පසළොස්වක මල් – 79

0
93

” ආ.. ලොක්කා..! නාලා වගේ..?” 

ඉඟ තෙක් දැවටුණු තුවායකින් පමණක් සැරසුණු අස්නක එක් අතකින් තෙත හිසකෙස් ගසමින් ආලින්දය වෙත පැමිණි අතර එහි වූ සෝපාවේ හිඳ තමා දෙස කෝපයෙන් බලා සිටින තේජ් හා අෂ්මිල දෙසත් , පසෙක සිටගෙන බියෙන් මෙන් හිස පහත් කර සිටින මිහිදුමී දෙසත් කිසිදු පුදුමයකින් හෝ තැතිගැන්මකින් තොර සාමාන්‍ය බැල්මක් හෙළූ ඔහු යළි ආපසු නිදන කාමරය වෙත හැරුණේය.

” කොහෙද උඹ යන්නේ ?” 

පෙරට වඩා උස්ව නැඟුණු තේජ්ගේ හඬට යළි හැරුණු අස්නක ඔහු දෙස බලා මුව ඇද කළේය.

” පොඩ්ඩක් හිටහං ඇඳුමක් දාන් එනකන්. ටවල් එක පිටින් ඉන්නේ. “

” පේනව.. පේනව.. මෙච්චර වෙලා උඹ ඉන්නැත්තේ ඕකත් නැතුව වෙන්නැතිනේ. ?” 

” ඔව් ඉතිං මෙච්චර වෙලා එහෙම හිටියට , උඹලා ඉස්සරහා එහෙම ඉන්න බෑනේ ? ඒ නිසා ඇඳුමක් දාන් එනකන් හිටහං “

” මූ බලහන්කෝ..”

තව දුරටත් කෝපයෙන් පුපුරා හැළුණු තේජ් එවර අෂ්මිල දෙසට හැරුණේය.

” දුමී..! තේ එකක් බොමු ?” 

කිසිදු කලබලයකින් තොර වූ අස්නක තවමත් තුෂ්නිම්භූතව සිටින තරුණිය දෙසට හැරුණේය.

” හා.. “

තරුණයින් දෙදෙනාගෙන් ගැලවීමට මාර්ගයක් සොයමින් සිටි ඈ ඔහුගේ බස් හමුවේ ක්ෂණිකව මුළුතැන්ගෙය තුළට අඩි තැබූ අතර ඔහුද කිසිවක් සිදු නොවුණු පරිදි යළි නිදන කාමරය වෙතට අඩි තැබුවේය. 

” මං කිව්වේ. ඇහැට දැක්කමවත් පිළිගනින් ඉතිං “

හිඳ උන් අසුනෙන් නැඟිට එහා මෙහා ගමන් කරමින් සිටි තේජ් අසලට ආ අෂ්මිල ඔහු දෙස බලා පැවසුවේය.

” අනේ අම්මපා බං.. පහල කා පාර්ක් එකේ මුගේ වාහනේ තියනව දැකලාවත් මට එක පාරට විශ්වාස කරගන්න බැරි උනා. “

එහා මෙහා අඩි තැබීම නතර කළ තේජ් විවර වී ඇති සඳලුතල ද්වාරයෙන් පිටත බලමින් පැවසුවේය. 

” මං නං දැනගත්තා. මූණට හිනාවක් ආවම ඒක එළියට දාගන්න බැරුව ළතවෙන විදිහ මං අපේ එකාගේ මූණෙන් දැකලා තියෙන්නේ දුමී ළඟ ඉද්දි විතරයි. උඹ කොච්චර නෑ බෑ කියද්දිත් මං බලෙන්ම එක්කන් ආවේ ඒකයි. “

” මං මේ කල්පනා කළේ අපි අච්චර ඩ්‍රාමා එකක් දාලා ආන්ටි මහීකාව හොස්පිට්ල් ඇඩ්මිට් කරලා ඕන කෙනෙක්ව කසාද බැඳගන්න තැනට මූව එයා ලවා බය කරවගෙන ඒ ප්‍රපෝසල් එක අරගෙන භරණ ළඟට යන්න. එච්චර හින්දි මෙගා නාට්ටියක් වගේ ප්ලෑනක් ගහලා අපි මුං දෙන්නව කසාද බන්ඳන්න බලද්දි මුං දෙන්නා මෙහෙ පවුල් කනවා. නෙද්දකින් බං. අපිත් ඊයා .. අර වගේ ලැජ්ජ නැති ප්ලෑනකුත් ගැහුවනේ. හින්දි නාට්ටි වල වගේ සාරි ටික විතරයි නැති උනේ. “

තේජ් තව දුරටත් කෝපයෙන් ගිගිරූ අතර අෂ්මිල විසල් හඬකින් සිනා සුණේය. 

” අපරාදේ එදා හොස්පිට්ල් රූම් එකේ බිල් එක. “

නැවතත් මුව ඇද කර එසේ පැවසූ අෂ්මිල නිදන කාමරයේ සිට පැමිණෙන වැඩිමහල් සහෝදරයා දැක තේජ්ට ඉඟි කර ආපසු හැරුණේය. 

” මොකෝ උඹලා දෙන්නා මෙහෙ ?” 

” මේකේ ඇතුළේ මේකි තනියෙන් ඉද්දි අපි තමයි ආවේ ගියේ. කවුද දන්නේ අද තව එකෙක් ඉන්නවා කියල ?” 

නෝක්කාඩුවක් සහිත තේජ්ගේ කතාවත් සමඟම තේ කෝප්ප කිහිපයක් රැගෙන ආ මිහිදුමී එය ටීපෝව මත තබා අස්නක දෙස බැලුවේය. දෙබැම ඔසවා දෑසින් ඇයි ලෙස විමසුවද ඈ දෑසින්ම කිසිවක් නැත යනුවෙන් පිළිතුරු දී සෙමින් සෙමින් ඔහු වෙතට අඩි තැබුවාය. 

” තෑන්ක් කරපන් අපි දෙන්නා වෙනුවට මෙතන භරණ නොහිටියට. “

” හරි. හරි. මං කොහොමත් භරණ එක්ක කතා කරන්න ඉන්නේ “

තවමත් වියළී නොමැති හිසකෙස් සෙමින් අතකින් පසුපසට කරමින් අස්නක තේජ් දෙස නොබලාම පිළිතුරු බැන්ඳේය.

” කරන්න ඉන්න නෙමෙයි කරන්නම ඕනේ. “

” මං ගිහින් ඇවිල්ලා භරණව මීට් වෙන්නං “

” ගිහින් ඇවිල්ලා කියන්නේ ? උඹ දැන් අනිද්දා ශුවර් එකටම යනවද ?” 

” හ්ම්ම්.. “

” හරි. ගිහින් එනකන් ඉන්න ඕනේ නෑ. අදයි හෙටයි තියනවනේ. ගිහින් කතා කරහං . තමුසෙවත් කියනවකෝ..”

අස්නකගෙන් දෑස මුදවා මිහිදුමී දෙසට හැරී පැවසූ තේජ්ගේ උස් ස්වරයට ඈ යන්තමින් තිගැස්සුණාය.

” න්.. නෑ.. ගිහින් ආපු දෙන්. ලොකු කාලයක් ඉන්නෑනේ.. “

උවන බිමට නැඹුරු කරමින් ඈ දුන් පිළිතුරට තවත් කෝප වූ තේජ් නැවතත් අෂ්මිල දෙස බලා මුව ඇද කළේය. 

” උඹලා දෙන්නට අපි ඔක්කොමලා විහිළුවක් වගේ පේනවද ?” 

” පිස්සු නැතුව වාඩිවෙයන් බං” 

එසේ පැවසූ අස්නක සෝපාව මත හිඳ ගනිමින් තේ කෝප්පයක් අතට ගත්තේය. 

” අවුරුදු ගාණක් තිස්සේ අපි මේකිව බලා ගත්තා බං. උඹ එහෙ ඉඳන් දවස ගාණේ කතා කර කර මේකි ගැන අපෙන් අහපු එක හරි. තොපි දෙන්නම දෙපැත්තට උනාට උඹලා දෙන්නට උඹලා දෙන්නව කොච්චර ඕනෙද කියලා උඹලට වැඩිය අපි දැනගෙන හිටියා. අපි මෙතන තොපි ගැන හිතලා දහ දුක් විඳිද්දි තොපි දෙන්නා මෙතන පවුලුත් කාලා ?” 

” දැන් ඇති යකෝ.. නවත්තපන්කෝ .”

නැවත වතාවක් අස්නක දෙස රවා බැලූ තේජ් ටීපෝව මත තිබූ තේ කෝප්පය ගෙන තොළ ගෑමට පටන් ගත්තේය. 

” මූ ඇවිල්ලද තමුසෙත් එක්ක මුලින්ම කතා කළේ ?” 

තේ උගුරු කිහිපයක්ම ගිල දැමූ තේජ් නැවතත් මිහිදුමී දෙස බලා විමසූ අතර ඈ සෙමින් හිස ඉහල පහල කරමින් ඔව් යැයි පැවසුවාය. 

” මූත් එක්ක මං අන්තිම වතාවට කතා කරද්දිත් තමුසෙත් එක්ක කතා කරන්න බෑ. ආයේ රිජෙක්ට් වෙයි කියලා බයයි කිව්වා. එහෙම තියෙද්දි මූ මොනවා කිව්වටද තමුසෙලා දෙන්නා මෙච්චර දුර ගියේ ?” 

” හරි ඉතිං එයා සොරි කිව්වා. “

බිමට බර කර ගත් උවනින් හා කෙඳිරිලි ස්වරයකින් ඈ පිළිතුරු දුන්නාය. 

” නිකන්ම ?” 

”  නෑ දණ ගහලා “

” මොකක් ?” 

එතෙක් වේලා නිහඬවම පානය කරමින් සිටි තේ උගුරු කිහිපය පිට උගුරේ ගිය අෂ්මිල කැස්සක් සමඟව විසල් සිනහවක් නඟද්දී සිතේ පැවතියාවූ සියළු කෝප සහගත හැඟීම් සියල්ල වාෂ්ප වී ගිය තේජ්ද මහ හඬින් සිනා සෙන්නට පටන් ගත්තේය. තරුණයින් දෙදෙනාගේ සිනහව මධ්‍යයේ තමා කලබලයෙන් දුන් පිළිතුරේ අතිශය පෞද්ගලික බව හා බරපතලබව වටහා ගත් මිහිදුමී අසරණව අස්නක දෙස බැලූ අතර ඔහු විසල් කරගත් දෑසින් යටි තොල්පට සපා ඈ දෙස බලා සිටියේය. 

” සොරි “

ඇසෙන නෑසෙන තරමට දෙතොල සොලවා ඈ ඔහු දෙස බල යන්තමින් මිමිණූ අතර ඔහු ඇගේ අතකින් අල්ලා තමා දෙසට ඇද ළං කර ගත්තේය. 

” අඩු තරමේ යන්න කලින් අම්මටවත් කියනවා ලොකූ. එයා ඉන්නෙත් ඕනෑවට වඩා ස්ට්‍රෙස් එකක. “

පිටත්ව යෑමට සැරසී හිඳ උන් සෝපාවෙන් නැඟිට ගත් අෂ්මිල වැඩිමහලු සොයුරා දෙස බලා ඉල්ලීමක ස්වරයෙන් එසේ පැවසුවේය. 

” මං අම්මා එක්ක කතා කරන්නං “

” පරිස්සමින් ඉන්නවා. දැන් ඉතිං ඔක්කොම හරිනේ. තැන් තැන් වලට වෙලා හොරෙන් හොරෙන් අඬන්න ඕනේ නෑ. නොදැක්කා වගේ හිටියට තමුසේ විඳවපු හැටි අපි හැමෝම බලන් හිටියේ “

නිවසේ ද්වාරය අසලට පැමිණ මිහිදුමීගේ හිස මත අත තබා තේජ් එසේ පැවසූ විගස ඇගේ දෙනෙතින් කඳුළු බිඳුවක් රූරා වැටුණේය. 

” ලොකුවා..! පොඩි කාලේ ඉඳන් මට හිටපු එකම එකා උඹ. උඹ එක්ක මගේ මොන යාළුකම තිබ්බත් මේ ගෙවිච්ච අවුරුදු ගාණේ අපි හැමෝම මිහිදුමීට සැලකුවේ අපේම නංගිට වගේ. එතනදි භරණගෙයි , අපෙයි වෙනසක් තිබ්බේ නෑ. ඒ නිසා මේ දේවල් පිළිවෙළකට වෙන්න ඕනේ. මීට පස්සේ මොන ප්‍රශ්නේ ආවත් උඹට මේකිව දාලා යන්න බෑ. එහෙම උනොත් මං මගේ යාළුකමත් අමතක කරනවා. ඉක්මන් කරලා උඹ මේ දේවල් පිළිවෙළක් කරන්න ඕනේ. “

තේජ්ගේ වගකීම් සහගත බැරෑරුම් ස්වරය දෙස බලා සිටි අස්නකගේ මුව මත සිහින් සිනහවක් නැඟුණේය.

” ශුවර් බං. මෙච්චර කාලයක් බලා ගත්‍තා වගේ මේ ටික කාලෙත් බලා ගනින්. මං ගිහින් ඉක්මනට එනවා. “

” ඒක ඉතිං උඹ අමුතුවෙන් කියන්න ඕනේ නෑ. “

තරුණයින් තිදෙනාගේ කතාවෙන් තවත් සංවේදී වූ මිහිදුමී නැවතත් දෑසින් උපන් කඳුළක් පිසදා දැම්මාය. 

” මේ .. ඒක නෙමෙයි බං.. ?” 

නිවසින් පිටතට ගොස් යළි හැරුණු තේජ් අස්නකගේත් , මිහිදුමීගේත් මුහුණු දෙස මාරුවෙන් මාරුවට බැලුවේය. 

” අර ඒ දවස්වල මං අහම්බයෙන් එද්දි දවසක් උඹලෑ ගෙදර ඔෆිස් රූම් එක ඇතුළේ දුමී උඹ ඉස්සරහා දණ ගහන් හිටියේ , අන්න ඒ වගේද උඹත් අර දණ ගැහුවා කිව්වේ ?” 

” පල #$& “

තේජ්ගේ පැනයත් සමඟ අෂ්මිලගේ සිනහවෙන් කොරිඩෝව දෙදරවද්දී අස්නක ආයාසයෙන් මුවට ආ අසභ්‍ය වදන ගිල ගත් අතර මිහිදුමී යළි හැරී නිවස තුළට දිව්වාය. 

” හරි හිනා නේහ්..? මාව නෝණ්ඩි කරනකොට ?” 

මුළුතැන්ගෙහි සිටි ඈ වෙතට පැමිණි අස්නක එක් අතක් ඇගේ බඳ වටාද , අනෙක් අත ඇගේ ළැම වටාද දවටා ගනිමින් පසුපසින් හිඳ ඈ තුරුළු කර ගත්තේය. 

” බඩගිනියි. මං ටක් ගාලා මොනාහරි හදන්නං ” 

” ඕන්නෑ.. මොනාහරි ඕඩර් කරගමු “

” නෑ.. නෑ. මං ඉක්මනට මොනාහරි හදන්නං “

” හ්ම්ම්.. මං මොනාද කරන්න ඕනේ ?” 

” මුකුත් ඕනේ නෑ. ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ. හදන්න විතරයි තියෙන්නේ. “

” හ්ම්ම්.. ඔයා පටන් ගන්නකෝ. මං කෝල් එකක් අරන් එන්නං “

එසේ පවසා ඔහු ඇගේ ගෙල මත සියුම් හාදුවක් තබා යළි හැරුණද ඇගේ ළැම මත වූ ඔහුගේ වමතේ ඇති ටැටූව දෙස එක දිගට බලා සිටි ඈ වහා තද කර එය අල්ලා ගත්තාය. 

” ලොකූ..?” 

විශ්මය පිරි දෑසින් ඔහුගේ අත දෙසත් ඔහු මුව දෙසත් බලන ඈ දෙස බැලූ ඔහු නැවත මඳ සිනහවක් නැඟුවේය. 

විසල් වමතේ වැළමිට තෙක් මැණික් කටුව දක්වා ඇඳ තිබූ මකර රූපයෙහි මැද සියුම්ව කොටා තිබූ මිහිදුමී දම්සේයා මහවලතැන්න යන තම නාමය අඩංගු අකුරු කිහිපය මත අතැඟිලි ගෙන ගිය ඈ විශ්මයානුකූල දෑස ඔහු මුව මත නතර කර ගත්තාය. 

” අනේ ඇයි මේ.. ?” 

” ඇයි අහන්නේ ?” 

” මේ මගේ නමනේ ?” 

” ඉතිං ?” 

ඔහු තව දුරටත් සිනහ පිරි වතින් ඈ දෙස බලා සිටියද ඈ මුව ඇඹුල් කර ගත්තාය. 

” රිදෙන්න ඇති ?” 

ඔහු සෙමින් හිස දෙපසට සළා නැත යැයි පැවසුවේය. 

” කවද්ද මේක ඇන්ඳේ ?” 

” දැන් අවුරුදු තුනකට වගේ කලින් . මොකෝ ඉතිං බෙරි වෙලා ඉන්නේ දැන් ?” 

” ඇයි මං මේක කලින් දැක්කේ නැත්තේ ?” 

” මං දිහා හොඳට බලලා නෑ. ඒකයි “

ඈ එවර ඔහු දෙස බලා මුව ඇද කර යළි අනෙක් පස හැරුණාය. ඔහු සිනාසී නැවත වරක් ඈ තුරුළු කර ගත්‍තේය. 

” ඒක මුලින්ම පේන්නේ ඩ්‍රැගන් කෙනෙක් වගේ. හොඳට බැලුවොත් තමා ඔයාගේ නම පේන්නේ. හැමදේම එහෙම තමා. එක පාරටම පේන දේ දිහා විතරක් නොබලා ඊට එහා බැලුවම ඕන දේක හැංගිච්ච දේවල් ටික පේනවා. මං කෝල් එක අරන් එන්නං “

එසේ පැවසූ ඔහු නැවත වතාවක් ඇගේ ගෙල මත හාදුවක් තබා නිදන කාමරය වෙතට ඇවිද ගියේය. නිදන කාමරයේ ද්වාරයෙන් පිටතට යළිත් දෑස කරකැවූ ඔහු ජංගම දුරකතනය ගෙන ඇමතුමක් ලබා ගත්‍තේය. 

” හෙලෝ.. “

…………….

” ඔව්. එයා ඕනාවට වඩා දේවල් දැනගෙන. “

………..

” නෑ.. මං හිතන්නෑ. එපා කිව්වට එයා නතර කරන එකක් නෑ. මීට වඩා දෙයක් කරන්නම වෙනවා. “

………….

” හ්ම්ම්..”

දුරකතන ඇමතුම විසන්ධි කර දැමූ ඔහු යළි මුළුතැන්ගෙය දෙසට අඩි තැබුවේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here