පසළොස්වක මල් – 63

0
1237

” මා.. මාමේ..!” 

වහා රෝහල් කාමරයට පැමිණි භරණ කිසිවක් නොපවසාම මිහිදුමී තුරුළු කර ගත් අතර තදින් ඔහු වෙත තුරුළු වූ ඈ ඉකි ගසමින් හඬා වැළපුණාය. 

” දුමී..! මේ ලෝකේ කවුරු නැති උනත් ඔයාට අම්මායි , මායි ඉන්නවා කියන එක අමතක උනාද දරුවෝ ?. කොහෙන් කොහොම රිජෙක්ට් උනත් ඔයාට අපේ ගෙදර දොර ඇරලා තියන විත්තිය අමතක උනාද ? මුළු ලෝකේම අතෑරලා දැම්මත් ඒ හැම වෙලාවකම අම්මයි , මායි ඉන්නවා කියන එක අමතක උනාද ?” 

කෝපයත් , ශෝකයත් එකට කැටුවූ වචන රැසක් ඔහුටත් පාලනය කර ගත නොහැකි අයුරින් පිටතට එද්දී දෑස මතට නැඟි කඳුළු පටළයක් එකී පිරිමි දෙනෙත බොඳ කර දැමුවේය. 

නිහඬවම භරණ වෙතට තුරුළුව එක දිගට හඬා වැළපුණු තරුණිය හිස හරවා රෝහල් කාමරය තුළට ඇතුළු වුණු අස්නක , අෂ්මිල හා තේජ් දෙස කඳුළු පිරි දෑසින් බැලුවාය.

” මැරෙනවා.. එහෙනං ගිහින් මැරෙනවා.. මගේ ඇස් දෙකට පේන්නැති වෙන්න කොහෙටහරි ගිහින් මැරෙනවා. “

” මූසලී.. හැතිරි.. මට මගේ තාත්තා නැති උනේ මේකි නිසා. මූසලී.. !” 

” මැරෙනවා.. එහෙනං ගිහින් මැරෙනවා..”

” මූසලි.. මූසලී..!” 

එක දිගට එක පෙළට දෑස් අද්දර ඔහුගේ කතාවත් , අතීතයේ අඳුරු සෙවනැළි මතින් ඉහළට පැමිණි සිංදුමීගේ මතකයත් අතර සිර වූ ඈ තව දුරටත් බිය හා ශෝකය පිරී ගිය පීඩනය තුළ සිරවෙමින් භරණව තවත් තදින් වැළඳ ගත්තාය. 

” දුමී..! මේ අහන්න..!” 

තමා දෙසට බැල්මක් හෝ නොහෙළා භරණට තුරුළුවී උන් තරුණිය වෙතට පැමිණ ඈ ඇමතීමට අස්නක කීපවරක්ම උත්සාහ කළේය. 

” දුමී.. ! අනේ.. අහන්නකෝ..!” 

නමුදු හිස හරවා හෝ නොබැළූ ඈ තව තවත් භරණ වෙත තුරුළු වූවාය. 

” මාමේ..! මට කාත් එක්කවත් කතා කරන්න ඕනේ නෑ. “

භරණගේ ළැම මත මුහුණ තද කර ගත් ඈ හඬමින්ම එසේ පැවසුවාය. 

” දුමී..! මං කියන දේ චුට්ටක් අහන්න. “

” තව අහන්න දෙයක් නෑ අස්නක. එයාට කතා කරන්න ඕනේ නෑ කිව්වනේ. “

දිගින් දිගටම ආයාචනාත්මක ස්වරයෙන් ඈ ඇමතීමට උත්සාහ කළ අස්නක භරණගේ විධානයත් සමඟ  විසල් වේදනාබරිත හැඟීමකින් එක දිගට ඈ දෙස බලා සිටියේය.

” දුමී..! අනේ.. ප්ලීස්..!” 

” අනේ.. මාමේ.. මට තනියම ඉන්න දෙන්න..” 

තව දුරටත් හැඬීම වැඩි වූ ඈ විසල් හඬින් කෑගැසුවාය.

” අෂ්මිල..! කරුණාකරලා අයියව අරන් මෙතනින් යන්න. “

කෝපාවිෂ්ට භරණගේ ස්වරය හමුවේ අස්නක වෙත පැමිණි තේජ් හිමින් සීරුවේ ඔහුගේ උරමතට අතක් තැබුවේය. 

” මචං..! දුමී ඉන්නේ ශොක් එකේනේ.. අපි පස්සේ එමු. “

” අනේ.. මැණික..! එක පාරක් කියන දේ අහන්නකෝ.!” 

දෑසින් රූරා වැටෙන කඳුළු හමුවේ අස්නක යළි යළිත් අයදිමින් සිටියද ඔහු වෙතට හිස නොහැරවූ මිහිදුමී එක දිගට භරණගේ ළැම මත මුහුණ තද කරමින් හඬා වැටුණාය. 

********************************************

මාස තුනකට පසු……

එක දිගට මසක් ගත වනතුරු මිහිදුමී රුවන්පුර මහවලතැන්න නිවසට කොටු වී සිටියාය. කිසිදු හේතුවක් මත ඉන් පිටතට නොආ ඈ කිසිවෙකුගේවත් දුරකතන ඇමතුමකට හෝ පිළිතුරු නොබැන්ඳාය. මසක් ගත වන තැන තුවාල වී තිබූ දකුණු පාදයද සම්පූර්ණයෙන්ම සුව වී තිබූ අතර පෙර සිටි මිහිදුමී දම්සේයා මහවලතැන්න බොහෝ දුරට තමාට මෙන්ම අනෙක් අයටද ඈ විසින්ම  අහිමි කරවමින් සිටියාය. 

දිනෙන් දින පහව ගිය නෝක්කාඩු හා ගැටළු සියල්ල සුභාවි හා එක්ව විසඳාගත් භරණ කොළඹට ආසන්නව නව නිවසක් මිලදී ගත්තේය. විජේසිංහ නිවසින් මිහිදුමීගේ බඩු බාහිරාදිය යළි රැගෙන පැමිණි ඔහු ඒ සියල්ල එකී නිවසේ ඈ වෙනුවෙන් ස්ථාපනය කළේය. සම්පූර්ණ මසකට පසු යළි විශ්ව විද්‍යාල ගමන ආරම්භ කළ මිහිදුමී නැවත වතාවක් කොළොම් පුරයට පා තැබුවද පෙර සිටි තොරතෝංචියක් නොමැතිව කියවන ගිරවියව අතහැර දමා සිටියාය. ඕනෑම මොහොතක මුවට නැඟෙන සිනහව අතහැර දමා සිටියාය. නොදැනීම මුවින් පිටවන මිහිරි ගායනයන් අතහැර දමා සිටියාය. 

ඒ වෙනුවට සෑම මොහොතකම නිහඬ බව පමණක් පැතූ ඈ බොහෝ වේලාවන් තනිවම ගෙවා දමන්නට පුරුදු වූවාය. තමා වටාම නිහඬ කෝෂයක් නිර්මාණය කර ගත් ඈ ඒ තුළට ගුලි වෙමින් පිටස්තර ලෝකයෙන් වහන් වන්නට උත්සාහ දරමින් සිටියාය. විශාඛා මෙන්ම සුභාවිද නොයෙක් වර ඇගේ මෙම අලුත් චර්යාව පිළිබඳව මැසිවිලි නැඟුවද වෛද්‍ය ක්‍රම මඟින් විසඳා ගත නොහැකි බොහෝ ගැටලු කාලය මඟින් විසඳා ගත හැකි බව තදින් විශ්වාස කළ භරණ ඔවුන් දෙදෙනාටද එය හොඳින් පැහැදිලි කරමින් සිටියේය. 

ගතව ගිය තෙමස තුළ බොහෝ වතාවන්වල අස්නක ඈ හමුවීමට කොතරම් උත්සාහ කළද ඔහු පිළි නොගත් තරුණිය දිගින් දිගටම පළමු ප්‍රතික්ෂේප කිරීම මතම රැඳී සිටියාය. විශ්ව විද්‍යාලය අසලත් , භරණගේ කොළඹ නිවස අසලත් හෝරා ගණන් කල් මැරූ අස්නක අතින් සියළු ව්‍යාපාර කටයුතු ගිලිහී යමින් පැවතුණේය. දිවා කාලයේ ඇගේ එක බැල්මක් හෝ අයදමින් සිටි තරුණයා රාත්‍රීන් සියල්ල සමාජ ශාලාවලට , තැබෑරුම් වලට දිය කර හරිමින් සිටියේය.

” මට කතා කරන්න ඕනේ. එක වචනයක් කතා කරන්න දෙන්න.. “

” එයා මට කිව්වේ ගිහින් මැරෙන්න කියලා. තව දුරටත් මං එයා වෙනුවෙන් ජීවත් වෙන කෙනෙක් නෙමෙයි “

” මං වැරදියි . හරි මං ඒක පිළිගන්නවා. ඇයි උඹලා කාටවත් මං ඒ වෙලේ පත් වෙච්ච තත්වේ තේරුම් ගන්න බැරි. අක්කයි , නංගියි දෙන්නම ළඟට ගත්ත මං තිරිසනෙක් වගේ මටම පෙනුණා බං “

” මට කාත් එක්කවත් කතා කරන්න බෑ. අනේ.. මට පාඩුවේ ඉන්න දෙන්න. කොහොමත් මේ මට පිනට ලැබිච්ච ජීවිතේනේ. අඩුම මාමටයි , අම්මටයිවත් මං නිසා තවත් කරදර වලට මූණ නොදී ඒ මිනිස්සු බලාපොරොත්තු වෙන විදිහට ජීවත් වෙන්න ඕනේ.. “

එතැනින් මෙතනට , මෙතැනින් එතනට පණිවිඩ රැගෙන ගිය අෂ්මිල , තේජ් , උමන්දා මෙන්ම සුභාවිද බොහෝ සෙයින් විඩාවට පත් වී සිටියහ. කිහිප වතාවක්ම සුභාවි විසින් භරණ හමුවේ අස්නක හා මිහිදුමී පිළිබඳව කතා කරන ලෙසට ඉල්ලීම් කිහිපයක්ම සිදු කළද ඔහු ඒ සියල්ලම ප්‍රතික්ෂේප කළේය. මිහිදුමි අකමැති යමකට කාලය හෝ වචන වැය නොකළ යුතු බැව් පැවසූ ඔහු විජේසිංහ නිවැසියන් සමඟ සියලු සම්බන්ධතා අත හැර දැමුවේය. සියල්ල එසේ සිදු වනවිට මහීකා හා විශාඛා පමණක් සියල්ල යහපත් ලෙස සිදු වේවැයි ප්‍රාර්ථනා කරමින් දෙවියන් බුදුන් ඉදිරියේ වැඳ වැටෙමින් සිටියහ. 

**********************************************

මෙරටට සමුදී විදේශයකට පිටත්ව යන වෛද්‍ය මිතුරෙකුගේ සමුගැනීමේ සාදයකට සහබාගී වූ භරණ මහවලතැන්න මධ්‍යම රාත්‍රියත් පසුව සාදය පැවති හෝටල් පරිශ්‍රයෙන් පිටවීමේ අංගනය වෙත ඇවිද ආවේය. රථ ගාලට ඇතුළුවන දොරටුව අභියසදී ඉතා අපහසුවෙන් වත්තන් කරමින් පැමිණි තරුණයෙකු තම මෝටර් රථයේ ද්වාරය විවර කරමින් මහත් පරිශ්‍රමයක් දරා එයට නංවා ගනු ලබන අෂ්මිලව දුටු ඔහු ඉක්මන් අඩි තබා ඔහු වෙතට ඇවිද ආවේය.

” අෂ්මිල…!” 

” ආ.. භරණ.. ! හුඟ කාලෙකින්. “

විඩාබර හා කනස්සලු ස්වරයකින් එසේ පැවසූ අෂ්මිල දෙසට භරණගේ ප්‍රශ්නාර්ථ බැල්මක් යොමු වූයේය.

” මොකක් හරි ප්‍රශ්නයක්ද ?” 

” ලොකූට පොඩ්ඩක් වැඩි වෙලා. ” 

” අස්නක ?” 

කිසිසේත්ම ඈතදී අෂ්මිල මෝටර් රථයට නංවා ගත්තේ අස්නක යැයි සැක නොකළ භරණගේ උවන පුරා එවර විමතියක් පැතිර ගියේය. ඉන් මතු වචනයක් හෝ පිට නොකළ ඔහු පහත් වී මෝටර් රථයේ පසුපස අවසිහියෙන් වැතිර සිටිනා තරුණයා දෙසට දෑස විතැන් කොට වහා හිස ඔසවා යළිත් අෂ්මිල දෙස බැලුවේය. 

” මොන මඟුලක් වෙලාද මේ ?” 

තෙමසකට පෙර දුටු අස්නක විජේසිංහගේ කඩවසම් හා ප්‍රතාපවත් ප්‍රතිරූපය සහමුලින්ම දියව ගොස් ඒ වනවිට පරඬැලක ස්වභාවයෙන් මෝටර් රථයේ පසුපස අසුනට බරව අවසිහියෙන් පසුවන තරුණයා දෙස බලා යළි අෂ්මිල දෙසට හැරුණු භරණ කෝපය මිශ්‍ර පුදුම සහගත ස්වරයකින් විමසා සිටියේය. 

” විහින් මැරෙන්න යනවා. එයා නිසා අපිත් දවස ගාණේ මැරි මැරී උපදිනවා. “

දෙනෙතට ඉනූ කඳුළු බිඳුවක් වහා පිස දමමින් එසේ පැවසූ අෂ්මිල දෙස මොහොතක් නිහඬව බලා සිටි භරණ යළිත් මෝටර් රථයේ උන් තරුණයා දෙස බැලුවේය. 

සෑමවිටම තම ශරීර සෞඛ්‍ය පිළිබඳව ඉතා හොඳින් කටයුතු සිදු කරමින් ,ව්‍යායාම් හී නිතර වෙමින් ඉතා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් හා මනාව නඩත්තු කළ දේහයක් පවත්වාගෙන යමින් සිටි තරුණයා තෙමසකට පෙර තම සිරුර තිබූ ආකාරයට වඩා තුන් ගුණයකින් පමණ වැහිරී ගොස් තිබුණේය. මාස කිහිපයකින් නොකපා සිටි රැවුල මුහුණ පුරා වැවී පිරී ගොස් තිබූ අතර කිසිදු නඩත්තුවක් සිදු නොකළ ඔහුගේ හිස කෙස්ද සෑම අතටම අපිළිවෙළ වී තිබුණේය. කිසිදු ගැලපීමක් , පිළිවෙළක් නොතිබුණු ඩෙනිම් කලිසමකට අත් කොට කොටු සහිත කමිසයක් හැඳ සිටි ඔහු එහි බොත්තම් පවා පැළඳ සිටියේ වැරදි ආකාරයටය. උන්මත්තකයෙකු ලෙස මෝටර් රථයේ පසුපස අසුනේ දිගාවී සියුම් කෙඳිරියක් සහිතව අඩ නින්දේ පසුවන තරුණයා දෙස බලා සිටි භරණට ඔහුටත් නොදැනීම විසල් හුස්මක් වැටුණේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here