සුළං සීනු -8

එහි වූයේ නිසල් ය. සැබෑවටම මට ඇති ගැටලුව වසර කිහිපයක් තිස්සේ හොඳම මිතුරිය වූ ලෝචනාට ද වටහා ගත නොහැකි නම් අද ඊයේ හිතවත් වූ නිසල් කෙසේ තේරුම් ගන්නදැයි මම සිතන්නට වීමි. අනිත් කාරණය ඔහු පිරිමියෙකි. අනිවාර්යයෙන් ඔහු සංකල්පට එසේ වන්නට ඇති හේතු ගැන කාරණා මවමින් ඉදිරිපත් කරනවාට සැක නැත.

“සංක එල කොල්ලෙක්. පවීට කේන්ති යන නිසා සේප් එකේ හිටියට ඌ ඔයාට ඇත්තටම ආදරෙයි. අනික ඒ මහන්සි වෙන මහන්සි විල්ල මට නං කීයටවත් බෑ…”

සංකල්ප ගැන නොමනාපයෙන් ලෝචනා දකින්නට ගිය දිනෙක මගේ දුක කියවිල්ලට ලෝචනා සමඟ කන් යොමා හුන් චානක පැවසුවේ එවැන්නකි.ඔහු ඕනෑම මොහොතක සංකල්පගේ හැසිරීමට නිවැරදි හේතු ඉදිරිපත් කරන්නෙකි. මගේ පාසල් මිතුරෙකු ව සිට මස්සිනාගේ ධුරයට උසස් වූ තරිඳු ද එයාකාරම ය. ඔවුන් සෑම විටෙකම පිරිමින්ගේ නිවැරදි භාවය දකින්නට පුරුදු වූවන් ය.

“එක ප්‍රශ්නයක් කියලයැ..”.

මම නිසල්ට පිළිතුරු යැවීමි. ඔහු එයට පිළිතුරු එවූ මුත් එය කියවන්නට මට උවමනාවක් වූයේ නැත.මම සීනු තුරුළු කරගෙන නින්දට වැටුණෙමි.පසුවදා කාර්යාලයට යන අතර නිසල්ගේ පණිවිඩය කියවන්නට මට සිහි විය. ඔහු ලියා එවා තිබුණේ කෙටි වදනකි.

“ඔයාට ඕන අහන් ඉන්න කෙනෙක් නම් මං අහන් ඉන්නම්..”

බොහෝ කාලයක් අසන්නට බලා හුන් වචන පේළියක් වූ එය මම නැවත නැවත කියවූයෙමි.එය මට ඕනෑම කර තිබූ කතාවකි.

“තෑන්ක් යූ නිසල්.”

උදෑසන ඔහුට පුරුදු සුබ පැතුම කරනවා වෙනුවට මට පවසන්නට තිබුණේ එපමණකි.ඔහු දීප්තිමත් සිනාවකින් මට පිළිතුරු දුන්නේ ය.

ඉනික්බිති බොහෝ දේ වෙනස් වන්නට පටන් ගත්තේ ය.ලෝචනාගේ බණ දේශනා අසා හිඳීම වෙනුවට හදවතේ ඇති වේදනාව නිසල් ඉදිරියේ දියව යාම ඇරඹිණි.දේවක ගැනත් මා අමතක කර දුර රටක වෙසෙන අම්මලා ගැනත් මම බොහෝ දවසක් තිස්සේ නිසල් සමඟ කියවීමි. අතිශය කාර්යබහුල හෝරාවන් ගෙවා දමන අපට කාර්යාලයේ දී පෞද්ගලික කතාවල පැටලෙන්නට ඉඩකඩ නොවිණි. නමුත් මැදියම ගෙවෙන තුරු ද දුරකථනයට ඇස අලවාගෙන මම මගේ වේදනාව අකුරට හරවමින් ඔහු සමඟ චැට් කරන්නට පටන් ගතිමි.

මා නිහඬ ගිනි කන්දක් ව සියල්ල දරා හුන් ගැහැනියක බවත් වේදනාව පුපුරා යමින් පවතින වගත් මට නොවැටහුණා නොවේ. නමුත් ගලක් සේ දරා ගැනීම වෙනුවට අසා හිඳින්නෙකු ළඟ හදවත විවෘත කිරීමේ අප්‍රමාණ සැනසීම මම හිත පුරා විඳ ගනිමින් සිටියෙමි.

මගේ කතා අසා හුන් නිසල් ට දිනක් අසන්නට දෙයක් විය. සැබෑවටම ඒ ඇසිය යුතු ම ප්‍රශ්නය ය.

“දැන් දේවකගෙන් වත් අම්මලාගෙන් වත් ඇත්තටම වැඩක් නෑනෙ පවී. ඔයාට සීනුගේ තාත්තා එක්ක සතුටින් ඉන්න බැරි ඇයි?”

ගිනි කන්දේ පුපුරා යාමට කාලය පැමිණ තිබිණ. “කසාද මිනිහගෙ අඩුපාඩු පිට මිනිස්සු එක්ක කවදාවත් කියන්නෙපා. විශේෂයෙන්ම පිට පිරිමි එක්ක..”
අම්මා නංගිට ද මට ද නිතර මතුරන මන්තරය අමතක කිරීමේ කුරිරු සතුට හිත පුරා විඳගනිමින් මම සංකල්පගේ “පතෝල ආදරය” ගැන නිසල් සමඟ බෙදා ගැනීම ඇරඹුවෙමි.

“යන්තං කම්ප්ලේන්ස් නැවතිලා නේද?”

ලෝචනා දිනක් මට පවසන තරමට මා ඇය සමඟ නාහෙන් ඇඬීම නවතා දමා තිබිණ. මම ඇයට ලා සිනාවක් පමණක් දෙන්නට පරිස්සම් වූයෙමි.

“ඔයා සංකව තේරුම් අරන් සතුටිං ඉන්නවා නම් එච්චරයි පවී. මූණත් ටිකක් එළිය වැටිලා දැං.. අනික අවුරුදු ගාණක් පස්සට ගිහින් හූල්ල හූල්ල කිසීම ලකයක් නැතුව ජීවත් වෙන එක ඔයා අතෑරල වගේ පේන එකම මට ඇති. දැන් ටිකක් හැඩ වෙන්න පටන් අරන් කෙල්ල..”

ලෝචනා කියද්දී මම නිසල් වෙත නෙත් බැල්මක් පා කළෙමි.ඔහු පරිගණකයේ ඇස අලවාගෙන ය. “අද ඔයා ලස්සනයි” හැම උදෑසනකම ඔහු එවන ඒ පණිවිඩය මට ජීවත් වන්නට අවශ්‍ය ශක්තිය සපයමින් තිබෙන බව ලෝචනා සමඟ බෙදා ගැනීමේ හදිසි ආශාවක් මට හට ගත්තේ ය. නමුත් ඈ යහපත් කල්කිරියාව සහ කාන්තාවකගේ සීමා ගැන පවත්වන දේශනා අසනවාට වඩා මේ මිහිරියාව හදවතේ සඟවා ගැනීම සතුටකි.

උදා වෙමින් පවතින්නේ වසන්තය ද ශීත කාලය ද යන්න ගැන වද වීම පසෙකට දමා මා මේ මොහොතේ පමණක් දිවි ගෙවන්නට පටන් ගෙන තිබිණ.නමුත් නිසල් මට ඇහුම්කන් දුන්නා මිසක ඔහු ගැන කතා කළේ නැති බව මට සිහියට ආවේම නැත. මගේ දුක බෙදා ගනිමින් හිඳින ඔහුට කරදර පීඩා ඇත්දැයි නොවිමසීම මොනතරම් අයුක්තිසහගතදැයි සිතන්නට මට දවසක් පැමිණියේ ය. ඒ ඉතා අහම්බයකිනි.

“ඒයි… අද නිසලා නිවාඩු කිව්වෙ නෑනෙ.. මං හිරවෙලා හොඳටම..”

නිසල් නොකියාම නිවාඩු ගත්තේ ඇයි දැයි නොඉවසිල්ලෙන් මා නොනවත්වා ඔහුට දුරකථන ඇමතුම් ගන්නට උත්සාහ ගනිද්දී භාතියගේ හඬ ඇසිණි.

“ෆෝන් ආන්සර් කරන්නෙත් නෑ..මූ බයික් එක ඇනගත්තවද්ද?”

ඉයන් පවසද්දී මට දේවකගේ අනතුර සිහි විණි. දෛවය මවෙත නැවත නැවත අකාරුණික වීම දරා ගත නොහැකිව මම නොනවත්වා නිසල්ට ඇමතුම් ගැනීමට උත්සාහ දැරුවෙමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles