“චන්ද්රා මොකද හිතන්නෙ අපෙ පුතා නලින්ද්ර ළම්යාව කසාද බඳින එක ගැන?” කියා අතුල ඇහුවේ රාත්රී කෑමෙන් පස්සේ චන්ද්රා විසින් හදා ගෙනවිත් දුන් කෝපි කෝප්පය බොන ගමන් ඉස්තෝප්පුවේ බංකුවේ වාඩි වී ඉස්සරහා මල් පිපී දස අතට සුවඳ පතුරවමින් උන් ඇට්ටේරියා මල් ගහ දිහා බලාගෙනය. ඉස්සර මේ වෙලාවට තමන් පමණක් මෙතන වාඩි වී කල්පනා කරමින් ඉද්දී චන්ද්රා උන්නේ කුස්සියට වී දහසක් වැඩ අස්සේ හිස ඔබාගෙන බව අතුලට මතකය. ඒ නිසා මේ ඇට්ටේරියා මල් සුවඳ කාලාන්තරයකට පස්සේ දැනෙන තමන්ට වගේම බොහෝ කාලයකට පස්සේ දැනෙන චන්ද්රාටත් නැවුම් බව අතුල නොදන්නවා නොවේ. නෙත්මලීත් නලින්ද්රත් අද කුස්සිය භාර අරගෙන උන්න නිසා අම්මාත් තාත්තාත් වෙච්ච තමන්ට කතා කරන්නට මග ඇරිච්ච බොහෝ දේ කතාකරන්නට ඉඩ හසර අද ලැබී තිබේ.
“ මොනවා හිතන්නද අතුල? දෙන්නාට එකට ජීවත් වෙන්න පුළුවන්ද, දෙන්නට දෙන්නා තේරුම් ගන්න පුළුවන්ද කියන එක තමයි අපිට ඉතින් හිතන්න වෙලා තියෙන්නෙ” කියා චන්ද්රා කීවේ අතුලගේ අතේ තිබුණු කෝප්පය දෙස මොහොතක් බලමිනි. අතුල උන්නේ ඒ වචනවලින් මදකට සැනසෙමිනි. චන්ද්රා තමන්ව සදහටම ජීවිතෙන් අයින් කර තිබුණා නම් ඇයට අපි කියන වචනය පාවිච්චි නොකර ඉන්න තිබුණා නොවේද කියා අතුල මොහොතකට සිතුවේය. අනෙක් අතට එක වචනෙකින් එතරම් දුර සිතන්නට ඕනදැයි කියා හිතේ එක පැත්තක් තිබුනේ ඒ ගැන විමසමිනි.
“නලින්ද්ර කියන්නෙ නරක මනුස්සයෙක් කියලා මට හිතෙන්නෙ නෑ. අනික, නෙත්මලී එක්ක එයා ඉන්න විදිහෙන් මට පේන්නෙත් එයා නෙත්මලීව සැහැල්ලුවට අරගෙන නෑ කියලා. ඒත් ඒකෙන්ම කියන්න බෑ දෙන්නා කසාද බැඳලා සතුටින් ඉඳියි කියලා. ආදරේ කරන කාලෙදි අපිට පේන්නෙ එකිනෙකාගෙ හොඳ පැත්ත විතරයිනෙ. එකට ජීවත් වෙන්න ගත්තම තමයි ඒ මනුස්සයාගෙ පුරුදු, දුර්වලකම්, අපිට දරාගන්න අමාරු දේවල් ඔක්කොම පේන්න ගන්නෙ”
අතුල කෝප්පය තොලට ළං කරමින් චන්ද්රාට සවන් දුන්නේය.
“නෙත්මලී තාම තරුණයි. එයාට ජීවිතේ ගැන තව ඉගෙන ගන්න දේවල් තියෙනවා. නලින්ද්ර ජීවිතේ සෑහෙන දුරක් ඇවිත් තියෙන මනුස්සයෙක්. ඒ දෙන්නා අතරෙ තියෙන වයස් පරතරය මට ප්රශ්නයක් කියලා නෙවෙයි මං කියන්නෙ. ඒත් ඒ දෙන්නා ජීවිතේ දිහා බලන විදිහ එක වගේද කියලා බලන්න ඕන. නෙත්මලී අද කැමති දේවල් අවුරුදු පහකින් වෙනස් වෙන්න පුළුවන්. නලින්ද්රටත් එහෙමයි. එහෙම වෙද්දි දෙන්නට දෙන්නා වෙනස් වෙන්න ඉඩ දීගෙන එකට ඉන්න පුළුවන්ද කියන එකයි වැදගත්. අපි හිතන්නෝන අන්න ඒව. දැන් දෙන්නව එකට දකිද්දි ඕන කෙනෙක්ට ඉතින් හරි ශෝක්නෙ, නලින්ද්ර තාත්තෙක් වගේ නෙත්මලීව බ්ලාගනීවි කියල හිතාවි. ඒ උනාට ගැනුන්ට ඔන තමුන්ව තාත්තෙක් වගේ බලාගන්න පිරිමියෙක්වම නෙවෙයි. අනික පිරිමි බලාපොරොත්තු වෙන්නෙ ගෑනියෙක්ගෙ ජීවිතේ තාත්තා කෙනෙක්ගෙ චරිතෙ රඟපාන්නත් නෙවෙයිනෙ”
“ඒ කියන්නෙ ඔයා මේ සම්බන්ධෙට කැමතියි?” කියා අතුල ඇෂූ ප්රශ්නයට චන්ද්රා සිනාසුණේය. ඒ සිනහවේ අකමැත්තක්වත්, හදිසියේම සියල්ල පිළිගත් බවක්වත් නොවුන බව හොඳින්ම දැන උන්නේ චන්ද්රාය.
“මං කැමතියි කියලා මේ දෙන්නා කසාද බැඳගත්තට පස්සෙ ජීවිතේ ලස්සන වෙන්නෙත් නෑ. මං අකමැතියි කියලා ඒ දෙන්නගෙ හිතේ තියෙන දේ නැති වෙන්නෙත් නෑ. මට පුළුවන් එයාලට මගේ අදහස කියන්න. මං දකින අවදානම් ගැන කියන්න. ඒත් අන්තිමට ජීවත් වෙන්නෙ ඒ දෙන්නා. තීරණය ගන්න ඕනත් ඒ දෙන්නා”
“ඒත් නලින්ද්ර කලින් කසාද බැඳපු මනුස්සයෙක්නෙ චන්ද්ර”
“ඉතින්?”
චන්ද්රා එය ඇසුවේ අතුල බලාපොරොත්තු වූවාට වඩා සන්සුන්වය.
“කලින් කසාදයක් තිබුණා කියන එකෙන් මනුස්සයෙක් නරක් වෙන්නෙ නෑ අතුල. කලින් කසාදෙ හරි ගියේ නැ කියන එකෙන් ඒ මනුස්සයාට ආයෙ හොඳ සම්බන්ධයක් හදාගන්න බැරි වෙන්නෙත් නෑ. හැබැයි ඒ කසාදෙ වැරදුණේ ඇයි, ඒකෙන් එයා මොනවද ඉගෙන ගත්තෙ, ඒ වැරදි ආයෙ නොවෙන්න එයා මොනවද වෙනස් කරගෙන තියෙන්නෙ කියන දේවල් තමයි වැදගත්. මට ඕන නලින්ද්රගෙ අතීතෙ ගැන අහලා ඒ දරුවා හොඳද නරකද කියලා තීරණේ කරන්න නෙවෙයි. ඒ අතීතෙත් එක්ක එයා අද ජීවිතේ දිහා බලන්නෙ කොහොමද කියලා තේරුං ගන්න”
අතුල උන්නේ නිහඬවම චන්ද්ර දිහා බ්ලාගෙන කල්පනා කරමිනි. මේ කතා කරන්නේ කලක් තමන්ගේ වචනයක් වචනයක් ගානේ වැරදි සෙවූ චන්ද්රාමදැයි නොසිතා ඉන්න අතුලට පුළුවන් උනේ නැත. එහෙත් ඇගේ කටහඬේ තිබුණේ වෙනදා මෙන් අනුන්ගේ තීරණ පාලනය කරන්නට උත්සාහ කරන බවක් නොවේ. ඇය දන්නා තරමින් ජීවිතය ගැන යමක් කියා දී, ඉතිරිය තීරණය කිරීම ඔවුන්ට භාර දෙන්නට ඇය සූදානම්ව සිටියාය.
“ඔයාට බයක් නැද්ද නෙත්මලීටත් ඔයාට වුණ දේ වෙයි කියලා?” අතුල අවසානයේ ඇසුව බව ඇත්තකි. ඒ වනාහී තමන්ගේ පැත්තට බලෙන් වරද පටවා ගැනීමක් උනත් අවසානයේ සියලුම වැරදි මුලු හදවතින්ම පිලිඅරගෙන උන් අතුලට ඒ ප්රශ්නය චන්ද්රාගෙන නොඅසා ඉන්නට හේතුවක් තිබුණේ නැත.
ඒ ප්රශ්නයට චන්ද්රාගේ මුහුණ වෙනස් උන බව ඇත්තකි. එහෙත් ච්න්ද්රා ඒ ප්රශ්නයට උත්තර දුන්නේ තරහෙන් නොවේ.
“බයයි. ඒත් මට වුණ දේ නෙත්මලීටත් වෙයි කියලා හිතාගෙන මං එයාගෙ ජීවිතේ තීරණය කරන්න ගියොත්, මං කරන්නෙ එයාට උදව් කරන එක නෙවෙයි. මට තිබුණු බය එයාගෙ ජීවිතේටත් දාන එකනෙ. අනික ඉතින් නෙත්මලී කියන්නෙ මංවත් නලින්ද්ර කියන්නෙ ඔයාවත් නෙවෙයිනෙ අතුල නේද?” කියා චන්ද්රා මොහොතකට නතර වී අතුල දෙස බැලුවාය.
“මං දන්නවා සම්බන්ධයක් ඇතුලෙ මනුස්සයෙක්ට කොච්චර තනි වෙන්න පුළුවන්ද කියලා. තමන් කියන දේ අහන්න කෙනෙක් නැති වුණාම, තමන්ගෙ මහන්සිය කාටවත් නොපෙනුණාම, තමන්ගෙ හිතේ තියෙන දේවල් කියන්න තැනක් නැති වුණාම මනුස්සයෙක් කොච්චර වෙනස් වෙන්න පුළුවන්ද කියලත් මං දන්නවා. ඒ නිසා මට නෙත්මලීට කියන්න ඕන එයා ආදරේ කරන මනුස්සයාව තෝරගන්න කලින්, ඒ මනුස්සයා එක්ක ඉද්දි එයාට තමන් වෙලා ඉන්න පුළුවන්ද කියලා බලන්න කියලා. ප්රශ්නයක් ආවම කතා කරන්න පුළුවන්ද, තමන්ගෙ අදහසක් කිව්වම ඒක අහන්න එයා සූදානම්ද, වැරැද්දක් වුණාම ඒක පිළිගන්න පුළුවන්ද කියලා බලන්න කියලා”
“ඒත් ආදරේ කරද්දි ඔය හැමදේම තේරෙන්නෙ නෑනෙ චන්ද්රා තරුණ ළමඉ ආදරේදි තීරණ ගන්නෙ මෝඩ විදියට”
“ආදරේදි මෝඩ විදියට තීරණ ගන්න වයස අදාල නෑ අතුල. අන්න ඒක තමයි මං කියන්නෙ ඉක්මන් වෙන්න එපා කියලා. ආදරේ කරන එක වැරැද්දක් නෙවෙයි. ඒත් ආදරේ කරන නිසාම තමන්ට තියෙන ප්රශ්න නොදැක්කා වගේ ඉන්න එක වැරදියි. නලින්ද්ර හොඳ මනුස්සයෙක් වෙන්න පුළුවන්. එයා නෙත්මලීට හොඳ හස්බ්න්ඩ් කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒත් ඒක තීරණය කරන්න ඕන අද අපි එයා ගැන හිතන විදිහෙන් විතරක් නෙවෙයි. කාලෙත් එක්ක එයා හැසිරෙන විදිහ බලලා”
“ඔයා දැන් ඉස්සරට වඩා වෙනස් වෙලා චන්ද්රා.”
ඒ වචනවල තිබුණේ පුදුමයකට වඩා පසුතැවීමක් බව චන්ද්රාට නොතේරුණා නොවේ
“මං වෙනස් වුණාද දන්නෙ නෑ අතුල. සමහර දේවල් ගැන ඉස්සර මං හිතපු විදිහ වැරදියි කියලා මට දැන් තේරෙනවා. අපි ආදරේ කරන මිනිස්සුන්ව අපිට ඕන විදිහට හදන්න බෑ. එයාලා වැරදි තීරණ ගන්න එක නවත්තන්නත් බෑ. අපිට කරන්න පුළුවන් එයාලට හරි වැරැද්ද තේරුම් ගන්න උදව් කරන එක විතරයි. ඒත් ඒක කරන්නත් එයාලා අපි කියන දේ අහන්න කැමති වෙන්න ඕන” කියා චන්ද්රා කියද්දි මේ වනාහී තමන්ගෙ හිත මෙතෙක් පෙලූ ප්රශ්නය චන්ද්රාගෙන් අහන්න හොඳම වෙලාව බව් නොහිතා ඉන්න අතුලට් පුළුවන් උනේ නැත.
“වැරදි කරපු මිනිස්සුන්ට සමාව ලැබෙන්නෝන කියලා ඔයා හිතනවද චන්ද්රා?”
“ඔව්”
“එහෙනම් ඔයාට පුළුවන්ද මං කරපු වරදට සමාව දෙන්න?”
“මං ඔයාට සමාව දීලා ගොඩක් කල් අතුල. ඔයා එක්ක මං අද මෙහෙම කතා කරන්නෙත් මං එහෙම සමාව දුන්න හන්දා”
“එහෙනම් අපිට බැරිද චන්ද්රා ආයෙ වතාවක් මේ දරුවො ගැන හිතලවත් පවුලක් විදිහට එක්කාසු වෙන්න?”


