අකල් වැහි -5

“ඩොක්ට ගමගේ මීට් වෙන්න යමු..”

ලසඳා කියන්නේ ලේලියගේ පිට පිරිමදිමින් ආදර ස්වරයකිනි.මේ ලේලියට ඇත්තේ පුත්‍ර ලාභ පමණක් බව ජොතිශ්‍යවේදියා ටක්කෙටම පැවසූ අයුරු ඇයට මතක ය.කොහොමටත් චේතන යන්නේ ඉතා වේගවත් ගමනකි.ඒ ගමනට අවශ්‍ය වන්නේ වාසනාව රැගෙන එන බිරිඳක් සහ දරුවන් ය.

“ප්‍රෙග්නන්ට්ද කියලා හරියටම කියන්න බෑනේ”

කුමක්දෝ හේතුවකට එයට එරෙහි වන්නට හිරුදිට සිතිණ.ඇය ඒ නිසාම එසේ කියන්නට වග බලා ගත්තා ය.එහෙත් වෙනදා මෙන් ඒ වචනවලට කෝප වන්නට ළසඳාට නොසිතේ.

“අනේ ඔයාට මේවා තේරෙන් නෑ දුව.තවම පොඩි කෙල්ලක්නෙ ඔයා.”

මේ විවාහ වන්නට තරම් වයසක් නොවන බව හිරුදි ද දැන සිටියා ය.පාසල් මිතුරියන්ගෙන් තවම විවාහ වී ඇත්තේ නිපුනි පමණකි.ඒ ඇගේ පෙම්වතා ඇයට වඩා දස වසරක්ම වැඩිමහළු වූ හන්දා ය.චේතන තමන්ට වඩා දොලොස් වසරක් පමණ වැඩිමහල් බව සිහිවී හිරුදිට සිනාවක් නැඟිණ.නමුත් නිපුනි සහ තමන් මොනතරම් වෙනස්දැයි සිතද්දී ඇය සිනා වන්නේ ඇයටම ය.

“දූට සතුටුයි නේද?”

මාතෘත්වය ගැහැනියක ප්‍රීතියෙන් ඉපිලවන්නට සමත් කාරණාවකි.මවක් වීමේ හීනයක් සිතෙහි නැති කාලයක පවා ලැබෙන අහඹු ආරංචියක් බොහෝ ගැහැනුන්ට සන්තෝසයේ ඉහළම තැන ලබා දෙන්නට සමත් වන්නකි.හිරුදිට එය එසේ ය.තමා තුළ වැඩෙන කුඩා ජීවියෙකු හිඳින බව වැටහීම ම ඇයට මහා සොම්නසක් ගෙනවිත් තිබිණ.නමුත් ඒ සොම්නසට යටින් දොම්නස් වළාකුළු නැගෙමින් තිබිණ.

“මේ චේතනගේ දරුවෙක්.”

ඒ දරුවා පිය ගතිගුණ රැගෙන ඒදැයි සිතද්දී ඇයට ඇති වූයේ භීතියකි.මේ දේවතිලක උරුමයකි.තමන් රැකගත යුත්තේ ඔවුන්ගේ උරුමයකි.

“මිනිස්සු හිතනව අපි මාර වාසනාවන්ත ගෑනු කියලා.පරම්පරා ගෙනියන්න පැටව් හදනවයි බොරුවට උත්සවලට හිනාවෙනවයි ඇරුණම මොකක්ද නංගි අපෙන් තියන වැඩේ.වෙන ගෑනුන්ට වගේ මනුස්සය එක්ක රණ්ඩුවක් දාගන්නවත් පුලුවන්ද අපිට?”

සාදයකදී මුණ ගැසුණු වෙනත් දේශපාලඥයෙකුගේ යොවුන් බිරියක් එසේ පැවසූ අන්දම සිහි කරමින් ම හිරුදි වෛද්‍යවරයෙක් වෙත යාමට සූදානම් වූවා ය.

“හරිනම් මේ ගමන යන්න ඕන මා එක්ක නෙවෙයි.පුතා එක්ක.එයා ඉතින් හොඳටම වැඩනෙ.”

ළසඳාගේ බොරු ආදරය කෝපය ද හාස්‍යය ද උපදවද්දී හිරුදි මුවින් නොබැන අසා හුන්නා ය.චේතන මේ මොහොතේ කොහේදැයි නොදන්නා තමන් ඔහුගේ විවාහක බිරිඳ වීම ම මොනතරම් විසුළු සහගතදැයි ඇය සිතන්නට වූවා ය.නමුත් ඒ කිසිවක් ම ඇසිය නොහැකි තරමට තමන් පඹගාලක පැටලී ඇති බව ඇයට නොවැටහෙනවාද නොවේ.

“පාරක යන්න බෑ.මුන් පාරවල් හරස් කරගෙන..”

රියදුරා බනින්නේ ළසඳාට ඇසෙන්නට ය.ඔහු අයත් වන්නේ පාරට වී යුක්තිය ඉල්ලා කෑගසන මිනිසුන්ගේ පන්තියට මිස දේවතිලකලාගේ පන්තියට නොවන බව කියන්නට සිතුණ ද හිරුදි කිසිවක්ම නොකීවා ය.තමන්ගේ පවුල්වල මිනිසුන් මෙතරමට උද්දච්චකම් කරන්නේ මේ රියදුරා වැනි මිනිසුන් නිසාම බව ඔහුට සිතෙයි.නමුත් ඇය කිසිවක්ම නොපවසන්නට තීරණය කළා ය.වටහා ගැනීමේ කාලයක් එළඹ ඇත.ඇත්ත සහ යුක්තිය ගැන ඔහු ද ඉක්මනින් වටහා ගන්නට ඉඩ තිබේ.

“මේව මෙහෙම වෙන්න දෙන එකයි වැරැද්ද.එකෙක් දෙන්නෙක් පාරක් අයිනෙ ඇක්සිඩන්ට් වෙලා හිටියා නම් හරි..”

ලසඳා කියන්නේ ගැහැනියකට කියන්නට හැකි කතාවක්දැයි හිරුදි පිළිකුලකින් සිතුවා ය.නිසල් මියගියේ අනතුරකින් නොවන බවට ඈ තවමත් අදහන්නී ය.ඒ හිරුදිගේ ප්‍රබල කේන්දරය තමන් සතු කරගන්නට දේවතිලක පවුල කළ අමන රංගනයේ ප්‍රතිඵල ය.

නිසල් මේ කුරිරු ලෝකයෙන් නික්ම අවසන්‍ ය.එහෙත් තමන් මේ සියල්ල තවමත් ඉවසා ගත යුතු බව සිතද්දී හිරුදිට කදුළු උනන තරම් ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

ශරදාකාසේ -35

එවක් පටන් දෙතුන් දිනක් යන තෙක් නිශාමනී සිටියේ නිර්වින්දිත තත්වයක ය. ඇය ආයතනයේ රැකියාවට ගියා ය. යන ගමන් එසඳිව පෙර පාසලෙන් දමා...

කෑම පෙට්ටිය

“අම්මා මේ,” පාසැල් ගොස් මහන්සියෙන් මුත් සිනහසෙමින් පැමිණෙන දෝණි සුපුරුදු පරිදි කෑම පෙට්ටිය මට දිගු කරන්නේ මා ඒ ගැන...

වැඩිහිටියන්ගේ නොසැලකිලිමත්කම නිසා මිලිනව ගිය තවත් පුංචි මල් කැකුළක්.

බණ්ඩාරගම අටලුගම සිදු වූ අට හැවිරිදි පුංචි අයිෂාගේ ඝාතන අපරාධය මේ මොහොතේත් ලාංකිකයක් කම්පාවට පත් කිරීමට සමත්. මේ සටහනෙන්, ඒ සිදුවීමෙහි පසු...

හිමගිරි අරණ -20

"ඔයා කියන විදියට නම් වැඩ කරන්න බෑ රවිඳු.එහෙම ගිය මනුස්සයෙක්ට ආදරේ කරලා මොකටද?" පාරමී වහා එරෙහි වූවා ය.සහන් සමඟ...

ශරදාකාසේ -34

"විකාර නැතුව ඒ මහත්තයව බැඳපං පංචලී. මොන දේ වුණත් නීතියෙන් බැඳගන්න එකේ වාසිය ගැනයි හිතන්න ඕනෙ. මන් දන්න සෑම්පලේ ගෑනුනං හිතන්නෙ ඒ...