BE SILENT – 72

0
447

ශෙනෝලි උදෑසනින්ම ස්ටුඩියෝවට පැමිණියේ දවසේ පුහුණුවීම් සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කිරීමටය. ඒ වන විටත් සියලු දෙනාම ස්ටුඩියෝවට පැමිණ සිටියේ නැති බැවින් ශෙනෝලි අත්‍යවශ්‍ය දුරකථන ඇමතුම් කිහිපයක් ගැනීම සඳහා එම කාලය වැය කළාය. ටික වේලාවකට පසුව රිහාන් පැමිණි අතර ඔහු තම බේස් ගිටාරය සූදානම් කරමින් සිටියදී ශෙනෝලි ඔහු දෙස බැලුවේ වෙනදාට වඩා වෙනස් බවක් ඔහු වෙතින් දක්නට ලැබුණු  නිසාය.

සාමාන්‍යයෙන් ස්ටුඩියෝවට පැමිණි විට අන් අය සමඟ වචන කිහිපයක් හෝ කතා කරන රිහාන් උන්නේ නිහඬවමය. ඔහුගේ මුහුණේ වූ වෙහෙසත්, කිසිවකට අවධානය යොමු නොකරන ආකාරයත් දුටු ශෙනෝලිට ඔහු සාමාන්‍ය නොවන බව වැටහිණි.

” රිහාන් ?”

රිහාන් හිස ඔසවා ශෙනෝලි දෙස බැලුවේය.

” ඔයාට ටිකක් ටයර්ඩ් වගේ නේද ?”

ශෙනෝලි විමසුවේ ඔහු දෙස කෙටි බැල්මක් හෙළමිනි.

” ඊයේ හරියට නින්ද ගියේ නැහැ “

රිහාන් දුන්නේ කෙටි පිළිතුරකි. ශෙනෝලි එයට පිළිතුරක් වශයෙන් මඳ සිනහවක් පමණක් පා අනතුරුව තමන්ගේ කටයුතු වෙත හැරුණාය. රිහාන්ගේ වෙනසට හේතුව දැනගැනීමට ඇය තුළ කුතුහලයක් තිබුණද, ඔහුගෙන් ඒ පිළිබඳව දිගින් දිගටම විමසීමට ඇයට අවශ්‍ය වූයේ නැත. 

එහෙත් ඉන්පසුවත් කිහිප වරක්ම ශෙනෝලිගේ අවධානය රිහාන් වෙත යොමු වූ අතර ඔහුට වෙනදා මෙන් සැහැල්ලුවෙන් සංගීතයට අවධානය යොමු කිරීමට නොහැකිව සිටින බව ඇය නිරීක්‍ෂණය කළාය.

සාක්කුවේ තිබූ රිහාන්ගේ ජංගම දුරකථනය නාද වූ අතර පුහුණුවීම් ආරම්භ වී නොතිබුණු බැවින් ඔහු එය පිටතට ගත්තේය. තිරය මත දිස් වූ ඉෂිනිගේ නම දුටු ඔහු මොහොතක් ඒ දෙස බලා උන්නේ හිස් හැඟීමකිනි. පෙර දිනයේ රාත්‍රියේ සිටම ඇය කිහිප වතාවක්ම ඇමතුම් ලබා ගත්තද , ඔහු ඒ කිසිවකට පිළිතුරු නොදුන් අතර ඇගේ පණිවිඩ පවා විවෘත කර බැලීමට ඔහුට සිත දුන්නේ නැත.

මෙවරද ඔහු ඇමතුමට පිළිතුරු නොදී දුරකථනය නිහඬ කර නැවත සාක්කුවට දමා ගත්තේය.

රිහාන්ගේ ඒ හැසිරීම ද ශෙනෝලිගේ අවධානයට ලක් වුවද, ඇය ඒ ගැන කිසිවක් විමසුවේ නැත. ඔහුගේ මුහුණේ තිබූ බැරෑරුම් බවත්, දුරකථනය දෙස බැලූ ආකාරයත් අනුව ඔහුගේ අසාමාන්‍ය හැසිරීමට හේතුව පෞද්ගලික කාරණාවකැයි සිතූ බැවින් ශෙනෝලි වැඩි යමක් ඔහුගෙන් නොවිමසා ඉන්නට තීරණය කළාය. 

ඉෂිනි කාර්යාලයේ සිට ගත කරමින් උන්නේ අතිශය නොසන්සුන් උදෑසනකි. ඇය තමන් ඉදිරියේ විවෘත කර තිබූ ලිපිගොනුව වෙත කිහිප වතාවක්ම අවධානය යොමු කිරීමට උත්සාහ කළද, සිත එක තැනක තබාගැනීමට ඇයට හැකි වූයේ නැත. ඇයට අදාළව තිබූ වැඩසටහනක රාජකාරී කොටස සහාය නිෂ්පාදිකාවට පැවරූ ඇය තම කාර්යාල කාමරයටම වී කාලය ගත කල අතර ඇගේ අවධානය නිතරම යොමු වූයේ මේසය මත තිබූ දුරකථනය වෙතය.

තමා රිහාන්ට දුරකථන ඇමතුම් ලබා දෙන්නේ පෙර දිනයේ සිටය.එහෙත් ඒ එකදු ඇමතුමකටවත් ඔහු සම්බන්ධ නොවූ අතර කෙටි පණිවිඩයකට හෝ පිළිතුරු දුන්නේද ද නැත.  ඉෂිනි නැවතත් දුරකථනය අතට ගෙන රිහාන්ගේ නම තෝරා ඇමතුමක් ලබාගැනීමට සූදානම් වුවද, ඔහු නැවතත් පිළිතුරු නොදෙනු ඇතැයි සිතූ විට ඇය මොහොතකට නතර වූවාය.

ඔහු තමන්ව දුටු විට කුමන ආකාරයකින් ප්‍රතිචාර දක්වනු ඇත්දැයි සිතාගත නොහැකි බැවින් ස්ටූඩියෝවට ගොස් ඔහුව මුණගැසීමටද නොහැක. පෙර දිනයේ ඔහු වෙතින් දක්නට තිබුණු වේදනාවත්, තමන් සමඟ තවදුරටත් කතා කිරීමට නොහැකි බව පැවසූ ආකාරයත් ඉශිනි නැවත නැවතත් සිහිපත් කළාය.

තමන් අතින් සිදු වූ දේ වැරදි බව ඉෂිනිට වැටහෙමින් තිබිණි. රිහාන් සමඟ තමන්ගේ සම්බන්ධය පිළිබඳව යම් ගැටලුවක් තමාට තිබුණේ නම්, ඒ පිළිබඳ ඔහු සමඟ කතා කිරීමට ඕනෑ තරම් අවස්ථාව තිබුණු අතර තමාට ඔහුව තවදුරටත් ගැළපෙන්නේ නැති බව දැනුණේ නම්, ඒ බව අවංකව පවසා සම්බන්ධය අවසන් කිරීමට වුවද තමාට හැකියාව තිබිණි. එහෙත් සිදු වූයේ ඒ කිසිවක් නොවේ.  

ඒ පිළිබඳව යම් පසුතැවීමක් ඉශිනි ගේ සිතේ තිබුණද, එය පිළිගැනීමට තරම් ඇය සූදානම්ව උන්නේ නැත.

රිහාන් සමඟ ඇති සම්බන්ධය අවසන් වුවහොත් ඒ සඳහා වගකිව යුත්තේ තමන් බව අන් අය දැනගැනීම ඉශිනි හට දරාගත හැකි වූයේ නැත. ඔවුන් දෙදෙනා පිළිබඳව දන්නා බොහෝ දෙනෙක් සිටින බැවින් ඒ සියල්ලන් ඉදිරියේ තමන් වැරදි කළ තැනැත්තිය බවට පත්වීමට ඇයට අවශ්‍ය වූයේද නැත.

ඇයට අවශ්‍ය වූයේ රිහාන් සමඟ ඇති සම්බන්ධය පිළිබඳ තීරණය කුමක් වුවත්, එහිදී තමන් පරාජිතයෙකු නොවීමට පමණි.

එහෙත් තත්ත්වය තමන් බලාපොරොත්තු වූ ආකාරයට නොවන බව ඇයට දැනෙමින් තිබුණු අතර රිහාන් තමන්ගෙන් ඈත් වීමට තීරණය කර තිබුණහොත්, ඔහුට එම තීරණය වෙනස් කරගැනීමට බල කිරීමට තමන්ට කිසිසේත්ම හැකියාවක් නොමැති බවද ඉශිනි සිතුවාය. ඒ සිතුවිල්ල ඇය තුළ ඇති කළේ තවත් නොසන්සුන් හැඟීමකි.

පෙර දිනයේදී තමන් අවන්හලේ සිටින බව රිහාන් දැනගත්තේ කෙසේදැයි යන ප්‍රශ්නයද  ඇයට ඒ වන තුරුත් විසඳාගත නොහැකිව උන්නාය. ඔහු එහි පැමිණෙන විට තමන්ව දුටුවාද? එසේත් නැත්නම් වෙනත් අයෙකු ඒ ගැන ඔහුට පවසා තිබුණාද කියා ඉශිනි බොහෝ වාරයක් සිතුවද ඇයට ඒ පිළිබඳව කිසිදු නිශ්චිත අදහසක් නොතිබිණි.

කෙසේ වෙතත්, ඉශිනි ට අවශ්‍ය වූයේ රිහාන් සමඟ එක වරක් හෝ කතා කිරීමටය. ඔහු ඉදිරියේ තමන්ගේ පාර්ශවය පිළිබඳව පැහැදිලි කරගැනීමට හැකි වුවහොත්, සිදුවූ සියල්ල පිළිබඳව ඔහුගේ සිතේ ඇති අදහස වෙනස් කරගැනීමට යම් අවස්ථාවක් තිබිය හැකි බව ඇය සිතුවාය.

එහෙත් අවම වශයෙන් රිහාන් විසින් තමන්ට ඒ අවස්ථාවවත් ලබා නොදීම ගැන ඉශිනි ගේ සිතේ ඇති වූයේ පරාජිත හැඟීමක් වූ අතර තමන්ට අවශ්‍ය වූ මොහොතේ ඔහු සමඟ කතා කිරීමටවත් නොහැකි තත්ත්වයකට තමන් පත්ව සිටීමද ඇයට දරා ගත හැකි වූයේ නැත.

ඉශිනි ගේ දුරකථනය එකවරම නාද වන්නට පටන් ගත්තේ ඇය එවැනි නොසන්සුන් සිතිවිලි රාශියක පැටලී සිටියදීය. ඇය වහාම දුරකථනය අතට ගත්තේ රිහාන්ගෙන් ඇමතුමක් පැමිණ ඇතැයි සිතමිනි. එහෙත් තිරය මත දිස් වූ නම දුටු විට ඇගේ මුහුණේ වූ බලාපොරොත්තුව මැකී ගියේය.

” කියන්න ඩියෝන් “

” රිහාන් කතා කළාද? “

ඩියෝන් සෘජුවම කතාවට අවතීර්ණ වූයේය.

” නැහැ. මම ඊයේ ඉඳන් කෝල් කරනවා. එයා ආන්සර් කරන්නේ නැහැ”

” එහෙනම් ඕක ගැන ඔච්චර වොරි වෙන්නේ නැතුව අතෑරලා දාන්න ඉෂිනි “

“එහෙම අතාරින්නේ කොහොමද, ඩියෝන්? කී දෙනෙක් අපි දෙන්නා ගැන දන්නවද? මේක නවත්වනවා නම් මගේ වැරැද්දකින් නවත්වන්න බැහැ මට “

ඩියෝන් මොහොතක් නිහඬව උන්නේය.

” ඔයාට ඕනේ රිහාන් පිට වැරැද්දක් පටවලා මේක නවත්වන්නද එහෙනම් ?” 

ඉෂිනි මොහොතකට නතරව උන්නාය. ඇත්තටම තමන්ට අවශ්‍ය වන්නේ එවැන්නක්ද? රිහාන්ගේ වරදක් සොයාගෙන මේ සම්බන්ධයෙන් ඉවත් වීමට තමන් උත්සාහ කරනවාද? නැතහොත් තමන් කළ දෙය වැරදි බව පිළිගැනීමට නොහැකි නිසා ඔහුට තමන්ගේ පැත්ත පැහැදිලි කිරීමට උත්සාහ කරනවාද කියා ඉශිනි නැවත කල්පනා කර බැලූ අතර ඇයට එම කාරණා දෙක අතර වෙනස පවා පැහැදිලි කරගැනීමට අපහසු විය.

” නෑ, එහෙමමත් නෙමෙයි. ඒත් මට ඕනේ මම වැරදි නැහැ කියලා හරි එයාට පැහැදිලි කරන්න “

අනතුරුව දෙදෙනා අතර ඇති වූයේ නිහඬතාවයකි. ඉෂිනිගේ හඬින්ම ඇය සිටින මානසික තත්ත්වය ඩියෝන් වටහා ගත් අතර ඇය තවමත් සිදුවූ දේ පිළිගැනීමට සූදානම් නැති බව ඔහුට දැනිනි.

” හරි. ඔයාට ඕනේ එයා එක්ක කතා කළාට පස්සේ මේකෙන් බ්‍රේකප් වෙන්නද? “

ඉෂිනි තවත් මොහොතක් නිහඬව කල්පනා කළාය.තමන්ට රිහාන් සමඟ කතා කිරීමට අවස්ථාවක් ලැබුණහොත් ඔහුට කුමක් පවසනවාදැයි ඇය ඒ වන විටත් නිසි ලෙස තීරණය කර තිබුණේ නැත. තමන් ඔහුගේ සිත වෙනස් කරගැනීමට උත්සාහ කරනවාද, නැතහොත් සම්බන්ධය අවසන් කළ යුතු බව පිළිගන්නවාද යන්න පවා ඇයට පැහැදිලි අදහසක් නොවිණි. 

“ඇත්තටම මට තේරෙන්නේ නැහැ ඩියෝන් මට වෙන්න ඕනේ මොකක්ද කියලවත් “

” ඉෂිනි, ඔයාට රිහාන්ව ගැළපෙන්නේ නැහැ කියලා තේරෙනවා නම්, ඔයාට කරන්න තියෙන හොඳම දේ එයාගෙන් අයින් වෙන එක “

ඉෂිනි කිසිවක් නොකීවාය.

“ඔයාට තේරෙන්නේ නැද්ද, ඔයාට ඉස්සර වගේම එන්ජෝයි කරන්න ඉඩ දෙන කෙනෙකුත් මේ ලෝකේ ඉන්න පුළුවන් කියලා?”

ඩියෝන්ගේ වචන ඇසුණු පසු ඉෂිනි මොහොතක් කල්පනා කළාය. ඔහු කියන්නට උත්සාහ කරන්නේ කුමක්දැයි ඇයට වැටහුණද, ඒ වචනවලින් අදහස් කළේ කවුරුන් පිළිබඳව දැයි ඇයට පැහැදිලි වූයේ නැත

” ඔයා කවුරු ගැනද කියන්නේ ඩියෝන්? “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here