ප්‍රේමයේ අභිමන් -09

අපරාජිතා දනිපනි ගා නැගිට ගත්තා ය. ඒ කලබලයට ඇය වැටෙන්නට පවා ගියේ ය. හිත ඇති ව තිබුණේ ගෙහිමියා ගේ කන හරහා අතුල් පහරක් එල්ල කරන්නට තරම් කේන්තියකි. 

“ලැජ්ජ නැද්ද මූට..ගෑනු තනියම ඉන්න ගෙවල් වලට මෙහෙම හොරෙක් වගේ එන්න..මොන ජාතියක මිනිහෙක්ද මේ..”

ඇගේ හිත ඇති වූ සිතිවිල්ල එසේ ය. සිදුහත් කුමාරයා නලඟනන්ගේ විකාර දුටු අවස්ථාව අපරාජිතා ට සිහි විය. නිදා උන් ඇයත් ඔහු ට විකාරයක් සේ පෙනුණා වන්නට ද බැරි නැත.

“ස්..සොරි..මං මේ..මිස්ට..ඇත්තටම මං නමක් දන්නෙත් නෑ හරියට.. හස්බන්ව පොඩ්ඩකට මීට් වෙන්න කියල ආවෙ”

අපරාජිතා නැගිටිනකොට ම කියන්නට ඒ බොරුව සසංක ගේ කටට නාවා නම් ඇය ඉස්සර වන්නට තිබිණ. එහෙනම් මේ කතාව මුළුමනින් ම වෙනස් ස්වරූපයක් දරනු නියත ය.

“හස්බන්….”

අපරාජිතා මන්ද්‍ර ස්වරයකින් ප්‍රතිරාව නැංවූවා ය. කියන්නට නොතේරෙන ප්‍රපාතයකට ඇය ඇසිල්ලකින් ගිලා බසින්නට ද වූවා ය. 

“අම්..ඇයි දන්නෑ නේද…”

ඒ අගාධයේ ගිලී යමින් ම ඇය අසීරුවෙන් අසා ගත්තා ය. තමන් කළ වරද ගැන ඇගේ ප්‍රතිචාරය සම්බන්ධ අසීමිත දෙගිඩියාවක උන් සසංක ට ඇගේ වෙනසක් දැනුණේ නැත. 

“න්..නෑ මේ..පොඩ්ඩක් කතා කරන්න”

“එයානං…නෑ ඇත්තටම…මොකක් ගැනද මිස්ට…”

එස් විදානගමගේ වූ කලී ඇය දැනට දැක ඇති තරුණයන් දෙදෙනා ගෙන් කවරෙකු දැයි අපරාජිතා ට නිශ්චිත නැත. 

“ම්මේ..හවසට පොඩ්ඩක් පහළට එන්න කියල ඉන්වයිට් කරන්න”

“අ..ඇයි..මොකක් නිසාද…”

“මේ..පොඩි ගැදරින් එකක්. ඇත්තටම..චූටි එකක්. මොකද…මගෙ බර්ත් ඩේ එක”

ඔහු ඒ අන්තිම පේළිය කියා දැමුවේ හදිසියකින් වාගේ වේගයෙනි. ඔහු ගේ උපන් දිනය ඇත්තටම තියෙන්නේ කවදාද කියා හෝ ඒ මොහොතේ සසංක ට සිහිපත් වූයේ නැත. මේ වෙලාවේ ඕන කර තිබුණේ කම්මුල් පාරක් නොකා මෙතනින් යන්නට කටට එන බොරුවක් කියා ගන්නට පමණකි.

“අනේ ඇත්තද…විශ් යූ අ හැපි බර්ත් ඩේ”

අපරාජිතා සසංක වෙතට සිය සුරත පෑවා ය. ඔහු ගේ හදවත කෝච්චියක හඬ නංවමින් සැළෙන්නට විය. සසංක ගේ උගුර කට වියළී යමින් ද ඔහු සුදුමැළි වෙමින් ද තිබිණ. 

තරුණයා ඒ අත අල්ලා ගත්තේ වෙව්ලමිනි. ඇගේ අත්ල සීතල පිනි වලින් පෙඟුණ මල් පෙත්තක් තරම් මෙළෙක් ව ඔහු ට දැනිණ. සුසුදු සිහින් දිග ඇඟිලි වලින් මැද ඇඟිල්ලේ සුදු ගලක් ඇල්ලූ සිහින් මුදුවක් විය. 

“තෑන්ක් යූ සෝ මච්”

සිය බොරුව නිසා ලැජ්ජාව ද වැරදි වැටහීමකින් ගැලවීමේ ප්‍රීතිය ද එකවර භුක්ති විඳීම කෙබඳු දෙයක් දැයි ඔහු අත්විඳිමින් සිටියේ ය. සසංක තවමත් අපරාජිතා ගේ සුදු මුදු අත අල්ලා ගත් වන ය. සැබවින් ඔහු ට ඒ අත් හරින්නට ලෝබ දැනුණා හෝ අමතක වීමක් වුණා මිස අශ්ලීල හැඟීමක් මත කළ දෙයක් නොවේ එය. කෙසේ වෙතත් ඒ අත මුදා ගත්තේ අපරාජිතා ම ය.

“ඒකට කමක් නෑ. තෑන්ක්ස් ඉන්වයිට් කළාට. අපි එන්නං හවසට”

සසංකට දහඩිය දමන්නට වූයේ අපරාජිතා විසින් ඔහු ගේ ඇරයුම පිළිගැනීමෙන් පසු ය. ඔහු මෝඩ සිනහවක් පා ඉක්මනට පහලට ගියේ ය. හිතේ වූ කලබලයේ හැටියට පය පැකිලී පඩිපෙල මත හතර ගාතෙන් නො වැටුණා පුදුම ය. 

ඔහු ගිය ගමන් අපරාජිතා දේශිකා ට දුරකතන ඇමතුමක් ගත්තා ය.

“මාර වැඩේනෙ…පහළ ඉන්න එක්කෙනෙක්..මන්දා එස් විදානගමගේද අනිත් කෙනාද කියල. අර හැන්ඩ්සම්..හේමාල් කොණ්ඩෙ වවල ඉන්නකොට වගේ එක්කෙනා..ආං එයාගෙ බර්ත් ඩේ එකලු අද. උඩට ආව අපිට ඉන්වයිට් කරන්න හස්බන් ඉන්නවද අහගෙන..  කොහෙ ඉන්න හස්බන් කෙනෙක්ද…ඒව කියන්න බෑනෙ. මං කිව්ව එන්නං කියල”

ඇය කියවා ගෙන ගියේ සන්සුන් වීමේ උවමනාවක් ඇතිව මඳ කලබලයෙනි. 

“ගිෆ්ට් එකක් ගන්න වෙනව නේද..අනිත් එක මට තනියම යන්නත් මොකද්ද වගේ. ඔයා අදත් මෙහෙ එමු. ඕන්නං උදේම මං ගෙදර ගිහින් දාන්නං. නැත්තං ඔෆිස් යන්නම බලං එනවද..”

“මොන මගුලක්ද බං…හස්බන් වෙනුවට මං ගිහිං හරියනවයෑ”

“ඒකට කමන්නෑ. ලෑස්ති වෙලා ඉන්නවද මං එන්න…”

අපරාජිතා දේශිකා ව ගන්නට දෙල්කඳ පැඟිරිවත්ත පාරේ ඇගේ නිවස බලා පිටත් වූවා ය.

සසංක හිටියේ පිස්සෙකු සේ සාලයේ සක්මන් කරමිනි. ඒ වෙලාවේ ගැලවීම පිණිස කිව් බොරුව කෙතරම් දුර දිග යනු ඇත්දැයි ඔහු ට සිතා ගත නොහැකි ය. අපරාජිතා උපන් දින සාදයට එන්නට එකඟ වූවා ය. කොහේ තියෙන උපන් දිනයක් ද? එන්නට ඉන්නේ කව්ද? දැන් කරන්න කුමක් ද? ඔහු දෙගිඩියාවෙන් වුව අසේල ට කතා කළේ ය. 

“ගොං අලියා බලපං අං දෙකක් මෝදු වෙන්න අරංද කියල..යකෝ අවුරුදු දාසයක එකෙක්වත් ඔච්චර ගොං වැඩ කරන්නෑ. හතළිහක් නේද දැං…හරි වයසෙදි කසාද බැන්දෙ නැති නිසා උඹේ මොළේ වර්දනේ වෙලා නෑ. ඒකයි ඔය ප්‍රශ්නෙ. නැන් එකක් අරං තේ වලට කලවං කරල බීපං. දැන්හරි ප්‍රමාද නැති වෙයි”

අසේල බැණ ගෙන බැණ ගෙන ගියේ ය. ඒ අස්සේ සසංක ට තවත් ප්‍රශ්නයකි.

“නැන් කිව්වෙ…”

“නැන් කිව්වෙ ය කෝ…ළදරු කිරි පිටි එකක්. හයියෝ මටත් ඔල්මාදනෙ මූත් එක්ක නැන් ගැන කියන්න…ළමයි න්ට අවුරුදු දහයක් පහළවක් වෙලා තියෙන්න ඕන කාලෙ මූ තාම නැන් බොන පූර්ව සංවර්දන අවදියේ ඉන්න එක ඉතිං මගෙ වරදක්ද…”

“හරි ඉතිං පස්සෙ බැණපංකො.. මචාං..දැං මාව මේකෙන් ගලෝගනිංකො. එයා ගියා එළියට..ගිෆ්ට් එකක් එහෙම අරං එයි පාටියට”

අසේල ට සිනහ ද ගියේ ය. මේ ඔහු සසංක නිසා මෙවන් අත්දැකීම් සමූහයකට මූණ දෙනවා ම ය. සසංක කියන්නේ ගැහැනුන් මායිම් කළ එකෙකු නොවේ. ඔහුත් එක්ක කොන්දේසි විරහිත ව යහන් ගත වන්නට දැන්වීම් ප්‍රචාරක ක්ෂේත්‍රයේ ද සමාජයේ ඉහළ මධ්‍යම පන්තියේ ද ඕනෑ තරම් ස්ත්‍රීන් කැමැත්තෙන් සිටින බව අසේල දනී. නමුත් මෑත කාලයේ දී ඔහු ගේ හද බැඳ ගත් ගෑනු පරාණයක් ගැන සසංක මුවින් නම් පවසා නැත්තේ ය. එය එසේ වී ද මේ කුළී නිවැසි ස්ත්‍රිය සම්බන්ධ පලහිලව්ව නම් කොහෙන් කෙළවර වනු ඇත්ද කියා සිතා ගත නො හැකි ය. එය එතරම් ම උන්මාදයක් බව දැන් දැන් අසේල ට දැනේ.

“හරි. යකාට ගියාවෙකො. ඉතිං මේ හදිස්සියෙ පාටි එකක් ඕගනයිස් කරන්නෙ කොහොමද කියාංකො”

අන්තිමට ඔහු මිතුරා ගේ ප්‍රේම උමතුව ගැන අනුකම්පා සිත් වඩවා ගත්තේ ය. සසංක ඒ සියල්ල සංවිධානය කිරීමට සූදානම් ව සිටියේ ය. කුඩා හමුවීමක් යයි කී නිසා කොහෙත්ම වැඩි පිරිසක් ඕනේ නැත. ඊටත් වඩා ඔහු ඇය ට කීවේ රත්මල්ගොඩ මහතා ට ඇරයුම් කරන්නට ආ බවකි. එතකොට හැන්දෑවේ හමුව අසේල හා ඔහු ඇතුළු පවුලේ අය වෙනුවෙන් පමණක් සූදානම් කළ එකක් සේ හඟවන්නට පුළුවන.

හෙතෙම ප්‍රකට බොජුන් හලකින් කෑම ඇනවුම් කළේ ය. බීර බෝතල කිහිපයක් ද  කාන්තාවන් වෙනුවෙන් අලුත් ම ඇපල් ජූස් ද සපයා ගත්තේ ය. කලබලයෙන් දිය නාන්නට නාන කාමරයට වැදුණේ ඒ සියල්ල අඅනවුම් කොට අවසන ය.

අතරින් පතර සුදු වී ඇති කෙස් ගස් අතරින් අතැඟිලි යවමින් හෙතෙම කැඩපතට එබුණේ ය. රැවුල් කොට ද දැන් තැන් වලින් සුදු වී ගෙන යයි. එය මැදි වියට එළඹීමේ සංකේතයක් ලෙස සලකන්නට කිසි සේත් සසංක ට උවමනා නැත. ඔහු හිතන්නේ ඒ වායුසමීකරණ තත්ව යටතේ කාලයක් තිස්සේ සිටීම මත සිදු වූ වෙනසක් කියා ය. තිස් ගණන් වන විට ඇස් පෙනීමේ ද මඳ දුර්වලතා ඇති වූ නිසා ඇස් කණ්ණාඩි භාවිතා කරන්නට සිදු විය. 

“දැන් කාලෙ ඉස්කෝලෙ යන කොල්ලන්ගෙත් කොණ්ඩෙ ග්‍රේ වෙලා. කණ්ණාඩිනං කවුද නොදාන්නෙ…”

සිහින් සිනහවකින් හෙතෙම එසේ සිතුවේ ය.

අපරාජිතා දේශිකා සමගින් තිලිණයක් තේරීමේ බැරෑරුම් කාරියෙහි නිරත ව සිටියා ය. පොඩි දරුවෙකු හට නම් කෙළි බඩුවක් ගෙන යන්නට තිබිණ. කාන්තා පාර්ශවයේ අයෙකුට නම්  තිළිණ කළ යුතු යමක් ගැන අනුමාන වශයෙන් හෝ සිතිය හැක. ඇය අරවින්ද වෙනුවෙන් තිලිණ තෝරා ඇත්තේ ඔවුන් ගේ දහ අට වසරක විවාහ ජීවිතය තුළ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු වාර ගණනකි. ඇය තෝරනා යමක් කිසි දා ඔහු ගේ හද බැඳ ගත්තේ නැත. කමිසයක් ගත්තොත් ඒ පාටට ඔහු කැමති නැත. පාවහන් තේරුවොත් ඒ වර්ගය ඔහු දාන්නේ නැත. අන්තිමට ඇය ඒ දේ ඇගේ ජීවියෙන් ඈත් ම කොට දැමුවා ය. ඔවුන් ගේ දිවියේ කවර සන්ධිස්ථානයකදී වුව ඇය තෑගි ගත්තේ නැත. නමුත් නොවැරදී ම අරවින්ද ඇය ට තෑගි දුන්නේ ය. බොහෝ විට, ඔහු ආර්ථික වශයෙන් ස්ථාවර වූ පසුව නම් ඒ රන් අබරණ ය. නමුත් අපරාජිතා කියන්නේ අඩුවෙන් ම රත්තරන් පළඳිනා කෙනෙකි. ඇගේ ගෙලෙහි වන රන් හුය ලං වී බැලුවොත් මිස කිසිවෙකුට නො පෙනෙනා කුඩා එකකි. ඒ හැරෙන්නට ඉතා කුඩා සුදු ගල් ඇල්ලූ මුදු දෙකක් ඇගේ දෑතෙහි ඇඟිලි දෙකක වේ. මංගල මුදුව පිටතට යත්දී පැළඳ යාම එකල ඇය පුරුද්දක් වශයෙන් කළා ය. එක අතකට මංගල මුදුව ආරක්ෂිත මෙවලමක් සේ ද ඇය ට දැනුණා වූ බැවිනි. රත්තරන් කරාබු නම් ඇය පැළඳුවේ ම නැත. බොහෝ විට ඇඳුමට ගැලපෙනා ව්විධාකාරයේ ඉමිටේශන් කරාබු පැළඳීමට ඕ රිසි වූවා ය. ඒ නිසා ම අරවින්ද තිලිණ කරනා රත්තරන් ගැන ඇය ට කවදාවත් විශේෂ සතුටක් දැනී නැත.

“රත්තරං වලට ආස නැති ගෑනියෙක් ඉන්නවද මනුස්සයො. තැනකට ගියා වුණත් ගෑනි යහමින් රත්තරං ටිකක් දාගෙන ගියොත් තමයි මිනිහට වටිනාකමක් එන්නෙ. කොහෙද ඉතිං…”

අරවින්ද නොයෙක් අවස්ථා වල අපරාජිතා ගේ මේ රත්තරන් වලට වන උදාසීන බව හෑල්ලුවට ලක් කොට තිබේ. ඒ කිසි විටෙක ඇය  ‘මං රත්තරං වලට ආස නැති වුණ නිසයි අද ඔයා ඔහොම තත්වෙක ඉන්නෙ’ කියා නැත. නමුත් අරවින්ද ගේ හිතේ එය කටුවක් සේ පැටලී තිබුණේ ය. 

“මෙහෙම ශොප් එකක් ගානෙ යන්න බෑ අප්ප. මං කියන්නද…ශර්ට් එකක් ගමු. අනිවාර්යෙන් ශර්ට් අඳිනවනෙ”

අන්තිමට තෑගි හොයා වෙහෙසට පත් ව දේශිකා කීවා ය. 

“ඒත් සයිස් එක…”

“එතන ඉන්න කොල්ලෙක්ගෙං අහගමු. ලොකු වුණොත් දෙපැත්ත ගහල අඳින්න කියමු”

දේශිකා හඬ නගා සිනහ වූවා ය. ඒ අනුව අපරාජිතා ඇය වඩාත් කැමති ලා දම් පැහැති කමිසයක් සසංක වෙනුවෙන් තේරුවා ය. ඔවුන් උඩහමුල්ලේ ගෙදර යන විටත් සාදයක් සඳහා පිරිසක් පැමිණ ඇති බවක් නො පෙනිණ.

“තමන්ගෙ ගෙදර කුළියට ඉන්න මිනිස්සු කවුද කියලත් තාම හරියට දන්නෑනෙ. අඳුරගන්නත් එක්ක ඩිනර් එකක් දෙන්න හිතන්න ඇති. ශුවර් එකට ම උං හිතන් ඉන්නෙ ෆැමිලි එකක් ඉන්නව කියල. ඒකනෙ හස්බන් කෙනෙක් ගැන කිව්වෙ. සමහර විට තමුසෙ විතරක් වෙන්නැති දැන් ආරාදිත අමුත්ත”

කුටු කුටු ගා කියා දේශිකා අතින් කට වහගෙන සිනහ වූවා ය. අසේල හා සසංක පහළ මහලේ සූදානම් වෙමින් සිටියහ.

“අඩු ගානෙ බර්ත් ඩේ කේක් එකක්වත් නෑනෙ ය කෝ. අපරාදෙ මට අමතක වුණා බැලුම්බෝල ටිකක් ගේන්න. කෙල්ල එනකොට උඹ පුම්බ පුම්බ හිටියනං…අඩෝ සසංකය ඒ සීන් එක ක්ලික් කළානං ඒක මාරම වැලියු එකක් තියන ෆොටෝ ග්‍රාෆ් එකක් වෙයි”

අසේල ගේ සිනහව පරණ ස්කූටරයක් ස්ටාට් කළා සේ යි සසංක සිතුවේ ය. නමුත් මේ වෙලාවේ ඔහු ගේ උදව් අතිශයින් අවශ්‍ය නිසා හෙතෙම කිසිත් කියන්නට ගියේ නැත.

ඉදිරිපසින් දොරට තට්ටු කරන හඬ ඇසුණේ ඔය සිනහව අතරේ දී ය. තරුණයන් දෙදෙන මුහුණෙන් මුහුණ බලා ගත්හ. සසංක ගේ හදවත මොහොතකට නතර විය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles