සරසවි බිමට පොද වැස්සක් වැටෙමින් තිබිණ. උදේ පටන් හාත්පස පැතිර පැවතියා වූ මන්දාරම දලු ලා වැඩෙන්නට වූයේ ය. ඒ මත අත විසිරී පැතිරී උන් සිසු සිසුවියෝ ඉක්මනට සෙවන ඇති තැන් බලා මුවහ වන්නට වූහ.
“ඉතිං කියපංකො උතුම්. මොකද්ද උඹ කියන්න ගියේ…”
කිසල් වැස්සේත් සිසුන් ගේ ත් ඝෝෂාව අතරින් කතා කළේ ය.
“මං කියන්න ගියේ…උඹ වැරදියට හිතන්න එපා. ඒත්…ඔය අෆෙයා එකට කවදාවත් උඹගෙ අම්ම කැමති වෙන්නෑ. මං කියන්නෙ මොරින් ආන්ටි පළිඟු ට කැමති වෙන්නෑ. මේක ලීක් වුණ දවසක…උන්ට හුඟක් කරදර වෙන්න පුළුවන්. ඒක නිසා උඹ ඕක නවත්තල දාපං”
කිසල් ගේ කට කොනක් ඇද විය.
“මොරින් මැඩම් ඉතිං කවදද අනිත් අය ගැන හිතුවෙ…එයා කොහොමත් වැඩ කරන්නෙ අනිත් මිනිස්සු ඔක්කොම නටන්න ඕනෙ එයාගෙ පදේටයි කියල හිතාගෙනනෙ”
“අර මිනිස්සු අහිංසකයි බං. උඔට තේරෙනවනෙ මං කියන දේ. අනික පළිඟු කියන්නෙ පොළොවෙ පය ගහල ජීවත් වෙන කෙල්ලෙක් මිසක් අහසෙ පා වෙන එකියක් නෙවෙයි”
“හ්ම්. බලමු”
කිසල් සුසුමක් මුදාලමින් ඒ කතා බහට නැවතීමේ තිත තැබුවේ ය.
තමන් මේ අත පෙවූයේ කොහොම තත්වයකට ද කියා පළිඟු ට වුව නො සිතුණා නොවේ. නමුත් සියල්ල අභිබවා ඇගේ විශ්ව විද්‍යාල සිහිනය ඉස්මතු වී තිබුණේ ය. එ් සිහිනය සැබෑ කර ගන්නට ලැබීමේ සතුට, ඇය සිත් සේ භුක්ති වින්දා ය. නමුත් අළු යට ගිනි තිබීමේ ඉඩ කඩ වැඩි බව ඇය නො දැන සිටියා නොවේ.
දේශන වලින් පසු පළිඟු අවන් හලේ වැඩ කරයි. වත්සලා ගේ සිතේ මේ ගැන වූයේ දෙගිඩියාවකි.
“මොනා වුණත් මෙතනට එන්නෙ යමක් කමක් තියන පවුල් වල ළමයිනෙ පළිඟුවො. ඉතිං ඔයා දැං පේස්ට්‍රි ශොප් එකේ වැඩ කරන එක හරි මදි නේද…”
පළිඟු ගේ දෙතොලතර උපන්නේ හැඟීම් කෝටි ගණනක් කැළතුණ මන්දස්මිතයකි. ඈ සිය පවුලෙන් නෙරපනු ලැබූ කෙනෙකි. මේ හැඟීම කවදටත් ඇය රිදවමින් පවතී. පුංචි අම්මා වශයෙන් වත්සලා ගේ වූ කරුණාව නො වන්නට වෙන කිසිත් ඇයට ය කියා නැත. දෙවන විවාහයක් ගැන සිතන්නට වත්සලා ට වූ ලොකු ම බාධකය තමන් බව පළිඟු නො දන්නවා නොවේ. වත්සලා යනු අදටත් තරුණ පෙනුම නො මඳ ව ඇති හැඩකාර ගැහැනියකි. සිය මවට ඈ වෙනුවෙන් කළ නො හැකි තරම් වූ කැපකිරීම් කොට මේ තත්වයට ඈ ගෙන ආ පුංචා ව සිත් සේ බලා කියා ගැනීම පළිඟු ගේ ලොකු ම බලාපොරොත්තුවයි. ඒ සඳහා හොඳින් ඉගෙන හොඳ රැකියාවක් ලද යුතු ය යන්න ඈ අවබෝධ කර ගෙන බෝ කලකි.
“මං ඒක ඇතුළට ගියේ ස්කොල් එකකින්නෙ පුංචා. ළමයි මොනාද හිතන්නෙ කියන එක මට වැදගත් නෑ. මං හිතන්නෙ මට මේ ස්කොල් එකෙං ගන්න පුළුවන් දේ ගැන විතරයි”
පළිඟු කියන්නේ ආත්ම ශක්තිය හා ආත්ම විශ්වාසය යන දෙක ම වර්ධනය කර ගත් කෙල්ලක බව වත්සලා දනී. ඈ යමක් කරන්නේ ඒ ගැන විශ්වාසයෙනි. එබැවින් ආයේ ඔය ගැන කතා නො කරමියි වත්සලා සිතා ගත්තා ය.
ඒ සතිය ගෙවී ගියේ පුදුම වේගයෙනි. පෞද්ගලික අධ්‍යාපන ආයතනය පළිඟු ට අමුතු ම අත්දැකීමක් වූයේ ය. ඒ සතියේ දී ඈ කළේ සියල්ල අධ්‍යයනය කරමින් ම කිසල් ට අවශ්‍ය වූ පරිදි හැසිරෙන එක පමණකි.
“ඒයි බේකරි කෙල්ල”
දෙවන සති ආරම්භයේ පළිඟු සරසවියට ඇතුලු වෙමින් සිටියදී ගැහැනු හඬක් ඇසුණේ ය. ඒ ඇමතුමෙහි වූ සමච්චල් ස්වභාවය නිසා යන්තම් වටපිට බැලුවත්, ආමන්ත්‍රණය කෙරුණේ ඇයට ය කියා පළිඟු නිකමට හෝ සිතුවේ නැත.
“ඔවු ඔවු තමුන්ට තමයි කතා කරන්නෙ”
ඒ හඬ හිමි යුවතිය පළිඟු ගේ මග හරස් කරමින් සිට ගත්තා ය.
“තමුං කොහොමද මෙහෙට කඩං පාත් වුණේ…”
අක්ෂි ඇස් වල ගින්දර විය. නමුත් පළිඟු සන්සුන් මඳහසක් පෑවා ය.
“මට ද හිනා වෙන්නෙ…කිසල්ව අල්ලගන්න පුළුවන් වුණාට ඔය වගේ හිනාවකිං…අපි අහු වෙන්නෑ හරිද…”
පළිඟු බිම බැලුවා ය. සාමාන්‍යයෙන් ඇය මෙහෙම තත්වයකදී බිම බලා ගන්නා කෙල්ලක නොවේ. නමුත් කිසල් සමගින් වන කොන්දේසියේ හැටියට ඇයට රඟපෑමක් කරන්නට සිදු ව තියේ.
“කිසල් එක්ක සම්බන්දෙට දැං කොච්චර කල්ද…”
අක්ෂි ට දැන ගන්නට අවශ්‍ය ව තිබූ වැදගත් ම ප්‍රශ්නය එයයි.
“ඇයි දැං මං ඒක ඔයාට කියන්නෙ..”
පළිඟු එහෙම ඇසුවේත් ඇය ව පාලනය කර ගනිමිනි. පැටලුණේ කොහොම උගුලකට ද කියා ඈ තවමත් දන්නේ නැත. කොහොම වුණත් දැන් ඈ එහි පැටලී ඉවර ය. පාඨමාලාව නිම වන තෙක් කිසල් ගේ පෙම්වතිය ලෙස පෙනී සිටින්නට ඇය ට සිදු වේ. ඊට කලින් එය නිමාවට පත් වෙනවා නම් ඒ ඔහු ගේ දැනුම් දීමකින් පමණකි.
“මේ මේ…කට ගහං එන්නෙපා. තමුසෙ දන්නවද කාටද ඔය කතා කරන්නෙ කියල…මේ කැම්පස් එක අයිති අශේන් ගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට”
“ඉතිං මට ඒක අදාල නෑ නේද…ඒ වගේම මගෙ පර්සනල් දෙයක් ඔයාට අදාල නෑනෙ”
පළිඟු ගේ කම්මුලක් හරහා අතුල් පහරක් එල්ල වූයේ ඇය කොහෙත් ම බලාපොරොත්තු නොවූ ලෙසයි. ඇස් වලින් තරු පිට වෙනවා ඇය ට දැනිණ. පළිඟු සුරතින් කම්මුල අල්ලා ගත්තා ය.
“මොකද්ද වෙන්නෙ ඔතන…”
කියාගෙන කිසල් එතනට පැමිණියේ හින්දි චිත්‍රපටයක මෙනැයි ඒ අව් අස්සේ ම පළිඟු ට සිතිණ. ඔහු විශ්ව විද්‍යාලය වෙත එමින් සිටියේ ඒ වෙලාවේ ය. අක්ෂි පළිඟු වෙත එල්ල කළ කම්මුල් පහර කිසල් ඈතට දුටුවේ ය. නමුත් පළිඟු මුවින් නො බිණුවා ය.
“පළිඟු…ඇයි…”
කිසල් පළිඟු ගේ අතැඟිලි පටලා ගත්තේ අක්ෂි ට පේන්නටයි.
“මුකුත් නෑ”
“අපි යං”
ඔහු ඈ කැටිව අක්ෂි වෙතින් ඉවත් ව ගියේ ය. තමන් ගේ අත සීතල වී ගෙන එනු පළිඟු ට දැනිණ. මේ, පිරිමියෙක් මේ විදිහට ඇගේ අතින් ඇල්ලුවා ම ය. මේ රංගනයක් බව දන්නවා වුණත් ඇගේ සිත් හි කැළඹීමක් ඇති විය. අඩි කිහිපයක් ඇවිද ආ කිසල් කිසිදු හැඟීමකින් තොර ව ඇගේ අත මුදා හැරියේ ය.
“ඒ…එයාද…”
මඳ වෙලාවකින් පියවි සිහිය අත්පත් කර ගැනීමෙන් පසු පළිඟු අසා ගත්තා ය. කිසල් උත්තරයක් දුන්නේ නැත. ඒනිහැඬියාව තුළ ප්‍රශ්නය ට පිළිතුර වන බව සිතා ගන්නට බැරි කමක් ඇය ට නැත.
“ආයෙ එයා මොනා කිව්වත් කළත් මං සද්ද නැතුව ඉන්නං”
කිසල් තුළ නො සන්සුන් බවක් ඇති විය. ඔහු ඇයට යනවා වත් නො කියා ඈ එහි දමා යන්න ගියේ ය. පළිඟු කොංක්‍රීට් බංකුවක් මතට වැටී කල්පනා කරන්නට වූවා ය. සල්ලි කාරයන් ගේ ජීවිත තේරුම් ගන්නට තව ම ඈ දන්නේ නැත. නමුත් අක්ෂි කිසල් අතැර අශේන් සමග පෙමින් බැඳී ඇති බව අනුමාන කරන්නට බැරි කමක් ද ඇය ට නැත. ඈ යළි ඔහු වෙත ගෙන්වා ගත් පසු, පළිඟු සමග වන කිසල් ගේ සම්මුතිය නිමා වනු ඇත.
“පළිඟු…”
උතුම් විත් බංකුව කෙළවරක හිඳ ගත්තේ ය. පළිඟු ඔහු ට මඳ සිනහවකින් සංග්‍රහ කළා ය.
“අයියෙ..”
“මොකද්ද බං වුණා කියන්නෙ…අක්ෂි කම්මුලට ගැහුව කියන්නෙ ඇත්තද…”
යටි තොල සපා ගෙන පළිඟු ඇස් වලින් විතරක් සිනහ වූවා ය.
“ඔයා දන්නවනෙ…අක්ෂි කලිං කිසල්ගෙ ගර්ල්. ඒකිට ජෙලස් ඇති. ඕක නිසා කිසල් එක්ක අවුලක් දාගන්න එපා හරිද…”
මේ තරම් හිතට ළඟ ඔහු වත් රවටන්නට වීම පළිඟු ට දුකකි. අනිත් අතට කිසල් එහෙම කරන්නේ ඇයි කියා හෝ ඒ කොහොමද කියා හෝ ඇයට සිතා ගත නො හැකි ය.
“කිසල් හොඳ එකා. මං පොඩි කාලෙ ඉඳංනෙ දන්නෙ. කෙල්ලෙක් එක්ක කියල ඌ යාළු වෙලා හිටියෙ ඔය අක්ෂි එක්ක විතරයි. ඒක බ්‍රේක් වෙච්ච ගමං ඌ ඔයාට ලං වුණේ කොහොමද කියල මටත් හිතා ගන්න බැරි වුණා. සමහර විට…එදා ඔයා බේත් දාපු වෙලාවෙ ඌ තේරුං ගන්න ඇති ඌ ට ගැලපෙන්නෙ අක්ෂි නෙවෙයි ඔයා වගේ කෙල්ලෙක්වයි කියල. කිසල් ගොඩක් සල්ලිකාර කොල්ලො වගේ බොරු කාරයෙක් නෙවෙයි. මට ඒකනං රෙකමන්ඩ් කරන්න පුළුවන්. අක්ෂි නිසා ඔය දෙන්න අතරෙ ප්‍රශ්න ඇති කර ගන්න එපා. මට ඒකයි ඔයාට කියන්න ඕනෙ. ඌව බලාගන්න පුළුවන් ඔයාට තමයි පළිඟු”
පළිඟු තව දුරටත් යටි තොල සපා ගෙන ම සිටියා ය. මේ තරම් බරක් උහුලා ගෙන ජීවත් වන්නේ කොහොමද යන ප්‍රශ්නය මුල් ම වතාවට ඇගේ සිතේ ඇති වූයේ ය. උසස් අධ්‍යාපන සිහිනය හින්දා ඈ මෙවන් කොන්දේසියකට එකඟ වූ බව ඇත්ත ය. නමුත් කොපමණ කාලයක් මේ බොරුවත් එක්ක ජීවත් වෙන්නද?
ඒ සිතිවිල්ල පළිඟු ගේ දෑස් වෙත කඳුළු ගෙන ආවේ ය. කඳුළු එළියට පැන්නේ තවත් හිර කරගෙන සිටිය නො හැකි හැඟුම් සමුදායක් තෙරපා ගෙන නික්මුණ ඉකියක් ද සමගිනි.
“තරහ ගන්නැත්තං දෙයක් කියන්නද…”
විවේකයේදී ආපන ශාලාවට වී සිසිල් පැන් වීදුරුවක් තොල ගාන ගමන් පළිඟු කිසල් වෙතින් විමසුවා ය. ඈත මේසයක අක්ෂි හා අශේන් සිටින බව ඔවුන් ට පෙනේ. කිසල් පළිඟු දෙස බලා ඉවත බැලුවේ ය. බොරුවට හෝ වෙනත් කෙල්ලකට පෙම් කරන්නට ඔහු ට නො හැකැයි ඈ සිතුවා ය.
“මොකද්ද…”
“එක්කො ඕන්නෑ”
කියන්නට ගිය දේ නො කිව යුතු යයි පළිඟු ක්ෂණික තීරණයකට ආවේ, බොරුවටවත් වෙනත් කෙල්ලකට පෙම් කරන්නට ඔහු අසහත් යයි උපන් සිතිවිල්ල නිසා ය. ඇය ට කියන්නට ඕන වුණේ ‘ඔයාට එයානං මැච් වෙන්නෑ කොහොමවත්…වෙන කෙනෙක් හොයාගන්න’ කියා ය. නමුත් කිසල් ගේ මූණ දෙස බලා ගෙන එවැන්නක් කොහොම කියන්නද?
“නෑ නෑ කියන්න”
කිසල් ඇය පොළඹවාලූවා ය.
“නෑ මේ…එයා දැනගනියි ඔයා කරන්නෙ බොරුවක් කියල. මොකද…ඔයා තාම එයා ගැන හිතනව කියල ඔයාගෙ ඇස් දෙකෙං පේනව”
“මගුලක් කතා කරනව”
කිසල් කේන්තියක් මවා ගනිමින් මේසය මත වූ ජංගම දුරකතනය අතට ගෙන, අහේතුක ව එය ඔබන්නට පටන් ගත්තේ ය.
“ඇයි හිතන්නැද්ද…”
පළිඟු කිසල් ගේ මූණට එබුණා ය.