පළිඟු මන්දිර – 39

0
796

එදා රාත්‍රී ආහාර සඳහා නිවර්තනා ට මොරින් ගෙන් ඇරයුම් ලැබී තිබිණි. ඒ ඔවුන් ගේ නිවසට ය. ඊට පෙර දිවා ආහාරය සඳහා මොරීන් යුවතිය ව ප්‍රකට බොජුන් හලකට කැටිව ගියා ය. ඒ ගමනෙ හි යටි අරමුණක් තිබිණි.

“ඕගොල්ලො පොඩි කාලෙ ඉඳලම ප්‍රියානියි මායි කතා වෙලා හිටියෙ දවසක ඔයයි කිසලුයි මැරි කරන්න ඕන කියල”

නිවර්තනා දඟසිනහවක් නගා ගත්තා ය.

“අම්මිත් මට ඔය කතාව කියල තියනව. ඒ වුණාට මන්නං කැමති නෑ ආන්ටි එහෙම”

“කැමති නෑ කිව්වෙ…”

“ප්‍රපෝස්ඩ් මැරේජ් එකක් කියන්නෙ…ඊයා…මං දවසක මැරි කරන්නෙ මට හොඳයි කියල හිතෙන කෙනෙක්ව. පැරිස් වලදිත් මං බෝයිස්ල කීප දෙනෙක්ව ම ආශ්‍රය කරල තියනව. ලංකාවෙ අය වගේ ම වෙන කන්ට්‍රීස් වල අයත්. ඒත් කාලයක් එකට ජීවත් වෙන්න බැරි වෙයි කියල හිතුණ හේතු තිබුණ නිසා  බ්‍රේකප් වුණා”

මොරීන් තිගැස්සුණා සේ ය. බටහිර නමක් තිබුණා ට, ඉංග්‍රීසි භාෂාවට මුල් තැන දී කටයුතු කළා ට, බටහිර පන්නයට හැසිරුණා ට සිය සිරුරෙහි දුවන්නේ ශුද්ධ සිංහල ලේ බව දැනී ඕ යටි තොල් පට සපා ගත්තා ය. ප්‍රේම සම්බන්ධයක් ගැන විවෘත ව කතා කරන්නට මේ කෙල්ලට තිබෙන ආත්ම ශක්තිය මොරින් වෙත වූයේ නැත.

“ඉට්ස් ඕකේ…ඔයා කිසල්වත් ආශ්‍රය කරල බලන්නකො. මං හිතන්නෙ ඔයා එයාටනං අකමැති වෙන එකක් නෑ. හැබැයි මෙහෙම දෙයක් තියෙනව. එයා අමුතු මනුස්සයෙක්. ඒක නිසා මං දන්නෑ එයා ඔයාට කැමති වෙයිද කියල. නිවර්තනා එයාව කැමති කරගෙන පෙන්නුවොත්…ඔයා එහෙනං…මල් මාලා දාලයි මං ඔයාව පිළිගන්නෙ…”

නිවර්තනා ගේ කට කොනක් ඇද වී ගෙන ගිහින් සිනහවක් උපන්නේ ය. මොරීන් ඇය වෙත අභියෝගයක් එල්ල කළා සේ ය නිවර්තනා ට දැනුණේ. ඇය අභියෝග පිළිගන්නට ගිජුකමක් දක්වන්නියකි. විශේෂයෙන් ම මේ වාගේ අභියෝග වලට ඕ රිසි ය.

“කිසල්ගෙ කැමැත්තෙං වැඩක් නෑ ආන්ටි. හැබැයි මං එයාට කැමති වුණොත් ඔයා මට දීපු චැලේන්ජ් එක පරදින්නෙ නෑ මං”

මොරීන් ගේ ඇඟට ලේ පොදක් උනන්නට ඇත. කාලයකට පස්සේ කිසල් හා නිවර්තනා මුණ ගැස්වීම, රාත්‍රී කෑම සඳහා නිවර්තනා ව සිය නිවෙසට කැඳවීමේ මොරීන් ගේ අරමුණයි. නමුත් වර්ෂා මොරින් ගේ යටි අරමුණ හැඳින්නා ය.

“අම්මි පැත්තක ඉන්න නිවර්තනා අක්කිව අනවශ්‍ය ප්‍රශ්නෙකට පටලන්නනං හිතන්නවත් එපා හරිද…”

අතුරුපසට තමන්ගේ අතින් ම බිස්කට් පුඩිමක් සාදමින් සිටි මොරීන් ගේ වත මත වූ මන්දස්මිතයෙහි කිසිදු වෙනසක් සිදු නොවිණි. වර්ෂා ඉන් නොරිස්සුම් වූවා ය.

“කාගෙවත් ජීවිත වලට ඇඟිලි ගහන අයිතියක් වෙන කාටවත් නෑ. දෙමවුපියන්ට වුණත් එහෙම කරන්න බෑ. වෙස්ටර්න් කන්ට්‍රි එකක හැදුණ නිවර්තනා අක්කි ඔයාගෙ මේ විකාර වැඩ දැක්කොත් ආයෙ ප්‍රංශෙටම දුවලයි නතර වෙන්නෙ”

“අපි බලමුකො…ම්…නිවර්තනා කියන්නෙ ඔයාගෙ අයියව අර පාං කඩේ කෙල්ලගෙං ගලවගන්න තියන හොඳම තුරුම්පුව. සමහර විට මේකත් හරි නොගියොත් ආයෙ උත්සාහ කරලත් වැඩක් නැති වෙයි”

වර්ෂා ටික වෙලාවක් එක එල්ලේ මොරීන් දෙස බලා ගෙන ම උන්නා ය. ඇගේ ගති ස්වභාවයන් වෙනස් කිරීම දැන් මේ වයසත් එක්ක පහසු කටයුත්තක් නො වන බව යුවතියට සිතිණි.

“ඔයා ඔය පවු පුරෝගන්නෙ අම්මි. පව්…”

කියාගෙන එතැනින් නික්ම ගියේ එනිසාවෙනි. මොරීන් ගේ සිනහව පුළුල් ව පැතිරිණි.

නො දැක ගෙවුණු වසර පහ හයට නිවර්තනා වඩාත් ආකර්ෂණීය ව වැඩී ඇතැයි වර්ෂාට සිතිණ. නමුත් පළිඟු තරම් ඇය සොයුරා ට නො ගැලපෙන්නේ යයි ඇය සිතින් ගණන් හිලවු ද කළා ය. පළිඟු ව කිසි දා හමු වී නො තිබිණි නම්, අයියා ගේ අනාගතය ලියැවිය යුත්තේ නිවර්තනා සමගින් යයි වර්ෂා ද තීරණය කරනු ඇත. නමුත් දැන් නම් පළිඟු ගේ පැත්ත මඳකින් හෝ බරින් වැඩි ය.

කියවන්න :  පළිඟු මන්දිර - 9

කිසල් හිටියේ බුම්මාගෙන ය. ඔහු නිවර්තනා වෙත හෙළුවේ එක ව්‍යාජ සිනහවක් පමණි. එයත් සම්පූර්ණ සිනහවකැයි කිව නො හැක. සිනහ කැබැල්ලක් පමණකි.

‘තියෙන උද්දච්ච කමක්…අනින්න හිතෙනව හොම්බට දෙකක්’

කියා නිවර්තනා සිතුවා ය. නමුත් කිසල් වෙත වන ඇයට ම වටහා ගත නො හැකි කුමක් දෝ ගුණාංගයක් විසින් ඇය ව ඔහු වෙත ආකර්ෂණය කරවන බව නිවර්තනාට දැනිණ. කෑම මේසයේදී කිහිප වතාවක් ම ඇය කිසල් දෙස බැලුවා ය. සැබවින් ඒවා හිතා මතා කළ බැලීම් ද නොවේ. ඔහු ඇය ව ගණං ගන්නේවත් නැති බව ඇයට දැනිණ. මොරීන් කීවේ සැබෑවකි. කිසල් ට සමීප වීමේ කුතුහලය නිවර්තනා තුළ දලු ලන්නට පටන් ගත්තේ ය.

ඔහු ඉක්මනින් කෑම කා කෑම මේසයෙන් නික්ම ගියේ ඉහළ පාන්තික සිරිත් ගැන තුට්ටුවකට හෝ මායිම් නො කරමිනි. මොරීන් ගේ හිතේ ක්‍රියාත්මක වන දේ කිසල් ට නො දැනෙනවා නොවේ. නමුත් පළිඟු ව අත්හැර ගන්නට සිහිනයෙන් වත් ඔහු ට නො හැකි බව කිසල් දැන සිටියේ ය.

නිවර්තනා ගේ ආගමනය ගැන කිසිත් පළිඟු ට නො කියන්නට කිසල් හිතා ගත්තේ ය. ඇගේ හිත වීදුරුවක් සේ ය. මේ වගේ දෙයක් නිසා එය අතිශය සියුම් ලෙස බිඳී යන්නට පුළුවන. එක වරක් පමණක් විශ්ව විද්‍යාල භූමිය තුළ දී නිවර්තනා මුණ ගැහීමත් පළිඟු ගේ හිත සසල කොට තිබිණි.

“මාත් එක්ක සීගිරියට ගිහිං එන්න එනවද…මට එතන ස්ට්‍රක්චර් එක මගෙ ඇස් වලිංම බලාගන්න ඕනෙ”

බලයෙන් ම කිසල් වෙත සමීප වන උත්සාහයකින් යුතු ව, රාත්‍රියේ සමු ගැනීමට පෙර නිවර්තනා කිසල් ගෙන් විමසුවා ය.

“හිතුවද මං ටුවර් ගයිඩ් කෙනෙක් කියල..”

ඔහු නපුරු බැල්මකින් ඉවත බැලුවේ ය. ඒ අහංකාර කමට නිවර්තනා තව තවත් වශී වෙමින් සිටියා ය.

“එහෙම නොවුණට කමක් නෑ. මේක පරණ යාළුවෙක්ට කරන උදව්වක් කියල හිතා ගන්නකො”

“ඔය වගේ වැඩ වලට මට වෙලාව නෑ”

“නපුරු දුෂ්ටය”

ඇය ඇහෙන නෑහෙන හඬකින් මිමිණුවා ය. ඒ දඟකාර හා හුරතල් ස්ත්‍රීත්වය හමුවේ සිය සිතිවිලි සසල කර ගන්නට කිසල් ට කොහෙත් ම ඕන වුණේ නැත. අන්තිමට ඇය සීගිරි ගියේ සංචාරක උපදේශකයෙකු සමගිනි.

නිවර්තනා හමුවේ කිසල් තිගැස්සේවිද කියන බිය වර්ෂා තුළත් විය. නිවර්තනා වූ කලී ස්ත්‍රීත්වයේත්, ස්වාධීනත්වයේ හා පෞරුෂයේත් කැඩපතක් බඳු යුවතියකි. බටහිර රටක කාලයක් තිස්සේ ජීවත් වීම නිසා ඇගෙන් විද්‍යමාන වන පෞරුෂය, කොදෙව් ස්ත්‍රීත්වය ඉක්ම ගිය මහාද්වීපික ලක්ෂණ ප්‍රකට කරයි. එවන් ස්ත්‍රියක කෙරේ විශ්මිත නො වන පිරිමි හිතක් පැවතිය නො හැකි බව වර්ෂාට තේරුම් ගන්නට බැරි නැත.

“අම්මි හිතං ඉන්නෙ නිවර්තනා අක්කිව අපේ අයියට සෙට් කරන්න. ඒක නිසා ඉස්සරහට සිද්ද වෙන්න පුළුවං සමහර දේ වලදි ඔයා අයිය එක්ක අප්සට් වෙන්නැතුව ඉන්න”

වර්ෂා කල් ඇතිව ම මේ ගැන පළිඟු ව දැනුවත් කළා ය. කිසිදු ගැහැනියක ඈ පෙම් කරන පුරුෂයා ව තවත් ස්ත්‍රියක සමග බෙදා හදා ගන්නට කැමති නැත. පළිඟු කියන්නේත් අධි මානසික තත්වයන්ට පත් නොවූ සාමාන්‍ය පෘථග්ජන තරුණියකි. ආදරයේ දී ඊර්ෂ්‍යාව වූ කලී පාලනය කිරීම අසීරු වන බලගතු දුර්ගුණයකි. පෙම්වතුන් අතරේ වැඩිපුර ම ගැටුම් හා බිඳීම් ඇති වන්නේ ඊර්ෂ්‍යාව කියන යක්ෂයාව හැඳින මට්ටු කිරීමට සමත් නො වන නිසාවෙනි. පළිඟු ඒ සියල්ල දන්නී ය. නමුත් දැනගෙන හිටියා කියා ඒ හා සටන් කොට දිනන්නට ඇයට හැකි වේවිද කියා ඈ ස්ථිරව දන්නේ නැත.

“ඒ අක්ක හරි ස්මාට්. එයා ඉස්සරහ මං කවුද…”

පළිඟු සිනහ වෙන්නට දරන උත්සාහයක් ඇති ව කීවා ය. ඒ සිනහව වඩාත් සමීප ඉකිබිඳුමකට ය. ඇගේ ස්වරය ඒ තරම් අහිංසක ලෙස මීට පෙර කිසි දා වර්ෂා අසා නැත. ඒ අහිංසක කමට යටින් ඇත්තේ අසරණ කම නොවේ කියා කොහොම කියන්නද?

කියවන්න :  පළිඟු මන්දිර - 24

“ඒත් ආදරේ අඳුරන්නෙ ආදරේ විතරයි කියනවනෙ”

“හ්ම්”

“ඔන්න නිවර්තනා නිසා ඔයා හිතෙං වැටෙන්න බෑ හරිද…”

“නෑ…වැටෙන්න වුණත් කරන්න දෙයක් නෑ. ඒත් මට එක දුකක් තියනව”

“දුකක්…”

“හ්ම්…ආදරයක් නැති වෙලා යන්න පුළුවන්නෙ නේ…මේ ලෝකෙ වැඩිපුරම වෙලා තියෙන්නෙ එහෙම දේවල්නෙ. ආදරේ කරන්න ඕන ඒ දුක දරාගන්නත් බලාගෙනනෙ…ඒත්…ඔයා වගේ කෙනෙක්…යාළුවෙක්ව විතරක් නෙවෙයි…නංගිලා දෙන්නෙකුයි මල්ලි කෙනෙකුයි ඉද්දිත් තනි වෙලා හිටිය මට සහෝදරියක් වගේ ආදරේ දීපු ඔයාවත් නැති වෙයි කියල හිතනකොට…”

හඬන්නට පළිඟු ට ඕන වී තිබුණේ නැත. කොහොමටත් ඇය වූ කලී පුංචි දේවල් අල්ලා ගෙන හඬා වැටෙනවාට වඩා, පුංචි දේකිනුත් සිනහවක් උපදවා ගන්නා මන්තර ගැන හොය හොයා යන යුවතියකි. නමුත් මේ මොහොතේ නාඬා ඉන්නා හැටියක් ඇය දැන සිටියේ නැත.  කඳුළු සොරොව් බිඳී යත්දී ඕ දෑස් තද කොට පියා ගත්තා ය.

“ඒ…යි…අඬනවනෙ ඉතිං ඔය”

වර්ෂා ඉක්මන් කොට පළිඟු ගේ කඳුළු කම්මුල් පිස දැමුවා ය.

කිසල් සමගින් නිවර්තනා ගැන කතා නොකරන්නට පළිඟු තදින් සිතට කීවා ය. මාරක රෝගයකින් පෙළෙන කෙනෙකු සමග කිසිවෙක් ඒ රෝගය ගැන කතා කරන්නේ නැත. එහෙම රෝගයක් ගැන කිසිත් දන්නේවත් නැති ගාණට ලොව වන අන් සියල්ල ගැන කතා කරති. ඒ වාගේ නිවර්තනා යනු ඔවුන් දෙදෙනා අතර වන තහනම් මාතෘකාව විය යුතු ය.

“මං දන්නව ඔයා ටිකක් අවුල් කියල”

ආසන්න දිනෙක භෝජනාගාරයෙන් නික්ම සරසවියේ හරිත තුරු වියන යටින් ඇවිද යන ගමන් කිසල් හෙමිහිට කීවේ ය. 

“අවුල්…මං…ඇයි මං අවුල් වෙන්නෙ…”

යුවතිය දෑසින් ම සිනාසුණා ය. කිසල් පපුව පිරෙන්නට හුස්මක් ගත්තේ ය. මේ කෙල්ල නිසා ඔහු ගේ ජීවිතය මත්තෙහි සිදු වූ වෙනස කෙතරම් දැයි ඔහු ට සිතිණ.

“නිවර්තනා ගැන මගෙ පුංචිවත් කැමැත්තක් නෑ”

“මං දන්නව අනේ. ඇත්තටම මගෙ මුකුත් ප්‍රශ්නයක් නෑ”

වැදගත් වන්නේ ප්‍රශ්න ගැන සිතමින් දැවීම හෝ තැවීම නොවේ. හුස්ම ගත නො හැකි තරම් ප්‍රශ්න වලින් ජීවිතය පිරීතිරී පැවතුණත් කිසිදු ප්‍රශ්නයක් නොමැතය කියා සිතන එකයි. සිතා සිනහ වී ඉන්නා එකයි.

“ඇත්තටම මං ඔයාට ආදරෙයි”

පංචස්කන්ධයෙහි හිරි වැටීමක් පළිඟු ට දැනිණ. ඇය ඇස් දෙක බිමට ම හරවා ගත්තා ය.

“මීට කලිං කවදාවත් මට දැනිල තිබුණෙ නැති ෆීලිං එකක් මේ. නිවර්තනා නිසා ඒක වෙනස් වෙන්නෑ”

“කිසල්…”

“මට දවසක මැරෙන්න ඕනෙ ඔයාගෙ උකුලෙ ඔළුව තියං”

“අනේ කිසල්…”

“ඒක නිසා විශ්වාසෙ නැති කරගන්නැතුව ඉන්න”

ජීවිතය කියන්නේ මොන තරම් උත්තුංග තත්වයක්දැයි පළිඟු අත්දකිමින් සිටියා ය. ආදරය කියන්නේ එහි පවත්නා වූ අනර්ග ම හැඟීම ය. ඇස් වල ආගන්තුක තෙතමනයක් නිතර ම පවතින්නට ගත්ත ද සිනහව ඇගේ රතදර මත නිරන්තර නළියමින් තිබිණ. ඇති වී නැති වී යන ජීවිතයෙහි රැක ගත යුත්තේ සතුට හා සැනසීම ය. මරණය අත වනන්නේ හෙට ද අනිද්දා ද කියා අපි කිසිවෙකු නො න්නෙමු. ඒ නිසා අනුන් නො පෙළා සාමයෙන් ජීවත් වීම ජීවිතයෙහි උදාන වාක්‍යය විය යුතු ය.

විශ්ව විද්‍යාලයේ දේශන නිම වීමෙන් පසුත් අවන්හලට වී පළිඟු වත්සලා එක්ක සල්ලාපයේ යෙදී උන් සන්ධ්‍යාවක, හදිසියේ පා ව ආ දේවතා එළියක් සේ අහම්බෙන් නිවර්තනා පළිඟු ගේ දෑස් ඉදිරියේ පහළ වූවා ය. සිනහ වෙන්නටත් කාලයක් අවැසි විය. දෙදෙන උනුන් දෙස බලා සිටියේ මේ මොහොතත් අතීතයත් අතර කාල තරංග දස දහස් ගණනක් ඉසිර විසිර යත්දී ය.

5 2 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments