සුළං සීනු – 18

චාරුනී ගැන කිව යුතුදැයි සිතමින් මම මොහොතක් ගත කළෙමි. පසුගිය දිනවල නීතා සකසන ආහාර ගැන පවා සම්පූර්ණ වාර්තා නිසල්ට ඉදිරිපත් කළ මට හදිසි සිතුවිල්ලක් හට ගත්තේ ය.මම ඒ අනුව හැසිරුණෙමි.

“මගේ ස්කූල් මේට් කෙනෙක් ඒ. එයා මෙඩිසින් කරන්න රෂියා ගිහින් හිටියෙ. කාලෙකින් මීට් වුණේ..වෙලාවට එයා එතන හිටියේ..”

නිසල් එය පිළි ගත් වගක් පෙනිණ.ලෝචනා සේම වේදනාවෙන් සංකල්ප දෙස බලා සිටියා මිසක චාරුනී හඬා වැළපියේ ද නැත.ඇය මගේ මිතුරියක මිස සංකල්පගේ අතීතය යැයි සැක කරන්නට නිසල්ට ඇත්තටම හේතුවක් නැතැයි මට විශ්වාස ය.

“ලස්සන ගර්ල් කෙනෙක්..මැරි කරලද?”

නිසල් අනතුරුව විහිළුවක ස්වරයෙන් පැවසීය.සැබෑවටම චාරුනී විවාහකදැයි මම කල්පනා කළෙමි.මා ඒ වගක් දන්නේ නැත.නමුත් හැඩවැඩ කෙල්ලක වූ ඇය ගැන නිසල්ට විමසීමට කාරණාවක් නැත.

“මැරීඩ්..”

මම එසේ කියා නෙත් පියා ගතිමි.

මා නිවසට ගොඩ වදිද්දී සීනු හුන්නේ ලෝචනාගේ තුරුලේ ය. ඇගේ මුහුණ එතරම් හොඳ පෙනුමක නොවූයේ අම්මා ගෙදර එන වෙලාව පසු වී හෝරා කිහිපයක් ගෙවී ඇති නිසා බව මට වැටහිණි. ඈ දකිද්දී මට හැඬුම් ආවේ ය. ඇගේ තාත්තා ජීවිතය හැර ගොස් ඇති බව වැනි බරපතල කාරණාවක් ඇයට කියන්නට සිදු වූයේ නම් යැයි සිතද්දී ද ඇඟ සීතලව යයි.මම අම්මා තාත්තා ජීවතුන් අතර සිටිද්දී පවා ඔවුන්ගෙන් ඈත් වූ දියණියක ලෙස ජීවත් වන්නියක් මි. අම්මා තාත්තාට පවා වැඩි ආදරයක් ඇති දරුවෙකු සිටී යන කටුක සත්‍යය පිළි ගන්නට වූ දැරියක් මි.නමුත් සීනු උස්මහත් වූයේ සංකල්පගේ සම්පූර්ණ ආදරය අයත් කරගනිමින් ය.ඈ ඉල්ලා සිටින්නේ නම් ඔහු ඉර හඳ වුවත් රැගෙන එන්නට පැකිලීමක් තොරව යන බව මට විශ්වාස ය.ඉතින් සිව් හැවිරිදි වියේදී තාත්තා අහිමි වී ගියේ නම් ඈ කෙසේ ජීවිතය දරා ගනීවි දැයි මම බියට පත් වූයෙමි.

කියවන්න :  සුළං සීනු -29

“බට්ටිව බදාගෙන අඬන්න එපා කෙල්ලෙ. එයා බය වෙයි..”

සීනු වැළඳ ගත් වහා ඉකි ගැහෙද්දී ලෝචනා ඇය මගෙන් මුදා ගන්නට උත්සාහ කළා ය.සීනු බියපත් දෑසකින් මදෙස බලා සිට සිඟිති පිටි අත්ලෙන් මගේ කම්මුල් පිස දැමුවා ය.

“මං සීනු බබීට කීවේ. තාත්තිට ඌවා වෙලානෙ.. අම්මිට දුකයිලු..”

ලෝචනා සීනු උකුලට ගත්තේ එසේ කියමිනි.

“බන්ඩිය ඌවා වෙලාද..” සීනු ඉපදීමෙන් පසු ඇයට උරෝහල් ගත වන්නට සිදු වු එකම රෝගය උදරාබාධයකි.ඉතින් ඈ දන්නා ලොකුම අසනීපය එය ය.

“පොඩ්ඩි ඉන්න තැන අඬන්න එපා පවි.. කොහොමත් බය වෙන්න දෙයක් නෑනෙ..”

ලෝචනා මගේ හිත හදන්නට වෙර ගත්තා ය.

“මං අද දවසට බයයි ලෝචි.. අද දවසට බයයි..”

මම ආයේම හඬන්නට පටන් ගතිමි.ලෝචනා දැඩි වේදනාවකින් මදෙස බලා සිටියා ය.

“මට හිතෙනවා මේ හැමදෙයක්ම වෙන්නේ මගෙ අවාසනාවට කියල..”

එසේ කියන්නට මට හේතු තිබිණ. හිත රිදවා ගත් තැන් අමතක කිරීම ගැහැනියකට ලෙහෙසි නැත.

“ඔයා දන්නවද මගෙම නංගි දේවකට ක්‍රෂ් එකකින් හිටිය කියල. මමත් දන්න දවසෙ ඉඳන් එයාගෙ වෙන ආසාවෙන් හිටිය නිසා මට ඒක දැනුණෙත් නෑ.. අපේ අෆෙයා එක පටන් ගත්තම නංගිත් තරිඳු එක්ක යාලු උනා. මම නංගිගේ අදහස දැන ගත්තෙ දේවක නැති උනාම. අපේ අම්මගෙන්ම…”

ලෝචනා කිසිත් නොකී ය. ඈ මා සන්සුන් කරන්නට සිතා මගේ උරහිසක් මෘදුව පිරි මැද්දා ය.

” වෙඩින් එකටත් ලෑස්ති උනාම එහෙම උනේ මගෙ වෙලාවට කියල මගෙම අම්මා කිව්ව ලෝචි. සමහරවිට නංගිට අයිති උනානං දේවක ජීවත් වෙයි කිව්වා. ඒ වේදනාව මගෙ හිතෙන් මැකෙන් නෑ කවදාවත්ම..දැන් සංකගෙ ඇක්සිඩන්ට් එක කිව්වත් අම්මා කියයි මගෙ මොකක් හරි වෙලාවක් කියල..”

ලෝචනා එවර නම් කෝපයෙන් නළල රැලි ගන්වා ගත්තා ය.අනතුරුව මවෙත හැරුණු ඈ කෝපත් ස්වරයකින් කතාව ඇරඹුවා ය.

කියවන්න :  සුළං සීනු - 22

“උඹට පිස්සුද පවී.අම්මල නම් පරණ මිනිස්සු.ඒත් උඹ ඕවා හිතන්නෙ ඇයි.දේවක ඇක්සිඩන්ට් වෙන්න එකම හේතුව මිනිහෙක් බීලා ඩ්‍රයිව් කරපු එක. ඒ මිනිහගෙ විනයක් නැතිකම.අද සංක ඇක්සිඩන්ට් උනේ නින්ද ගිහිං.. ඒක එයාගෙ වැරැද්ද. මහන්සියක් තිබ්බනං නිවාඩු දාන්න තිබ්බ..”

මම කිසිත් නොකීමි.නමුත් මා අවාසනාවන්ත ගැහැනියක යන හැඟීම හදවත කෑගසා කියන හඬ මට ඇසිණ.දේවක නිසා වැළපෙමින් හුන් මට අම්මා එවැනි කතාවක් නොකියන්නට තිබිණ.හිත හදා ගන්නට මට උදව් කරනවා වෙනුවට ඈට උවමනා වූයේම මා විවාහ නොවී හිඳින්නට හේතු නැතැයි ලෝකයට පෙන්වීමට මා විවාහ කර දීම ය.නිවුන් පුතුන් දෙදෙනෙකු සමඟ නංගීට වෙනත් රටක ජීවිතය පහසු නැතැයි සිතන අම්මා කුඩා දියණියක රැක බලා ගන්නා මට තවත් දරුවන් හදන්නට යෝජනා කරමින් ඇමතුම් දීම ගැන කෝපයෙන් සිහි කරමින් මා බොහෝ වෙලාවක් හිඳින්නට ඇත.

“අහන්න බැරි උනානෙ..චාරු ශෝක් නේද?”

ලෝචනා ඇසුවේ මට නිහඬව බොහෝ වෙලාවක් හිඳින්නට ඉඩ හැරීමෙන් අනතුරුව ය.චාරුනීගේ හිතවත් දෑස සිහි වී මට සැනසුමක් දැනෙන්නට විය.

“ඔයා වගේ.හරි ෆ්‍රෙන්ඩ්ලි කෙල්ලක්..”

ලෝචනා සමඟ තවත් දේ කතා කරන්නට මා සූදානම් වෙද්දී දොර සීනුව වදින හඬ ඇසිණ.

“චානු වෙන්න ඇති..” නීතා මුළුතැන්ගෙයි සිට එන්නට පෙර ලෝචනා එසේ කියමින් අමුත්තා කවුදැයි බලන්නට ගියා ය. ඒ චානක හෝ සංකල්පගේ අයියා වන්නට ඇතැයි සිතූ මම අසුනෙන් නැගිට ගතිමි.

“මේ මෙයානෙ..” ලෝචනා සමඟ නිවසට ඇතුළු වූයේ නිසල් ය.ඔහු දවස පුරා පැළඳ සිටි නුරුස්නා මුහුණැති වෙස් මුහුණ ගලවා දමා ඔහුගේ සුහදත්වය පිරි මුහුණෙන් නිවසට ඇතුළු විය.

“ඔයාල තනියමනෙ අද. මට එන්න හිතුණා. රෑ වෙලා බෝඩිමට යන්න බැරිය..එක්කො ඉන්නත් පුලුවන් “

ඔහු අසුන් ගත්තේ එසේ කියමිනි.

4.3 4 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments