විනාඩි 10න් ටී ටයිම් එකට රසට ලස්සනට පෑන් කේක් හදමු

පෑන් කේක් කියන්නෙ තේ බොන වෙලාවට එහෙමත් නැත්නම් අමුත්තෙක් ආව වෙලාවට ශ්‍රී ලාංකීය අපේ මුළුතැන්ගෙයි පිළියෙල වෙන අපිට බොහොම හුරුපුරුදු කෙටි ආහාරයක්නෙ. 

ලංකාවේ අපි සාමාන්‍යයෙන් පෑන් කේක් කන්න පුරුදු වෙලා ඉන්නෙ පැණි පොල් පිරවුමක් මැදි කරල රෝලක් හැඩයට හදාගෙනනෙ.

හැබැයි සාමාන්‍යයෙන් යුරෝපා රටවල් වල පෑන් කේක් හදන විදිහ වගේම පෑන් කේක් පිළිඟන්වන විදිහත් ටිකක් වෙනස්. 

ඔන්න ඉතිං අපි අද සූදානම් වෙන්නෙ ශ්‍රී ලංකාවේ ක්‍රමයට රසට ලස්සනට පෑන් කේක් හදන විදිහ ඔබට කියල දෙන්නයි. 

එහෙනම්, මුලින්ම අපි බලමු අපිට අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියල.

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන් පිටි 200 g ක්
  • උකු පොල් කිරි 170 ml ක් 
  • බිත්තර 01 ක් 
  • සීනි 100 g ක් 
  • පොල් බෑයක පමණ ගාගත් පොල් 
  • කහ කුඩු
  • ලුණු කුඩු 
  • කරදමුංගු 04 ක් 
  • කුරුඳුපොතු කැබැල්ලක්
  • නටන උණුවතුර 
  • තෙල් ස්වල්පයක් 

සාදාගන්නා ආකාරය 

මුලින්ම, භාජනයක් මඳගින්නේ ලිපතබා  භාජනය රත්වූ පසු එයට සීනි වලින් මේස හැඳි 05 ක් පමණ දමා එය දියවනතුරු තබන්න.

සීනි කැට හොඳින් දියවුනු පසු නටන උණුවතුර මේස හැඳි 05 ක් එයට දමා කලවම් කරගන්න. 

එයටම තලාගත් කරදමුංගු ඇට සහ කුරුඳුපොතු කැබැල්ලත් මිශ්‍රකරන්න.

මේ මිශ්‍රණය බුබුළු දමා රත්වන විට ඉතිරි සීනි සහ ලුණු කුඩු ස්වල්පයක් එයට එක්කර කලවම් කරගන්න. 

සීනි හොඳින් දියවූ පසු ගාගත් පොල් එකතු කර කලවම් කරගන්න.

මිශ්‍රණය වියළීමට පෙර තෙත ගතියෙන් පවතින විටම ලිපෙන් ඉවත්කර වෙනත් භාජනයකට මාරු කරගන්න.

දැන් පොල් පැණි මිශ්‍රණය සාදා අවසන්.

ඊළඟට වෙනත් භාජනයක් ගෙන එයට බිත්තරය, කිරි, කහ කුඩු ස්වල්පයක් සහ ලුණු කුඩු ස්වල්පයක් එක්කර  හොඳින් කලවම් කරගන්න.

දැන් මේ කිරි මිශ්‍රණයට පිටි ටිකෙන් ටික එකතු කරමින් කැට නොසිටින සේ කලවම් කරගන්න.

පෙරණයක් ආධාරයෙන් පිටි මිශ්‍රණය වෙනත් භාජනයකට පෙරාගන්න. 

දැන් පැතලි භාජනයක්, තැටියක් හෝ සාස්පානක් ලිපතබා එය රත්වූ විට තෙල් ටිකක් ගාගන්න. 

හැන්ඳක් ආධාරයෙන් පිටි මිශ්‍රණයෙන් ස්වල්පයක් බැගින් තැටියට වත්කර රොටියක් හැඩයට භාජනය පුරා යවාගන්න. 

සාදාගන්න රොටියේ ඝනකම මිලි මීටර් 01 පමණ වීම ප්‍රමාණවත් වෙනවා. 

මඳ ගින්නේ ටික වේලාවක් පිසගත් පසු රොටිය තැටියෙන් ගැලවී එන තත්වයට පත්වෙන බව ඔබට දැකගන්න පුළුවන්. 

දැන් රොටිය උඩ යට මාරු නොකර තිබෙන ආකාරයටම තැටියෙන් ඉවත්කර  පිඟානක් මතට දමාගන්න. 

මේ වෙලාවෙදීම ඉක්මණින් පැණිපොල් මිශ්‍රණයෙන් ස්වල්පයක් රොටියේ කෙළවරක තිරස් අතට අතුරා එය මැදිකර රෝලක් ආකාරයට ඔතා ගන්න. 

කලින් පිටි මිශ්‍රණයෙන් ලබාගත් ප්‍රමාණයම නැවත තැටියට දමා තවත් එක සමාන ප්‍රමාණයේම පෑන් කේක් සාදාගන්න පුළුවන්. 

එහෙනම් තේ වෙලාවට රසවිඳින්න මේ විදිහට රසම රස පෑන් කේක් හදල බලමුද? 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles