කටුක මාවතක ඇවිද එමින් හැම මිනිත්තුවකම පාහේ වේදනා විඳි අතීතයකින් මා සම්පූර්ණයෙන් ම මිදී නැත. අයිස් කැටයක් මෙන් ගල් කරගත් හදවතට උණුසුම් හිරු කිරණක් ව පෑයූවේ නිසල් ය.ඔහු සියලු දුක කොට්ටය මත තවරනා මා තුළින් වචන එළියට ගන්නට සමත් වූ මිනිසා ය.දුක වචන කරමින් ඔහු හා බෙදා ගත් මගේ අභ්‍යන්තරය ක්‍රමයෙන් සන්සුන් ව යද්දී මා වඩවඩා ඔහුගෙන් ඈත් වීම අතිශය ආත්මාර්ථකාමී ක්‍රියාවක නොවේදැයි මට එක්වරම සිතිණ. එය හදවතට විශාල වේදනාවකි.
අසීරු කාලයක අප තදින් අල්ලා ගත් මිනිසුන් වසන්තය එද්දී අතැර දැමීම මොනතරම් පහත් දැයි මම සිතන්නට වීමි.නිසල් එනපොට හොඳ නැතැයි පුනපුනා කියන්නේ ලෝචනා ය.මා එය ඉහ මුදුනින් විශ්වාස කළේ ඔහුට මා රහසේ ප්‍රේම කරන්නට ගත් නිසා වන්නට ඇත.එහෙත් කාරුණික සහ මිත්‍රශීලි නිසල් කෙරෙහි ප්‍රේමයක් හට නොගත්තා නම් මා ලේ මස් නහර නැති ගැහැනියක විය යුතුයැයි සිතන්නට ගත් මම නිසල් පැටලවී ඇති ගැටලුව ගැන විමසන්නට සිතට ගතිමි.
“අමාරුවෙන් අවුල් වෙච්ච තැන ලිහලා ගියාම ආයේ මුලටම ගිහින් පටලවගෙන ඔය තියෙන්නෙ..”
පුහුණු කාලය ගෙවන කෙනෙකුගේ දොසක් අල්ලාගෙන භාතිය කෑගසන හඬින් මම පියවි ලෝකයට ආවෙමි.නිසල් තවමත් මදෙස බලා ගත් ගමන් ය.
“නිසල්, අපි කතා කරමු ඕක.. වැඩ ටිකක් අඩු උනාම…”
ඔහු හිස සලා නික්මිණ.දවස පුරා ඔහු ගැන සෙවිල්ලෙන් හුන් මා හවස ගෙදර යද්දී වහවහා නිසල් වෙත ගියෙමි.
“තිසුරි මං ගැන හෝප්ස් තියන් ඉන්නෙ.එයාට ඕන මුළු දවසම මං එක්ක ගෙවන්න.වෙන එකක් තියා එයාට කෝසස් බලන්න යන්න,අලුත් ඇනෙක්ස් එකක් බලන්න,පාළු හිතුණම ෂොපින් යන්න වීකෙන්ඩ්ස් වලත් අඬ ගහනවනෙ..”
නිසල් කියවාගෙන ගියේ ය.සංකල්පගේ අනතුර දා මා සැනසීම පසෙකලා දවස පුරා තිසුරි ළඟ අසුන් ගෙන හුන් නිසල් මගේ මනසේ ඇඳී මැකී ගියේ ය.
“ඔයා ඉන්නෙ කැමැත්තෙන් කියල එයාට හිතෙනව ඇති. අකමැති නම් පොඩ්ඩක් ඈතින් ඉන්න තිබ්බනෙ නිසල්..ඔයත් තිස්සෙම නැට්ට වගේ ඒ ළමයා පස්සෙනෙ..”
හිතෙන් මැකී නොයන සිදුවීම් කිහිපයක වාඩුව අල්ලන්නට සිත් වූ මා නෝක්කාඩු ලීලාවක් ගනිද්දී නිසල් හඬ නගා හිනැහෙන්නට ගත්තේ ය.
“ඔයාට ජෙලස් ද ඉතිං..”
“මට ජෙලස් හිතෙන්න තිසුරි වැටිලා ඉන්නෙ සංක පස්සෙ නෙවෙයිනෙ.. ඔයාගෙ පස්සෙනෙ..”
නිසල්ගේ සිනාව තවත් උස් විය.ඔහු දෑසින් කඳුලු පනින තුරුම හිනැහිණ.
“ඒ ටෝන් එකෙත් තියෙන්නෙ ඉරිසියාව.. දැන් සේරම පැත්තකට දාලා ඔයා මොකෝ මේ තරහින් කියල හොයන්න ඕන..”
“ඒකනම් ඉතිං ඔයාට තේරෙන්න ඕන.. කාලයක් එකට වර්ක් කරපු මම,ලෝචි එහෙම අමතක වෙලා ඔයාත් එයා එක්කම හිටියෙ..”
සාමාන්‍ය පෙළ පන්තියේ දැරියක පෙම්වතාට කුල කියන මට්ටමට ඇද වැටෙන්නට මට ගත වූයේ මිනිත්තු කිහිපයකි. නිසල් සිනාවක් දෑසේ තවරා මදෙස බලා සිටියේ ය.
“තිසුරි ඔයාට කැමති නෑ. ඔයා තිසුරිට කැමති නෑ.. හයියො මන්දා..”
ඒ නව ආරංචියකි.ඈ පැමිණි දා පටන් ඇගේ වැඩකටයුතු වලට අපමණ සහයක් කාර්යාලීය මට්ටමෙන් ලබා දුන් මට තිසුරි ප්‍රිය නොකරන හේතුව මගේ කෝපය ඇවිස්සීමට සමත් විය.”මේවා පොතේ දැනුමෙන්ම ගොඩ දාන්න පුලුවන් වැඩ නෙවෙයිනෙ.මොකාක් හරි ඩිග්‍රියක් ගොඩ දාගෙන එන එවුංව කරට අරන් උන්ගෙ වැඩත් ඔලුවෙ දාගන්න උඹලට ගහන්න අර ප්‍රසිඩන්ට් කෙනෙක් ඉස්සර යූස් කරපු මඩු වලිගෙ ගේන්න ඕන..” දිනක් භාතිය අප සියල්ලන්‍ට ම පොදුවේ බැන වැදුණු ආකාරය මට සිහියට පැමිණියේ ය.
“එයා මාව අයිති කරගත්තා වගේ ඉන්නවට මං ආස නෑ පවී.එයාගෙ යාලුවෝ පවා මං එයාගේ කොල්ලා කියල හිතනවද කොහෙද.. මේක මේ බලහත්කාරෙන් අයිති කර ගැනිල්ලක්නෙ. මට එපා වෙනවා.. ඔයා ලස්සනයි කියල ඔයාට උදව්වක් කරනවට කතා කරනවට ආස නෑ. එච් ආර් ඩිපාට්මන්ට් එකේ හසිනි එක්ක බස් එකේ ආවා කියල ඇඬුවත් එක්ක.මොන විකාරයක්ද..අනික ඉතිං මං තාම මගෙ එක්ස්ව අමතක කරල නෑ.අෆෙයා එකකට ලෑස්තිත් නෑ.මේක මානසික වදයක්..”
මට කෝපයක් හට ගත්තේ එක්වර ය.ඒ නිසල් පහුගිය දිනවල වඩාත් ඈට සමීප වෙමින් සිටි බව සිතා කෝප ගත් මා කෙරෙහි ද බලහත්කාරයෙන් නිසල්ට ළං වෙන්නට තැත් දරන තිසුරි කෙරෙහි ද ඈට කෙලින්ම පැවසිය යුතු දේ නොපවසන නිසල් ගැනදැයි මට අපහැදිලි ය. නමුත් මම කෝපත් ව සිටියෙමි.
“ඔයා පොඩි ළමයෙක් යැ නිසල්. එයාට කෙලින්ම කතා කරන්න. මෙහෙම මං එක්ක දුක කිව්ව කියල ලැබෙන දෙයක් නෑනෙ..”
මා පිටව ආවේ ද කෝපයෙනි. ඔහු පුදුමය සහ කෝපය මිශ්‍රිත බැල්මකින් බලා හිඳිද්දීම මා පිටව ආවේ කේන්තිය දරා ගත නොහැකිව ය. තිසුරි ගැන අපැහැදීමක් හිතේ නොවුණානම් “කෙල්ලන්ට කතන්දර කියන්නෙකු ” ලෙස ලේබලයක් සහිතවම නිසල් මගෙන් බැනුම් අසන ඉඩ බොහෝ වැඩි ය. නමුත් ඇය ගැන මගේ අබමල් රේණුවක ද කණගාටුවක් නැත. මගේ කෝපය එල්ල වූයේ මඩේ සිට වූ ඉන්නක් බවට පත් නිසල් ට ය.
“ඔයාට මාත් එක්ක දුක බෙදාගෙන ඉස්සර ලැබුණු දෙයක් තිබ්බ ද?”
නිසල් එහෙම කෙටි පණිවිඩයක් එව්වේ මා තවත් අවුල් කර දමමිනි.