5th Avenue -62

0
138

“උඹට පිස්සුද රිහාන්? මම එකපාරක් ශෙනෝගෙයි මගේයි ෆොටෝ එකක් සෝෂල් මීඩියා දැම්මා තමයි. උඹට ඒ සීන් එක මතකයිනේ. But I didn’t do this. මෙහෙම දෙයක් ගොසිප් සයිට් එකකට දුන්නම ඒකෙන් මගේ career එකටත් බලපෑමක් වෙනවා කියලා මං නොදන්නවා නෙවෙයිනේ.”

අශේන්ගේ පිළිතුර හමුවේ රිහාන් මොහොතකට නිහඬ වූ අතර මේ සිදුවීම සමග අශේන් හට සම්බන්ධයක් නොමැති නම් ඒ පිටුපස සිටින්නේ කවුරුන්දැයි ඔහු තවදුරටත් කල්පනා කළේය. එහෙත් ශෙනෝලිගේ පෞද්ගලික ජීවිතය ගැන මෙලෙස කට කතා පැතිරවීමෙන් ප්‍රයෝජනයක් ලැබෙන්නේ කා හට දැයි කියා ඔහුට සිතාගත හැකි වූයේ නැත.අශේන් සමඟ ඇති වූ කතාබහෙන් තම සැකය දුරු කරගැනීමට හැකි වෙතැයි සිතුවද, රිහාන් ඉදිරියේ ඉතිරිව තිබුණේ තවත් ප්‍රශ්න කිහිපයක් පමණි.

” ඕක ගොසිප් සයිට් එකක්නෙ මචන්. ආටිස්ලගේ ඕපදූප ඇරෙන්න ඒ පේජ් එකේ වෙන මොනවද තියෙන්නේ? දැන් ඉන්න පේජ් ඇඩ්මින්ලා රීච් එක වැඩි කරගන්න ඕනෙ නම් අම්මා තාත්තව වුණත් විකුණයි. මේකත් එහෙම සීන් එකක් වෙන්න ඇති. අනික, අපිට ඔය වගේ දේවල් කරන්න තරහකාරයෝ ඉන්නවා කියලයැ “

අශේන්ගේ කතාවේ බැහැර කළ නොහැකි ඇත්තක් තිබිණි. ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ජීවිතවල සිදුවන සුළු සිදුවීමක් පවා විශාල කර පෙන්වමින් තමන්ගේ ජනප්‍රියත්වය වැඩි කරගැනීමට උත්සාහ කරන පිරිසක් සිටින බව රිහාන් ද දැන හුන් අතර බොහෝ විට මෙයත් එවැනි සිදුවීමක් විය හැකි යැයි ඔහු අනතුරුව සිතුවේය. 

” හරි මචන්. එහෙනම් මං යන්නම්. හෙට හම්බවෙමු “

අශේන්ගෙන් සමුගත් රිහාන් වාහනයට නැඟී එන්ජිම පණගැන්වූයේය. ගොසිප් පුවත ගැන තවදුරටත් සිතීම පලක් නොවන බව ඔහුට වැටහුණද, එය පළ කළේ කවුරුන්ද යන ප්‍රශ්නය සිතින් ඉවත් කරගැනීමට ඔහුට හැකි වූයේ නැත.

ශෙනෝලි නිවසට පැමිණෙන විටත් ඇගේ සිතෙහි වූ බර අඩු වී තිබුණේ නැත. දෙමව්පියන් අහිමි වූ මතකයන් හදවතේ වඩාත් තදින් රිදුම් දෙන දිනයක, තවත් අනපේක්ෂිත සිදුවීමකටත් මුහුණ දීමට සිදුවීම ඇගේ සිතෙහි වූ ලෝකය දෙගුණ තෙගුණ කර තිබුණේය.දවස පුරාම අන් අය ඉදිරියේ නිහඬව දරාගෙන සිටි වේදනාව, හුදෙකලාව සිටින මොහොතේ ඇගේ සිත තුළින් නැවත හිස ඔසවමින් තිබිණි.

ශීතකරණය විවෘත කර සීතල වතුර බෝතලයක් ගත් ශෙනෝලි සාලයට පැමිණ සෝෆාව මත වාඩි වූවාය. මොහොතකට හෝ සිත සන්සුන් කරගැනීමට උත්සාහ කළද, අතට ගත් දුරකථනයේ තිරය මත නැවතත් ඇගේ නෙත් නතර වූ අතර ඇගේ අවධානය නැවත යොමු වූයේ අසත්‍ය පුවත පළ කළ සමාජ මාධ්‍ය පිටුව කෙරෙහිය. එය නොබලා සිටීමට කොතෙක් උත්සාහ කළත්, තමන් පිළිබඳව මිනිසුන් විසින් ලියා තිබෙන දේවල් මොනවාදැයි දැනගැනීමට තිබූ නොවැළැක්විය හැකි වුවමනාව ඇයව නැවතත් ඒ කරා රැගෙන ගියේය.

” අපි හිතුවේ මෙයා වෙනස් කෙනෙක් කියලා. බැලුවම මෙයත් අනිත් අය වගේමනේ “

“දෙන්නා අතරේ මොකක් හරි තියෙනවා වගේ. නැත්නම් මෙහෙම ෆොටෝ ගන්නේ නෑනේ”

” බෑන්ඩ් එකේ ඉන්න එකම කෙල්ල නිසා ප්‍රසිද්ධ වෙන්න හිතාගෙන අශේන්ගේ කරේ එල්ලෙන්න ඇති “

එක් කමෙන්ටුවක් කියවා අවසන් වන විටම ශෙනෝලි ගේ නෙත් ඊළඟ කමෙන්ටුව වෙත යොමු වූයේ නිරායාසයෙනි. ඒවා ලියා තිබූ අය අතරින් කිසිවකු හෝ තමන්ව පෞද්ගලිකව දන්නා හඳුනන අය නොවේ. එහෙත් තමන් පිළිබඳව කිසිවක් නොදන්නා මිනිසුන්ට, එක් ඡායාරූපයක් පමණක් දැක තමන්ගේ ජීවිතය ගැන තීරණ ගැනීමටත්, තමන්ගේ චරිතය විනිශ්චය කිරීමටත් තිබෙනා අයිතිය කුමක්දැයි  ඇය කල්පනා කළේ ශෝකයෙනි. 

ශෙනෝලිගේ ඇඟිලි දුරකථන තිරය මත නතර විය. තමන්ට රිදවන වචන කියවමින් තවදුරටත් සිත පීඩාවට පත් කරගැනීමෙන් පලක් නොමැති බව ඇය දැන උන්නය. එහෙත් ඒ සියල්ල නොසලකා හැරීමද ඇයට එතරම් පහසු වූයේ නැත.

දෙමව්පියන් අහිමි වූ පසුව තම ජීවිතය ගොඩනඟා ගැනීමට කොතරම් වෙහෙසක් දැරුවාදැයි දන්නේ තමා පමණි. තමන්ගේ දුක අන් අයට පෙන්වමින් අනුකම්පාව ලබාගැනීමට වත් උත්සාහ නොකර කඩා වැටුණු සෑම අවස්ථාවකම තමා යළි නැඟී සිටියේ වෙනත් කෙනකු පැමිණ තමන්ව ඔසවා තබන තුරු වත් බලා නොසිටය.  එසේ තිබියදී තමන් නොකළ දෙයකට මෙලෙස විනිශ්චයට ලක්වීමට සිදුවීම ශෙනෝලි ගේ සිතේ ඇති කළේ කෝපයටත් වඩා වැඩි කලකිරීමකි. 

වාහනය පදවන අතරතුර රිහාන් කිහිප වතාවක්ම ඉෂිනිට දුරකථන ඇමතුම් ලබා ගත් නමුත් ඇය ඒ කිසිවකට පිළිතුරු දුන්නේ නැත. වෙලාව රාත්‍රී හතට ආසන්නව තිබූ බැවින්, ඇය තවමත් කාර්යාලයේ කාර්යබහුලව සිටිනවා විය හැකි යැයි අනතුරුව ඔහු සිතුවේය. පසුගිය දින කිහිපයේම ඇය එසේ කාර්යබහුලව සිටි නිසා ඒ ගැන වැඩිදුර සිතන්නට රිහාන්ට උවමනාවක් වූයේ නැත.

නමුත් රිහාන්ගේ ඇමතුම දුරකථන තිරය මත දිස්වන විට ඉෂිනි සැබවින්ම උන්නේ කාර්යාලගේ නොවේ.

ඇය ඩියෝන් සමඟ අවන්හලක කෙළවරේ මේසයක වාඩි වී උන්නාය. මේසය මත තිබූ දුරකථනය නාද වෙද්දී ඇය දුරකථන තිරය වෙත දෙනෙත් යොමු කර රිහාන්ගේ නම දුටු සැණෙන් දුරකථනය පසෙකට කළාය.

” ඔයා මේ විදිහට එයාව අවොයිඩ් කරන එක ගැන එයා සැක හිතන්න පුළුවන් ඉෂිනි”

ඩියෝන් පැවසුවේ කල්පනාකාරීවය.

“එයා දන්නවා මම මේ ටිකේ ටිකක් බිසී කියලා “

එසේ පවසමින් ඉශිනි ඉදිරියේ තිබූ මත්පැන් වීදුරුව අතට ගත්තාය. ඒ සමගම ඇගේ සිත දිව ගියේ වසර කීපයක් ඈතටය.

රිහාන්ගේ අවධානය දිනාගැනීමට තමා කොතරම් කාලයක් උත්සාහ කළාද? ඔහුගේ ප්‍රසංගවලට සහභාගි වූ අවස්ථාවල සිට ඔහු සමඟ කතාබහ කිරීමට ලැබෙන සුළු අවස්ථාවක් පවා අගය කළ කාලය දක්වා, ඔහුට සමීප වීමේ වුවමනාව තම ජීවිතයේ විශාල ඉඩක් අත්පත් කරගෙන තිබිණි. එහෙත් දැන් ඔහු තමාට සමීප වෙමින් සිටින මොහොතේ, මෙතෙක් කල් තමන් තුළ තිබූ හැඟීම් පිළිබඳවම තමා තුළම සැකයක් ඇතිවී තිබීම දෛවයේ සරදමක් මෙන් ඉශිනි හට දැනෙමින් තිබිණි.

තමා සැබවින්ම රිහාන්ට ආදරය කළාද? නැතිනම් මෙතරම් කාලයක් තමන්ට අහිමිව තිබූ ඔහුගේ අවධානය දිනාගෙන, ඔහුව තමන්ගේ කරගැනීමේ වුවමනාවට ආදරය යැයි නමක් දී තිබුණාදැයි ඇය නැවත නැවත කල්පනා කලාය.

රිහාන් සමඟ සම්බන්ධයක් ගැන සිතන සෑම විටම තමන් හට සිදුවූයේ තමන්ගේ හැසිරීම ගැන පවා සැලකිලිමත් වීමටය. ඔහුගේ ප්‍රතිරූපය, වෘත්තීය ජීවිතය, අන් අය ඉදිරියේ ඔහු පිළිබඳව ඇතිවන අදහස්, මේ සියල්ල අතරේ තමන්ට අවශ්‍ය දේවල් ගැන සිතීමට තමන්ට ඉඩක් ඉතිරි වී තිබුණේද?

” ඔයාට කවදාවත් එහෙම හිතිලා නැද්ද, ඩියෝන්?”

“මොකක්ද?”

“මම මෙච්චර කාලයක් රිහාන්ගේ පස්සෙන් ගිහින් මගේ නිදහස නැති කරගෙනද කියලා “

ඩියෝන් වීදුරුව අතට ගෙන මත්පැන් උගුරක් තොල ගෑවේය. ඉෂිනිගේ ප්‍රශ්නය පිළිබඳව ඔහු තුළ පුදුමයක් නොවූ අතර ඇය තුළ මෙවැනි දෙගිඩියාවක් ඇතිවී තිබෙන බව ඔහු අවබෝධ කරගෙන උන්නේය.

” මට නම් හිතෙන්නේ ඔයා ඒක තේරුම් ගත්තේ ටිකක් පරක්කු වෙලා කියලා. ඉස්සර ඔයා කැමති විදිහට ජීවත් වුණා. යාළුවෝ එක්ක එලියට ගියා, enjoy කලා. ඒත් රිහාන් ආවට පස්සේ ඔයා හැම දෙයක්ම ගැන දෙපාරක් හිතන්න පුරුදු වුණා “

ඉෂිනිගේ මුහුණේ ඇඳී තිබූ සිනහව වේගයෙන් මැකී ගියේය

” දැන් බලන්න. ඔයාට දෙයක් කරන්න හිතෙනකොට මුලින්ම හිතන්නේ ඒක රිහාන්ට කොහොම බලපායිද කියලා. ඔයාට ඕන දේට වඩා එයාට හොඳ දේ මොකක්ද කියන එක ගැනයි ඔයා හිතන්නේ. එහෙම ජීවත් වෙලා ඔයාට ඇත්තටම සතුටින් ඉන්න පුළුවන්ද? “

ඉෂිනි පිළිතුරක් දීමට පෙර මොහොතක් නිහඬව බලා උන්නාය. රිහාන් සමඟ ගත කළ ඇතැම් අවස්ථාවල තමන්ගේම කැමැත්ත පසෙකලා ඔහුට පහසු වන තීරණ ගැනීමට උත්සාහ කළ ආකාරය ඇයට සිහිපත් වූ අතර තමා ඒ සියල්ල කළේ ඔහුට ආදරය කළ නිසාද, නැතිනම් ඔහුගේ ජීවිතය තුළ තමන්ට හිමි තැන අහිමි වේ යැයි බියෙන්ද යන්න ඇයට පැහැදිලි වූයේ නැත.

” මටත් සමහර වෙලාවට එහෙම හිතෙනවා, ඩියෝන්. අනේ මන්දා. මට රිහාන් එක්ක ඉන්නකොටත් සමහර වෙලාවට මම කම්ෆටබල් නැහැ වගේ දැනෙනවා. මම කරන දෙයක් එයාගේ ඩිග්නිටි එකට බලපායිද, එයා ඒ ගැන මොනවා හිතයිද කියලා හැම වෙලාවෙම හිතන්න වෙනවා “

ඇය අත තිබූ වීදුරුව මේසය මත තැබුවාය. මේ පිළිබඳව තවදුරටත් කතා කිරීමෙන් තමන්ගේ සිත සැහැල්ලු කරගත හැකි වෙතැයි සිතුණාද එය එසේ වී තිබුණේ නැත.

“මට ඕනේ හැම වෙලාවෙම මම කරන දේවල් ගැන කාටවත් උත්තර දෙන්න නැතුව ඉන්න. මට හිතෙන විදිහට ජීවත් වෙන්න “

ඩියෝන් ඇය දෙස බලා උන්නේය . පාසල් කාලයේ සිටම ඉෂිනිව දැන සිටි ඔහුට, ඇය තුළ ඇතිවී තිබූ වෙනස්කම් හඳුනාගැනීමට අපහසු වූයේ නැත. එහෙත් ඔහුගේ අවධානය යොමු වී තිබුණේ ඇය වෙනස් වී ඇති ආකාරය පිළිබඳව පමණක් නොවූ අතර තමන් සමඟ කතා කරන විට ඇය ක්‍රමයෙන් තමා කෙරෙහි විවෘත වන අයුරුත්, තමන් පවසන දේවල් පිළිබඳව බැරෑරුම්ව සිතන්නට පටන්ගෙන ඇති අයුරුත් ඔහු හොඳින් නිරීක්ෂණය කරමින් උන්නේය.

ඉෂිනිගේ සිත තුළ ඇතිවී තිබූ මේ දෙගිඩියාව ඩියෝන් හට එළඹ අනපේක්ෂිත අවස්ථාවක් වූ අතර රිහාන් පිළිබඳව ඇගේ සිතෙහි ඇති විශ්වාසය බිඳ දැමීමත්, ඇයට තමන්ගේම තීරණ කෙරෙහි සැකයක් ඇති කරවීමත් මගින් ඇයව පොළඹවාගත හැකි බව ඔහු දැන උන්නේය.

” ඉෂිනි, ඔයාට තාමත් වෙලාව තියෙනවා. මේ වැරැද්ද හදාගන්න ඔයා තාමත් පරක්කු නැහැ”

ඔහුගේ හඬෙහි වූ බැරෑරුම් බව නිසා ඉෂිනි හිස ඔසවා බැලුවාය.

” මොන වැරැද්දද? “

ඇය එසේ ඇසුවද ඩියෝන් ඇගේ ප්‍රශ්නයට පිළිතුරු දීම සඳහා ඉක්මන් වූයේ නැත. ඇය දෙස බලා සිටි ඔහුගේ බලා උන්නේ පාසල් කාලයේ ඔහු දැන සිටි ඉෂිනිත් අද ඔහු ඉදිරියේ සිටින තරුණියත් අතර ඇති වෙනසය.

ඉෂිනි තවදුරටත් ඩියෝන් දෙස බලා උන්නේ පිළිතුරක් අපේක්ෂාවෙනි. 

” ඔයාට හිතෙන්නෙ මම මොකක් කලොත් හොඳයි කියලද ඩියෝන්?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here