සුළං සීනු – 2

සංකල්ප එනතුරු කෝපයෙන් පුපුරමින් බලා හිඳීම මට මහත් වෙහෙසකර විය.ඔහු අඩුම තරමේ මට ඇමතුමක් හෝ දුන්නේ නැත.

“වෙලාව පහු වෙනකොට මං වෙව්ලපු තරම් සුදු මැණිකේ.මහත්තයා ෆෝන් එක ගත්තෙත් නෑනෙ..”

නීතා පන්සිය විසි වෙනි වතාවටත් එසේ කියමින් මා අත කෝපි කෝප්පයක් තැබුවා ය. අනතුරුව ඌණපූර්ණය එක් කළා ය.

“අද ඉතිං මොකුත් කෑවෙත් නෑනෙ. බේබි නම් ඕං පැස්ටා කාලා නිදි..”

මට ඕනෑ වූයේ තනි වෙන්නට ය.මගේ යැයි කිව හැකි අය මා තබා ඇති තැන ගැන මට දැනෙන්නේ වේදනාවකි. ජීවිතය අත හරින්නට හිතෙන ඕනෑම විටෙක කම්මුලේ හාදුවක් තවරමින් කුඩා දෑතින් මා තදින් ග්‍රහණයට ගන්නා සීනු හැර මගේ යැයි කියන්නට කිසිවෙකුත් මේ ලෝකයේ ජීවත් වෙනවාදැයි මා සිතුවේ සැකයෙනි.

දුරකථනය නාද විණි. ඒ ඇමතුම මුහුදෙන් එතෙර සිට ය. අම්මා සිනා වෙමින් මදෙස බලා සිටියා ය. මට හඬන්නට ඕනෑ විය. නමුත් ඇගේ මුහුණ මල් යායකි.

“නංගිගෙන් සුබාරංචියක් ඕං..”

ඈ ඉතා ප්‍රීතියෙන් හෙළි කළා ය.මම සුබ පතන්නට වචන සෙවීමි.නමුත් සුබ පැතුමට පෙර අම්මාගෙන් අසන්නට සැබෑ ප්‍රශ්නයක් මට තිබිණි.එය මට අන් කවරකටත් වඩා වැදගත් ය.

“ඒ කියන්නේ අම්මයි තාත්තයි එන එක තව කල් යනවද?”

අම්මා මොහොතක් නිහඬව සිටියා ය.ඉන්පසු අවුරුදු තිහක් තිස්සේ මට පුරුදු “අම්මා හඬ”පෙරට ආයේ ය.

“මේ කාත් කවුරුත් නැති රටේ නංගිවයි පොඩි උන් දෙන්නවයි අතෑරලා ආවොත් තරිඳු අපි ගැන මොනවා හිතයිද ලොකු පුතේ. කොල්ලෝ දෙන්නා අපි නැතුව ඉන්නේ නෑ කොහොමවත්..”

කාත් කවුරුත් නැති රටක නංගීව තනි කර පැමිණීම ගැන විස්සෝප වන අම්මා උපන් රටේ තනිව ඇති ලොකු දුවගේ තනිකම ගැන බිඳකුදු නොසිතීම ගැන මට ඇති වන්නේ උසුලා ගත නොහැකි කෝපයකි.නංගි ඈත රටක හෝ ජීවත් වන්නේ ඈ සරසවියේ පටන් පෙම් කළ මිනිසා සමඟ ය.නමුත් මගේ තත්ත්වය එසේ නොවන බව අම්මා අමතක කර ඇත්තේ කොපමණ නරකටදැයි සිතමින් සිටි මට මේ ඇමතුම විසන්ධි කරන්නට ඕනෑ විය.

“ඔයාටත් දැන් තිස් එකටත් ළඟයි ලොකු පුතේ. සීනුටත් දැන් හතරට ළඟයි.තව දරුවෙක් ගැන හිතන්න..”

මම කිසිත් නොකියා ඇමතුම විසන්ධි කර අන්තර්ජාල සබඳතාවය ද විසන්ධි කළෙමි.මා කොහොම මානසිකත්වයක සිටිනවාදැයි සිතන්නටත් අමතක අම්මා මගෙන් තවත් දරුවන් පැතීම මොනතරම් විසිළු සහගතදැයි මා සිතුවේ කෝපයෙන් පුපුරා යමිනි.අද ඇති වූ හිත් පීඩාව ඇයට කියමින් හඬන්නට මට ඕනෑ විය.

නැත.

එහි තේරුමක් ඇත්තේම නැත.

“පවී,මීටින් එකක්. මම එකොළහවත් වෙයි. නිදා ගන්න.”

ප්‍රශ්නයක් කතා කරන්නට ගෙදර එනතෙක් මා බලා සිටි මිනිසා එවැනි පණිවිඩයක් එවා ඇත.මම හිස් වූ හදවත ද රැගෙන යහන ට වැටුණෙමි.සීනු තද නින්දේ ය. අද ඈට කතාවක් කියා දෙන්නට නොහැකි වීම ගැන මට උපන්නේ වේදනාවකි.ඈ පළිඟු දෑස නටවමින් මා කියන කතාන්දරවල අවසානය ගොඩ නඟන්නට බොහෝ මනාප ය.අද අම්මා හිඳින්නේ ගැටලුවකැයි ඇගේ සිඟිති ඉවට දැනෙන්නට ඇත. ඉතින් වචනයකින් හෝ පැමිණිල්ලක් නොකර නීතාගේ උණුසුමේ නින්දට වැටුණු සීනු ගැන මට වේදනාවක් හට ගත්තේ ය. ඇගේ සිඟිති හදවත වඩා කම්පනයට පත් වූ අද වැනි දවසක මට ඈ නිදි කරන්නට තිබුණා නොවේදැයි මා සිතුවේ කම්පනයෙනි.සංකල්පගේ වගකීම් විරහිත වැඩ මට මා අහිමි කරනවා පමණක් නොව සීනුට ද මා අහිමි කරනවා නොවේ ද?

බොහෝ වෙලාවක් කල්පනාවේ නිමග්න මා පියවි ලෝකයට ආවේ දුරකථනය නාද වෙද්දී ය.ලෝචනා ගිනි නිවන්නට අමතනවා වන්නට ඇත. මා දුරකථනය අතට ගත්තේ කම්මැලිකමිනි.එහි ලෝචනාගේ ඇමතුමක් වූයේ නැත. “නිසල්- ඔෆිස් ” යැයි තිරයේ වැටෙද්දී මම අහිතක් නොසිතාම ඇමතුම සමඟ සම්බන්ධ වීමි.

“පවනි.. බිසී නෑනෙ?”

ඔහුගේ හඬ ආචාරශීලී ය.

“නෑ නිසල්…”

“දූ දැන් අවුලින් නෑනේ? මට එයාව මතක් වුණා. ඒකයි ගත්තේ..”

මම කිසිත් නොකියා සුසුමක් හෙළීමි. දූගේ තාත්තා අද ඔහුට ඇයව අමතක වූ බව වගක් නැතිව කාර්යාලයේ ය. ඇයව අද මුල් වරට හමු වූ නිසල් දියණිය ගැන විමසයි.ලෝකය මොනතරම් අකාරුණික ද?

“ඇත්තටම ස්කූල් වෑන් එක අවුල් නම් එයාව ඒකෙ යවන්න එපා පවනි. සර්වන්ට් ට කැබ් එකක් දාලා දෙන්න හවසට.ලොකේෂන් දැම්මම එයාට තියෙන්නේ ගිහින් ගන්නයි ගේන්නයිනෙ. හොඳ සර්වන්ට් කෙනෙක් ගෙදර ඉන්නවා නම් බබාව ඩේ කෙයා තියන එක තේරුමක්ම නෑනේ..”

නිසල් කියවාගෙන යයි.එහෙම විසඳුමක් ගැන සිතන්නට මම ඉටා ගතිමි.

“ඔෆිස් එකේදී පවනි කියන්නේ හරි රිලැක්ස් කැරැක්ටර් එකක්නෙ. ඔය වගේ පොඩි දේවල්වලට අවුල් වෙන්න එපා..”

සුබ රැයක් පතන්නට පෙර එසේ කියන්නට නිසල් අමතක කළේ නැත.මම ඔහුගේ ඇමතුම විසන්ධි කරද්දී නංගිගේ වට්ස් ඇප් පණිවිඩ කිහිපයක්ම පැමිණ තිබිණ.අම්මාගේ ඇමතුම විසන්ධි කිරීම ගැන ඇසූ ඇයට ඒවාට පිළිතුරු නොදී සුබ පැතුමක් යවා මම නිසොල්මන්ව හුන්නෙමි.

“අදත් වලියක් ද?”

නංගිගේ ඊළඟ පණිවිඩය පැමිණියා ය.

“මට මේ මිනිහගෙන් ඩිවෝස් වෙන්න ඕන චූටි..”

මා එය යැව්වේ සැබෑ හැඟීමකිනි. මේ හැඟීම් දැනීම් නැති විවාහය අවසන් කළ යුතු ය.

“විකාර නොකර ඉන්නවද? සංක අයියා වගේ ඔයාව ඉවසන මිනිහෙක් වෙන කොහෙන් හොයන්නද? වෙන කෙනෙක් ගැන හිත හිතා තාම අඬන ඔයාව ඔහොම උහුලන ඒ මිනිහටයි තෑග්ගක් දෙන්න ඕන..”

නංගි අසලක සිටියා නම් මගෙන් කම්මුල් පහරක් කන තරමේ කතාවක් එවා තිබිණ.ඒසා විඳවීමක් විඳවන මා අතැර දමා අම්මා ද තාත්තා ද නංගී ද වෙන රටක ය.මා ගැන වගක් වූවා නම් ඔවුන් කළ යුතුව තිබුණේ නොකැමති කුලගෙයක මා සිරගත කිරීම නොවේ. අත අත නෑර මා දරා ගැනීම ය.

මම කඳුළු අතරින් වසර ගණනාවක් එපිටට ඉගිලුණෙමි. කිචි බිචි කිරිල්ලක වී හැමදෙයක්ම සැහැල්ලුවෙන් දුටු දඟකාර පවනිගේ අතින් අල්ලා ගත් යෞවනයා මගේ නෙතු මත මැවී පෙනෙයි.

දේවක!!

ඒ කෙතරම් මිහිරි කාලයක් ද?

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles