පළිඟු මන්දිර – 22

0
1012

කිසල් ට ලං වීමේ හොඳ ම පාලම පළිඟු බව අක්ෂි වටහා ගත්තා ය. පළිඟු කියන්නේ පිටතින් නො පෙන්වූවාට සංවේදී තැනැත්තියකි. ඒ සංවේදීකම, කිසල් ට සමීප වීම සඳහා පාවිච්චි කරන්නට පුළුවන.

“ඇයි ඔයා එදා කිව්වෙ කිසල් තාමත් මට ආදරෙයි කියල…”

අක්ෂි එසේ ඇසුවේ එම සිදුවීම වී දින දෙකකට පස්සේ ය. පළිඟු ව්‍යාජ සිනහවක් පෑවා ය. එදා අතිශය සංවේදී ව සිටි මොහොතක ඒ බවක් හෙළි කළාට, ඒ කතාව නොකිව යුතු ව තිබිණැයි දැන් සිතේ.

“නිකං”

සිය සිනහව මෝඩ පාට යයි ඇයට ම දැනිණ. අක්ෂි තුළ කේන්තියක් ඇති වුණත් ඕ එය පාලනය කර ගත්තා ය.

“නිකං කිව්වෙ…”

“නිකං…මට හිතුණා එහෙම වෙන්නැති කියල”

“ඔයාට එයා එහෙම කියල තියනවද…”

“නෑ. ඇත්තටම එහෙම කියලංනං නෑ”

“ඒත් ඔයාට දැනෙනවනෙ එහෙම නේද…මන්දා…මටනං බෑ වෙන කෙල්ලෙක්ට හිතෙං ලවු කරන කොල්ලෙක්ගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් වෙන්න. ඒකමයි මං අශේන්ගෙන් බ්‍රේකප් වුණෙත්…”

පළිඟු නැවතත් අර මෝඩ සිනහව පෑවා ය. ඒ සිනහවට යටින් තිබූ හිත නො රිදුණා ම නොවේ. කිසල් හා පළිඟු අතර වන ඇයි හොඳයියේ තේරුම අක්ෂි නො දන්නවා වුණත් ඈ කියන්නේ බොරුවක් නොවන බව පළිඟු ත් දනී. වෙනත් කෙනෙකු ගැන හිතන කෙනෙකුට පෙම් කිරීමේ පාපය මේ වන විටත් ඇය ගෙවමින් හිඳී!

පළිඟු ගෙන් දැන ගත් කිසල් තවමත් ඇයට පෙම් කරනවා කියන පුවත, අක්ෂි උතුම් ගේ කනේ තැබුවා ය. මේ වෙලාවේ උතුම් තුළ ඇති වූයේ සිය මිතුරාත් ඔහු ගේ පරණ පෙම්වතියත් යන දෙදෙනා ම ගැන කේන්තියකි. මේ කේන්තිය කිසල් පිටින් නො යවා ඉන්නට ඔහු ට හැකි වූයේ නැත.

“උඹ දන්නවද කිසල් පළිඟු ඉන්නෙ මොන වගේ මූඩ් එකකද කියල…එයා අක්ෂිට කියල තියෙනව උඹ තාම අක්ෂිට ආදරෙයි කියල”

“මොකක්….”

“හ්ම්”

“ඔල්මාදෙ එයාට. මං දැං කීප සැරයක්ම කිව්ව අක්ෂි එක්ක කතාවට යන්න එපා කියල”

“අක්ෂි එක්ක කතා කරන එක නෙවෙයිනෙ ප්‍රශ්නෙ. පොඩ්ඩක් හිතපංකො. උඹල දෙන්නම එකතු වෙලා ඒ කෙල්ලට මාර පනිෂ්මන්ට් එකක්නෙ දෙන්නෙ. ඒකි උඹලට මොන වරදක් කළාටද කියල කියපංකො”

“එයා විකාර දොඩවන්න යනවට මං මොනා කරන්නද…”

“ඒකි කියල තියෙන්නෙ ඒකිට දැනුණ දේ වෙන්න ඇති. උඹ මෙහෙම එකෙක් කියල ඇත්තටම මං මීට කලිං හිතල තිබුණෙ නෑ. බලාගෙන යනකොට උඹ, අශේන්, අක්ෂි කියල ලොකු වෙනසක් නෑ”

උතුම් ගේ ඒ වචන ප්‍රහාරයට එරෙහි වීමේ හැකියාවක් නැති ව කිසල් මුණිවතින් බලා උන්නේ ය. සත්තකට ඔහු කෙතරම් නරක මිනිසෙක් දැයි කිසල් දැන උන්නේ ය. ඔහු ඒ බව සිතා තිබුණේ ය. මේ විදිහට පළිඟු ව පාවිච්චි කිරීම හොඳ නැති බව ඔහු වටහා ගෙන ද සිටියේ ය. එය ඇගේ අනාගතයට අයහපත් බලපෑමක් කරන්නට වුව බැරි නැත. නමුත් දැන් ඉතින් සියල්ල සිදු වී අවසාන ය. නමුත් ඔහු පළිඟු ව රැවටීමේ අදහසකින් කිසිත් නො කළ බව කිසල් ට සහතික ය. යමක් සිදු වූවා නම් ඒ පළිඟු ගේ එකඟතාවය ඇති ව ය. ඒ බව සිතා කිසල් හිත සකසා ගත්තේ ය. 

හමු වීමෙන් දින ගණනාවක් ගත වුණත් පළිඟු ගේ හිතේ වර්ෂා රැඳී සිටියා ය. ‘අපිට හොඳ යාළුවො වෙන්න පුළුවන්’ යනුවෙන් වර්ෂා කී කතාව නිරන්තර පළිඟු ගේ සිතේ පිළිරැව් නැංවිණි. සෙනසුරාදා හවසක ඕ වර්ෂාගේ දුරකතනය අංකනය කළේ සැප දුක් විමසීමේ අදහසිනි. යෙහෙළියක් වශයෙන් අනෙත් පාර්ශවයට විය යුතු යුතුකම් සැම දා තමා අතින් මගහැරුණා යි දැන් දැන් ඇයට සිතේ. යාළුවන් කොයි තරම් හිටියත් හොඳ ම යාළුවා කියා කියන්නට කෙනෙක්, හදවතේ වන වෙන කාටවත් ම නො කිව හැකි දෑ පවා කිව හැකි කෙනෙක් ඇයට නැත්තේ එනිසාවෙනැයි පළිඟු ට සිතේ.

කියවන්න :  පළිඟු මන්දිර - 3

“හරි පුදුමයි. මාත් ඔයාට කතා කරන්න හිතුව විතරයි. ටෙලිපති”

වර්ෂා සතුටෙන් සිනාසුණා ය. 

“ඇයි කතා කරන්න හිටියෙ…”

“මං නුගේගොඩ එනව. ඔයා ඒ පැත්තෙ එහෙම ඉන්නවද බලන්නයි හැදුවෙ. ඉන්නවනං අපිට මීට් වෙලා චැට් එකක් දාන්න පුළුවන්නෙ”

“මාත් කම්මැළිකමේ හිටියෙ. එහෙනං මං එන්නං”

ඇත්තටම පළිඟු හිටියේ කම්මැළි කමේ ය. සෙනසුරාදා ට විශ්ව විද්‍යාලයේ දේශන නො පැවැත්වෙන නිසා එහි වන්නේ වෙනත් අවශ්‍යතා සඳහා පැමිණෙන සිසුන් සුළු පිරිසක් පමණකි. එනිසා ම සති අන්තයේ අවන්හලට ඒ තරම් සෙනගක් නැත. ඒ වුණත් වත්සලා එය වසා දැමුවේ ඉරිදා ට පමණකි.

“යාළුවෙක් එනෝ කිව්ව නුගේගොඩට. මං ගිහිං එන්නං. පුංචාට තනියම පුළුවන්නෙ…”

අමුතු උනන්දුවකින් පිටතට යන්න හදන පළිඟු දෙස වත්සලා බැලුවේ පුදුමයෙනි.

“කවුද බං මං නොදන්න යාළුව…”

“ඔයා දන්නෑ අනේ. අර මං පර්ස් එක ඇහිඳල දීපු ගර්ල්”

වත්සලා යමක් කියන්නටත් පෙර පළිඟු අවන්හලෙන් පිටතට අඩිය තබා අවසාන ය.

යුවතියෝ නගරයේ කලබලය අතරින් ඇවිද ගියේ ඒ ගැන කිසිදු හෝ වගක් නැතිව ය. ඔවුහු සිනහ වෙමින් ද කතා කරමින් ද ගියේ බෝ කාලයක සිට ළඟින් ඇසුරු කොට පුරුද්දක් ඇතිවා මෙනි. සමහර මුණගැසීම් හරි දෛවෝපගතයි කියා පළිඟු ට සිතිණි. නළලත තුවාලයක් ද සමග අවන්හලේ දී කිසල් මුණගැසුණු නිසා ඇය ට පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයකට ශිෂ්‍යත්වයක් ලැබිණ. මුදල් පසුම්බියක් අහුලා ගත් නිසාවෙන් දැන් ඇය ට යෙහෙළියක මුණගැහී තියේ.

“බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද…”

හදිසියේ ම වර්ෂා ඇසුවා ය. පළිඟු පිළිතුරක් ගලපා ගත නො හැකි ව විපිළිසර වූවා ය. ඊළඟට ඕ සිය මෝඩ සිනහව පෑවා ය.

“බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක්…ම්…නෑ කියන්නත් බෑ…ඒත්…ඉන්නව කියන්නත් බෑ”

වර්ෂා හයියෙන් සිනහ වූවා ය.

“ඒක මාර කතාවක්නෙ. මගෙ නං හිතේ එක්කෙනෙක් ඉන්නව. ඒත් ගෙදරිං ප්‍රපෝස් කරපු එක්කෙනෙක් පැත්තකිං ඉන්නව”

“ආ…”

පළිඟු විශ්මිත වූවා ය.

“හිතේ ඉන්න එක්කෙනා දන්නැද්ද ඔයා එයාව හිතේ තියං ඉන්නව කියල…”

“ඒ පිස්සා දන්නැතුව ඇති”

වර්ෂා සැහැල්ලුවෙන් සිනාසුණා ය.

“ගෙදරිං ප්‍රපෝස් කරල තියන එකාටනං මං කැමතිම නෑ. ජරා ෆ්ලර්ටිව් යකෙක්”

“එහෙම ත්යාගෙනත් ඔයා හිනා වෙවී සතුටෙං ඉන්නවනෙ”

“ඔයත් ඔය සතුටෙං ඉන්නෙ…බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද නැද්ද කියලත් ශුවර් නැතුව”

පළිඟු ගේ මුවග වූ සිනහව හෙමිහිට තුනී ව යමින් තිබිණ. සියල්ල ඇය හා කියන්නට හැකි තරම් විශ්වාසවන්ත හැඟීමක් වර්ෂා පිළිබඳව ඇති වූයේ කොහොමද කියා නම් ඈ දන්නේ නැත.

“ඒක ටිකක් අමුතු කතාවක් වර්ෂා…”

“මං ඒක දැනගත්තට කමක් නැත්තං විතරක් කියන්න”

“මං එයාට කැමතියි තමයි. ඒත් එයා ආදරේ වෙන කෙනෙක්ට”

“ඕහ් ගෝඩ්! වන් සයිඩ් ලවු එකක්”

“අමාරු දේ ඒක නෙවෙයි”

කියවන්න :  පළිඟු මන්දිර - 40

“එහෙනං…”

“ඒ දෙන්න දැනට බ්‍රේකප් වෙලා ඉන්නෙ. ඉතිං…අර ගර්ල්ට රිද්දන්න එයා මං එයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් කියල අඟවනව”

වර්ෂා දෑතින් ම සිය හිස බදා ගත්තා ය. එහෙම දේවල් මේ ලෝකයේ සිදු වෙන්නට හැකි ද කියා ඇයට හිතා ගන්නටවත් නුපුළුවන.

“මං එහෙමනං මැරෙයි”

“මාත් දැං බාගෙට මැරිල වගේ තමයි”

“අපි කියමු”

“මොනාද…කාටද…”

“කොල්ලට…ඔයා එයා ගැන හිතන්න පටං අරං කියල”

පළිඟු ගේ වත මතට යළිත් අර මන්දස්මිතය පැමිණියේ ය. ඈ මේ මොහොතේ කෙතරම් අසරණ දැයි සිතන්නට ඇයට උවමනා විය.

“ඒක කවදාවත් මං කරන්නෑ කියල මං දන්නව”

වර්ෂා පෙනහලු පිරෙන්නට හුස්මක් ගත්තා ය. මෙතෙක් ඈ සිතා සිටියේ මෙලොව වන අසීරු ම ප්‍රේමය දරන්නී ඈ බවයි. නමුත් පළිඟු ගේ තත්වය ඊටත් වඩා කෙතරම් දරුණු ද? 

“මං කැමති අයියගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ්ට. අයියගෙම තව යාළුවෙක්ව තමයි මට ප්‍රපෝස් කරල තියෙන්නෙ”

“දෙයියනේ…”

“මන්නං වෙලාවක කියනවමයි. ඊට පස්සෙ වෙන දෙයක් වුණාවෙ”

ඒ කතාබහෙන් පස්සේ හදවත වඩාත් සැහැල්ලු වූවා සේ පළිඟු ට දැනිණ. ජීවිතයේ අතිශය පෞද්ගලික හැඟීමක් හුවමාරු කර ගත හැකි  යෙහෙළියක නොසිටීමෙන්, කෙතරම් හිස් කමක් සිය ආත්මයෙහි ශේෂ වී පැවතුණා දැයි දැන් ඇය ට නිගමනය කරන්නට පිළිවන.

ඉරිදා උදේ සිට ම හිත පෙළන නොසන්සුන්කමක්, කිසල් අත්විඳිමින් සිටියේ ය. සෙනසුරාදා දවස කෙසේ හෝ ගෙවා ගත්ත ද තව දුරටත් ඒ තත්වය පවත්වා ගත නො හැකි බව ඔහු ට ප්‍රත්‍යක්ෂ වෙමින් තිබිණි. කිසල් යතුරු පැදියෙහි නැගුණේ හිතට ඉඩ දීමෙනි.

“කොහෙද ඔය යන්නෙ කිසල්…”

මොරින් ගේ ප්‍රශ්නය ට පිළිතුර හැරී බැලීමක් පමණක් විය.

“දැක්ක නේද ගොළුව වගේ ගිය හැටි…ඔය යන්න ඇත්තෙ අර කෙල්ල බලන්න. මේ ළමයව මේකෙං ගලවගන්න හම්බවෙන්නෑ සනත් මේ විදිහට බුරුල දීලනං”

මොරීන් සනත් ට ගතු කියමින් ම වට පිට බැලුවේ අසලක වර්ෂා සිටිනවාද කියා ය.

“මට අර ළමයවවත් හදාගන්න බැරි වෙනව මෙයාගෙ හැසිරීම නිසා”

“තේ කෝප්පෙත් කිඹුල්ලු දකින එක දැං ඔයාගෙ පුරුද්දක් වෙලා මොරීන්. ඒ කොල්ලා ගියේ වෙන ගමනක් වෙන්න බැරිද…හැම වෙලේම ළමයි දිහා සැකෙං බලන්න එපා”

සනත් සිය පුරුදු සාවධානයෙන් පැවසී ය. ඔහු මේ තරම් බොළඳ ලෙස සිතන්නේ මන්ද කියා මොරින්ට කිසි සේත් සිතා ගත හැකි වූයේ නැත.

කිසල් ගේ බයිසිකලය ගෙමිදුල නතර වන විට පළිඟු සිටියේ වෙල්ලෙයිකොලම්බන් අඹ ගහ යට බංකුවේ හිඳ නිමක් නැති කල්පනාවේ නිමග්නව ය. මේ වෙලාවේ ඔහු දකින හීනයක්වත් හුරු නැති යුවතී තිගැස්සී ගියා ය. කොළ පාටට රැවුල් කොට වැවී ඇති සුදු මූණේ වූ කලබලකාරී බව ඈ සන්තානයෙහි ඇති කොට තිබුණේ නුහුරු කම්පනයකි. යෞවනයා විත් බංකු කොනක හිඳ ගනිත්දීත් පළිඟු කිසිත් අසන හෝ කියන සූදානමක නො උන්නා ය.

“මොකද්ද අර උතුම් කියන කතාව…”

“මො…කද්ද…”

“ඔයා අක්ෂිට කිව්වයි කියන්නෙ…මං එයාට තාම…”

ඉතිරි ටික කියන්නට කිසල් ට සිත් වූයේ නැත.

“කිව්වම නෙවෙයි ඉතිං…කියවුණා…”

පළිඟු බැගෑපත් ව කෙඳිරුවා ය.

“කොහොමද තමුං මං ගැන එහෙම කතා කියන්නෙ ආ…මොන අයිතියකටද තමුං එහෙම දෙයක් කියන්න ගියේ”

කොයි තරම් හයියෙන් ඔහු කෑ ගැසුවේ ද යත් පළිඟු නිරුත්තර වූවා ය.

5 6 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments