අපේ එෆෙයාර් එක පටන් ගත්තේ කැම්පස් එකේදිමනේ. ඒ දවස්වල රංගිලෑ ගෙදරින් මාර බර බරේ. අපි දෙන්නාට සෑහෙන්න බයක් තිබ්බා රංගිව ගෙදරින් ඇවිල්ලා අරන් යයි කියලා. ඒ නිසාම අපි දෙන්නා ඒ කාලේ හොරෙන් ගිහින් බැන්ඳා. දන්නවනේ මචං ඉතිං. එච්චර දුර දිග හිතුවේ නෑ. හිතුණා බැන්ඳා. එදාම ඔය සිංදුමීලත් ඒ රෙජිස්ටර් ඔෆිස් එකට ඇවිත් හිටියා. එදා සිංදුමීත් කාවහරි බැන්ඳා මචං . හැබැයි ඒ කවුද කියලනං දැනන් හිටියෙ නෑ. අපි අපේ වැඩේ ඉවර වෙච්ච ගමන් එතනින් ආවා. ඒ ගැන අහන්න තමයි ඔය ගර්ල් , තවත් කෙනෙක් එක්ක අපේ රංගිව මීට් වෙන්න ඇවිත් තිබ්බේ “

මේසය මත තිබූ ‍එක් අතක් දරා ගත නොහැකි ආකාරයට මිට මෙළවමින් තිබූ අතර පිටත අකුණුද එක පිට එක තදින් පුපුරන්නට පටන් ගත්තේය. 

” ඊට පස්සේ රංගි එයාලට කියලා තිබ්බා එදා සිංදුමී බැඳපු සිද්ධිය. මං හිතන්නේ එයාලා ඊට පස්සේ සිංදුමීගේ මැරේජ් සෙටිෆිකේට් එක ගන්න තමයි ගිහින් තියෙන්නේ. සිංදුමී මැරි කළේ කාවද කියලා දැනගන්න. “

” එහෙම පිට කාටවත් ප්‍රයිවට් ඩොකියුමන්ට් එකක් ගන්න බෑනේ බං ?” 

ගැඹුරු හඬ බොහෝ දුරට වෙව්ලමින් තිබූ අතර ඔහු මවාගත් ධෛර්යෙන් තව දුරටත් ප්‍රශ්න කළේය. 

” බෑ මචං. එහෙම ගන්න බෑ. සිංදුමී නැති වෙලා නිසා එයාගේ ෆැමිලි එකේ කෙනෙක් බවට ඔප්පු කරන්න ඕනේ. එහෙම කළොත් තමයි ගන්න පුලුවන්. එතනට ගියොත් කවුද ඒ ඩීටේල්ස් ගත්තේ කියල දැනගන්න පුලුවන් මචං. “

” ඕකේ.. මචං තෑන්ක්ස්. “

” අස්නක..!  මුකුත් අවුලක්ද ?” 

” නෑ මචං නෑ. අවුලක් නෑ. මං ආයේ වෙලාවක උඹට කතා කරන්නං “

” ඕකේ මචං “

ඇමතුම විසන්ධි කළ ඔහු මොහොතක් මිට මොළවා ගත් දෑතින් හදවත තුළින් නැඟ එන කෝපයත් , කළකිරීමත් සහිතව වේගයෙන් හුස්ම ඉහල පහල යැව්වේය. ඉන්පසුව නැවතත් ඇමතුමක් ලබා ගත්තේය. 

” වාස්..! කොහෙද ඉන්නේ?” 

……………………….

” වැඩක් තියනවා කරන්න. “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here