වසන්තය තව දුරද – 73

0
234

චන්ද්‍රා අතුල දෙස මොහොතක් බලා සිටියාය. ඒ මුහුණේ තිබුණේ තරහක් නොවේ. සමහරවිට කලක් තිස්සේ තමන්ගෙන්ම ඇසූ ප්‍රශ්නයකට පිළිතුර සොයාගත් ගැහැනියකගේ නිහඬ බවක් එහි තිබෙන්නට ඇති බව චන්ද්‍රා දෙසම එක එල්ලෙ බලා උන් අතුලට නොතේරුණා නොවේ.

“මං ඔයාට සමාව දුන්නා කියන එකෙන් අදහස් වෙන්නෙ මට ආයෙත් ඔයා ළඟට එන්න ඕන කියන එකවත් ඔයාට ආයෙ මේ ගෙදරට, අපේ ජීවිතේට එන්න පුළුවන් කියන එකවත් නෙවෙයිනෙ අතුල” කියා චන්ද්‍රා කියද්දී අතුලගේ මුහුණ මඳක් වෙනස් වුණේ ඒ වනාහී තමන් ච්න්ද්‍රාගෙන් බලාපොරොත්තු වූ පිළිතුර එය නොවන බවට හිත දැන උන් නිසාවෙනි.

“මිනිස්සු හිතන්නෙ සමාව දෙනවා කියන්නෙ වෙච්ච හැමදේම අමතක කරන එක කියලා. සමාව දුන්නා නම් ආයෙත් පරණ විදිහටම කතා කරන්න ඕන, ආයෙත් ළං වෙන්න ඕන, ඒ මනුස්සයට හිතේ කලින් තිබුණ තැනම දෙන්න ඕන කියලා. ඒත් එහෙම නෑ අතුල. එහෙම කරන්න කියන තරං හිතන තරං ලේසිත් නෑ. සමහර දේවල්වලට අපිට සමාව දෙන්න පුළුවන්. ඒත් ඒ දේවල් නිසා අපිට නැති වෙච්ච විස්වාසෙ ආයෙත් ඒ විදිහටම ලැබෙන්නෙ නෑ. සමහර තුවාල සනීප වුණත් ඒවා ඇති වෙච්ච තැන්, ඒවා හන්ද ඇතිවෙච්ච වේදනාව අපිට අමතක වෙන්නෙත් නෑ

මං ඔයා එනකම් බලන් හිටපු කාලයක් තිබුණා. ඔයා ගෙදර එනකම්, මං කියන දෙයක් අහගෙන ඉන්නකම්, මටත් මහන්සියි කියලා තේරුං ගන්නකම් මං කොච්චර බලාගෙන ඉන්න ඇද්ද? ඒත් ඒ දේවල් බලාපොරොත්තු වෙලාම මට මගේ ජීවිතේ කොච්චර කාලයක් තනියෙන් ගෙවන්න උනාද. අන්තිමට මට තේරුණා, මං ඒ බලාපොරොත්තු අතෑරියෙ නැත්නම් මට මගේ ජීවිතේ ඉතුරු කාලෙත් ගෙවන්න වෙන්නෙ ඔයා මොනවා කරයිද කියලා බලාගෙන කියලා. පිරිමි හිතන තරං ගෙවල්වල ඉන්න ගෑනුන්ට ජීවිතේ ලේසි නැ අතුල. 

 ඒ වගේම ගෑනියෙක් එක්ක ජීවත් වෙනවා කියන්නෙ එයාට කන්න බොන්න දීලා, ගෙදරට ඕන කරන දේවල් ගෙනත් දීලා, වගකීම් ටික ඉස්ට කරන එක විතරක් නෙවෙයි. ගෑනියෙක්ට සමහර වෙලාවට ඕන තමන්ගෙ මිනිහා තමන් ළඟ පොඩි ළමයෙක් වෙනවා දකින්න. දවසම මහන්සි වෙලා ගෙදරට ආවම අද මට හරි මහන්සියි කියලා ඔළුව තියාගන්න උරහිසක් වෙන්න. මට අද හරි පාළුයි කියලා කියන්න පුළුවන් මනුස්සයෙක් වෙන්න. ඒ වගේ වෙලාවක ගෑනියෙක්ට තමන්ගෙ මිනිහා ඉස්සරහ හයිය ගෑනියෙක් වෙලා ඉන්න ඕන නෑ. එයාටත් පුළුවන් පොඩ්ඩක් දුර්වල වෙන්න. පොඩ්ඩක් හුරතල් වෙන්න. තමන්ට ආදරේ කරන මනුස්සයා ළඟ තමන්ව බලාගන්න කෙනෙක් ඉන්නවා කියන හැඟීම විඳින්න.

