පිනි සේල – 2

රාත්‍රියේ නිදන්නට පෙර දොර ජනෙල් අගුල් දැමුවේ මා ය. අම්මා ට හෝ නංගීට ඒවා කරන්නට ඉඩ දිය යුතු නැති බවත් තාත්තා තරමට ම නොවුණා ට හැකි උපරිමයෙන් ඒ දෙදෙනා බලා ගැනීම මගේ වගකීම බවත් මට හැඟෙමින් තිබිණි. නිවසට පිටින් ඇති සේවක කාමරයේ අපේ ව්‍යාපාර වල ද තාත්තාගේ ගොවිපොළ කටයුතු වල ද වැඩි බර අදින වේලු හිඳීම හිතට නිදහසකි. වේලු කෙට්ටු සිරුරක් ඇත්තෙක් වූවා ට හොඳ හයියක් ද සිහිකල්පනාවක් ද ඇති මිනිසෙක් බව තාත්තා කීවේ නිකමට නොවේ. මේ තුන්මස ම අපේ සැබෑ ආරක්ෂකයා වූයේ ඔහු ය.

සමහර වෙලාවට අප අසරණ වූ විට අපේ සෙවණැල්ල වන්නේ අප සිහිනයෙනුදු නොසිතන අය ය. වේලු මාමා මේ කාලයේ වැටුප ගැන හෝ සිතුවේ නැත. ඔහු හැකිතාක් අප වෙනුවෙන් සිටියේ ය. අප රැක බලා ගත්තේ ය. ඒ මිනිසත්කම මට වඩා හොඳින් දැනෙමින් තිබිණ.

මා කාමරයට ආවේ බොහෝ වෙලාවක් අම්මාට තුරුලු වී හිඳීමෙන් පසු ය.

“ලොකු පුතේ, ආයේ කැම්පස් එකේ වැඩ පටන් ගන්න. සල්ලි ගෙවලා කරන එකනෙ. ඒවා මඟ ඇර ගන්න නරකයි.ලොකු මාමයි පොඩි මාමායි ෆාම් වල වැඩ බලන්නම් කියනවා..වේලුත් ඕවා දන්නවා.අපි හිත වට්ටගෙන හැමදාම ඉඳලා බෑනෙ. ඒක අපේ ගෑනුකමටත් හරි නෑ. බිස්නස් සේරම වැටුණත් කඩේ කරලා ඔයාටයි නංගිටයි කන්න අඳින්න දෙන්න මට පුලුවන්..”

අම්මා කියන්නේ තිර හඬිනි. ඈ මොන තරම් ශක්තිමත් ගැහැණියක දැයි මම සිතුවෙමි. රෙදි බෑගයක් පමණක් රැගෙන විත් තාත්තා සමඟ කුඩා කාමරයක ජීවිතය ඇරඹූ අලුත් මනමාලිය ගැන කතා තාත්තා අපට නොයෙක් වර පවසා ඇත. තාත්තාගේ වාසනාව අම්මා බව තාත්තා කියද්දී මට හිතුණේ වෙනත් දෙයකි.

“අම්මගෙ හිතේ හයිය නැත්නම් තාත්තා කොහොමත් මෙච්චර දියුණු වෙන එකක් නෑ.”

අම්මා කොහොමටත් නොපැරදෙන නිසා අපට ඇත්තේ ඈ සමඟ සටන් කරන්න ට ය. මා කාමරයට ආවේ ඒ ගැන හිතමිනි.

ඊෂා මෙලෝ සිහියක් නැතිව යූ ටියුබ් අවකාශයේ සැරිසරමින් හුන්නා ය. මේ දිනවල තරු තරඟයක් බබළවන යෞවනයෙකු ඇගේ නවතම ක්‍රෂ් එක වී අවසන් ය. නින්ද යන තුරුම ඒ කොලුවා ගැන අසන්නට මනාපයක් නැති නිසා මම ෆේස්බුක් රවුමක් යන්නට සිතුවෙමි.

“මේ.. උඹේ අර ප්‍රේමවන්තයා බූටක් වත් කාලද ඉන්නේ..”

ඊෂා අසන්නේ හිස නූස්සා ම ය.

“ඇයි.. එහෙම කීවද.. “

හදවත ගැහෙන හඬ ඊෂාට ඇසෙනවාට බයේ මම වඩා උස් හඬින් ඇසීමි.

“නෑ.. මං අදනේ එයාව ෆේස්බුක් ඇඩ් කරගත්තේ. ශෙයාර් කරන තරමක් ශෙයා කරලා තියෙන්නේ බූට් සීන්. කොල්ලො වුණාම අර සාන්ත බල්ලගෙ ජෝක් එකක් ශෙයා කරන් ආතල් එකේ ඉන්න එපැයි..”

මලිඳු ෆේස්බුක් ගිණුමේ එවැනි දේ පළ කරන බව මා නොදුටුවා නොවේ. නමුත් දකින දකින දේ ඔහේ පළ කිරීම විනා ඔහු විරහ වේදනාවකින් පෙළෙනවා ඇතැයි සිතන්නට මගේ හදවත ඉඩ නොදේ. ඇරත් මේ ඊයේ පෙරේදා වනතුරුම ඔහුට පෙම්වතියක් සිටියේ ද නැත.

මට ඔහු සිහි වෙන මොහොතේම ඔහුට මා සිහිව තිබිණ. වට්ස් ඇප් පණිවිඩයක් පැමිණියේ ඔහුගෙනි.

“නිදිද?”

ඒ වචන කෙටි වැඩි ය.

“නෑ..”

මම තනි වචනයෙන් පිළිවදන් දුනිමි.

“නිදාගනිං බං.. රෑ වෙලා. බොරුවට බය වෙන්න එපා. වේලු අංකල් ඉන්නවනෙ.”

“පිනී නිදා ගන්න දැන්” යැයි වඩා සුමට ව ඒ පණිවිඩය පැමිණියා නම් සිතෙන විට හදවත දියව යන්නේ මට නොදැනී ය. මම ස්ටිකරයක් පිළිතුරු ලෙස යැවීමි.

“හෙට මොකද කරන්නේ?”

ඔහු නිදා ගන්නා පාටක් නැත. මලිඳු සමඟ එළිවනතුරු මොනවා හෝ කියවන්නට මගේ කෙලි හිත මොර ගසමින් ඉල්ලා හිඳියි. එහෙත් කතාවට අල්ලා ගන්නා ඕනෑම මොහොතක ඔහු නින්දට වැටුණේ සුබ රාත්‍රියක් වත් නොපතා ය.

“ෆාම් එක පැත්තේ යන්න හිතයි.”

එවැනි සැලසුමක් තිබුණේ නැත. මට අවශ්‍ය වූයේ ඔහු සමඟ කියවන්නට පොටක් හොයා ගන්නට ය.

“යං.. මාත් එන්නම්.පයින් යන දුරනෙ. අපි යං. අර බෙලි කටු මල්ලත් එනවද?”

ඒ වතාවේ වචන දිග ය. නමුත් ඔහු ඊෂා ගැන විමසීම මට ඉරිසියාව ඇති කරන්නකි.

“ඊෂා ඉඳීවි” ටයිප් කර යවන අකුරු පේලියක ඉරිසියාව මනින්නට මිනුමක් නැති නිසා මම කෙටියෙන් පණිවිඩය යැවිමී.

“හපෝ කනක් ඇහිලා ඉන්න නැති වෙයි. ” සිනා මුහුණු පෙළක් සමඟ වට්ස් ඇප් පණිවිඩය ලැබෙද්දී ඒ සිනා මුහුණු අතර මලිඳුගේ සිනාව මැවෙන්නට පටන් ගෙන තිබිණි. ඔහුගේ විදුලි කොටන බැල්මක් ඇති ඇස් දෙක ද ප්‍රීතිමත් සිනාව ද හදවත මෙතරම් තදින් පැහැර නොගත්තා නම් මගේ ප්‍රේමය පතමින් එන තරුණයෙකු ට කැමැත්ත දීම මට මහා දෙයක් වන්නේ නැත.

නමුත් මගේ ලෝකය මලිඳුගේ සිනාව සහ දිලිසෙන දෑස් මත තැනී අවසන් ය. ලෝකයේ ප්‍රීතිමත් ම නිවහන ඒ හිනාව මත ඉදි කරගත හැකි බවට තදබල විශ්වාසයක ගිලී හිඳින මට මොනතරම් ප්‍රේමාරාධනා ලැබුණද ඒවා තත්පර කිහිපයකින් අමතක කර දැමීම මහ දෙයක් වූයේ ම නැත. මගේ සමහර වචන ද ක්‍රියාවන් ද ඒ ගැන ඔහුට ඇඟවූව ද ඔහු සිටින්නේ කිසිවක් නොදන්නා ගාණට ය. එවැනි දවසකට හිත ඉගිලෙන්නේ මලිඳුගෙන් යලි පිළිතුරක් එනතුරු කල් මරද්දී ය.

ඒ අපේ මිතුරන් රෑන අනුත්තරාගේ නිවසේ එක් රැස් වී ඇගේ උපන් දිනය සැමරූ දා ය. මලිඳුගේ ජංගමය අතුරුදහන් වී තිබිණ.දැමූ තැනක් සොයා ගත නොහැකිව හැමතැනම පෙරළමින් හුන් ඔහු මවෙත ආවේ නොසිතූ මොහොතක ය.

“ෆෝන් එක දියං පිනී…”

ඔහු ඉල්ලන්නේ මගේ දුරකථනය ය. ඔහුගේ දුරකථනයට ඇමතුමක් ගෙන නාද වන තැන සෙවීම පහසු ය.නමුත් මට ඔහුට දුරකථනය දීම පහසු වැඩක් වූයේ නැත.

ඔහු නොදන්නවාට මා ඔහුගේ නම දුරකථන මතකයේ ගබඩා කර සිටියේ “Mr Sunshine” හැටියට ය. කොරියන් නාට්‍යයක කොල්ලෙකුට තමා සමාන වන්නේ කෙසේදැයි අසා හොඳ දෙකක් කියන්නට මෙය දුටුවොත් ඔහු නොපසුබට නොවේ යැයි භීතියත් ලැජ්ජාවත් දැනෙද්දී මම ඉක්මනින් නම මාරු කළෙමි.ඉතින් ඔහු අතට පත් වූ දුරකථනයෙන් ඇමතෙන්නේ නිකම්ම නිකම් මලිඳු ට ය.

මහ හයියෙන් නාද වෙමින් තිබූ ඔහුගේ දුරකථනය එදා හමු වූයේ ද මට ය.එහි ඔහුට ඇමතුමක් ගනිමින් තිබූ මගේ නම සටහන් ව තිබුණේ “මෝඩ පිනී” හැටිය ට ය.මට ඔහු හිරු කිරණකි. ඔහුට මා මෝඩියකි.

කොහොමටත් මේ උමතු ප්‍රේමය මෝඩකමක් දැයි සිතද්දී තේරුමක් නැති මන්දහාසයක් මගේ දෙතොල මත ලියැවී තිබිණි.

“මොනවට හිනා වෙනවද මන්දා..”

ඊෂා නක්කලයට හිනැහෙමින් විදුලි පහන නිවා දමන්නට නැගිට ගත්තා ය. මම අතීත රහ මතකයකින් මිදී අඳුර ට ඇස අලවා ගතිමි. මලිඳුගෙන් පිලිතුරු නැත. සුපුරුදු ලෙස ඔහු සුබ රැයක් නොපතාම නින්දට වැටෙන්නට ඇත. නින්ද යන තුරු ගීයක් අසන්නට සිතා ඉයර් ෆෝන් යුගලය කනේ ගසා ගත් මම ප්‍රියතම ගීතය වාදනය වන්නට ඉඩ හැරියෙමි.

“අහස් ගඟබඩ හිමවු කුළුමත
ඔබේ රන් මිණි විමානේ
පහන් දල්වා තබනු මැන
මා නිදන කුටියට පෙනෙන සේ…”

නොතේරුම් කඳුලක් නෙතින් ගලා විත් කොට්ටය සිප ගනිද්දී මා ඊෂාට නොදැනෙන ලෙස ඉකිබිඳිමින් හිඳින බව මට වැටහිණි.

ඒ තාත්තාගේ මතකය සහ මලිඳුගේ නොසැලකිලිමත් හැසිරීම එක්ව නිර්මාණය කළ කඳුලු ය.

මම ඉකිබිඳිමින් නින්දට වැටුණෙමි.

ඊළඟ කොටස ලබන සෙනසුරාදා ට..

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles