රිහාන් කණ්ඩායමේ සියලු දෙනාත් සමඟ ස්ටූඩියෝව වෙත පැමිණියේ වෙනදාට වඩා වෙනස් වූ සැහැල්ලු හැඟීමක් සිත තුළ දරාගෙනය. උදෑසන සිට සිදු වූ දේවල් පිළිබඳව සිතන සෑම මොහොතකම ඔහුට දැනුණේ තමන්ට කළ හැකිව තිබූ යහපත්ම දෙයක් ඒ ආකාරයෙන්ම ඉටු කර ගැනීමට හැකි වීමේ සැනසීමය. ශෙනෝලිගේ දෙමාපියන් වෙනුවෙන් යමක් කිරීම සඳහා කණ්ඩායම් සාමාජිකයන්ව ද සහභාගී කර ගැනීමට අවස්ථාව සලසා දීමට ලැබීම ඔහුට දැනුණු එක් සතුටක් වූ අතර ඒ සතුටටත් වඩා ඔහුගේ සිතට දැනුණේ ශෙනෝලි හට ඇය තනි වී නැති බව දැනෙන්නට සැලැස්වීමට හැකි වීමය.
ඇගේ හදවත තුළ පවතින්නාවූ ශෝකය සහ වේදනාව සම්පූර්ණයෙන්ම නැති කිරීමට ඔවුන්ට නොහැකි වුවද, එය තනිවම දරා ගැනීමට ඇයට සිදු නොවන බව පෙන්වා දීමට හෝ ඔවුන්ට හැකි වී තිබිණි. ඒ වෙනුවෙන් තමා පෙරමුණ ගැනීම පිළිබඳව රිහාන් හට දැනෙමින් තිබුනේ අව්‍යාජ සතුටකි.
අවන්හලෙන් පිටතට පැමිණ වාහනයට නැඟුණු මොහොතේ ශෙනෝලිගේ මුහුණේ ඇඳී තිබූ සිනහවත් සමඟ ඇය තමා වෙත ලබා දුන් පිළිතුරද රිහාන් හට නැවත සිහි විය.
” ඒ සතුට මට වචනවලින් කියාගන්න තේරෙන්නේ නෑ රිහාන්. හැමෝම එකතු කරගෙන ආවට ඔයාට පින්. ඔයාලා නැත්නම් මට මේ වැඩේ මෙහෙම කරන්න හම්බවෙන්නේ නැහැ. මගේ අම්මයි තාත්තයි කොහේ හරි ඉඳන් මගේ දිහා බලාගෙන ඉන්නවා නම් ඇත්තටම සතුටු වෙයි මගේ වටේ ඔයාලා ඉන්න එක ගැන “
ඇගේ වචනවල තිබූ සැනසිලිදායක බව ඔහුට ඒ වන විටත් දැනෙමින් තිබුණු අතර තමන් විසින් සිදු කළේ ඇයට අත්‍යවශ්‍යම මොහොතක සහයෝගය ලබා දීම පමණක් වුවද, එය ඇයට බලාපොරොත්තු වූවාටත් වඩා වටිනා දෙයක් ව කොතරම් වටිනා දෙයක් වී තිබිණි.
පුහුණුවීම් සඳහා සූදානම් වන අතරතුර රිහාන්ගේ බැල්ම නිරායාසයෙන්ම යොමු වූයේ ස්ටූඩියෝවේ එක් පසෙක අසුන් ගෙන සිටි ශෙනෝලි වෙතය. ඇය තම ලැප්ටොප් පරිගණකය දිග හැරගෙන වෙනදා මෙන්ම තමන්ගේ වැඩ කටයුතු ආරම්භ කිරීමට සූදානම් වෙමින් උන්නාය.උදෑසනදී සියලු දෙනා ඉදිරියේ කඳුළු සඟවා ගැනීමට උත්සාහ කළ ඇගේ මුහුණේ සම්පූර්ණයෙන්ම සැහැල්ලුව මුසු සිනහවක් ඒ වන විට දක්නට තිබුණු අතර ලැප්ටොප් තිරය දෙස අවධානය යොමු කරමින් ඇය යමක් සටහන් කරගන්නා ආකාරයෙන්ම ඇගේ සිතේ නැවතත් උද්යෝගය ඇති වී තිබෙන බව සියලු දෙනා හටම මනාව පැහැදිලි විය. ඇගේ දෑස්වල තිබූ ප්‍රබෝධයත්, වැඩකටයුතු ආරම්භ කිරීමට තිබූ උනන්දුවත් දුටු රිහාන්ගේ මුවඟටද සිනහවක් නැගුනේ නිරායාසයෙනි.
රිහාන් පුහුණුවීම් ආරම්භ කිරීමට පෙර ඒ සඳහා අවධානය යොමු කළේ ඒ සිතුවිල්ලත් සමඟය. එහෙත් පුහුණුවීම් ආරම්භ කිරීමට පෙර ඔහුගේ ජංගම දුරකථනය නාද වූ අතර තිරය මත දිස් වූ ඉශිනිගේ නම දුටු රිහාන් මොහොතක් එදෙස බලා උන්නේය. දුරකථනය අතට ගත් ඔහු ඇමතුමට පිළිතුරු දෙමින් ස්ටූඩියෝවෙන් පිටතට පැමිණියේ ඇතුළත සිටි අයට බාධාවක් නොවන පරිදිය.
“ඔයා මට කෝල් කරනවා කිව්වට කෝල් කරේ නැහැනේ, රිහාන්? මං ඔයාට මැසේජස් වගයකුත් දැම්මා. ඒවටවත් රිප්ලයි එකක් නැහැ “
ඉශිනිගේ හඬෙහි වූ නොසතුට රිහාන් හට දැනුණේ ඒ වචන කිහිපය ඇසෙද්දීම වූ අතර ඇය උදෑසන සිට තමන්ගේ ඇමතුමක් බලාපොරොත්තුවෙන් සිටින්නට ඇති බව ඔහුට වැටහිණි.
“සොරි ඉශිනි. අපි දැන් තමයි ස්ටූඩියෝ එකට ආවේ. මං ඇත්තටම ෆෝන් එක චෙක් කරේ නැහැ. ටිකක් බිසී වෙලා හිටියේ “
“ඔයා උදේ මං කෝල් කරපු වෙලාවේ ලෑස්ති වෙවීනේ හිටියේ රිහාන් ? මෙච්චර වෙලා මොකද කරේ?”
රිහාන් මොහොතක් නිහඬ වූයේය. උදෑසන සිදු වූ සියල්ල ඇයට පවසනවාද නැද්ද යනුවෙන් ඔහු කල්පනා කළේය. එහෙත් කිසිවක් ඇගෙන් සඟවා තැබීමට හේතුවක් ඔහුට නොපෙනුනේ තමන් වරදක් නොකළ බැවිනි. ඒ නිසාම කිසිවක් සඟවාගෙන කතා කිරීමටද රිහාන් හට අවශ්‍ය වූයේ නැත.
“අද ශෙනෝලිගේ පේරන්ට්ස්ලගේ ඩෙත් ඇනිවසරි එක “
දුරකථන ඇමතුමේ අනෙක් පසෙන් කිසිදු පිළිතුරක් නොලැබුණු රිහාන් ද මොහොතක් බලා උන්නේ ඉශිනිගේ නිහඬතාව තේරුම් ගැනීමට උත්සාහ කරමිනි. ඇය ඒ පුවත ඇසීමෙන් කම්පනයට පත් වූවාද, නැතහොත් තමන් මෙතරම් වේලාවක් ඇමතුමක් නොදුන්නේ ඒ හේතුව නිසා බව දැනගැනීමෙන් කෝපයට පත් වූවාද යන්න ඔහුට සිතාගත හැකි වූයේ නැත. එහෙත් ඇය කිසිවක් නොකියා සිටි නිසාම ඔහු නැවත හඬ අවදි කළේය.
“අපි අද පාරේ ඉන්න මිනිස්සුන්ට කෑම වගයක් බෙදුවා. තාත්තගේ කම්පනි එකෙනුත් අද ඩොනේෂන් එකක් කරනවා “
“එතකොට කාගෙද දැන් ඔය අයිඩියා එක?”
ඉශිනිගේ ප්‍රශ්නයත් සමඟම ඇගේ හඬෙහි තිබූ වෙනස රිහාන්ට පැහැදිලි වූ අතර මොහොතකට පෙර ඇය තුළ තිබූ නොසතුට ඒ වන විට කෝපයක් බවට පත්වෙමින් තිබිණි.
“කෑම ඔක්කොම ලෑස්ති කර ගත්තේ ශෙනෝලි. ඊට පස්සේ අපේ කට්ටියත් රෙස්ටුරන්ට් එකකින් කෑම වගයක් අරගෙන ආවා. ඉතින් අපි කට්ටියම එකතු වෙලා ඒවා බෙදුවා “
“කට්ටිය කෑම අරගෙන එනකන් ඔයා කොහෙද හිටියේ?”
“මම තමයි ගිහින් ශෙනෝලිව එක්කගෙන ආවේ. අනිත් අයටත් එන්න කිව්වේ මම තමයි ඉශිනි “
රිහාන් එය පැවසුවේ කිසිදු පැකිළීමකින් තොරවය. සිදු වූ දේ පිළිබඳව පසුතැවීමක් නොතිබූ බැවින් ඔහුට එය සඟවා කතා කිරීමට අවශ්‍ය වූයේ නැත. ශෙනෝලි වෙනුවෙන් යමක් කිරීමට ඔහු තීරණය කළේ ඇයට සහයෝගය අත්‍යවශ්‍යම වූ මොහොතකය. ඒ වෙනුවෙන් තමා කිසිදු වරදකාරී හැඟීමක් ඇති කරගත යුතු නැත.
“ආ ,එතකොට මේ ප්ලෑන් ඔක්කොම ඔයාගේ?”
“අයියෝ ඉශිනි, ඔයා මේ මොනවද අහන්නේ? මේක ශෙනෝලි තනියම කරන්න ගිය දෙයක්. අපි කට්ටිය එකතු වෙලා එයාට උදව් කරා විතරයි. එච්චර කෑම ගොඩක් එයා තනියම අරගෙන ගිහින් බෙදන්න හිටියා නම් එයා තාමත් කෑම බෙදනවා “
රිහාන්ගේ හඬෙහි පෙරට වඩා මඳ නොසන්සුන්තාවක් ඇති වී තිබුනද ඉශිනි සමඟ කෝපයෙන් කතා කිරීමට ඔහුට අවශ්‍ය වූයේ නැත.
“ඔයාට ශෙනෝලි ගැන මාර අනුකම්පාවක් නේද තියෙන්නේ?”
ඉශිනිගේ ප්‍රශ්නයත් සමඟ රිහාන් මොහොතක් නිහඬ වූයේය. ඇය සමඟ වාදයකට පැටලීමට ඔහු තුළ කිසිදු කැමැත්තක් තිබුණේ නැත.උදෑසන සිට තමන් අත්විඳි සතුටත්, තමන් ඇතුළු කණ්ඩායමේ සියලු දෙනා නිසා ශෙනෝලිගේ මුහුණේ නැවත ඇඳුණු සිනහවත් සිහිපත් කරමින් ඔහු තමන්ගේ හැඟීම් සන්සුන් කර ගැනීමට උත්සාහ කළේය.
රිහාන් හට අවශ්‍ය වූයේ තමන්ගේ සම්බන්ධතාව තුළ එකිනෙකාව තේරුම් ගනිමින් ඉදිරියට යාමටය.කුඩා දෙයක් පවා ගැටුමකට හේතුවක් කරගැනීම වෙනුවට, දෙදෙනාටම තමන්ගේ අදහස් නිදහසේ පැවසීමටත් අනෙක් පාර්ශවයේ තත්ත්වය තේරුම් ගැනීමටත් හැකි විය යුතු බව ඔහු විශ්වාස කළේය. මිතුරියකට උදව් කිරීම කිසිසේත්ම වරදක් නොවන බැවින් ඒ වෙනුවෙන් ඉශිනි සමඟ ගැටුමක් ඇති කර ගනිමින් උදෑසන සිට තමන්ට දැනුණු සුන්දර හැඟීම නැති කරගැනීමට රිහාන් හට අවශ්‍ය වූයේ නැත.
“අපි මේ දේ ගැන කලින් කතා කරලා තියෙනවා, ඉශිනි”
“කතා කරලා තිබුණට දැන් වෙන්නේ එහෙම දේවල් නෙවෙයිනේ, රිහාන්. ඔයාට මම කියලා කෙනෙක් ඉන්නවා කියලත් මේ පැය ගාණට අමතක වුණේ ශෙනෝලි හින්දා. එතකොට මම ඒක ගැන වොරි වෙන්න ඕනේ නැද්ද?”
රිහාන් දෑස් පියාගෙන දිගු හුස්මක් ගත්තේය. ඉශිනිගේ වචනවලින් ඇයට දැනුණු නොසලකා හැරීමේ හැඟීම ඔහුට යම් තරමකට තේරුම් ගත හැකි වුවත් තමන් ඇයව අමතක කර දැමූ බවක් ඔහුට දැනුනේ නැත. උදෑසන සිට සිදු වූ දේවල් අතරතුර දුරකථනය පරීක්ෂා කිරීමට නොහැකි වූ බව ඇයට පැහැදිලි කර දීමට ඔහුට අවශ්‍ය වුවත් ශෙනෝලිට සහයෝගය ලබා දීම තමන් නොකළ යුතු දෙයක් ලෙස ඉශිනි දැකීම ද රිහාන් තුළ යම් කනස්සල්ලක් ඇති කර තිබිණි.
“ඉශිනි ඔයාට එහෙම දැනෙනවා නම් ඒ ගැන අපිට කතා කරන්න පුළුවන්. ඒත් මං ශෙනෝලිට උදව් කළේ ඔයාව අමතක කරලා නෙවෙයි. මට මගේ යාළුවෙක් වෙනුවෙන් දෙයක් කරන්න අවස්ථාවක් ලැබුණා. මං ඒක කළා විතරයි “
රිහාන් එසේ පැවසුවේ හැකි තරම් සන්සුන් හඬකිනි. ඉශිනිගෙන් පිළිතුරක් ලැබෙනතුරු රිහාන් තවත් කිසිවක් නොකියා බලා උන්නේය. ඔහුට අවශ්‍ය වූයේ ඇය සමඟ සිදුවෙමින් පවතින සංවාදය ජය ගැනීමට නොව දෙදෙනා අතර ඇති වී තිබෙන නොසන්සුන්තාවය තේ හෝ සංසුන් කර ගැනීමටය.
” මේක අපි දෙන්නා ආගිව් කරගන්න තරම් දෙයක්ද ඉශිනි ? “