ඒ වගේම පිරිමියෙක්ටත් ඒ නිදහස තියෙන්න ඕන අතුල. තමන්ගෙ ගෑනි ළඟ පොඩි ළමයෙක් වගේ හැසිරුණා කියලා පිරිමිකම නැති වෙන්නෙ නෑ. අද මට හරි දුකයි, මට ඔයාව ඕන, පොඩ්ඩක් මාව තුරුල් කරගන්නකො කියලා තමන්ගෙ ගෑනිට කියන්න බැරි එක අවුලක් නෙවෙයිද? හැම වෙලාවෙම හයියට ඉන්න ඕන කියලා හිතාගෙන තමන්ගෙ හැඟීම් ඔක්කොම හංගගෙන ඉන්න මිනිස්සු අන්තිමට තනි වෙන්නෙ තමන්ගෙම හිත්වලින්. ආදරේ කරන ගෑනිට තමන්ගෙ දුක කියන්න බැරි නම්, එයා ළඟ අඬන්න බැරි නම්, තමන්ටත් සමහර දේවල් දරාගන්න අමාරුයි කියලා පිළිගන්න බැරි නම්, ඒ මනුස්සයා ආදරේ කරන්නෙ කාටද?

“ඒත් හැම පිරිමියෙක්ම තමන්ගෙ හැඟීම් එළියට පෙන්නන්න දන්නෙ නෑනෙ චන්ද්‍රා”

“ඒක ඇත්ත. හැමෝටම එක විදිහට ආදරේ පෙන්නන්න බෑ. සමහර මිනිස්සු ආදරෙයි කියලා වචනෙන් කියන්න දන්නෙ නැති වෙන්න පුළුවන්. ඒත් එහෙමයි කියලා තමන්ගෙ ගෑනිට හැමදාම අනුමාන කර කර ජීවත් වෙන්න දෙන්න බෑනෙ. මං අද දුකෙන් ඉන්නෙ ඇයි කියලා, මට මොනවද ඕන කියලා, මං මොනවද බලාපොරොත්තු වෙන්නෙ කියලා එයා හැමදාම තමන්ම හොයාගන්න ඕනද? අපිට අනිත් මනුස්සයාගෙ හිත කියවන්න බෑ. ඒ නිසා තමයි කතා කරන්න ඕන. තමන්ගෙ හිතේ තියෙන දේ කියන්න ඕන. අනිත් කෙනා කියන දේ අහන්නත් ඕන

අපේ සමාජෙ සමහර පිරිමි හිතාගෙන ඉන්නෙ තමන් ආදරෙයි කියලා කිව්වොත්, ගෑනි ළඟ හුරතල් වුණොත්, ගෑනිට තමන්ව ඕන කියලා පෙන්නුවොත් තමන්ගෙ වටිනාකම අඩු වෙනවා කියලා. ලෝකෙට පරකාසෙ ගෙදරට මරගතෙ. ඒත් තමන්ගෙ ගෑනි ළඟදි මං ඔයාට ආදරෙයි කියන වචන තුන කියාගන්න බෑ. හැබැයි ඒ ගෑනි දවසක ඒ හැමදේම බලාපොරොත්තු වෙන එක නතර කරලා, තමන්ගෙ හිත හදාගෙන ඈත් වුණාට පස්සෙ තමයි මං එයාට කොච්චර ආදරේ කළාද, මං එයා වෙනුවෙන් කොච්චර දේවල් කළාද කියලා ගොඩක් පිරිමින්ට මතක් වෙන්නෙ

මං ඔයාගෙන් බලාපොරොත්තු වුණෙත් ඒක අතුල. මට හැමදේම කරලා දෙන මනුස්සයෙක්ට වඩා, මං කරන දේවල් දැකලා ඒවායේ වටිනාකම තේරුම් ගන්න මනුස්සයෙක්. මං මහන්සි වෙලා ඉන්නකොට ඔයාට මහන්සි ඇති නේද කියලා අහන මනුස්සයෙක්. මගෙ හිතේ දුකක් තියෙනකොට ඒක මගේ වැරැද්දක්ද කියලා හොයන්න කලින් මං කියන දේ අහගෙන ඉන්න මනුස්සයෙක්. මටත් හැමදාම හයියට ඉන්න බැරි බව තේරුම් ගන්න මනුස්සයෙක්. වයසට යද්දි මං කියන්නෙත් ඔයා ආදරේ කරපු මනුස්සයා කියන එක ඔයාට අමතක උනේ කොහොමද කියන එකයි මට හිතාගන්න බැරි. ගෙදරක ගෑනියෙක් හැමදේම බලාගන්න පුරුදු වුණාම අනිත් අයට හිතෙන්නෙ එයාට ඒ හැමදේම කරන්න පුළුවන් කියලා. එයා කවදාවත් මහන්සි වෙන්නෙ නෑ, එයාට කවදාවත් දුක හිතෙන්නෙ නෑ, එයාට කවදාවත් තනිකමක් දැනෙන්නෙ නෑ වගේ. හැබැයි එහෙම නෙවෙයි අතුල. සමහර ගෑනු තමන්ට දරාගන්න බැරි දේවලුත් දරාගෙන ඉන්නෙ ඒවා දරාගන්න වෙන කෙනෙක් නැති නිසා. එයාලා හයියට ඉන්නෙ එයාලට හැම වෙලාවෙම එහෙම ඉන්න ඕන නිසා නෙවෙයි. එයාලා දුර්වල වුණොත් මුළු ගෙදරම කඩා වැටෙයි කියලා හිතන නිසා.

ඒ නිසා ගෑනියෙක්ගෙ ආදරේ මනින්න එයා ගෙදරට වෙලා කොච්චර දේවල් කරනවද කියලා විතරක් බලන්න එපා. සමහරවිට එයා ඔයා වෙනුවෙන් අතෑරලා දාපු හීන ගොඩක් තියෙන්න පුළුවන්. එයා කවදාවත් නොකියපු දුක් ගොඩක් තියෙන්න පුළුවන්. ඒ හැමදේම ඔයාට කියන්න බැරි වුණා කියලා ඒවා තිබුණෙ නෑ කියලා හිතන්නත් එපා. මොකද සමහර ගෑනු තමන්ගෙ දුක කියන්න බැරි නිසාම නෙවෙයි, තමන්ගෙ දුක කිව්වට ඒක තේරුම් ගන්න කෙනෙක් නෑ කියලා හිතෙන නිසා නිශ්ශබ්ද වෙනවා. මං හිතන්නෙ ආදරේකදි අපිට කරන්න තියෙන ලොකුම දේ අනිත් මනුස්සයව අපිට ඕන විදිහට වෙනස් කරන එක නෙවෙයි. එයාට අපි ළඟ එයා වෙලා ඉන්න පුළුවන් තැනක් හදලා දෙන එක. එයාට හයිය වෙන්න ඕන වෙලාවට හයියක් වෙන එක. දුර්වල වෙන්න ඕන වෙලාවට ඒ දුර්වලකමට ලැජ්ජා වෙන්න නොදෙන එක. ආදරේ කියලා කියන්නත්, ආදරේ පෙන්නන්නත්, වැරදුණාම සමාව ඉල්ලන්නත් පුළුවන් තැනක් හදන එක”

“ඔයා කියන්නෙ මේ හැමදේම උනෙ මගෙ වරදක් හන්දා කියලද චන්ද්‍රා? මං ඔයාට ආදරේ පෙන්නුව එකේ වරදක් තිබ්බ හන්දා කියලද?”

“අනේ නෑ මං මේ ඔයාට වරදක් කියනවා නෙව්. මං මේ ඔයා ගිහිනුත් සෑහෙන කාලයක් තිස්සෙ මට කියාගන්න බැරුව හිත අස්සෙ හිරකරගෙන උන්න දේවල් එලියට දාන එක කරන්නෙ. මට මේව ඔයාට කියන්න ඕන කමක් තිබ්බ. මට සන්තෝසයි ඒව මෙච්චර සරලව, සැහැල්ලුවෙන්, කේන්ති ගන්නෙ නැතුව මට කියන්න පුළුවන් වෙච්ච එක ගැන. ඔයා ඔය ඇහුව ප්‍රශ්නෙට මට කියන්න තියෙන්නෙ අතුල, පුදුමෙ කියන්නෙ අතුල තමන්ගෙ ගෑනි ළඟ හුරතල් වෙන්න බැරි, ගෑනිට ආදරෙයි කියලා කටක් ඇරලා කියන්න බැරි, ගෑනිව තුරුල් කරගෙන විනාඩි පහක් ඉන්න බැරි සමහර පිරිමින්ට පිට ගෑනියෙක් ළඟදි ඔය හැමදේම කරන්න පුළුවන් වෙන එක. එතකොට අර පිරිමිකමට මොකුත් වෙන්නෙ නෑ. තමන්ගෙ ගෑනිට කියාගන්න බැරි ලස්සන කතන්දර ඔක්කොම ටික වෙන ගෑනියෙක්ට කියන්න පුළුවන්. ගෙදර ගෑනිට දෙන්න නැති වෙලාව මිනිහට වෙන ගෑනුන්ට දෙන්න තියෙනවා. ගෙදර ගෑනි එක්ක කතා කරද්දි මූණ එල්ලගෙන ඉන්න මිනිහෙක්ට පිට ගෑනියෙක්ගෙ එක මැසේජ් එකකට හිනාවෙලා උත්තර දෙන්න පුළුවන්. 

මං ඔයාට සමාව දීලා හුඟක් කල් අතුල. මං ඒ සමාව දුන්නෙත් ඔයා ගැන හිතේ තරහක් තියාගෙන, වෙච්ච දේවල් ගැන හිත හිතා තවත් දුක් වෙවී ඉන්න මට ඕන නැති හන්දා. මට ඕන වුණේ ඒ හැමදේකින්ම මගේ හිත නිදහස් කරගෙන ජීවිතේ ඉස්සරහට යන්න. හැමදාම වෙච්ච දේවල් ගැන හිත හිතා හිටියොත් මට මගේ ජීවිතේ ඉතුරු ටිකත් ගෙවාගන්න වෙන්නෙ ඒ දේවල් ගැනම හිත හිතා තමයි. ඒත් දැන් මං ඒ හැමදේකින්ම සෑහෙන දුරක් ඇවිත් ඉවරයි අතුල. ආයෙත් ඒ දේවල්වලට යන්න, ආයෙත් ඒ කාලෙ හිටපු චන්ද්‍රා වෙන්න මට ඕන නෑ. ඒකට මට ආපස්සට සෑහෙන දුරක් යන්න වෙනවා. ඇත්තටම මට එහෙම කරන්න උවමනාවක් නෑ.

මට දැන් ඕන මගේ ජීවිතේ මං මෙච්චර කල් මගහැරගත්ත දේවල් ටිකවත් විඳින්න. මං ආස දේවල් කරන්න. මට සතුටු හිතෙන දේවල් වෙනුවෙන් කාලෙ වෙන් කරන්න. හැම වෙලාවෙම ගෙදර අය ගැන, දරුවො ගැන හිතලා මගේ දේවල් අමතක කරපු මට දැන්වත් මං ගැන හිතන්න ඕන අතුල. මටත් පුළුවන් විදිහට සන්තෝසෙන් ජීවත් වෙන්න ඕන.

ඒ හන්දා ඔයාට මං එක්ක ආයෙත් එකතු වෙන්න ඕන වුණා කියලා මට ඒකට කැමති වෙන්න බෑ. ඔයාට තාත්තා කෙනෙක් විදිහට දරුවො ළඟ ඉන්න පුළුවන්. එයාලා වෙනුවෙන් කරන්න ඕන දේවල් කරන්න පුළුවන්. මං ඒකට කවදාවත් බාධා කරන්නෙ නෑ. ඒත් ඒකෙන් අදහස් වෙන්නෙ අපි දෙන්නා ආයෙත්ගැනියි මිනිහයි විදිහට ජීවත් වෙන්න ඕන කියන එක නෙවෙයි.

මං ඔයාට වෛර කරන්නෙ නෑ අතුල. ඔයා ගැන තරහක් හිතේ තියාගෙන ඉන්නෙත් නෑ. ඒත් මට දැන් මගේ පාඩුවෙ ජීවත් වෙන්න පුළුවන්. මං ඒ ජීවිතේට පුරුදු වෙලා. මට ඒ සැනසීම ආයෙත් නැති කරගන්න ඕන නෑ.

ඔයාට මාව ආයෙත් ඕන ඇති. අපි ඉස්සර හිටපු විදිහට ආයෙත් ඉන්න පුළුවන් නම් හොඳයි කියලා හිතෙනවත් ඇති. ඒත් ඔයාට දැන් මාව ඕන වුණා කියලා මට ආයෙත් ඔයා ළඟට එන්න ඕන වෙන්නෙ නෑනෙ අතුල. මටත් මගේ හිත ගැන හිතන්න වෙනවා. මං මෙච්චර කාලයක් මාව අමතක කරලා අනිත් අය ගැන හිතුවා ඇති.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here