” මොකද්ද උනේ ?”
දුරකතන ඇමතුම නිමා කොට විසල් කල්පනාවක ගිලී උන් මිනිසාගේ හැසිරීම සැක සහිත නිසා ඔහු පසෙක උන් අනෙක් පුද්ගලයා ඔහු වෙතට හැරී එසේ ඇසුවේය.
” සර් මිස් දුමීට ඔක්කොම කියලා. “
” මොකක් ? මෙච්චර ඉක්මනට ?”
” ඒක තමයි මාත් බැලුවේ. “
” නවත්තපන් වාහනේ.. “
මෝටර් රථය තුළ වූ උස් කෑගැසීමට ඉදිරිපස රියදුරු අසුනේ වූ රියදුරා අතින් වේගයෙන් තිරිංග තද කෙරිණි.
” ඔය ස්ටෙප් එකට යන්න හිටියේ කරන්නම දෙයක් නැති උනොත්. අනික දැන් හැමෝම ඇත්තේ හෝල් එකේ. දැන් කීයටවත් අර කෙල්ල මූව බඳියි කියල හිතනවද ? කට උඩට තියලා මොන විකාරයක්ද මූ මේ කළේ ?”
” කරන්න දෙයක් නෑ සර්. අස්නක සර් කිව්වේ සර්ව පිටත් කරලා මිසක් ආපිට එන්න එපා කියලා. අපි යං.. “
ඔහු එසේ පවසා රියදුරාගේ පිටට තට්ටුවක් දැම්මේය.
” නෑ.. නෑ.. නෑ.. ඔහොම හිටහන්. මේ.. මේක මෙහෙම වෙන්න දෙන්න බෑ බං. උඹලට හිතක් පපුවක් නැද්ද ? අතන හැමදේම ලෑස්ති කරලා තියන වෙලාවේ තොපි හදන්නේ ඒ මඟුල නතර කරන්නද ?”
” ඒක නං දැනටමත් වෙලා ඇති සර්. “
*********************************************
” දුමී කෝ.. ? නැකැත් වෙලාවත් පහු වෙනවනේ ?”
මහීකා තමා අසල උන් විශාඛා දෙස බලා පැවසූ අතර විශාඛා එකී පැනයම උවනේ රඳවා සුභාවි දෙස බැලුවාය.
” භරණ ගියා අම්මා.. එක්කන් එයි. “
” මචං ! මොකෝ උඹ නිකන් ?”
පැමිණ සිටි හිත මිතුරන් සියල්ලන්ගෙන්ම මිදී පසෙකට වී ජංගම දුරකතනයට මුහුණ යොමා සිටි අස්නක වෙතට පැමිණි තේජ් ඔහුගේ පිටට තට්ටුවක් දමමින් ඇසුවේය.
” අවුලක් නෑ ඇයි. “
” උඹේ මූණ නිකන් අමුතුයි. යකෝ.. තෝ අද කසාද බඳිනවා. හිනාවෙලා හිටහංකෝ. “
” දුමී පරක්කුයි නේද ?”
ඔවුන් දෙදෙනා අතරට පැමිණි අෂ්මිලද මිහිදුමීගේ ප්‍රමාදය පිළිබඳව පැවසුවේය. තේජ් නැවතත් කල්පනාකාරී උවනින් අස්නක දෙස බැලුවද කිසිවක් පැවසීමට මත්තෙන්ම ශාලාවේ පිවිසීමේ ද්වාරය විවර විය.
” දුමී එනවා.. “
” ශාහ්.. මෙයාගේ ලස්සන..!”
භරණගේ එක් අතක තම අත පටළවා ගනිමින් පැමිණෙන මිහිදුමී දෙස මංගල සභාවේ සිටි සියල්ලන්ගේම ප්‍රීතිමත් දෑස් යොමුවී තිබූ අතර ඈ සෙමින් අඩි තබා ගොස් අස්නක ඉදිරියේ සිට ගත්තාය. වේගයෙන් ගැහෙන හදවත මොහොතකට පාලනය කර ගත් ඔහු පමණට වඩා වීර්යයක් ආරූඪ කරගනිමින් ඈ දෙස බැලුවේය.
” මිස්ටර් අස්නක අභිනාද විජේසිංහ ..! මට මගේ මාමායි , අම්මයි දෙන්නම කිව්වා අස්නක තමයි මේ ලෝකේ ඉන්න හොඳම කොල්ලා කියලා. එයා තරම් හොඳ කෙනෙක් මට වෙන කොහෙන්වත් ලැබෙන්නෑ කියලත් කිව්වා.. “
” දු.. දුමී.. මං..”
වෙව්ලන මුවින් කෙළ පිඬක් ගිල දැමූ ඔහු ඇගේ දෑස දෙස බැලීමට නොහැකිව බිම බලා සිටියේය. ඊළඟ මොහොතේ සියල්ල විනාශ වී යන බවට විශ්වාස කළ තරුණයා වචනයක් හෝ නොඳොඩා එක දිගට නිහඬබව රැක්කේය.
” ඉතිං මිස්ටර් විජේසිංහ.. ! කවුරු කොහොම මොන කතාව කිව්වත් ..,”
අස්නක විසල් හුස්මක් ගත්තේය. මනමාලිය ඇගේ මනමාලයා හා පවසන කිසිවක් ඔවුන් දෙදෙනාගෙන් එහාට නෑසුණද සියල්ලෝම කුතුහලාත්මක මුහුණු අතරින් කසුකුසු නඟමින් ඔවුන් දෙදෙනා දෙස බලා සිටියහ .
” මං හිතන්නේ මං මේ අද ගත්තේ ගන්න තියන හොඳම තීරණේ.. “
අස්නක ගෙල බැඳි ටයි පටිය මඳක් බුරුල් කළේය. ඊළඟ මොහොතේ සිදුවන්නට යන දෑ අනුමාන කළ හැකි වුවද පසෙක සිට බලා හිඳිනා මහීකාගේ උවන දුටු ඔහුගේ සිත බොහෝ සළිත වී ගියේය.
” මිස්ටර් විජේසිංහ.. ! “
ඔහුගේ උවන දෙස බලා තවත් අඩියක් ඔහු අසලටම තැබූ මිහිදුමී දම්සේයා මහවලතැන්න බලාපොරොත්තු නොවූ ආකාරයට ඔහු ඉදිරියේ පොළොව මත දණ ගැසුවාය. ඉන් පසුව ඈ අත තිබූ මංගල මුදුව බහාළු කුඩා පෙට්ටිය විවර කර ඔහු වෙත දිගු කළාය.
” will you marry me..!”
” woh…!”
තේජ්ගේ හඬ ඉතා උස් හඬින් නැඟුණු අතර ඔහු සමීපයේ සිටි තරුණ තරුණියන් සියළු දෙනා ශාලාව දෙදරවා යන තරමට විසල් හඬින් ප්‍රීතිඝෝෂා කළ අතර පොළොව මත දණ ගසා සිටි තරුණිය දෙස බැලූ අස්නකගේ දෙනෙතින් කඳුළක් රූරා වැටුණේය.
” දුමී..!”
” මගේ අම්මයි , මාමායි කියපු කතාව ඇත්ත මිස්ටර් විජේසිංහ.., ඔයා තමයි මේ ලෝකේ ඉන්න හොඳම මනුස්සයා. මෙහෙම දෙයක් ඔයාට ඇරෙන්න වෙන කාටවත්ම කරන්න බෑ. මගේ ජීවිතේ මං ගත්තු හොඳම තීරණේ මේක. අනේ බෑ.. කියන්න එපා.. මාව කසාද බඳින්න.. ප්ලීස්…!”
” දුමී..!”
ඉකි ගසා හඬා වැළපෙන ඇගේ දෙවුරින් අල්ලා ඈව නැඟිටුවා ළූ ඔහු යළි ඇගේ දෑත අල්ලා ගත්තේය.
” දුමී.. ! මං.. “
” කිසිවක්ම නොපැවසූ ඈ වහා දෙපයින් එසවී ඔහුගේ දෙතොලට බර වූවාය.
” ඒයි.. ඒයි.. කොළේ අත්සන් කරනකන් වත් හිටහන් “
තේජ්ගේ හඬ උස් හඬින් නැඟුණු අතර නැවත වතාවක් තරුණ තරුණියන්ගේ සිනාහඬ ශාලාව පුරා දෝංකාර දුන්නේය.
විශ්මය කැටිවූ තත්පර කිහිපයකට පසු ඇගේ රටාවට අනුගත වූ ඔහු ඇගේ බඳින් අල්ලා ඈ ඔසවා ගත් අතර මිනිත්තු ද්විත්වයක් පමණ දිව ගිය හාදුවේ අවසානයේ ඈ ඔහුගේ එක් තොල් පටක් උවමනාවෙන්ම සැපුවාය.
” ආහ්..”
” රිටර්න් එකක් දෙන්න තිබ්බ එකක් ඕක. “
ඈ එසේ පවසා ඔහුගේ අතක තම දෑඟිලි පටළවා ගත්තාය.
” අපි බඳිමුද ?”
නැවත වතාවක් ඇගේ පැනයට හිස සොළවා ඔව් යැයි පැවසූ ඔහු රෙජිස්ට්‍රාර්වරයා ඉදිරියේ තිබූ අසුනක් පසුපසට කර ඇයට එහි අසුන් ගැනීමට ඉඩ සළස්වා අසුන් ගැනීමට ඉඩ සැළැස්වූයේය.
ඉදින් ඉන්පසුව විජේසිංහ කුටුම්භයේ වැඩිමහලු පුත්‍රයා වූ අස්නක අභිනාද විජේසිංහත් , මහවලතැන්න පෙළපතෙහි කුල කුමරිය වූ මිහිදුමී දම්සේයා මහවලතැන්නත් නීත්‍යානුකූලව අඹු සැමියන් විවාහ සහතිකය මත අත්සන් තැබූ අතර ඉන්පසුව නීත්‍යානුකූල අඹු සැමියන් ලෙස දිවුරුම් දුන්හ.
ශාලාව පුරා පැතිර ගිය ප්‍රීතිඝෝෂා හා සතුටු නාද අතරේ විශාඛාත් , මහීකාත් කඳුළු සළමින්ම නව යුවතිපතීන් වැළඳ ගත්හ.
” දුමී.. මං.. “
සිදුවන සියල්ලම බලාපොරොත්තු වූ ආකාරයෙන් බැහැරට ගොස් තිබීමත් , මිහිදුමීගේ හැසිරීමත් හේතුවෙන් තවමත් වික්ෂිප්තව සිටින අස්නක කිහිප වතාවක්ම ඈ ඇමතීමට උත්සාහ දැරූවද තමා වටා රොක් වූ නෑ හිත මිතුරන්ගේ සුබ පැතීම් හමුවේ එය තව දුරටත් ප්‍රමාද වූයේය.
” දුමී.. !”
” මාමේ.. !”
” මට ඔයා ගැන ආඩම්බරයි දරුවෝ.. “
මිහිදුමී වහා භරණගේ දෑතම අල්ලා ගත්තාය.
” ඔයාට ගොඩාක් පින් මාමේ.. ! අන්තිම මොහොතේ හරි මාව තේරුම් ගත්තට. “
” මේ ලෝකේ අපි කවුරුත් සර්ව සම්පූර්ණ මිනිස්සු නෙමෙයි දුමී. කවුරුහරි එක පාරක් හරි අපිට වංචාවක් කළොත් , වැරැද්දක් කළොත් අපිට ආයේ පාරක් ඒ මනුස්සයට සමාව දෙන්න , ආදරේ කරන්න බය හිතෙනවා. ඒත්.. අපිට වැරැද්දක් කරපු කෙනෙක්ට උනත් වරදක් වෙද්දි ඒ වෙනුවෙන් පෙනී ඉන්න ඔයාට හිතෙනවා කියන්නේ ඔයාට තියෙන්නේ මේ ලෝකේ තියන ලස්සනම හිත දුමී. අන්තිම මොහොත වෙනකන් සිංදුමීගේ මිනීමරුවට දඬුවම් දෙන්න ඕන කියන සිතුවිල්ල ඔයාගේ හිතේ තිබ්බේ අන්න ඒ ඔයාගේ හිතේ තියන හොඳ ගති ගුණේ නිසා. ඔයාට මං ගොඩාක් ආදරෙයි දුමී. ඒ වගේම මේ ලෝකේ මං දැකපු හොඳම ගෑනු දරුවා ඔයා. “
” අනේ මාමේ..!”
මිහිදුමී වහා භරණගේ ළැමට තුරුළු වූ අතර ඔහු තදින් ඈ වැළද ගත්තේය.
” භරණ.. !”
” අස්නක.. ! එක් අතකින් මිහිදුමීව වැළඳ ගත් භරණ අනෙක් අතින් අස්නකගේ අත අල්ලා ගත්තේය.
” මං මේ උඹට දෙන්නේ මගේ ළඟ තිබ්බ ලොකුම වස්තුව අස්නක. එක පාරක් මං ළඟ තිබ්බ මේ වගේම වස්තුවක් මට නැති උනා. ඒ නිසාම මේ මැණික් කැටේ මං හරි පරිස්සමට බලා ගත්තේ . මෙහෙම පොඩි එකෙක් වගේ දැන් මට තුරුල් වෙලා හිටියට මෙයා එච්චර ලේසි පාසු කෙනෙක් නෙමෙයි. “
” අනේ.. මාමේ..!”
මඳ සිනහවක් පෑ භරණ තවත් තදින් මිහිදුමීව තුරුළු කර ගත්තේය.
” මීට පැය භාගෙකට කලින් මෙයා කිසිම කෙල්ලෙක් තමන්ගේ කසාදෙ දවසේ කරන්න හිතන්නෙවත් නැති වැඩක් කරන්න ගියේ. ඒ තරම් හිතුවක්කාර කෙල්ලෙක් මෙයා. ඒත්.. දුමීට හරි ලස්සන හිතක් තියනවා අස්නක. වරදකට තියෙන්නේ බොරු කලබලෙයි , හිතුවක්කාරකමයි විතරයි. එකට ජීවත් වෙන්න ගියාම ප්‍රශ්න එන්න පුලුවන් . අන්න ඒ තැන්වලදි පුලුවන්නං ඉවසීමෙන් වැඩ කරපන්. ගහන්න , බනින්න යන්න එපා. අතක් උස්සන්න හිතුණොත් ඒ වෙලාවට මට සමා වෙලා මාව මතක් කරන් ආයේම මගේ ළඟට මෙයාව ගෙනත් දෙන්න. එයාගේ හැම වැරැද්දකටම මං සමාව ගන්නං. මේ කෙල්ලට ඔයා නැති ජීවිතයක් නෑ අස්නක. මං ඒක හොඳටම දන්නවා. ඒ නිසා වැරැද්දක් උනොත් මං ගැන හිතලා දුමීට සමාව දෙන්න.. “
” අනේ.. මාමේ.. !”
තව දුරටත් ඉකි ගසා හැඬූ මිහිදුමී තවත් තදින් භරණට තුරුළු වූ අතර අස්නක ඔහුගේ අත තම දෝතින්ම අල්ලා ගත්තේය.
” ඔයා මට මගේ හුස්ම ටික අතාරින්න කියන්න භරණ. මං ඒක කරන්නං. ඒත්.. දුමීව.. එයාවනං බෑ. ඒ නිසා බය වෙන්න එපා. ඔයා තරම් බැරි වෙයි. හැබැයි මං දුමීට මගේ පණටත් වැඩිය ආදරෙයි. මං එයාව හොඳට බලා ගන්නං “
භරණගේ තුරුළෙන් දෑස එසවූ මිහිදුමී තමා අසලම සිටින ඔහු දෙස බැලුවේය. තවමත් කුතුහලය හා ඉතිරි වූ ගැටළුවක් හදවත තුළ තිබියදී ඔහු එක එල්ලයේ ඈ දෙස බලා සිටියේය .
” මොකද්ද අර කවුරුවත්ම කසාදේ දවසේ නොකරන දෙයක් කරන්න ගියා කිව්වේ ?”
මිහිදුමී තිගැස්සී භරණ දෙස බැලූ අතර භරණ තොල්පට සපා ඉවත බැලුවේය.
ඒ සැණෙකින්ම නැවත වතාවක් මංගල උත්සවය පැවති ශාලාවේ ප්‍රධාන ද්වාරය විවර වූ අතර ඩීඅයිජී නඳුන් දිසානායක ඉන් ඇතුළට පිවිසි අතර ඔහු පසුපසින් ශමෙල් කිරිඇල්ලද ශාලාව තුළට අඩි තැබුවේය. තුෂ්නිම්භූතවූ අස්නක විජේසිංහ වෙව්ලන දෑසින් තමා දෙස එක එල්ලයේ බලා සිටින මිහිදුමී දෙස බැලුවේය.

