පළිඟු මන්දිර -5

කිසල් බෝගොඩ සිය දෙනෙත් පළිඟු වෙතින් සඟවා ගත්තේ ය. තත්පරයෙන් සියයෙන් එකකටත් වඩා අඩු කාලයකදී සිදු වූ නෙතු මුණ ගැසීමේදීත්, ඇගේ ඇස් වල අභියෝගයක් වන බව ඔහු දුටුවේ ය.

“මගෙං ප්‍රශ්න අහන එක අපේ ඇග්‍රිමන්ට් එකට අයිති දෙයක් නෙවෙයි”

දැඩි බවක් මවාගෙන කිසල් තදින් කීවේ ය. පළිඟු දෙතොල් උල් කළත් කිසිත් නො කියා නිහඬ වූවා ය. 

‘මහ පණ්ඩිතයෙක්. ඕක නිසා තමයි අර කෙල්ල අත්ඇරල දාන්න ඇත්තෙ’

හිත හෙමිහිට මුමුණනවා පළිඟු ට ඇසුණේ ය. නමුත් ඇය ඒ වචන ටික පිට පනින්නට ඉඩ තැබුවේ නැත. ඔහු මොන විදිහේ කෙනෙක් වුණත් ඇයට ඒ අදාල නැත. කොන්දේසියට අදාල ව ඇගේ උසස් අධ්‍යාපනය නිම කර ගන්නට ලැබුණොත් එපමණකි.

“කිසලය මාරම බුලට් එකක්නෙ අප්ප. මටත් හිතා ගන්න බැරුව මේ ඉන්නෙ. කොහොම මෙච්චර ලස්සන කෙල්ලෙක්ව යාළු කර ගත්තද මන්ද”

අශේන් හා අක්ෂි උන් ඈත මේසයට කිසල් හා පළිඟු ගේ මුකුළුව හොඳට පෙනිණි. අශේන් ටික වෙලාවක් ඔවුන් දෙස ම බලා සිට එහෙම කීවේ එය නොකියා ඉන්නා හැටි නො දැන ය.

“ලස්සන…අර බේකරි කෙල්ල…”

අක්ෂි ඊර්ෂ්‍යාවේ පැලෙන්නට ගියා ය.

“මොනා වුණත් කිසලය වාසනාවන්තය”

“අනේ මේ අශේන්”

අශේන් ගේ උස් සිනා හඬ භෝජනාගාරය තුළ දෝංකාර නැංවිණි. කිසල් නො සන්සුන් වූයේ ය.

“යමු”

ඔහු පුටුවෙන් නැගිට ගත්දී පළිඟු ගේ පළතුරු යුෂ බෝතලයෙන් අඩක් වත් නිම වී තිබුණේ නැත. ඇය ප්ලාස්ටික් බටය පැත්තකට කොට බෝතලයෙන් බීම උගුරු කීපයක් කටට හළා ගත්තා ය. එතකොටත් කිසල් අඩි කිහිපයක් ඉදිරියට ගොස් ය. පළිඟු දිවගෙන වාගේ ඔහු ට සමීප වූවා ය. අක්ෂි ලා අසුන් ගෙන උන් මේසයට ලං වෙත්දී කිසල් පළිඟු ගේ අතැඟිලි යන්තමින් අල්ලා ගත්තේ ය. මීට කලිනුත් ඔහු අතින් අල්ලත්දී  හිතට දැනුණ අනියත ගැස්ම මේ වෙලාවේත් එලෙස ම ඕ විඳ ගත්තා ය. අක්ෂි ගේ නෙත් මානයෙන් ඉවත් ව ගිය කල ඒ අතේ උණුහුම ද අතැරී ගියත්, අර ගැස්ම තව දුරටත් හිතේ ඉතිරි ව පවතිනවා පළිඟු ට දැනුණේ ය.

දේශන වලින් අනතුරුව ඇය අවන් හලට ගියා ය. වත්සලා පුරුදු කතාව ම කීවා ය.

“ගෙදර පලයං බං. මට පුළුවන් මෙතන වැඩ ටික බලා ගන්න”

“අනේ මේ ඉන්න. ඔයා හිතන්නෙ මං ලැජ්ජයි කියලද මේකෙ වැඩ කරන්න…මේක අපේ බිස්නස් එකනෙ පුංචා. ඔය කැම්පස් එකේ වැඩිපුර ඉන්නෙ බිස්නස් කාරයංගෙ ළමයි. එහෙනං එයාලත් ලැජ්ජ වෙන්න එපැයි”

“උඹත් එක්ක ඉතිං කතා කරල පිරිමහන්න පුළුවන් එකක්යැ. මං කියන්නෙ පාඩං වැඩ ටික හරි බලාගන්න පුළුවන් නෙ ගියානං”

“හරි හරි ඉතිං. එග්සෑම් එහෙම තියෙන දවස් වලට මං මෙතන ලගා ගහං ඉන්නෑ”

වත්සලා ගේ ආභාෂය නිසා ද මන්දා පළිඟු  වැඩ කරන්නේ කඩියෙකු මෙනි. උසස් අධ්‍යාපන වරම් ලැබීමෙන් පස්සේ ඇගේ ඇස් වල දීප්තිය වැඩි වී ඇති බවක් වත්සලා ට දැනේ. 

“මොකද…”

පළිඟු නො මනාපයක් වදන් වල තවරා ගෙන ඇසුවා ය.

“මොකද…”

“මං දිහා ඔහොම බලං ඉන්නෙ…ගිලින්න වගේ…”

“අනේ වැඩේමයි උඹව ගිලින්න. උඹව ගිල්ලොත් විස වෙලා තමයි මට මැරෙන්න වෙන්න”

පළිඟු හඬ නගා හිනැහුණා ය. ඇගේ හිතට පුදුම සැහැල්ලුවක් දැනෙන්නට වූයේ ය. මොනවා පෙන්වා ගෙන සිටියත් අධ්‍යාපනායතනයේදී ඇගේ හිතට මේ සැහැල්ලුව නො දැනෙන බව පළිඟු දනී. විශේෂයෙන් ම කිසල් සමග සිටියදී දැන් දැන් ඇගේ හිතට දැනෙන බර ගතිය වැඩි ය. විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමේ පෙරේතකම පෙරදැරිව ඈ භාර ගත් අභියෝගය කොතෙක් කාලයකට ඔරොත්තු දෙනු ඇත්ද කියා ඇය ට සිතා ගත නො හැකි ය.

“ආ…අන්න අර ළමයි දෙන්න එනව”

අර ගැස්ම නැවත වතාවක් පළිඟු ගේ හදවතේ ඇති විය. ඇය එය නො පෙන්වා මේසයක් මත ඉහිර තිබූ වතුර පිස දමන්නට වූවා ය.

“ආ…බේකරි කෙල්ල…වැඩ වගේ…”

උතුම් ඇතුළට ආවේ ම විහිළුක් කර ගෙන ය. අක්ෂි විසින් පළිඟු ට පටබැඳි නම, මේ වෙත්දී ළමයින් අතර ප්‍රචලිත ව තිබුණේ ය. අක්ෂි ගේ සමීපතමයන් හැරෙන්නට වෙන කිසිවෙකු මේ නම, ඇය හෙළා දකින්නට පාවිච්චි කළේ නැත. මේ වෙත්දීත්, මේ නම නිසා හා ඇය පෙන්වන සුහදශීලී ප්‍රසන්න බව නිසා බොහෝ සිසුහු පළිඟු කෙරේ මිත්‍රශීලී වූහ.

“වැඩ වැඩ…මොනාද අයියෙ කන්නෙ…”

“බොරුවට මගෙං අහන්න ඕන නෑනෙ ඉතිං…අහන්න ඕන අය ළඟ ඉද්දි”

පළිඟු වත්සලා දෙස බැලුවේ හොරැහිනි. පුංචා යමක් ඉව කරමින් හිඳින බව පළිඟු ට දැනෙමින් තිබේ. ඇය යමක් කෙළින් නො අසා සිටින්නේ යම් හෝඩුවාවක් තමන් විසින් ම හොයා ගන්නා තෙක් බව ද පළිඟු දනී. විශ්ව විද්‍යාලයට ඇතුළත් වීම වෙනුවෙන් ඈ කිසල් ගේ පෙම්වතිය බවට කොන්දේසියක් මත පමණක් පත් වූ බව දැන ගත හොත් පුංචා තමන් ඉතුරු නො කරනු ඇතැයි පළිඟු සිතුවා ය.

“මං මේ කිසල් පුතා ගෙං අහන්නමයි හිටියෙ. ඇයි මේ අපේ පළිඟු ට ස්කොල් එකක් දෙන්න හිතුවෙ…”

පළිඟු ගේ ඉහ මොළ දැවිල්ල ගත්තේ ය. කන් දෙකෙන් දුම් පිට වෙනවා සේ ඇයට දැනුණේ ය. කොයි තරම් හිත බිය ගත්තේ ද යත් ඇගේ කොපුල් වලට ලේ පුරා රත් පැහැ වූයේ ය. ඈ තුළ සිදු වූ වෙනස කිසල් දුටුවේ ය. ඔවුන් දෙදෙනා අතර ඇති වූ එකඟතාවට අනුව, කිසි ම වෙලාවක කිසි ම හේතුවක් මත දෙදෙනා ගෙන් එක් අයෙකු අනෙකා නිසා  අපහසුතාවයට පත් නො විය යුතු ය. තමන් අතර වන රහස රැක ගැනීම වෙනුවෙන් දිවි හිමියෙන් ක්‍රියා කළ යුතු අතර, කිසි සේත් ඒ රහස පාවා නො දිය යුතු ය.

“ආන්ටි…මේ…ඇත්තම කියනවනං…මං පළිඟු ට කැමති නිසයි එහෙම කළේ”

“ආ…”

වත්සලා ගේ පමණකුදු නොව පළිඟු ගේ පවා හුස්ම මොහොතකට නතර විණි. 

“අපි අතරෙ…අෆෙයා එකක් තියෙනව ආන්ටි”

වත්සලා ඇස් විසල් කර ගෙන පළිඟු දෙස බැලුවා ය. ‘අනේ අනේ පළිඟු…මේ කොල්ල කියනකල් උඹට බැරි වුණා නේද මාත් එක්ක ඔය ටික කියන්න’ වැනි කතාවක් ඒ බැල්මේ විය. පළිඟු වහා බිම බැලුවා ය. මෙතැන පොළොවේ වළක් හාරා ගෙන හැංගෙන්නට පුළුවන් කමක් තිබුණා නම් ඇය එහෙම කරනු ඇත.

“ඇත්තටම….මමයි පළිඟු ට කිව්වෙ මං කියනකල් ආන්ටිට ඒ ගැන කියන්න ඕන නෑ කියල”

පළිඟු ස්ටූල් එකක් මතට වැටුණා ය. මේ තරම් ලොකු බොරුවක් වසර කිහිපයක් වැනි දීර්ඝ කාලයක් වෙනුවෙන් නඩත්තු කරන්නේ කෙසේද? 

“අනේ මට ඔයා ගැන හරි සතුටුයි පුතා. ඇත්ටම හරි ආඩම්බරයි”

වත්සලා කෙටි කෑම ටිකක් ලහි ලහියේ මේසය මතින් තබා, තේ සූදානම් කරනු වස් විදුලි කේතලයේ පේනුව සවි කළා ය.

“ඒ වුණත්…”

වත්සලා තරුණයන් සිටි මේසයේ වන පුටුවක් ඇද එහි හිඳ ගත්තා ය.

“ඒ වුණත් මේ වගේ දෙයක් වෙන්න පුළුවන් ද කියල මට හිතා ගන්න බෑ. ඇත්ටම ඔයාට තේරෙනව ඇතිනෙ අපේ පවුල් වල තත්වෙ”

“ආන්ටි…දැංම ඒ ගැන වොරි වෙන්නෙ නැතුව ඉමුද අපි…මං කියන්නෙ…වෙන්න තියෙන දේකට ෆේස් කරන්න මං ලෑස්තියි”

“අනේ මන්දන්නෑ දරුවො”

පළිඟු දිගට ම හිටියේ බිම බලා ගෙන ය. මේ ප්‍රශ්නය මේ තරම් දුර දිගට යන එකක් බව, කොන්දේසියට එකඟ වෙත්දී නො සිතුණේ මන්දැයි ඕ කම්පා වූවා ය.

පසු දා විශ්ව විද්‍යාලයේදී මුණ ගැසුණ ගමන් පළිඟු කිසල් ගෙන් ප්‍රශ්න කළේ ඒ ගැන ය.

“ඇයි පුංචාට ඒ වගේ කතාවක් කිව්වෙ…දැං එයා ඒක විස්වාස කරනවනෙ”

“නැතුව ඉතිං අපි මේ ඇක්ට් එකක් කරනව කියන්නද…ඒකටයි ඔයාට ස්කොල් එකක් දුන්නෙ කියන්නද…ඒ රහස කවුරුවත්ම දැනගන්න ඕන නෑ. අඩු ගානෙ උතුම්වත්”

“ඒත් ඉස්සරහට…මේ ඇග්‍රිමන්ට් එක ඉවර වුණ දාට…”

පළිඟු ගේ ඇස් වල කඳුළක තෙත විය. නමුත් ඒ ගැන කිසිදු වගක් නැතිවා සේ කිසල් ඉවත බලා ගත්තේ ය.

“ඉතිං මොකද…බ්‍රේකප් වුණා කියනවනෙ. ඇයි ලෝකෙ එහෙම දේවල් වෙන්නෙ නැද්ද…”

යටි තොල සපා ගෙන යුවතිය බිම බැලුවා ය. ඕනෑ ම දෙයක් දරා ගන්නට පුළුවන. නමුත් පුංචාව රවටනවාය යන වරදකාරී හැඟීමෙන් මිදෙන්නට ඕ අපොහොසත් වූවා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles