පළිඟු මන්දිර – 43

කිසල්, ඔහු කියා යැව් අවන්හල වෙත ආවේ දැනුම් දුන් වෙලාවටත් වඩා අඩ හෝරාවකට කලිනි. ඒ තරම් නො ඉවසිල්ලක්, නිවර්තනා හමු වී සියල්ල ඈ ඉදිරියේ හෙළි දරවු කිරීම නිමිත්තෙන් ඔහු ගේ පිරිමි හිතේ ඇති ව තිබිණි. නමුත් නියමිත වෙලාවට වඩා විනාඩි පහළොවකට ආසන්න කාලයක් ඉක්ම ගොස් තිබිණි ද නිවර්තනා තවමත් පැමිණියේ නැත. ඇගේ නමින් දුරකතනය හැඬවෙන්නට ගත්තේ ඔය අතර වාරයේ ය. කිසල් ඉක්මන් කොට දුරකතනය සවනට ගත්තේ ය.

“නිවර්තනා  කොහෙද ඉන්නෙ…පරක්කු ඇයි…”

හිතේ නැති ආචාර ශීලයක් වචන වල තවරන්නට කිසල් වග බලා ගත්තේ ය. නිවර්තනා ගේ හිත ඔහු වෙතින් මුදා ගෙන ඈ නික්ම යනු වස් කළ හැකි ඕනෑම දෙයක් කරන්නට මේ මොහොතේ ඔහු සූදානම් ය.

“අනේ කිසල් දැනුයි මං දැක්කෙ මැසේජ් එක. මේ දැං මං එනව”

“ඉට්ස් ඕකේ. ඔයා එනකල් මං ඉන්නං”

ඔහු සම්බන්ධතාව බිඳ දැමූයේ සුසුමකිනි. වෙනදා නම් මේ විදිහට කිසිවෙකු වෙනුවෙන් මග පමා වන්නට වීම කිසල් රිස්සුවේ ම නැත. නමුත් අද අවශ්‍යතාවය තිබෙන්නේ ඔහුටයි. හෝරා කීයකින් ඇය පමා වුවත් ඔහු ඉවසීමෙන් බලා සිටිය යුතු ව තියේ.

කෙල්ලකට පෙම් කිරීම වූ කලී මෙලෙස හදවත කීරි ගස්වන අත්දැකීමක් බව කිසල් මේ පසක් කරගන්නා ප්‍රථම අවස්ථාවයි. අක්ෂි ගේ නික්ම යාම ඔහු ගේ හදවත බිඳ දැමූ බව ඇත්ත ය. නමුත් ඒ සම්බන්ධතාවය ඇතුළේ ප්‍රේමය ඔහු ට මෙලෙස දැනී නැත. ප්‍රථම ප්‍රේමය ගැන ලෝකය වැඩිපුර ම කතා බහ කර තිබේ. නමුත් දෙවන තෙවන අවස්ථා වලදීත් ප්‍රේමයේ සැබෑ ස්වරූපය හමු විය හැකි බව හුඟක් අය ප්‍රසිද්ධියේ කියන්නේ නැත. එය තම තමන්ගේ හිත් ඇතුළේ රහසක් කොට තබා ගනිති. 

නිවර්තනා පැමිණියේ කිසල් තේ කෝප්පයක් හිස් කිරීමෙනුත් අනතුරුව ය.

“සොරි කිසල්. ඊයෙ රෑ වෙනකල් ෆිල්ම් එකක් බල බල හිටපු නිසා මට ටිකක් නින්ද ගියා. දුක හිතුණා ඔයා බලං ඉන්නව කියල දැන ගත්තහම”

කිසල් ගේ නළලත රැළි නැංවිණි. ඔහු මේසය වෙතට ම හිස පහත් කර ගෙන තත්පර කිහිපයක් ගත කළේ ය. 

” ඔයා මොනාහරි කනවද…”

“මට ටී එකක්”

“ඕකේ”

කිසල් නැවතත් කිරි දැමූ තේ දෙකක් ඇණවුම් කළේ ය. අපට අවශ්‍ය දේවල් ලබා ගන්නට යාමේ දී බෝ ඉවසීමෙන් යම් යම් කැපකිරීම් කරන්නට වන බව ඔහු අත්දකිමින් සිටියේ ය. 

“මං බලං හිටිය”

ඇය සිහිනයක් බඳු මෘදු මොළොක් දේවතා හඬකින් කතා කළා ය. කිසල් තුළ කැළඹීමක් ඇති විය.

“ආ…”

“නෑ. මෙහෙම දවසක් එනකල්…ඔයත් එක්ක මෙහෙම තනියම කතා කරන්න…ඇත්තටම මං බලං හිටිය. ටු බී ඔනස්ට්…මේක මගෙ ෆස්ට් ලවු එක්ස්පීරියන්ස් එක නෙවෙයි කිසල්. බට්…මේක මට ස්පෙෂල්. ඉට්ස් අ ඩිෆරන්ට් ෆීලිං ෆො මී”

ඉක්මන් විය යුතු යයි කිසල් ට සිතිණි. දැනටමත් නිවර්තනා ගොස් සිටින දුර ඈත වැඩි සේ ය. නමුත්, කියන්නට ම හිතාගෙන ආවත් කොහොම මේ ගැන කියන්නදැයි ඔහු ට වටහා ගත නො හැකි විය.

“නිවර්තනා…මේ…මං…”

ඇය හිස මඳක් පසෙකට ඇල කර ගෙන බලා සිටියා ය. ඒ රතදරතර දඟ කරන්නට ගත් මඳහසට අතීතයක් තිබුණේ ය. කිසල් උන් හිටි ගමන් ඒ ඉතා ඈත අතීතය ට විසි ව ගියා සේ ය. අම්මා ගෙන් සේ ඇගෙන් රැකවරණය පැතූ ළමා වියක් ඔහු ට තිබුණේ ය. ඈ ළඟ දී මහත් සුරක්ෂිත බවක් ඔහු ට දැනුණා මතක ය. මාසයකින් පමණක් ඔහු ට වඩා වැඩිමහල් වූ නිවර්තනා හැම විට ම හැසිරුණේ ඔහු ට වඩා දෙතුන් වසකින් වැඩිහිටි වූ අක්කා කෙනෙක් බඳුව ය. ඇය ළඟදී දැනුණා වූ ඒ හවුහරණය, කොලු ගැටයෙකු සන්දියේ දී කිසල් ට සැනසීමක් ම විය. ඇය විදෙස් ගත නොවී දිගට ම ඔහු ට පේන මානයක සිටියා නම්, පළිඟු හමු වන්නට පෙර යළිත් ඈ ඔහු ගේ ඇස් මානයේ පහළ වූවා නම්, ඇයට පෙම් නො කරාවිදැයි කිසල් තමන් ගෙන් ම ප්‍රශ්න කළේ ය. කෙසේ වෙතත් ඒ ප්‍රශ්නය ට පිළිතුරු ලැබෙන තෙක් බලා සිටිය නො හැකි වූයේ ය.

“ඇක්චුවලි…මේක ඔයා දැනගන්න තිබුණෙ මීට කලිං. නිවර්තනා ඔයා අපේ අම්මගෙ කීමට මං ගැන හෝප්ස් තියාගන්න එපා”

නිවර්තනා ගේ ඇස් කුඩා වෙන හැටි කිසල් පැහැදිලි ව ම දුටුවේ ය. නමුත් මේ අතර මගක දී නතර කළ හැකි කතාවක් නොවේ.

“මොකද…දැනටමත් මට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නව”

බෝම්බය පුපුරා ගියේ ය. එහි කම්පනයෙන් ඈ තිගැස්සුණා ය. නමුත් ඇසිල්ලකින් නිවර්තනා සන්සුන් වූවා ය. වේගවත් ඇස්පිය කිහිපයක් ගැසූ ඕ දෙතොල් පට දසන් අතරෙහි තද කර ගෙන තත්පර කිහිපයක් නිසොල්මනේ සිටියා ය. අනතුරුව මේසයෙහි දෙ වැලමිට තබා මඳක් ඉදිරියට, කිසල් වෙතට නැඹුරු වූවා ය.

“අයි ඩෝන්ට් කෙයා”

උඩ ගොස් බිම වැටුණා සේ කිසල් ට දැනිණ.

“වට් ඩූ යූ මීන්…”

“මං කිව්වෙ ඔයාට ගර්ල් කෙනෙක් ඉන්න එක මට ප්‍රශ්නයක් නෑ කියල. මටත් බෝයි ෆ්‍රෙන්ඩ්ස්ල කීප දෙනෙක්ම ඉඳල තියෙනව”

“ඉඳල තිබුණයි දැන් ඉන්නවයි කියන්නෙ එකක් නෙවෙයි දෙකක් නිවර්තනා”

“කිසල්”

ඇගේ ස්වරය තියුණු විය. එසේ ම ඇගේ බැල්ම ද තියුණු විය. ඒ ඇස් දෙක දෙස එක එල්ලේ බලා සිටිය නො හැකි ව කිසල් ඉවත බැලුවේ ය.

“මං තියපු අඩිය ආයෙ පස්සට ගන්නෙනං නෑ කිසල්. කොහේ කැරකුණත් අන්තිමට අපි අපි ළඟටම ආව එක ගැන ඔයාට මුකුත් හිතෙන්නෙ නැද්ද…”

කිසල් කට කොනකට සිනහවක් නගා ගත්තේ ය. ඒ සිනහවේ වූ අවඥාව ගැන හිතන්නට නිවර්තනා ට ඕන වුණේ නැත.

“සෝල් මේට් කන්සෙප්ට් එක මං විශ්වාස කරනව. දැං ඒ විශ්වාසෙ තවත් තහවුරු වෙලයි තියෙන්නෙ”

“නොන්සන්ස්. ඔයා වගේ ළමයෙක් ඔය වගේ බහුබූත කියවන්නෙ කොහොමද කියල මං දන්නෑ. හැබැයි මට කියන්න තියෙන්නෙ මේකයි. අපේ අම්ම කියන දේවල් කරන්න මට බෑ නිවර්තනා”

“මං මැරි කරන්නෙ ඔයාවමයි”

“විහිළු කරන්න එපා නිවර්තනා. විහිළුවක් වෙන්න හදන්නත් එපා. අයිම් සීරියස්. තේරුං ගන්න බලන්න. ඔයා දන්නවද වෙන ගර්ල් කෙනෙක් මං ගැන බලං ඉන්නව කියල…ඔයා දන්නවද ඒ කවුද කියල…”

“ඒ කවුරු වුණත් මට වැඩක් නෑ. ඒ කවුරු වුණත් මට කමකුත් නෑ. එන්ගේජ්මන්ට් එකට ලෑස්ති වෙන්න කිසල්”

කියාගෙන නැගිට ගත් නිවර්තනා දිවගෙන වාගේ නික්ම ගියා ය. කිසල්  අතැඟිලි වලින් නළල පිරිමැද ගත්තේ ය. ඇය මේ තරම් මුරණ්ඩු වෙත්දී මේ ගැටළුව විසඳා ගත හැකි මාර්ගයක් කොහෙන් සොයන්නද? 

නිවර්තනා නො සන්සුන් ව සිටියා ය. ඇය මේ විදිහට මීට පෙර හැසිරුණ එක දවසක් හෝ ඇයට සිහි කර ගත නො හැකි ය. සම්බන්ධතා ගැන ඈ සිතුවේ ඒ තරමට ම නිදහස්ව ය. එහෙවු එකේ කිසල් විෂයේ මේ සා පටු පරිකල්පනා ඇති ව හැසිරීම ගැන නිවර්තනා ඇය පිළිබඳව පුදුම වූවා ය. සම්බන්ධතාවයකට දෙදෙනෙකු හෝ අවශ්‍ය වන බවත්, එය ඒ දෙදෙනාගේ ම කැමැත්ත හා අවශ්‍යාතාවය මත පවත්වාගෙන යා යුතුතක් බවත්, එක් අයෙකු ගේ හෝ විශ්වාසයේ පළුදු වීමක් වුව හොත් එම සම්බන්ධතාවය බිඳ වැටෙන බවත් ඇය විශ්වාස කළා ය. නමුත් අද ඒ ප්‍රතිපත්තියට පටහැනි ව යන්නට සිදුව තිබේ. ඇසුරු කළ වෙන කිසිදු පිරිමියෙකු කෙරේ නො දැනුණ විදිහේ තණ්හා සිතිවිල්ලකින් ඇගේ සිත ආතුර වී තියේ. 

හිතේ වන කැළඹීම ගැන කවුරුන් සමග හෝ පවසා හිත නිදහස් කර ගැනීමට ඇයට අවශ්‍ය විය. මෙහෙම දෙයක් කතා කළ හැකි තරම් විශ්වාසවන්ත කෙනෙකුට ලංකාවේ ඇයට සිහි වන්නේ පළිඟු ව පමණකි. අවන්හලට ගිය නිවර්තනා පළිඟු ට හැකි විටෙන ඈ හමු වන ලෙස පණිවිඩයක් තැබුවා ය. දේශන දෙකක් අතර විවේකයේදී පළිඟු අවන්හල වෙත දිව ගියා ය.

“ඇයි අක්කෙ…”

තවමත් පළිඟු ගේ හදවත ගැහෙමින් තිබිණි. 

“මට පිස්සු වෙන්න ඇති. මං වැරදිත් ඇති. හැබැයි හරී හොඳ වෙලා කිසල් ව නැති කර ගන්න මට ඕන නෑ. ඔයා කියන්න පළිඟු…මං වැරදිද…”

නැහැ යි හඟවන්නට යුවතිය හිස දෙපසට සැළුවේ යටි තොල් පට සපා ගෙන ය.

“ලව් අෆෙයාස් ඕන තරං තිබිල නැති වෙලා යන්නෙ. ඉතිං කිසල්ට බැරිද ඔය පරණ දේවල් අමතක කරල මං එක්ක ඉස්සරහට තියන ජීවිතේ ගෙවන්න. අනික ඒ ගර්ල් මැරෙනවද කිසල් නෑ කියල…”

පළිඟු ගේ හදවත ‘දඩස්’ ගා ගැහිණි. 

“ඒ ළමය ටික දවසකිං ඕක අමතක කරල වෙන බෝයි කෙනෙක් එක්ක සෙට්ල් වෙයි. මං කියන්නෙ බොරු ද පළිඟු…”

හිස සලන්නට තබා හුස්ම ගන්නට හෝ ඇයට නොහැකි වූ සෙයකි. ඇය මුළුමනින් ම නිරුත්තර වූවා ය. කවදා හෝ දවසක එහෙම වේවි යයි සිතන්නට වත් මේ මොහොතේ නම් පළිඟු ට නො හැකි ය. මින් මතු පෙම් නොකර ඉන්නා එක වෙන ම දෙයකි. මේ ආදරයේ තුවාල සුව වූ පසුත් ඒ කැළැල් සමගින් ජීවත් වන්නට ඇය ට හැකි වනු ඇත. නමුත් වෙන පිරිමියෙකු ට පෙම් කිරීම නම් සිහිනයක් සේ ය.

කිසල් විශ්ව විද්‍යාලය වෙත ආවේ නිවර්තනා හමු වීමෙන් පස්සේ ය. විවේකයේදී පළිඟු සෙවූ ඔහු ඇය අවන්හල වෙත ගිය බව දැන එහි දිව ගියේ ය. නිවර්තනා පළිඟු සමග කතා කරමින් සිටිනු දුටු ඔහු ඔවුන් වෙත ගියේ හිත දැඩි කර ගෙන ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles