5th Avenue – 75

0
229

නිවස ඉදිරිපිට වාහනය නතර කළ රිහාන් මොහොතක් එලෙසම හිඳි අතර මෙතෙක් වේලාවක් සිත තුළ තද කරගෙන සිටි සියල්ල තවදුරටත් දරාගෙන සිටීමට නොහැකි බවක් ඔහුට දැනෙමින් තිබිණි . වාහනයෙන් බැස නිවස දෙසට පියමැන්නද, වෙනදා මෙන් සැහැල්ලුවෙන් ඇවිද යාමටවත් ශක්තියක් ඔහු තුළ වූයේ නැත.

රිහාන් නිවසට ඇතුළු වූ සැණින් ශ්‍යාමලී ඉදිරියට පැමිණියේ ඔහුව පිළිගැනීමට වුවත් තම පුතු දුටු සැණින් ඇය මොහොතකට නතර වූවාය. රිහාන් කිසිවක් නොකියා තම මව දෙස බලා සිටි අතර, ඔහුගේ සිතේ යම් බරපතළ දෙයක් තිබෙන බව වටහා ගැනීමට ශ්‍යාමලීට වැඩි වේලාවක් ගත වූයේ නැත.

” බොන්න මොනවා හරි හදන්නද පුතා?”

රිහාන් යන්තමින් සිනාසුණේය.

“Coffee එකක් හදාගෙන උඩට එන්න පුළුවන්ද අම්මා? මට ටිකක් අම්මත් එක්ක කතා කරන්න ඕනේ. මං වොෂ් එකක් දාගන්න යනවා “

” හරි පුතා”

තවත් කිසිවක් නොකී රිහාන් තරප්පු පේළිය නැග්ගේය. ඔහු යන දෙස බලාසිටි ශ්‍යාමලී මුලුතැන්ගෙය දෙසට පියවර තැබුවේ රිහාන්ගේ වෙනසට හේතුව කුමක්දැයි සිතාගත නොහැකිවය.

කාමරයට පැමිණි රිහාන් නාන කාමරයට වැදී වතුර මල යටට වී උන්නේය. දවස පුරාම සිත තුළ කැරකෙමින් තිබූ අවුල් සහගත හැඟීම් මඳකට පහව යන බවක් දැනුණද, සිදු වූ කිසිවක් එතරම් පහසුවෙන් අමතක කළ නොහැකි බව ඔහු සිතුවේ සංවේගයෙනි. ඉශිනි  සමඟ ගොඩනඟාගත් අනාගතය පිළිබඳ බලාපොරොත්තු අතහැර දැමීමට සිදු වීම පිළිබඳවද, ඇයගේ සැබෑ ස්වරූපය මෙතරම් කාලයක් හඳුනා නොගැනීම පිළිබඳවද ඔහුගේ සිතේ වූයේ දැඩි කලකිරීමකි.

ස්නානය කර අවසන් වී කාමරයට පැමිණි රිහාන් සැහැල්ලු ඇඳුමකට මාරු වී ජංගම දුරකථනය අතට ගන්නා විටම ශ්‍යාමලී පැමිණ දොරට තට්ටු කලාය. කණ්නාඩි මේසය මත දුරකථනය තැබූ රිහාන් කාමරයේ දොර විවෘත කළ අතර කෝපි කෝප්ප දෙකක් අතැතිව ශ්‍යාමලී දොර ඉදිරියේ පෙනී උන්නාය.

” එන්න අම්මා “

කෝපි කෝප්ප දෙක රැගෙන කාමරයට ඇතුළු වූ ශ්‍යාමලී රිහාන් දෙස බැලුවේ සිනාමුසු බැල්මකිනි. රිහාන් කාමරයේ සිට බැල්කනියට පිවිසෙන දොර විවෘත කළ පසුව ශ්‍යාමලි ඔහු පසු පසින් ගොස් එක් කෝපි කෝප්පයක් ඔහු අතට දී බැල්කනියේ පුටුවකට වාරු වුවාය. 

” ඔයාට මාත් එක්ක මොකක් හරි දෙයක් ගැන කතා කරන්න තියෙනවද පුතා? ” 

රිහාන් කෝපි කෝප්පයෙන් උගුරක් පානය කරන අතරතුර තම මවට යාබදව තිබුණු පුටුවේ වාඩි වී මොහොතක් නිහඬව බලා උන්නේය. 

” මම ඉෂිනිත් එක්ක බ්‍රේකප් වුණා අම්මා “

ඔහු පිළිතුරු දුන්නේ පහලින් පෙනෙන ගෙමිදුල දෙස බලාගෙනය. ශ්‍යාමලී තවදුරටත් තම පුතු දෙස සන්සුන්ව බලා හිඳි අතර ඇයගෙන් කිසිදු ප්‍රශ්නයක් නොඇසුණු නිසා රිහාන් නැවත හැරී ඇය දෙස බැලුවේ පුදුමයෙනි.

” අම්මා අහන්නේ නැද්ද ඇයි කියලා?”

” ඔයා ලේසියෙන් දේවල් තීරණය කරන කෙනෙක් නෙවෙයිනේ පුතා. ඔයා ඒ වගේ තීරණයක් ගත්තා නම් ඒකට හේතුවක් ඇති කියලා මම හිතනවා. දරුවෝ උස්මහත් වුණාට පස්සේ එයාලගේ ජීවිත ගැන තීරණ ගන්න එයාලට නිදහසක් තියෙන්න ඕනේ නේ “

රිහාන්ගේ මුවට සිහින් සිනහවක් නැඟිණි. මවගේ ඒ වචන තුළ තිබූ විශ්වාසය ඔහුගේ සිතට ගෙන ආවේ තරමක සහනයකි.

ඉන්පසු ඔහු ඉෂිනි සමඟ සිදු වූ සියල්ල ශ්‍යාමලීට පැවසුවේය. නිමේශ්ගෙන් පැමිණි දුරකථන ඇමතුමේ සිට, ඇය තමාට බොරු පැවසූ ආකාරයත්, ඇය ඩියෝන් සමග අවන්හලෙන් පිටතට පැමිණෙන ආකාරය තමන්ගේ දෑසින්ම දුටු ආකාරයත් , අනතුරුව ඇය සමග ඇතිවූ සංවාදයත් රිහාන් විස්තර කළේ ශෝකය මුසු වූ පසුතැවීමකිනි. ශ්‍යාමලී කිසිදු බාධා කිරීමකින් තොරව තම පුතුට සවන් දුන්නේ සාවදානවය.

” ඔයා ඉෂිනිට කිව්වද එෆෙයාර් එක නවත්වනවා කියලා? “

” ඔව් අම්මා. මං එයාව හම්බවෙලා කතා කරන්න හිටියේ. ඒත් පස්සේ මං ඒ අදහස අතහැරියා. ඒ නිසා මං එයාට කතා කරලා කිව්වා අපිට හම්බ වෙලා තව කතා කරන්න තරම් දෙයක් ඉතුරු වෙලා නැහැ කියලා “

ආදරයේ පදනම විශ්වාසය වූ තැන එය බිඳුනු පසුව බැඳීමකින් ඵලක් නැතැයි ශ්‍යාමලී විශ්වාස කළාය.එබැවින් තම පුතු ගෙන ඇති තීරණයේ වරදක් නොමැත. ඉවසිය නොහැකි එකම කාරණාව නම් ඔහුගේ සිත රිදී ඇති ආකාරය ය.

” අම්මා දන්නවද තව දෙයක්?”

කල්පනාවක නිමග්නව සිටි ශ්‍යාමලී නැවත රිහාන් දෙසට හැරුණාය.

” ශෙනෝලිවයි අශේන්වයි ගාවලා සෝෂල් මීඩියා වල ගිය ප්‍රශ්නෙත් ඉශිනි හදපු එකක්. ඒක පිටිපස්සේ ඉන්නේ එයා.ඒක අද එයාගේ කටින්ම කියවුනා . මං කවදාවත් හිතුවේ නැහැ අම්මා, එයාට ඒ වගේ දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා. මං හිතුවේ නෑ එයාට එච්චර දරුණු හිතක් තියෙනවා කියලා. අනික ශෙනෝලි එයාට වචනෙකින්වත් වරදක් කරලා නැහැ. ඒත් හේතුවක් නැතුවම ඉශිනි ට එයාව පෙන්නන්න බැහැ “

එවර ශ්‍යාමලී කෝපි කෝප්පය මේසය මත තබා රිහාන් දෙස බැලුවාය.

” පුතා, අපි ඔයාව හදපු විදිහක් තියෙනවා. ඒවත් එක්ක ඔයා හැදුණු විදිහක් තියෙනවා.  බෑන්ඩ් එකට ඉන්වෙස්ට් කරන්නේ ඔයාගේ තාත්තා වුණාට, ඔයා කවදාවත් ඒකේ ඉන්න අනිත් ළමයින්ව ඔයාට වඩා පල්ලෙහට දාලා සලකලා නැහැ. ඔයා එයාලා එක්ක වැඩ කරන්නේ සාමාන්‍ය බෑන්ඩ් මෙම්බර් කෙනෙක් විදිහට. අපි හැම මනුස්සයෙකුටම එක විදිහට සලකන්න ඕනේ කියන එක අපි ඔයාට කියලා දුන්න නිසයි ඔයා හැම මනුස්සයෙකුටම ඒ වගේ සලකන්නේ “

ශ්‍යාමලි සන්සුන්ව කතා කරන ආකාරයට රිහාන් සවන් දුන්නේ නිවී යමිනි. 

” මිනිස්සු උසස් හෝ පහත් වෙන්නේ එයාලගේ ළඟ තියෙන සල්ලිවලින්වත්, එයාලා දරන තනතුරුවලින්වත් නෙවෙයි පුතා. එයාලා අනිත් මිනිස්සුන්ට සලකන විදිහෙන්. කෙනෙක්ට තමන්ට වඩා දේවල් අඩුවෙන් තියෙනවා කියලා ඒ කෙනාව පහත් කරන්න කාටවත් අයිතියක් නැහැ “

” ඔව් අම්මා. මමත් හිතන්නේ ඒකයි “

” ඉෂිනි ඔයාට ආදරෙයි කියනවා නම්, එයාගේ ආදරය ගැන එයාට විශ්වාසයක් තිබුණා නම්, ශෙනෝලිගේ චරිතයට හානි වෙන විදිහට ඒ වගේ දෙයක් කරන්න එයාට අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාව රැකගන්න තවත් ගෑනු ළමයෙක්ගේ ආත්මගරුත්වය නැති කරන්න ඕනේ නැහැ නේ පුතා. ශෙනෝලි කියන්නෙත් එයා වගේම තවත් ගෑනු ළමයෙක්. එයාටත් තමන්ගේ ගෞරවය රැකගෙන ජීවත් වෙන්න අයිතියක් තියෙනවා “

රිහාන් දිගු හුස්මක් පිට කළේය.

” මට වැඩියෙන්ම දුක ඒක අම්මා. ශෙනෝලි එයාට කිසිම වරදක් කරලා නැහැ.එයාට නෙමෙයි කාටවත්ම වරදක් නැති ළමයෙක් නේ ශෙනෝලි කියන්නේ “

” මට තේරෙනවා පුතා. ඒත් දැන් වෙච්ච දේ වෙනස් කරන්න ඔයාට බැහැ. ඔයාට පුළුවන් වෙන්නේ ඒ දේවල්වලින් පාඩමක් ඉගෙනගෙන ඉස්සරහට යන්න විතරයි. අනිත් එක, ඔයාට ආදරය කරන හැම කෙනෙක්ම ඔයා බලාපොරොත්තු වෙන විදිහටම හැසිරෙයි කියලා හිතන්නත් එපා. මිනිස්සුන්ව අපිට තේරුම් ගන්න වෙන්නේ එයාලගේ වචන වලින් විතරක් නෙවෙයි, එයාලා කරන දේවල් වලිනුත් එක්ක “

රිහාන් හිස සැලුවේය. මවගේ මෙවැනි වචන ඔහුට අලුත් දෙයක් නොවුණත්, ඒ මොහොතේ ඒවා අසා සිටීම ඔහුට අතිශයින් වැදගත් විය. හදවත තරමක් හෝ සැහැල්ලු වූයේ මේ සංවාදය නිසා බැවින් රිහාන් තවදුරටත් තම මවට සවන් දුන්නේ උනන්දුවෙනි.

” පුතා, සමහර වෙලාවට දෙවියෝ අපෙන් දේවල් ඈත් කරනවා. ඒ ඇයි කියලා අපිට ඒ වෙලාවේ තේරෙන්නේ නැහැ. අපි ආදරය කරපු දෙයක් නැති වුණාම අපිට දුක හිතෙනවා. ඒත් කාලයක් ගියාට පස්සේ අපිට තේරෙනවා ඒ දේ නැති වුණ එක අපේම හොඳට කියලා. මම කියන්නේ ඔයාට දුක වෙන්න එපා කියලා නෙවෙයි. ඔයාගේ හිතට දැනෙන දේ දැනෙන්න ඉඩ දෙන්න. ඒත් ඒ දුක නිසා ඔයාගේ ජීවිතේ ඉස්සරහට යන එක නතර කරගන්න එපා “

රිහාන් කෝපි කෝප්පය තොලගාමින් කුඩා විදුලි බල්බ දල්වා ඇති ගෙමිදුල දෙස බලා නිහඬව උන්නේය.

” මම දන්නවා ඔයා කාටවත් හිතාමතා වැරැද්දක් කරන කෙනෙක් නෙමෙයි කියලා. ඒ නිසා ඔයා ඔයා ගැන විශ්වාසයෙන් ඔයාට හොඳයි කියලා හිතෙන තීරණ ගන්න “

ශ්‍යාමලී අසුනෙන් නැගී සිට රිහාන්ගේ හිස මත අත තැබුවාය. 

” හරිද? “

” හරි අම්මා “

” තාත්තා තව ටිකකින් එයි. ඊට පස්සේ ඩිනර් වලට පල්ලෙහාට එන්න “

ශ්‍යාමලී කෝප්ප දෙකද රැගෙන රිහාන්ගේ කාමරයෙන් පිටව ගියාය. සියල්ල තනිව දරා ගත යුතු යැයි සිතා සිටියද මව සමඟ කතා කිරීමෙන් සිතේ තිබූ බර බොහෝ සේ අඩුවී ගිය බව රිහාන්ට දැනෙමින් තිබිණි.ටික වේලාවකට පසුව කාමරයට පැමිණි ඔහු ක්‍රියා විරහිත කර තිබූ දුරකථනය ක්‍රියාත්මක කළේය. තප්පර කීපයක් ඇතුලත තිරය මත එක දිගට දිස් වූයේ ඉෂිනිගෙන් ලැබුණු මගහැරුණු ඇමතුම් සහ කෙටි පණිවිඩ රාශියකි. ඒවා විවෘත කිරීමටවත් රිහාන් තුළ උනන්දුවක් වූයේ නැත.

මගහැරුණු පණිවිඩ සහ දුරකථන ඇමතුම් අතර නිමේෂ්ගෙන්ද මගහැරුණු ඇමතුම් කිහිපයක් සහ කෙටි පණිවිඩයක් තිබිණි. 

රිහාන් වහාම නිමේෂ්ගේ පණිවිඩය විවෘත කළේය.

” They’re at the restaurant again today “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here