කොයිතරම් ඩයට් කරලත් බර අඩු වෙන්නෙ නැත්තේ මේ හේතු නිසයි

ඔබ ආහාර පාලනය කරන ,එහෙමත් නැත්ත diet කරන කෙනෙක් නම් , ඔබේ එකම අරමුණ ඉක්මනින් සිරුරේ බර අඩු කර ගැනීම. ඩයට් එකක් යම්කාලයක් පුරාවට කරන ඔබට මේ වෙද්දි හොඳ ප්‍රතිඵල ලැබිලා තියනවා නම් ඔබ සාර්ථකයි. නමුත් බොහෝ දෙනෙක් අතර තිබෙන චෝදනාවක් තමයි ඩයට් කලත් සාර්ථක ප්‍රතිඵල නෑ… අනේ සිරුරේ බර අඩු වෙන්නෙ නෑනෙ කියන එක. එහෙම වෙන්නෙ යම් වැරැදක් කොතැනක හරි තිබෙන නිසයි. ඉතින් අපේ සූදානම ඔබ අතින් මෙන්න මේ වැරදි වෙලා තියනවද කියලා ඔබටම හදුනා ගන්න හැකියාවක් ලබා දීම. .මේ ලිපියෙන් ඔබට කියන්නේ ඩයට් කරන ඔබ අතින් වෙන වැරදි ගැනයි

ආහාර පාලනය කිරීමක අරමුණ බර අඩු කරගැනීමම විතරක් නෙමෙයි.ශරීරය නීරෝගිව පවත්වාගෙන යාමත් මෙහි එක අරමුණක්. සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර වලින් ඈත් වෙලා සමබර සහ පෝශ්‍යදායි ආහාර වේල් වලට හුරු වීම ආහාර පාලනයක් හැටියට හඳුන්වන්න පුලුවන්.නමුත් බොහෝ දෙනා මේ විදියට ඩයට් කරන්නේ බර අඩු කරගන්න.හැබැයි ඔබ හරි විදියට ඩයට් කරේ නැත්තම් ඔබට ඔබ බලාපොරොත්තු වෙන ප්‍රතිඵල නම් ලැබෙන්නේ නෑ

උදෑසන ආහාර වේල මග හැරීම

ගොඩක් අය ඩයට් කරන්න හිතාගෙන උදේට නොකා ඉන්නවා.නමුත් ශරීරයට අත්‍යවශ්‍යයම ආහාර වේල තමයි උදෑසන ආහාර වේල කියන්නේ.උදෑසන ආහාර වේල ඔබ මග හැරියොත් , ඔබට වඩාත් තදින් බඩගින්න දැනෙන්න ගන්නවා.එවිට ඔබ ඕනෑම දෙයක් ආහාරයට ගන්න පෙළඹෙනවා වගේම සීමා රහිතව ආහාර ගන්න ඔබ තුල රුචියක් ඇතිවෙනවා.ඒ නිසා කිසිම වෙලාවක ඩයට් කරන්න හිතාගෙන උදේ ආහාර වේල නම් මග හරින්න එපා

සැඟවුණු සීනි

ඔබ සෞඛ්‍ය සම්පන්නව ඉන්න හිතාගෙන , බර අඩු කරගන්න හිතාගෙන බත් , පාන් වගේ දේවල් නොකා පලතුරු , යෝගට් වගේ දේවල් වලට හුරු වෙලා ඉන්න කෙනෙක් නම් මේ කරුණ ඔබට වැදගත්.ඔබ පලතුරු යුෂ පානය කරනවා නම් ඔබේ අරමුණ විය යුත්තේ එය වඩා රසවත්ව සකස් කරගැනීම නම් නෙමෙයි.සීනි රහිතව පෝශ්‍යදායි ලෙස එය සකස් කරගැනීමයි.ගොඩක් දෙනා පලතුරු යුෂ සකස් කරනකොට සීනි භාවිතා කරනවා.එය ඉතාම වැරදි දෙයක්.ඒ වගේම යෝගට් ආහාරයට ගන්නවා නම් විවිධ රසකාරක යෙදු , සීනි අධික යෝගට් ආහාරයට ගන්න එකෙනුත් ඔබ වළකින්න ඕනේ. ඒ වගේම පීනට් බටර්, චොකලට් , කේක් , බිස්කට් වගේ දේවල් ආහාරයට ගන්න කලින් දෙපාරක් හිතන්න. මේ දේවල් සුලු වශයෙන් ඔබ ආහාරයට ගත්තත් ඔබේ ශරීරයට සීනි එකතු වෙනවා.ඉතින් ඔබ මේ වගේ සැඟවුණු සීනි සහිත ආහාර වලින් තොර නොවෙන තාක් ඔබේ ආහාර පාලනය ඵල රහිත එකක් වෙනවා

ව්‍යායාම නොකිරීම

ආහාර පාලනයෙන් විතරක් ඔබට ඔබේ ශරීරයේ අනවශ්‍ය බර අඩු කරගන්න බෑ.ඔබ අනිවාර්යයෙන්ම ව්‍යායාම වල යෙදෙන්නත් ඕනෙ.අඩුම තරමේ දිනපතා ඇවිදීමට වත් ඔබ හුරු වෙන්න ඕන.ඔබේ ශරීරය නීරෝගීව තියාගන්න සහ අනවශ්‍ය මේදය දහනය කරන්න ඔබට ව්‍යායාම ඉතා වැදගත්

ආහාර වේලට ප්‍රමාණවත් තරම් ප්‍රෝටීන් ඇතුලත් නොකිරීම

ඔබ බර අඩු කර ගැනීමට උත්සාහ කරන කෙනෙක් නම් ප්‍රමාණවත් තරම් ප්‍රෝටීන් ලබා ගැනීම අතිශයින්ම වැදගත් වෙනවා.එමගින් ඔබේ ආහාර රුචිය අඩු කිරීමට, ඔබේ කුස පිරුණු හැඟිමක් දැනීමට, පරිවෘත්තීය වේගය වැඩි කිරීමට සහ බර අඩු කර ගැනීමේදී මාංශ පේශි ආරක්ෂා කිරීම වගේ දේවල් වලට ඉවහල් වෙනවා.

ප්‍රමාණවත් තරම් තන්තු ආහාරයට නොගැනීම

ඔබ ඔබේ ආහාර වේලට තන්තු සහිත ආහාර ප්‍රමාණවත් ලෙස එකතු කරගන්නේ නැත්තම් ඔබේ බර අඩු කරගැනීමේ උත්සහය එතරම් සාර්ථක වෙන්නෙ නෑ.තන්තු මගින් ආහාර රුචිය අඩු කරනවා වගේම ශරීරයට කැලරි අවශෝෂණය කරගැනීමත් සීමා කරනවා. ඒ නිසා තන්තු සහිත ආහාර ගැනීමත් ඉතාම වැදගත්

අවශ්‍ය තරම් ජලය පානය නොකිරීම

ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීම මගින් ශරීරයේ තරබාරු බව වැඩි වෙනවා කියලා පර්‍යේෂණ මගින් තහවුරු වෙලා තියනවා. ඒ වගේම ඔබ නිතර ජලය පානය කරන එකෙන් ඔබේ කුස පිරී ඇති බව හැඟෙන නිසා එමගිනුත් ඔබ ආහාර වැඩි ප්‍රමාණයක් ගැනීම වළක්වනවා

ආහාර ගැනීමේදි අවධානය වෙනතක තිබීම

ඔබ තරම් සෞඛ්‍ය සම්පන්න ආහාර ගත්තත් , ආහාර පාලනය කලත් ඔබ ආහාර ගන්න වෙලාවට ඔබේ අවධානය තියෙන්නෙ වෙනතක නම් , ඒකෙන් වැඩක් වෙන්නෙ නෑ.අවධානයක් නැතුව කෑම කෑවොත් කුස පිරුණු බවට මොළයට සංඥා නිකුත් වෙන්නේ බොහොම ප්‍රමාද වෙලයි. එතකොට ඔබ නොදැනුවත්වම වැඩියෙන් ආහාර ගන්න පෙළඹෙනවා.

ඉතින් මෙන්න මේ වැරදි වලින් වළකිනවා නම් ඔබේ ආහාර පාලනය ප්‍රතිඵල සහිත සාර්ථක එකක් කරගන්න ඔබට පුලුවන්

Related Articles

Don't Miss


Latest Articles