5th Avenue – 67

0
69

ඉශිනි කාර්යාලයට පැමිණියේ වෙනදාටත් වඩා කලින්ය.තම කාර්යාල කාමරයට ඇතුළු වූ ඇය අත්බෑගය මේසය මත තබා ලැප්ටොප් පරිගණකය ක්‍රියාත්මක කරන අතරතුර දුරකථනයද අතට ගත්තාය. ඒ, සමාජ මාධ්‍ය තුළ ඒ වන විටත් කතාබහට ලක් වෙමින් තිබුණු ශෙනෝලි සහ අශේන් සම්බන්ධ පුවත පිළිබඳව අලුත් තොරතුරු දැන ගැනීමේ අපේක්ෂාවෙනි. 

එහි තිබූ දෑ එකින් එක කියවූ ඉෂිනිගේ මුහුණට නැගුණේ මඳ සිනහවකි. පෙර දිනයට සාපේක්ෂව එම පුවත සඳහා අලුත් ප්‍රතිචාර එතරම් එකතු වී නොතිබුණද, කිහිප දෙනෙකු  ඒ පිළිබඳව විවිධ අදහස් පළ කර තිබිණි. ඇතැම් අය එහි සඳහන් වූ දේ විශ්වාස කරන ආකාරයේ ප්‍රතිචාර එකතු කර තිබුණු අතර තවත් පිරිසක් ඒ පිළිබඳව සැක පළ කර තිබුණි.

කිසිවෙකු විසින් කාර්යාල කාමරයේ දොරට තට්ටු කරන හඬ ඇසුණු බැවින් ඉෂිනි හිස ඔසවා බැලුවාය 

“Come in “

ඇය හඬ නගා පැවසුවේ දුරකථනයෙන් දෑස් ඉවතට ගනිමිනි.

“Good morning මිස් “

කාර්යාල කාර්යය සහායකයකු වූ තරින්ද  කාමරයට ඇතුළු වූයේ සුපුරුදු ලෙස සිනාසෙමිනි. ඔහු තම අත තිබූ ලිපිගොනු කිහිපය කිහිපය මේසය මත තබා, ඊට අදාළ වූ රාජකාරීමය කාරණා කිහිපයක් පිළිබඳව කතා කළේය. ඉශිනිද ඒවාට අවශ්‍ය පිළිතුරු ලබා දුන්නේ වෙනදා මෙන්ම සාමාන්‍ය ලෙසය.

කතාබහ අවසන් වූ පසු තරින්ද පිටව යාමට කාර්යාල කාමරයේ දොර වෙත ගොස් නැවත හැරී බැලුවේ යමක් සිහිපත් වීය. 

“Social media වැඩේ එහෙමම යට යයි මිස්.”

ඉශිනි දුරකථනය මේසය මත තබා නැවත තරින්ද වෙත අවධානය යොමු කළාය.

“ඒක එහෙම ලේසියෙන් යට යන්න දෙන්න එපා තරින්ද. Fake profiles ටිකකින් comments ටිකක් දාලා හරි ඒක පොඩ්ඩක් update වෙන්න දෙන්න “

“හරි මිස්. මං ඒක බලන්නම්.”

“හැබැයි ඕනෑවට වඩා ඉස්සරහට ගිහින් අපිටම ප්‍රශ්නයක් වෙන විදිහට වැඩ කරන්න එපා. ඕක ගැන මිනිස්සුන්ට කුතුහලයක් තියෙන තරමට ඇති.”

තරින්ද නැවත පැමිණ ඉශිනි ගේ මේසය ඉදිරියෙන් සිට ගත්තේ දොර දෙස ද බලන අතරේය.

“ඒ පැත්තෙන් තියෙන feedback එක කොහොමද මිස්?”

“මට ඒක ලොකුවට රිහාන්ගෙන් අහන්න බැරි වුණා තරින්ද. කොහොමත් මේකට බෑන්ඩ් එකේ නම සම්බන්ධ වෙන නිසා ඒගොල්ලෝ ලොකුවට මොකුත් කරන්න යන්නේ නැතුව සද්ද නොකර ඕක අයින් කරවන්න බලයි ” 

ඇය එසේ කීවේ රිහාන් සමඟ පෙර දිනයේ සිදුවූ කතාබහ සිහි කරමිනි. ඔහුගේ ප්‍රතිචාරය ගැන වැඩිදුර තොරතුරු දැනගැනීමට ඇයට අවශ්‍ය වුවද, ඒ පිළිබඳව නැවත නැවතත් විමසීමෙන් ඔහු තුළ තමන් පිළිබඳව සැකයක් ඉපදීමට ඉඩ ඇති බැවින් ඇය එසේ නොවීමට ප්‍රවේශම් වීම සඳහා වග බලා ගත්තාය. 

“මිස් කෝකටත් කියලා ඒ පැත්තේ තත්ත්වෙ මොකක්ද කියලා බලලා තියාගන්න.”

” මම ඒක ගැන අද ෂේප් එකේ බලන්නම් “

තරින්ද හිස සැලුවේය. මොහොතකට පසු ඉශිනිගේ මුහුණේ තිබූ සිනහව මැකී ගියේ ඇගේ සිතට තවත් ‍යමක් ඇතුළු වූ නිසාය.

“කොහොමත් මට ඕනේ ඔය ශෙනෝලි කියන කෙල්ලව පොඩ්ඩක් සයිලන්ට් කරවන්න. එයා නිසා මට මේ දවස් වල ප්‍රශ්න ඇති වෙනවා වැඩියි.”

ඒ වචනවල තිබූ නොරිස්සුම තරින්දට වටහා ගැනීමට හැකි වුවද ඔහු ඒ පිළිබඳව කිසිවක් විමසුවේ නැත. තරින්ද පිටව ගිය පසු ඉශිනි නැවතත් දුරකථනය අතට ගත්තාය. මුහුණු පොත වෙත පිවිසුණු ඇය අදාළ සමාජ මාධ්‍ය පිටුව වෙත යොමු වී ඒ වෙත අලුතින් එකතු වූ ප්‍රතිචාර නැවත කියවන්නට පටන් ගත්තාය. ඒ වන විටත් සියල්ල ඇය බලාපොරොත්තු වූ පරිදි සිදුවී නොතිබුනද ඒ වෙනුවෙන් කළ යුතු දේ පිළිබඳව ඇයට පැහැදිලි අදහසක් තිබිණි.

රිහාන් අවදි වන විට උදෑසන නවයට ආසන්න වී තිබුණු අතර පෙරදින රාත්‍රියේ නින්දට ගියේ කුමන වේලාවක දැයි ඔහුට හරිහැටි මතකයක් වූයේ නැත. දෑස් පියාගත් පසුවත් සිත එක තැනක නතර නොවූ බව පමණක් ඔහුට සිහි විය. 

දෑස් විවර කර මොහොතක් සිවිලිම දෙස බලා සිටි රිහාන්ට පෙර රාත්‍රියේ සිතුවිලි නැවතත් මතකයට නැඟුණේය. පියා සමඟ කළ කතාබහත්, ඉශිනිගෙන් ලැබුණු පණිවිඩයත්, ශෙනෝලි ව සිහිපත් වූ ආකාරයත් එකින් එක ඔහුගේ මතකයට නැගිණි.තමාට ඇය පිළිබඳව හදිසියේ සිහිවූයේ ඇයිදැයි කියා පැහැදිලි කර ගැනීමට රිහාන්ට හැකි වූයේ නැත. ඔහු හිස තබා සිටි කොට්ටයට මෙහායින් අත දිගුකර දුරකථනය සොයා ගත්තේ ඉශිනි ගෙන් දුරකථන ඇමතුමක් හෝ ලැබී ඇතිදැයි පරීක්ෂා කිරීමටය.

ඉශිනි ගෙන් මගහැරුණු ඇමතුම් කිසිවක් නොතිබුණු අතර පෙර දින රාත්‍රියේ තමන්ට ලැබුණු පණිවිඩයට අමතරව ඇය එවා තිබුණේ උදෑසනට සුබ පතන සාමාන්‍ය පණිවිඩයක් පමණි.

“Good morning “

රිහාන් එයට පිළිතුරු වශයෙන් යැව්වේ එවැනිම වූ කෙටි පණිවිඩයක් සටහන් කරය.

“Good morning Ishini.”

දුරකථනය පසෙකින් තැබූ රිහාන් පුහුණුවීම් සඳහා යාමට සූදානම් වීම සඳහා යහනෙන් නැගිට්ටේ එළඹෙමින් තිබෙන දිනය බොහෝ කාර්යබහුල එකක් වන්නට නියමිත වූ බැවිනි. තම සිතට වද දෙමින් තිබෙන ගැටලු නිසා දෛනික වැඩ කටයුතු අතපසු කර ගැනීමට ඔහුට අවශ්‍ය වූයේ නැත.

ශෙනෝලි උදෑසන අවදි වී සූදානම් වී මුළුතැන්ගෙය වෙත පැමිණ කෝපි කෝප්පයක් සකස් කර ගත්තේ උදෑසන ආහාරය ගැනීමට තරම් කුසගින්නක් නොවූ බැවිනි.කෝපි කෝප්පය රැගෙන කෑම මේසය අසළින් වාඩිවන විටම ඇයගේ කුඩා අත්බෑගය තුළ තිබූ පෞද්ගලික දුරකථනය නාද වන්නට පටන් ගත්තේය.ඇය රාජකාරී දුරකථනය පසෙක තබා පෞද්ගලික දුරකථනය අතට ගත්තේ කෝපි උගුරක් පානය කරන අතරතුරය.

තිරයේ දිස්වූ නම දුටු ශෙනෝලි මොහොතක් එදෙස බලා උන්නාය

” අශේන් “

ඇය ඇමතුමට සම්බන්ධ වූයේ මේ තරම් උදෑසනින් ඔහු ඇමතුමක් ගන්නේ කුමන හේතුවක් මත දැයි කල්පනා කරමිනි. 

“Hello?”

“ශෙනෝ, මම ඔයාලගේ ගෙවල් පහු කරගෙන යන්නේ. ඔයා ලෑස්ති වෙලා නම් ඉන්නේ මාත් එක්ක යන්න පුළුවන්.”

“එපා අශේන්, ඔයා යන්න. I have to stop by the bank. I’ll get that done and then come over.”

“No worries . මට පොඩි වෙලාවක් ඉන්න පුළුවන්. අවුලක් නැහැ. අපි කොහොමත් එකම වෙලාවටනේ ප්‍රැක්ටිස් යන්න ඕනේ.”

ශෙනෝලි කෝපි කෝප්පය මේසය මත තැබුවාය. අශේන් මේ මුල පුරමින් හිඳින්නේ අනවශ්‍ය කතාබහකටය 

“එපා, එපා. ඔයා යන්න. මම ඒ වැඩේ කරගෙන හෙමිහිට එන්නම් අශේන්.තෑන්ක්ස් “

ශෙනෝලි හට අවශ්‍ය වූයේ ඇමතුම අවසන් කිරීමටය. ඔහුගේ මේ හැසිරීම ඇයට අලුත් දෙයක් නොවූ අතර තමන් සමඟ කතා කිරීමටත්, එකට කාලය ගත කිරීමටත් ඔහු විවිධ හේතු සොයාගන්නා බව ඇයට පසුගිය කාලය පුරාවටම වැටහෙමින් තිබිණි. 

ඔහු සමග අමනාපයක් ඇති කර ගැනීමට ශෙනෝලි ට අවශ්‍ය නොවූ අතර, එකම කාරණය පිළිබඳව තමන් පැහැදිලිව කියා තිබියදීත් ඔහු එය පිළිගැනීමට සූදානම් නොවීම ඇගේ සිතට ගෙන ආවේ අපහසුවකි. 

“ඔයාට මාත් එක්ක යන්න බැරි කමක් නේද තියෙන්නේ ? “

අශේන්ගේ හඬ වෙනස් වී තිබිණි.

“දැන්වත් ඔයා ඔයාගේ තීරණ වෙනස් කරගන්න ලෑස්ති නැද්ද ශෙනෝ? “

ශෙනෝලි දෑස් මොහොතකට පියාගත්තාය. මේ සංවාදය නැවතත් අනවශ්‍ය මාවතකට හැරෙන බව පැහැදිලිය. තමන්ගේ තීරණය වෙනස් නොවන බව ඔහුට නැවත නැවත පැහැදිලි කිරීම වෙහෙසකර වුවත් එවැන්නකින් ඔහුට රිදවීමට ශෙනෝලි හට වුවමනා වූයේද නැත

“අපි එකම දේ ගැන ආයෙ ආයෙත් කතා කරලා කාලේ නාස්ති කර ගන්නේ නැතුව ඉමු නේද  අශේන්?”

“ඔයාට හිතෙන්නේ නැද්ද අනේ Social media වල ගිය පෝස්ට් එක ඇත්තක් කළා නම් හොඳයි කියලා?”

ශෙනෝලි තුල වූ ඉවසීම වේගයෙන් වෙනස් වී ගියේ අනතුරුවය. සමාජ මාධ්‍ය වල පැතිර ගිය පුවත පිළිබඳව අශේන් මේ ආකාරයෙන් කතා කරනු ඇතැයි ඇය බලාපොරොත්තු වී උන්නේම නැත.ඒ පිළිබඳව ඔහු තුළ තිබූ අදහස කුමක් වුවත්, තමන්ගේ තීරණයට බලපෑම් කිරීම සඳහා එය යොදාගැනීමට ඔහු උත්සාහ කිරීම ඇයට පිළිගත හැකි වූයේ නැත.

එහෙත් ඔහු වෙත කෝපයක් පෙන්වීමට ශෙනෝලි ට වුවමනා නොවූ අතර ඔහු සමඟ කතා කිරීමේදී තමන්ගේ සීමාවන් පැහැදිලිව තබාගත යුතු බව ඇය දැන උන්නාය 

“ඔය වගේ දේවල් කියලා ඒ වැඩේ පිටිපස්සේ ඉන්නේ ඔයා කියලා මට හිතන්න හේතු දෙන්න එපා අශේන් “

“අපෝ! මං ඔය වගේ දෙකයි පනහේ වැඩ කරන්නේ නැහැ ශෙනෝ. මම කෙළින් වැඩ කරන මනුස්සයෙක්. මම ඔය වගේ වැඩ කරනවා නම් මගේ හිතේ තියෙන දේ ඔයාට කෙළින්ම කියන්නේ නැහැනේ “

අශේන් මොහොතක් නිහඬව හිඳ නැවත හඬ අවදි කළේය.

“අනිත් එක…”

අශේන් නැවතත් කතාව මොහොතකට නතර කළේය.

“මොකක්ද අනිත් එක?”

“ඔයාගේ හිතේ රිහාන් ගැන මොන වගේ දෙයක්ද තියෙන්නේ කියලා රිහාන් දන්නවා.”

ශෙනෝලිගේ ඇඟිලි දුරකථනය වටා තද වූයේත්, ඇයගේ සියොලඟම වෙව්ලන්නට පටන් ගත්තේත් ක්ශණයකිනි 

“මොකක්?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here