5th Avenue – 84

0
88

රිහාන් ස්ටුඩියෝවට පැමිණීමට බලාපොරොත්තු වූ වේලාවට වඩා තරමක් ප්‍රමාද වූ අතර ඒ වන විට මේඝ සහ අශේන් පැමිණ අශේන්ගේ ගීතය පිළිබඳ තොරතුරු කතාබහ කරමින් ඔහුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් උන්හ. නමුත් සියලු දෙනාටම වඩා ඔහු පැමිණෙනතුරු නොඉවසිල්ලෙන් බලා උන්නේ ශෙනෝලි ය.

” මේක පර්සනල් දෙයක් නිසා මට උදව් කරන්න පුළුවන්මයි කියලා ඔයාට පොරොන්දු වෙන්න බැහැ ඉශිනි. ඒත් මං ට්‍රයි කරන්නම් මොන හරි දෙයක් කරන්න පුළුවන්ද කියලා”

තමා ඉශිනි හට එසේ පැවසුවේ මීට පැය එකහමාරකට පමණ පෙරය. එහෙත් තමා පැවසූ පමණින් රිහාන් ඇයව මුණගැසීම සඳහා කිසිසේත්ම එකඟ නොවන බව ශෙනෝලි පැහැදිලිවම දැන උන්නාය. කළ යුත්තේ කුමක්දැයි තීරණය කරගත නොහැකි දෙගිඩියාවකින් ශෙනෝලි බලා උන්නේ රිහාන් දැක ගැනීම සඳහා උපන් ආසාවෙන් වුවත් ඔහු ස්ටූඩියෝවට පැමිණි පසුව සිදු වූයේ කිසිසේත්ම අපේක්‍ෂා නොකළ දෙයකි.

පෙර දිනයේදී ශෙනෝලි ගේ නිවසට ගොස් තම සිතැඟි බෙදා ගත් රිහාන් සම්පූර්ණයෙන්ම වෙනස්ව උන්නේය. ඔහු රාජකාරී මට්ටමින් පමණක් ශෙනෝලි සමඟ දෙතුන් වතාවක් කතා බහ කළ අතර අනතුරුව ඔහුගේ සම්පූර්ණ අවධානය යොමු වූයේ පුහුණු වීම් කෙරෙහිය.එවැන්නක් ඔහු වෙතින් බලාපොරොත්තු නොවූ ශෙනෝලි උද්යෝගයෙන් පිරී තිබුණු හදවත බොහෝ සේ රිදවා ගෙන පුහුණු වීම් අවසන් වන තුරු ලැප්ටොප් පරිගණකය වෙත දෑස් යොමා ගෙන කාලය ගත කළාය.

ඉශිනි සමග ඇති සම්බන්ධය නතර කර දැමීමෙන් අනතුරුව රිහාන් පෙර පරිදි සාමාන්‍ය තත්ත්වයට පත්ව සිටි යැයි බලාපොරොත්තු වුවද එය එසේ නොවූ තැන ශෙනෝලි උන්නේ නැවත වතාවක් ඔහු කෙරෙහි වූ හැඟීම් සඟවා ගන්නට උත්සාහ දරමිනි.පුහුණුවීම් අවසාන වූ පසුව එකිනෙකා ස්ටුඩියෝවෙන් පිටව යද්දී ශෙනෝලි තම සටහන් පොත් සහ ලැප්ටොප් පරිගණකය බෑගයට දමාගෙන පිටව යන්නට සූදානම් වූවාය. අශේන් පැමිණ ඇය අසළ වාඩි වී මොහොතක් ඇය දෙස බලා උන්නේ ඇගේ අසාමාන්‍ය හැසිරීම ඉවෙන් මෙන් වටහා ගෙනය.

” මොකද ඔයාට වෙලා තියෙන්නේ ශෙනෝ ? “

ශෙනෝලි බෑගය වසා දමා හිස ඔසවා අශේන් දෙස බැලුවේ අනතුරුවය.

” ඇයි ?” 

” නෑ ඔයා නිකං හැසිරෙන්නෙ පෙට්‍රල් ගහ ගත්ත කඩියෙක් වගේ. ඒකයි ” 

ශෙනෝලි ට සිනහා පහල විණි. තමා ගේ සිතට රිහාන් පිළිබඳව සිතුවිලි ගලා ඒම නතර කර ගන්නට අවට ලෝකය පිළිබඳව අවධානය යොමු වීම වළක්වා ගනිමින් තමා හැසිරුණු ආකාරය කෙසේ වන්නට ඇත්දැයි ඇය සිතුවේ සෝෆාවෙන් නැගිටින අතරවාරයේය.

” කොෆි එකක් බොන්න යන්ද ? ” 

ශෙනෝලි මදහසක් පෑවාය.රිදී ඇති සිත සුවපත් කර ගන්නට හෝ අශේන් හට ඉඩ තැබිය යුතු නැතැයි ඇය සිතුවේ පිටව යන්නට සූදානම් වන රිහාන් දෙසද දෑස් කොනෙන් බලමිනි.

” මං ඉක්මනට ගෙදර යන්න ඕනේ අශේන්.මට වැඩ වගයක් තියෙනවා “

ඔහුට කිසිවක් කීමට ඉඩ නොතබා ශෙනෝලි ස්ටූඩියෝවේ දොර අසලට පැමිණ නතර වී රිහාන් දෙසට හැරුණාය.

” ඔයා ළඟ කී එක තියෙනවා නම් studio එක ලොක් කරගෙන යන්න පුළුවන් නේද රිහාන් ? ” 

රිහාන් හිස ඔසවා ශෙනෝලි දෙස බලා වාඩිවී හිඳි තැනින් නැගිට්ටේය.

” Sure ශෙනෝලි ” 

ශෙනෝලි නැවත අශේන් දෙසද බලා මඳ සිනහවක් පා ස්ටූඩියෝවේ දොර විවෘත කර ගෙන පිටතට පැමිණ වේගයෙන් පඩිපෙළ බැස වාහන අංගනය පසුකර ප්‍රධාන පාර වෙත පැමිණ නතර වී ත්‍රී රෝද රථයකට අත දිගු කර නතර කර ගත්තාය.

ත්‍රී රෝද රථයට නැගුණු පසු ශෙනෝලි තම හැඟුම් වලට ඉඩ හැරියේ දෑස් වලින් ගලා එන කඳුළු කම්මුල් දිගේ රූරා වැටෙද්දීය. මෙතරම් කාලයක් ළඟින් ඇසුරු කර වුවද රිහාන් යනු කවරාකාරයේ තරුණයෙකු දැයි හඳුනා ගැනීමට තමා අපොහොසත් වී ඇති ආකාරය පිළිබඳව ශෙනෝලි හට දැනෙමින් තිබුණේ සංවේගයකි.පෙර දින සවස් යාමයේ සිට පැය ගණනාවක් යනතුරු තමාට බොහෝ ළෙන්ගතු අයකු ලෙස හැසිරුණු රිහාන් පසු දිනයේදී ආගන්තුකයෙකු ලෙස හැසිරීම ඇයට දරා ගත හැකි නොවූ අතර නිවසට එන තෙක්ම ඇය උන්නේ ඒ සිතුවිලි වල අතරමං වීගෙනය.

බොහෝ දුරට හිත නිදහස් කරගෙන හුන් රිහාන් හට ඉතිරිව තිබූයේ බිඳී ගිය හදවත පිළිසකර කර ගැනීමට පමණි. ඉශිනි ගෙන් මගහැරුණු ඇමතුම් ප්‍රමාණය දිනෙන් දින අඩු වෙමින් පැවතුණු නිසා ඇයද මේ වන විට යථාර්ථය තේරුම් ගෙන ඇතැයි ඔහු සිතුවේය.එහෙත් සැබවින්ම ඇය එලෙස යථාර්ථය තේරුම් ගෙන උන්නේ නැත. රිහාන්ව සම්බන්ධ කර ගැනීමට හැකි සෑම උත්සාහයක්ම දරමින් ඒ වන විටත් ඇය උන්නේ පරාජය භාර ගැනීමට නොහැකියාවකිනි.

” ඔයාට දැන් තියෙන්නේ රිහාන්ව නැති වෙච්ච දුක නෙමෙයි ඉශිනි. ඔයා ඔයාට සෙකන්ඩ් වෙච්ච එකේ දුක “

ඩියෝන් පැවසුවේ ඇය ඉදිරියේ වූ වීදුරුව මත්පැන් වලින් පුරවමිනි. ඔහු පවසනා කතාවේ අසත්‍යයක් නොවේ යැයි ඉශිනි කල්පනා කළ අතර ඇය දුරකථනය අත් බෑගය තුළට දමා තැබුයේ එය දකින වාරයක් පාසා රිහාන් හට ඇමතුමක් ගැනීමට සිතෙනා නිසාය.එළඹෙන සතියේ පැවැත්වීමට නියමිත ප්‍රසංගයකට 5th Avenue කණ්ඩායම සහභාගී වන බවට තොරතුරු සමාජ මාධ්‍ය වල දක්නට ලැබුණද එයට සහභාගී වී හෝ ඔහු හමුවීමට සිතට නැඟුණු සිතිවිල්ල ඉශිනි පාලනය කරගත්තේ ඉතා ආයාසයෙනි. එක් වරක් හෝ ඔහු හමුවීමට නොහැකිම වුවහොත් එවැනි පියවරකට හෝ එළඹීමට ඇය අවසානයේ සිතා ගත්තාය.

” මෙලොව වැඩකට නැති දෙයක් පස්සේ ගිහිල්ලා ඔයා මේ නාස්ති කර ගන්නේ ඔයාගේ ලයිෆ් එකේ හොඳම දවස් “

ඩියෝන් ඔහු අත වූ මත්පැන් වීදුරුව මේසය මත තබා ඉශිනි වෙත නැඹුරු වූයේය.ඇය නිසොල්මනේ ඉදිරිය බලා උන්නේ අපේක්ෂා භංගත්වය මුසු දෑස් වලිනි.

” මගේ ලයිෆ් එකේ හොඳම දවස් ඉවර වෙලා ගියා ඩියෝන් “

ඉශිනි ඇසෙන නෑසෙන පමණට මුමුණන විට ඩියෝන් ඉවත බලා ගත්තේ කෝපයෙනි.කොතෙක් උත්සාහ කලද රිහාන්ගේ මතකයෙන් ඇයව ඈත් කර තැබීම පහසු කටයුත්තක් නොවන බව ඔහු ඒ වනවිට තේරුම් ගනිමින් හුන් නමුත් උත්සාහය අතහැර දැමීමට සූදානම් නොවූ ඩියෝන් කෙසේ හෝ තම අභිප්‍රාය ඉටුකර ගැනීමට සැලසුම් සකස් කළේය.

” ඔයා මෙතනට වෙලා කොච්චර නහයෙන් ඇඬුවත් රිහාන් ආපහු එන්නෑ කියන එක පිළිගන්න ඉශිනි ” 

” මට මේ වෙලාවේ වෙන්න ඕන මොකක්ද කියලවත් මට දැන් තේරෙන්නේ නැහැ ඩියෝන් “

ඉශිනි ගේ දෑස් බොඳ වී තිබෙන ආකාරය ඩියෝන් අවන්හලේ වූ අඩ අඳුර අතරේ වුවද පැහැදිලිවම දුටුවේය.

” ඔයා අහලා තියෙනවද කතාවක්, අපි වැඩකට නැති තිරිවාන ගල් පස්සේ යනකොට අපිට අපි ළඟ තියෙන මැණික් ගල් පේන්නෙ නැහැ කියලා ? “

ඉශිනි එකවරම ඩියෝන් දෙස බැලුවේ පුදුමයෙනි. දින ගණනාවක් තිස්සේ ඔහු නොකියා කියන යම් දේවල් වටහා ගෙන උන්නද ඒවා පිළිගැනීමට හැකි තත්ත්වයක ඇය නොසිටි අතර එකවරම රිහාන් වෙතින් මිදී තවත් මඟකට පිවිසීමට ඇයට හිත හදාගත හැකි වූයේද නැත.

” රිහාන් හෙට අනිද්දම වෙන කෙල්ලෙක් හොයා ගනියි. එතකොට ඉතින් එයාට ඔයා කියලා කෙනෙක් හිටියද කියලවත් මතක නැතිවෙයි “

ඩියෝන් එසේ පැවසුවද රිහාන් එවැනි පුද්ගලයකු නොවන බව ඉශිනි තරයේම විශ්වාස කළාය. තමා මේ ගෙවමින් හිඳින්නේ පෙරටත් වඩා සිහි බුද්ධියෙන් කටයුතු කළ යුතු දිනයන් බව ඇය නැවත සිතුවේ ඩියෝන් වෙත හැරෙමිනි.

” රිහාන් එහෙම කෙනෙක් නෙවෙයි.එයාව මීට් වෙන්න මට ශෙනෝලි උදවු කරයි “

” ශෙනෝලි කිව්වේ ? මේ රිහාන්ලගේ බෑන්ඩ් එකේ coordinator ? ” 

” ඔව් “

ඉශිනි තනි වචනයෙන් පිළිතුරු දී ඉවත බලා ගනිද්දී ඩියෝන් හට ඇය පිළිබඳව දැනුනේ සිතා ගත නොහැකි තරමේ පුදුමයකි. ඉශිනි යනු තමාගේ සිතැඟි ඉටු කර ගැනීමට ඕනෑම දෙයක් කල හැකි අයෙකු බව වටහා ගැනීමට මීටත් වඩා උදාහරණ උවමනා නොමැති බවට සිතුවිල්ලක් ඔහු තුළ ඇතිවූයේ නිරායාසයෙනි.

” ඔයා අච්චර දෙයක් කරලා කොහොමද ඉශිනි ශෙනෝලි ගෙන්ම උදව් ඉල්ලුවේ ? “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here