ගර්භනී මවක් රෝහල් ගත විය යුතු කාරණා..

ගර්භණී අවධියේදී ඇතිවන සමහර ලක්ෂණ එම කාලය තුළ ඇතිවන සාමාන්‍ය ලක්ෂණ වන අතර, ඇතැම් ලක්ෂණ අවදානම් සහගත අවස්ථාවක් පෙන්නුම් කරන ඒවා විය හැකියි. එමනිසා, එවැනි අවදානම් සහගත අවස්ථා පිළිබඳව දැනුවත් වී සිටීම මගින්, කුස තුළ වැඩෙන දරුවාට සහ මවට සිදුවිය හැකි හානි අවම කරගැනීමට හෝ වළක්වා ගැනීමට හැකියාව ලැබෙනවා .

රුධිර වහනය.

සමස්ථ ගර්භණී අවධිය පුරාවටම, යෝනි මාර්ගයෙන් රුධිර වහනය වීම යනු අසාමාන්‍ය ලක්ෂණයක්. ගර්භණී අවධියේ මුල් ත්‍රයිමාසිකය (First trimester) තුළදී තදින් රුධිරය වහනය වීමත් සමග, උදරයේ දැඩි වේදනාවක්, ඔසප් වීමේදී ඇතිවන ආකාරයේ වේදනාවක්, හෝ ක්ලාන්ත ස්වභාවයක් දැනේ නම්, එය ගර්භාෂයෙන් පිටත පිළිසිඳ ගැනීමක (Ectopic pregnancy) ලක්ෂණ විය හැකියි. එවැනි ගර්භාෂයෙන් පිටත පිළිසිඳ ගැනීමක් මවගේ ජීවිතයට අනතුරක් ඇති කරනවා.

මුල් තෙමස තුළ හෝ දෙවන තෙමස තුළ මුල් අවධිය තුළ උදරයේ වේදනාවක් සමග තදින් රුධිර වහනය වීම, ගබ්සා වීමක ලක්ෂණ වියහැක. තෙවන ත්‍රයිමාසිකය තුළදී උදරයේ වේදනාවක් සමග රුධිරය වහනය වීමක් සිදු වුණොත් එය වැදැමහ ගර්භාෂ ආස්තරයෙන් වෙන්වීම (Placental abruption) හෝ වැදෑමහ අසාමාන්‍ය අයුරින් පහතින් පිහිටා තිබීම නිසා සිදුවිය හැකියි.
කෙසේ වුවත් ගර්භණී අවධියේදී රුධිරය වහනය වීම සැමවිටම අවදානම් සහගත අවස්ථාවක් බැවින් වහාම රෝහල්ගතවීම වැදගත්.

දැඩි ඔක්කාරය සහ වමනය

ගර්භණී අවධියේදී යම් ප්‍රමාණයකට ඔක්කාරය සහ වමනය පැවතීම සාමාන්‍ය දෙයක්. නමුත්, එය දැඩිව පවතිනවා නම් මවට සහ දරුවාට හානි සිදුවීමට ඉඩ ඇත. ගර්භණී මවකට කිසිම ආහාරයක් ගැනීමට හෝ පානය කිරීමට නොහැකි නම්ඇය විජලණයට ලක්වීමට දැඩි අවදානමක් තියෙනවා. එපමණක් නොව, දැඩි වමනය නිසා කුස තුළ වැඩෙන දරුවාට පෝෂ්‍ය පදාර්ථ ලැබීම අඩුවන අතර, දරුවා විජලනයට ලක්වීම ද සිදු වෙනවා.

දරුවාගේ චලනයන් අඩුවීම.

දරුවා කුස තුළ නිරෝගීව සිටින බවට හඳුනාගත හැකි එක් සලකුණක් වන්නේ දරුවාගේ චලන. දරුවාගේ චලන සිදුවන රටාව දරුවාගෙන් දරුවාට වෙනස් වෙනවා.එය දැනෙන ආකාරය ද මවගෙන් මවට වෙනස්. දවසේ ඇතැම් වේලාවන් තුළ දරුවාගේ චලනයන් මදක් අඩුවීම සාමාන්‍ය දෙයක්. නමුත්, සක්‍රීයව සිටි දරුවාගේ චලනයන් එකවරම අඩුවීම හෝ දරුවා සාමාන්‍යයෙන් සක්‍රීයව සිටින වේලාවන් තුළ සිදුවන චලනයන් අඩුවීම අසාමාන්‍ය දෙයක් වීමට ඉඩ තියෙනවා. දරුවාගේ චලනය අඩු යැයි සැකයක් පවතී නම්, යම් ආහාරයක් හෝ සිසිල් පානයක් ගෙන ඉන් පසුව පැත්තකට හැරී වැතිර, දරුවා චලනය වන්නේ දැයි පරීක්ෂා කරන්න. දරුවාගේ චලනයන් දිනපතා සටහන් කරගැනීම ද තවත් ක්‍රමයක්. කුස තුළ සිටින දරුවා චලනය වන වාර ගණනට නිශ්චිත අගයක් නෑ. නමුත් දරුවාගේ චලනයන් සාමාන්‍ය හෝ අඩු බව අවබෝධ කරගැනීමට මූලික හැකියාවක් මවට තිබෙන්න ඕනෑ. දරුවා සාමාන්‍යයෙන් පැය දෙකක කාලයක් තුළ වාර 10 ක් හෝ එයට වැඩි වාර ගණනක් චලනය විය යුතුය. දරුවාගේ චලනය අඩු යැයි සැකයක් පවතිනවා නම් ඉක්මනින් වෛද්‍ය උපදෙස් පැතීම වැදගත්

ප්‍රසූත වේදනාවන් ඇතිවීම

වේදනාවක් සමග ගර්භාෂයේ හැකිලීම් හටගැනීම, නිසි කාලයට පෙර දරු උපත සිදුවන බවට ලක්ෂණයක්. පළමු දරු ප්‍රසූතියට සූදානම් වන මවකට සත්‍ය ප්‍රසූත වේදනාව සහ ව්‍යාජ ප්‍රසූත වේදනාව වෙන්කර හඳුනාගැනීම අපහසු වෙන්න පුලුවන්. ව්‍යාජ ප්‍රසූත වේදනාවන් පැයක කාලයක් තුළ හෝ දියර පානය කිරීමෙන් පසුව පහව යනවා. ඇතැම් විට ව්‍යාජ ප්‍රසූත වේදනාවන් ගර්භණී අවධිය ආරම්භ වී සති 6 ක් පමණ ගතවන විට ඇරඹෙනවා.
සත්‍ය ප්‍රසූත වේදනාවන් යම් රටාවකට ඇතිවන අතර, වේදනාවන් දෙකක් අතර කාලය විනාඩි 10 ක් හෝ එයට අඩුයි. ක්‍රමයෙන් වේදනාවන් අතර කාල පරතරය අඩුවන අතර වේදනාවේ තීව්‍රතාවයද ක්‍රමයෙන් වැඩි වෙනවා. සත්‍ය ප්‍රසූත වේදනාව උදරයේ සහ පිට කොන්ද ආශ්‍රිතව ඇතිවේ. මෙවැනි වේදනාවක් ඇතිවේ නම් දරුවා බිහිවීමට ආසන්න වෙන්න පුලුවන් . ඉක්මනින් රෝහල්ගත වීම වැදගත් .

Water bag කැඩීම.

ගර්භාෂය තුළ දරුවා සිටින්නේ ගර්භ තරලය අඩංගු මල්ලක් වැනි කලලාවාරික පටල තුළ. මෙම කලලාවාරික පටල water bag ලෙසද හැඳින්වෙන අතර, ගර්භ තරලය පිටතට ගලායාම වැළකෙන්නේ කලලාවාරික පටල නිසා. කලලාවාරික පටල බීඳී ගියහොත්, ගර්භ තරලය යෝනි මාර්ගය ඔස්සේ පිටතට වහනය සිදුවෙනවා. එවිට අවර්ණ දියරයක් වහනය වනවා. මෙසේ සිදුවීම දැඩි අවදානම් සහගත දෙයක්. ගර්භ තරලය ක්‍රමයෙන් අඩුවී දරුවාට හානිකර වියහැකි අතර water bag එක පිපිරීම නිසා යෝනි මාර්ගය ඔස්සේ දරුගැබ තුළට විෂබීජ ඇතුළුවීම සිදුවිය හැකියි.ගර්භ තරලය පිටතට පැමිණීම සිදුවුවහොත් වහාම රෝහල්ගත විය යුතුය.

යෝනි මාර්ගයෙන් ශ්‍රාවයක් පිටවීම.

දරු ප්‍රසූතිය සිදුවීමට ආසන්න වනවිට මවගේ ගැබ්ගෙල ක්‍රමයෙන් විවෘත වෙනවා. ගැබ්ගෙල වැසී පවතින ශ්ලේෂ්මල සමග රුධිරය පිටවීමක් සිදු වෙනවා. ගර්භණී මවකගේ යෝනි මාර්ගයෙන් ශ්ලේෂ්මල සමග රුධිරය මුසුව වහනය වෙනවා නම් එය දරු ප්‍රසූතිය ආසන්න බව හඟවන ලක්ෂණයක්.

Related Articles

Don't Miss


Latest Articles