කදෝකිමි ඇස් -15

0
3918
කදෝකිමි ඇස්

“මේඝට කිට්ටුවෙන් ඉන්න..ඈත් වෙන්නේ නැතුව හොඳ යාළුවෙක් වෙන්න..”

මෝක්ෂ යෝජනාවක් ගෙන ආවේ ය.නමුත් ආරණ්‍යාට එය ක්‍රියාත්මක කරන්නට සිත නොවේ.ඇය අසරණ සිනාවකින් මෝක්ෂ දෙස බලා සිටියා ය.

“සමහරවෙලාවට කතාබහ කරලා එකට ගැටෙන්න ගත්තම ඔය ගතිය ඇරෙයි..”

මෝක්ෂ පවසන්නේ එහෙම ය.නමුත් ආරණ්‍යා ඒ ගැන වඩවඩාත් සිතන්නට ගත්තා ය.

ප්‍රේමය උපදින්නේ සැලසුම් කිරීමකින් තොරව ය. හදිසියේ ය. එය පැවසීමත් ඉන් අනතුරුව දිනා ගැනීමත් හිමි වූවන් බොහෝ ය. නමුත් අප්‍රකාශිත ප්‍රේමයක් හදවතේ සිර කරගෙන දුක් විඳීම තරම් වේදනාවක් තව තිබෙන්නට නුපුළුවන.
සමහර ආදර හැඟීම් අනෙකාට කිසිසේත් දැනෙන්නේ නැත. සමහරුන් දැනුණු වග හඟවන්නේ නැත. නැතිනම් බාර ගන්නේ නැත. අප්‍රකාශිත හැඟුම් වේදනාවක් වන්නේ එනිසාම ය.බොහෝ විට අප්‍රකාශිත ප්‍රේමයක රිදවුම ගැහැණු ළමයින්ට ය. ප්‍රේමයක් පැවසීම කෙල්ලෙකුට නොහොබිනා දෙයක් බව පැවසෙන ලෝකයක හදවතේ උපන් ප්‍රේමයක් නොකියාම සඟවන කෙල්ලන් අපමණ ය. කිසි දිනෙක පෙම් නොකළ මිනිසෙකු හා විවාහ වී ඒක පාර්ශවීය ආදරය හිත පතුලේම හිර කරගන්නට සිදු වීම වේදනාවකි. මරණීය වේදනාවකි.

ආසක්ත වීමත් ඒක පාර්ශවීය ප්‍රේමයත් දෙකකි. ක්‍රෂ් එකක් සමඟ ජීවිතය ගෙවන්නට කිසිවෙකුට සිහිනයක් නැත. දුටු සතුටු මලක් ක්‍රෂ් එකක් වූව ද කිසිත් නොපතාම ප්‍රේම කරන්නට සිතෙන්නේ ඒක පාර්ශවීය ප්‍රේමයකදී ය.
ලබා නොගත්තද ප්‍රේම කරන්නේ ඒක පාර්ශවීය ප්‍රේමයකට ය. එය විරහව තරම් සුන්දර එතරම්ම කටුක හැඟීම් සමුදායකි.

අප්‍රකාශිත ප්‍රේමයක් හදවතේ රඳවා ගැනීම කිසිවෙකුගේ ඇස නොගැටෙන තැනක බොහෝ වෙහෙස වෙමින් මල් උයනක් සැකසීම වැනි ය. දවසින් දවස මල් දහස් ගණනක් පිපෙයි. දකින්නට කෙනෙකු නැත.

එයම මිහිරක් නොවේ දැයි ආරණ්‍යා සිතන්නට ගත්තා ය.ඒ සංකල්පනා අම්මාගේ පොත් හත අටකින් සොයා ගත් දෑ බව ඇය දනියි.නමුත් අම්මා ලියූ ඒ වචන ගැන ඇයට සැබෑවටම දැනෙන්නේ දැන් ය.

“නිසලි හිතන් ඉන්නව ඔයාගේ වන් සයිඩ් ලව් එක මම කියල..”

ආරණ්‍යා එසේ කියද්දී මෝක්ෂ උස් සිනාවක් නැඟී ය.නැගණියක සිටීම මොනතරම් මිහිරි හැඟීමක්දැයි ඇය ඔහුට ඉගැන්වූවා ය.බොහෝ මිත්‍රශීලි පවුල් වල සම වයස් දරුවන් විවාහපත් කර දෙන ප්‍රවණතාවයක් වේ.අම්මාත් බිනරි නැන්දාත් එසේ නොවීම ගැන මෝක්ෂට සතුටක් දැනේ

“මායි මේකලා නැන්දයි දෙන්නම ඔන්ලි චයිල්ඩ් උනාට අපි දෙන්නට අපි දෙන්නා හිටියා.ඒ නිසා අපිව තනි වුණේ නැහැ.ඔයාලටත් ඔයාලා දෙන්නා ඉන්නවා..”

බිනරි ආරණ්‍යා සම්බන්ධයෙන් මෝක්ෂට එසේ පැවසූ අවස්ථා අනන්ත ය.සඳරැස් ඉපදීම ආරණ්‍යාට තවත් සහෝදරයෙක් වැඩි වූවා මිසක මෝක්ෂගෙන් ඈත් වන්නට හේතුවක් නොවේ.

“මිනිස්සු සම්බන්ධතා වලට හරි ඉක්මනින් නම් දෙන නිසා තමයි මම මේඝට කතා කරන්නත් බය..”

ආරණ්‍යා එසේ කියා සුසුමක් හෙළුවා ය.ජීවිතය ඇයට දී ඇති හොඳම සහෝදරයා ඇගේ පෙම්වතා වනතුරු ආරණ්‍යාගේ හොඳම මිතුරිය මඟ බලන්නී ය.එහෙව් ලෝකයක මේඝ සමඟ ඇති කරගන්නා මිතුරුකම කොතැනකින් අවසන් වේදැයි ඇයට සිතා ගන්නට නොහැකි ය.

“ආ මේ මල කන්න..”

උද්‍යානයේ ඇති කැලෑ මලක් ගෙන ආරණ්‍යා අත තබන මෝක්ෂ උස් හඬින් හිනැහේ.බිනරි නැන්දාගේ සිනාව එහෙම ම ඇති මෝක්ෂ අයියාට මේ අයුරින්ම හිනැහෙමින් තමන්ට ඉදිරියත් ඇහුම්කන් දෙන්නට හැකිදැයි ආරණ්‍යා සිතුවා ය.

“Hi.”

ඇය ඒ පණිවිඩය මේඝට යැවූයේ ඉතා හදිසියේ ය.සිනාවක් සමඟ පිළිතුරක් පැමිණියේ ය.

“ඇයි අදත් පර්ස් එක නැති කරගත්තද?”

මේඝ එසේ අසා එවා තිබේ.ආරණ්‍යා යැවීමට පිළිතුරක් කල්පනා කළා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here