පුදුම පළිඟුව කුඩා දැරියක ලෙස මෙලොවට එන්නේ 1927 ඔක්තෝබර් තිස් එක් වැනිදා ය. ගිංතොට ගමේ උපන් පුංචි සිබිල් පාසල් යන්නේ ගිංතොට බෞද්ධ මිශ්‍ර පාසලට ය.
අවුරුදු පහක කුඩා දැරියක කාලයේ “බිත්තියේ අඳින ලොකු චිත්‍රය” ඇගේ සිතුවම් ජීවිතයේ ඇරඹුම වෙන්නට ඇත. බලා අඳින්නට අකමැති, සිතා අඳින්නට කැමති දැරියක තමන්ගේ ම කියා ගමනක් ඇරඹූ තැන ඒ බිත්ති චිත්‍රය ය.
කුඩා සිබිල් ට අවුරුදු අටක් ගෙවෙන තැන ඇගේ පවුල කොළඹ බලා පැමිණි අතර ගිංතොට කුඩා ගැහැණු ළමයා බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ සිසුවියක් බවට පත් විය. ඇය විදෙස් සාහිත්‍ය හා කලාව හදාරන්නේ එහිදී ය. ඇය පසුකාලීන ව කියන ලෙස “එය ඇත්තටම හොඳ වැඩකි.” චිත්‍ර අඳින්නට ආසා කරන කුඩා දියණිය “හිඟන්නන්ගේ රස්සාවක්” තෝරා ගැනීම ගැන අම්මා විස්සෝප වෙද්දී ඇගේ චිත්‍ර කලාභවනේ චිත්‍ර ප්‍රදර්ශනයකට රැගෙන ගිය තාත්තා කෙනෙකු විය. නවමඟ පස්වෙනි කියවීම් පොතට චිත්‍ර අඳින මේ යෞවන දැරියගේ චිත්‍ර මාර්ටින් වික්‍රමසිංහයන් පවා අගය කරද්දී අම්මා මඳකට සන්සුන් වන්නට තීරණය කළා ය. නමුත් යන්තමට දහ අට සම්පූර්ණ වූ දියණිය ලංකාදීප පත්තරයට බැඳෙන විට අම්මා යළිත් ගෝසා කළ බව සිබිල් වෙත්තසිංහ මහත්මිය බොහෝ තැනකදී සිනා මුසුව සිහි කළා ය.
“පත්තරයකට බැඳුණු මුල්ම කාන්තාව” වූ ඇය ලංකාදීප,ටයිම්ස් ආදී පුවත්පත් වල සේවය කළා ය. අනතුරුව ලේක්හවුසියට පැමිණියා ය. ලේක්හවුස් පුවත්පතේ උප කතෘවරයෙකු වූ වෙත්තසිංහ මහතාගේ ඉල්ලීමට ඇය කතා ලිවීම ද ඇරඹුවා ය.
ලංකාවේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල දරුවන් ඉමහත් ආදරයෙන් වැලඳගත් “කුඩ හොරා ” උපදින්නේ එසේ ය. ලෝකය පුරා ඇවිදින්නට ගත් කුඩ හොරා භාෂා බොහොමයකට පරිවර්තනය වී ඇත. 1986 වර්ෂය ජපානය විසින් කුඩ හොරාගේ වර්ෂය ලෙස නම් කර තිබිණි. ඇය කුඩ හොරා වෙනුවෙන් බොහෝ පැසසුම් ලබා ගත්තා ය.
1965 වසරේ දී වෙසක් පහන වෙනුවෙන් ද 1971 වසරේ දී මඟුල් ගෙදර බත් නැතෝ වෙනුවෙන් ද සිබිල් වෙත්තසිංහ මහත්මිය රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනුවා ය. 1995 දී ද ග්‍රේෂන් සම්මානය ලැබෙන්නේ ඇය ඉංග්‍රීසි බසින් ලියූ The child in me වෙනුවෙනි.
ලේක්හවුස් පත්තර කලාවෙන් පසු ඇය බිංදු පත්තරයේ ප්‍රධාන කර්තෘ වූවා ය. 1986 දී පුවත්පත් කලාවට සමු දෙන ඇය පූර්ණකාලීනව සිතුවම සහ ග්රන්ථකරණය තෝරා ගත්තා ය.
ඉතින් අපේ ළමා විය වර්ණවත් වූයේ ඇගේ අකුරු සහ සිතුවම් අතර ය.
මැටිගෙදර ළමයි, උඩ ගිය බබා, දුවන රැවුල, සූත්තර පුංචා, කුසුමලතා,රසවතී, අච්චාරු මුට්ටිය,මල්ලිටයි මටයි, වැනියං කළු වැනීයං ලෙස ඇගේ කෘති බොහෝ ය.ලියා අවසන් කළ නොහැකි තරම් ය.
2020 ජූලි පළමුවැනිදා මේ පුදුම පළිඟුව නිවී ගියා ය.
ලාංකීය ළමා කතා කලාවේ වීරවරිය වූ ආදර සිබිල් නැන්දා අපේ දරුවන්ගේ සදාතනික වීරවරිය වනු ඇත. ඇය සදාකාලික ළමයා වීමට ආසා කළ සිබිල් නැන්දා ය. ඉතින් ඇගේ අකුරටත් සිතුවමටත් ආසා කළ සදාකාලික ළමයින් ඇගේ මඟ එනු ඇත. ඇගේ කතාන්දර සහ සිතුවම් තව කාලාන්තරයක් දරු පරපුර පිනවන්නට සමත් වනු ඇත.
උණ පඳුර සෙවණේ හුන් දැරිය දිව්‍ය ලෝකයට වී ඇගෙන් උපදින ලාංකේය ළමා සාහිත්‍ය කලාව දෙස බලා හිඳිනු ඇත.
මා තුළ ඉන්නේ
චරිත දෙකක්
සුර ලොව දකිනා
පොඩි ළමයෙක්
ආදර හඳුනන
වැඩිහිටියෙක්
දෙන්නා එක් වී
රස විඳිමින්
මතු කර දෙන්නේ
සිහින ලොවක්
(වැනියං කළු වැනීයං)